විජයදාස රාජපක්ෂ ගොනු කළ අපහාස නඩුවෙන් ලේක් හවුස් එක පරදී - කෝටි 50ක වන්දියක් ගෙවන්න වෙයි!  

විජයදාස රාජපක්ෂ ගොනු කළ අපහාස නඩුවෙන් ලේක් හවුස් එක පරදී - කෝටි 50ක වන්දියක් ගෙවන්න වෙයි!  

*දිසා අධිකරණ තීන්දුවට එරෙහිව ලේක් හවුස් එක ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනය නිශ්ප්‍රභා වෙයි…

*කොළඹ දිසා අධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි!


දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් ලෙස විමර්ශනය වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණි නඩුවක තීන්දුව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට (ලේක්හවුස්)  ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම කළ කොළඹ දිසා අධිකරණ  නියෝගය අද (14) තහවුරු කළේය.

ඒ අනුව ලේක් හවුස් ආයතනයට හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ  වෙත රුපියල් මිලියන 500ක් හෙවත් කෝටි 50ක මුදලක් වන්දි ලෙස ගෙවීමට තීන්දු වී තිබේ.




නඩුවට අදාල නිමිත්ත වාර්තා වන්නේ 2007 වසරේ දී ය.  එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටි විජේදාස රාජපක්ෂ  2007 වසරේ නොවැම්බර් මස ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට මාරු වුනේය. ඉන් පසු සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) මගින් මුද්‍රණය කොට බෙදා හරින ලද සිළුමිණ පුවත්පතේ පිටු දෙකක් පුරාවට  ඔහු සම්බන්ධව ලිපියක්  පළ කර තිබිණි.

 




එම ලිපිය ද්වේශසහගත සහ අපහාසාත්මක ප්‍රකාශවලින් සමන්විත සාවද්‍ය ලියැවිල්ලක් බවත්, ඉන් තමන්ට සිදුවු අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ගෙවිය යුතු බවටත් අයැද එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමටත් එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘවරයා වූ කරුණාදාස සූරියආරච්චිටත් එරෙහිව විජේදාස රාජපක්ෂ  2009 වසරේ දී කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කළේය.

නඩුව විභාග කළ කොළඹ දිසා අධිකරණය පැමිණිළිකරු අයැද සිටි අලාහ මුදල ගෙවන ලෙසට 2013 ජුලි මස 05 වන දින දී තීන්දු කළේය. එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අධිකරණය විසින් එම අභියාචනය 2019 මැයි මස 30 වන දින දී නිශ්ප්‍රභා කරන ලදී.

අනතුරුව එකී තීන්දුවට එරෙහිව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවේය. එම අභියාචනය පිළිබඳව දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ දින එනම් 2025 ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද එකී අභියාචනය නිෂ්ප්‍රභා කළේය.

ඒ අනුව කොළඹ දිසා අධිකරණය විසින් විජයදාස රාජපක්ෂට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙසට සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ඇතුළත් කරන ලද තීන්දුව අද බලාත්මක වුනේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ සෝහිත රාජකරුණා ඉදිරියේදී එම අභියාචනය විභාගයට ගන්නා ලද අතර පැමිණිලිකාර විජයදාස රාජපක්ෂ  වෙනුවෙන් ජ්‍යෙෂඨ උපදේශන නීතීඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් ගේ උපදෙස් මත නීතීඥ සජාන ද සොයිසා, රන්ධිවරී අරන්ගල සමඟ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පෙනී සිටියේය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ  ෆයිසර් මුස්තාපාය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න