V2025

පුවත්

අද හෙට දුම්රිය ගාස්තු 50% කින් ඉහළට !

ඉදිරියේදී දුම්රිය ගාස්තු අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ (අධිකාරී - ගමනා ගමන) රංජිත් පද්මලාල් මේ බව පවසා ඇත්තේ ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් සිදුවන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් නොමැති බවය.

තෙල් නැතුව රට ඇවිලෙද්දී : ඉන්ධන මිල යළිත් ඉහළට !

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසූ බව මාධ්‍ය වාර්තා පවසයි .

ඊට අනුව මෙම ඉන්ධන මිල ඉහළ දැමීමේදී සියලුම වර්ගවල පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 60 කට ආසන්න මුදලකින් ඉහළ දමනු ඇති බවත් භූමිතෙල් ලිටරයක් රුපියල් 200 කට වැඩි මිලක් දක්වා ඉහළ දමනු ඇති බව එම නිලධාරියා පැවසූ බව සඳහන් වෙයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78 කින් ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65 කින් ද ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් භූමිතෙල් ලීටරයක් රුපියල් 210 ක් බවට පත්වීමට ඉඩ ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළ බවත් අදාළ මාධ්‍ය වාර්තා වල සඳහන් වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය මැයි මස 24 වැනිදා කළ අවසන් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 445 ක් දක්වා ඉහළ දැමීය.

ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 500.00 කට ආසන්න වෙයි. ඇතැම් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ මෙකී ඉන්ධන ලීටරයක මිල නුදුරේදීම රුපියල් 500. 00 ඉක්මවා යන තත්ත්වයක් ඇති බවය.

කෙසේ වුවත් මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිත ඉතා දිගු පෝලිම් මෙන්ම ගැටුම්ද ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ජනාධිපති හමුවූ ඉන්දීය ප්‍රබලයන්ගෙන් පොරොන්දුවක් !

සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් වුණු බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විටත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව පැවසූහ.

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වෙමින් ඉන්දීය රජය සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිතුමා දූත පිරිසට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.

දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද දූත පිරිස විශ්වාසය පළ කළහ.

ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත් (Ajay Seth), ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් (V Anantha Nageswaran), ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay), නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් (Vinod K Jacob), ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ (Kartik Pande) සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

රෝයල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව : මෛත්‍රී - රතන ඇවිලෙයි !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වෙයි .

ඊට අදාළ ප්‍රකාශය වන්නේ පසුගියදා රූපවාහිනී වැඩසටහනකට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රෝහල් පාක් ඝාතකයාට ජනාධිපති සමාව දීම පසුපස කෝටි ගාණක මුදලක් ලබා ගෙන ඇති බවට බුද්ධි අංශ වාර්තා කර සිටි බව පැවසීමය.

අද දින අතුරලියේ රතන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම කර ඇත්තේ ද අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ය.

ඉන්දීය විශේෂ දූත පිරිස ඇවිත් !

ශ්‍රී ලංකාවට මූල්‍ය අධාර සැපයීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සදහා ඉන්දීය රජයේ විශේෂ දූත පිරිස අද (23) පෙරවරුවේ පැමිණ ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විනේ ක්වාත්‍රා ( Vinay Kwatra ) විසින් මෙම දූත පිරිසේ ප්‍රධානත්වය දරන බවත් වාර්තා වෙයි .

මෙම ඉන්දීය දූත පිරිසට සිව් දෙනෙක් ඇතුළත් අතර මෙම පිරිස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

දරු ප්‍රසූතිය නිවසේම : පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සීරුවෙන් !

ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූති කටයුත්ත නිවෙස්වල දීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය දැනුවත් කර ඇති බව වාර්තා වෙයි .

සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කරන්නේ පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බවයි.

පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තමන් නිලධාරිනියන් සූදානම් කරන බවද ඇය සඳහන් කර ඇත .

දරු ප්‍රසූතිය සඳහා මැදිහත් වීමේ අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම දැනුම් දීම කරන ලද බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

පුද්ගලික අංශයේ අවම වැටුප - වතු කම්කරු වැටුප ඉහළට : මනුෂගෙන් සහතිකයක් !

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බවට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහතික විය.

ජීවන වියදමට සරිලන ආකාරයට පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දමන බවත්, ඒ සදහා අවශ්‍ය වන නීති රීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් ඇමැතිවරයා සහතික විය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර ඇමැතිවරයා මෙසේද කීවේය.

අපි අලුත් විදියට ගැලපෙන විදියට අලුත් ලෝකයට ගැලපෙන කර්මාන්ත වැඩි කරන්න, ආයෝජකයින් වැඩි කරලා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයන් ලබාදීමට, රැකියාවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපි නීති රීති වෙනස් කළ යුතුයි. කාන්තාවන්ට පිරිමින්ට කියලා වෙනස්කම් කිරීමට පනවලා තියෙන නීති වෙනස් කළ යුතුයි. ස්ත්‍රී පුරුෂ භේධයකින් තොරව කටයුතු කරන වැඩ ලෝකයක් අපි නිර්මාණය කළ යුතු වෙනවා

අලුත් ලෝකය ගොඩ නැගීමේදී ශ්‍රමිකයින්ගේ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීමටත් අපි කටයුතු කරනවා

කම්කරුවන් මේ දවස්වල ජීවත්වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කියනවා. මේක සියයට සියයක් ඇත්ත කතාවක්. කෑම බීම මිල ඉහළ ගිහින්. තෙල් ටික ගහගන්න අමාරුයි. මේ නිසා පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අපි සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී නිශ්චිත අවම වැටුපක් පනවා, පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප දැනෙන ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම වතු කම්කරුවන්ගේ පැත්තෙනුත් වැටුප් ඉහළ දමන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පවත්වා, වතු කම්කරුවාටත් දැනෙන වැටුප් වර්ධකයක් ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය පෙනී සිටිනවා. අපි ඔවුන් ආරක්ෂා කිරීමට කැපවෙනවා.

හිරුණිකාගේ මාතෘත්වයට ගරහන්න එපා : අග්‍රාමාත්‍ය රනිල්ගෙන් ප්‍රසිද්ධ ඉල්ලීමක් !

තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බව වැඩි දුරටත් පවසයි.

රැට්ටා,ළහිරු,ජගත් ඇතුළු 07ක් රක්ෂිත බන්ධනාගාරයට.....

පසුගිය දා කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධාතවක නිරත වී මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07 දෙනා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  හමුවට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිදු සේනාරත්න හෙවත් රැට්ටා , ධම්මික මුණසිංහ , ලහිරු වීරසේකර ,පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ,ජගත් මනුවර්ණ ,එරංග ගුණසේකර හා ජෙහාන් අප්පුහාමි යන අය ද සිටිති.

ඔවුන් ඊයේ පස්වරුවේ ඔවුන් මරදාන පොලිස් ස්ථානයට පැමිණ භාර විය.

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවලා !

තවත් දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම බොරතෙල් තොගය අද (22) ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

එම බොරතෙල් තොගය විදුලි බලාගාර සහ කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බවත් නොරොච්චෝලේ බලගාරයේ අලුත්වැඩියා කටයුතු අතරතුරදී විදුලි කප්පාදුව තව දුරටත් වර්තමාන තත්වයේ පවත්වා ගැනීමට එම ඉන්ධන යොදවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන බෙදන : අලුත් අංක සූත්‍රය මෙන්න !

කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර ඇති අතර ඊට අදාළ සූත්‍රය මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .

ඊට අනුව අංක තහඩුවේ අවසාන ඉලක්කම 0, 1 සහ 2 නම් සඳුදා සහ බ්‍රහස්පතින් දා, ඉලක්කම 3, 4 සහ 5 නම් අඟහරුවාදා සහ සිකුරාදා ද, ඉලක්කම 6, 7, 8 සහ 9 නම් බඳාදා, සෙනෙසුරාදා සහ ඉරිදා ද, ලෙස දින වෙන්කර ඇත .

ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලට සතියකට හෝ මාසයකට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත හැකි බව ද අමාත්‍යංශය පවසයි.

WhatsApp Image 2022 06 22 at 3.52.45 PM

දැල උස්සලා පියාඹමුද ? වැද්දට හසුවෙමුද : රනිල්ගෙන් පුරවැසියන්ට ප්‍රශ්නයක් !

" රට ගැන සිතා අන් සියළු භේද කෙටි කාලයකට අමතක කර එකට එක්වී කටයුතු කළොත් මේ ව්‍යවසනයෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැමදෙනාම එකට එක්වී දැල ඔසවා ගෙන පියාඹපු නිසා. වැද්දාට බැන බැන සිටියානම් මුළු වටු රැළම දැලට හසුවෙනවා. ගොදුරු වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු. අපි එක්වී ඒ අභියෝගය ජය ගනිමු. " යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු මෙසේ පැවසීය .

සැබෑ තත්ත්වය සති දෙකකට වරක් ජනතාව වෙත !

වර්තමානයේ අපේ රට මුහුණ දෙන සැබෑ තත්ත්වය සහ ඊට පිළියම් වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන සති දෙකකට පමණ වතාවක් ඔබට දැනුම් දෙනවා. සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපට කියන්න ද කියලා මාව විවේචනය කරනවා. තවත් සමහරු ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවාට ස්තූතීවන්ත වෙනවා. ඒ දුෂ්කරතා ජය ගැනීමේ පිළියම් අපට යෝජනා කරනවා.

ඔබ ඉන්නේ ඒ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත්, රටක් විදියට එකට එක්වේලා, මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩනැංවීමේ ක්‍රියාදාමයට එක්වෙන්න කියා මම ඉල්ලා සිටිනවා. හැමෝම එකතු කරන් අපි මේ ගමන යමු. එතකොට අපට මේ තත්ත්වයෙන් අපේ රට ගොඩගන්න පුළුවන්.

මුලින්ම ඩොලර් අර්බුදය විසඳගන්න ඕන !

අපි මේ මුණ දෙන්නේ ඉන්ධන, ගෑස්, විදුලි බලය සහ ආහාර පිළිබඳ ප්‍රශ්ණයකට එහා ගිය බරපතල තත්ත්වයකට. අපේ ආර්ථිකය කඩා වැටිලා. ඒකයි බරපතලම ප්‍රශ්ණය. සියළු ප්‍රශ්ණ විසඳා ගන්න පුළුවන් වෙන්නේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයකට පත් කර ගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩොලර් අර්බුදය මුලින්ම විසඳා ගත යුතුයි.

කඩාවැටුණු ආර්ථිකයක් - ඩොලර් සංචිත බිංදුවටම වැටුණු ආර්ථිකයක් - යළි ගොඩනැංවීම ලේසි පහසු කාර්යයක් නොවේ. කඩා වැටීම ආරම්භයේ දී කෙසේ හෝ තිරිංග දමා කඩා වැටෙන වේගය පාලනය කර ගත්තා නම් මේ තරම් අසීරු තත්ත්වයක් උදා වෙන්නේ නෑ. නමුත් ඒ අවස්ථාව අපේ රට අහිමි කර ගත්තා. දැන් අපි පතුලටම වැටෙන ලකුණු පේනවා. ඒත් අපි කෙසේ හෝ මෙතැනින් ගොඩවිය යුතුයි. මෙතැනින් ගොඩ එන්නේ නැතිව, රටේ වෙනත් කිසිදු ප්‍රශ්ණයතට පිළිතුරු සොයන්න අපට පුළුවන් වෙන්නේ නෑ.

ඉන්දියාව පවා තවදුරටත් මෙහෙම ණය දෙන එකක් නෑ !

(ඊයේ කාංචන විජේසේකර ඇමතිතුමා ඉන්ධන තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු කිව්වා.) තෙල් සංස්ථාව මේ වෙද්දි ඩොලර් මිලියන 700ක් ණයයි. මේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නෑ. අත්පිට මුදලටවත් තෙල් දෙන්න ඒ අය පස්ස ගහනවා.

ඉන්දීය ණය ආධාර යටතේ අපි දැනට ඩොලර් බිලියන 04ක මුදලක් ණයට අරන් තියෙනවා. අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තියෙනවා. හැබැයි, ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපට ණය දෙන්න බෑ. සීමාවක් තියෙනවා. අනික් අයට, අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපට තිබිය යුතුයි. නැතිනම් කවුරුවත් අපට සල්ලි දෙන්නේ නෑ.

ආරක්ෂිත මාර්ගය IMF සමග යාම !

එහෙනම් මේ අසීරු තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය කුමක් ද ?

දැන් අප ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමයි. වෙනත් කිසිම මාර්ගයක් අප ඉදිරියේ නෑ. අපට යන්න තියෙන්නේ ඒ මාර්ගයේ. ඒ මාර්ගයේ ගොස් අතිරේක ණය පහසුකමක් සඳහා ඔවුන් සමඟ ගිවිසුමකට එළැඹීම අපේ අරමුණයි. ඉන් පසු ආර්ථිකය ස්ථාවරභාවයට පත් කරලිමේ පදනම සකස් කොට, අපනයන ආදායම් වැඩිකර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමයි.

මහා බැංකුව, භාණ්ඩාගාරය සහ අදාළ රජයේ නිලධාරීන්, වෘත්තිකයන්, විශේෂඥයන් සමඟ සාකච්ඡා කොට අප මේ වැඩ පිළිවෙල සැලසුම් කර තියෙනවා.

මීට වඩා යහපත් ක්‍රියා මාර්ග තිබේ නම් අපට දන්වන්න. රටට හිතකර ප්‍රායෝගික වෙනත් විසඳුමක් ඔබ ළඟ ඇත්නම් කරුණාකර එය ඉදිරිපත් කරන්න.

ඒ වගේම දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම්, ඔවුන්ගේ විසඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන්නත් අපට පුළුවන්. අප ඒ සඳහා ඉඩකඩ ලබා දීමට සුදානම්.

දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙන්න !

හොඳයි. අප දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මම සවිස්තරාත්මකව ඔබට කියන්නම්.

මැයි 20 වෙනිදා වන විට කැබිනට් මණ්ඩලයේ බහුතරය පත් කළා. එතැන් සිට අපි අපේ වැඩපිළිවෙල ආරම්භ කළා. මුලින්ම අප 2019 පැවති බදු ක්‍රමයට ආපසු යෑමට තීරණය කළා. 2025 වන විට ජාතික අයවැයේ ප්‍රාථමික අතිරික්තයක් ඇතිකිරීමට එකඟ වුණා. ආදායම් සහ බදු පිළිබඳ සාකච්ඡා කරන IMF නියෝජිත පිරිස ලංකාවට ආවා. ඔවුන් අදාල වාර්තාව ලබා දුන්නා. පසුගිය සදුදා IMF ප්‍රධාන නියෝජීත කණ්ඩායම ලංකාවට පැමිණියා. ඉදිරි දින කිීපය පුරාම ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

මේ වන විට ආරම්භක සාකච්ඡා පවත්වා අවසන්. රාජ්‍ය මුල්‍ය අංශය, මුල්‍ය අංශය, ණය තිරසරභාවය, බැංකු අංශයේ ස්ථාවරභාවය, සමාජ ආරක්ෂණ ජාලය ආදී අංශ රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් නියෝජීතයන් දැන් ලංකාවට පැමිණ එ් කටයුතු වල නිරත වෙනවා. ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කර ලීමේ සැළසුම් රාමුව සකසමින් සිටිනවා.

එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ලබන සඳුදා එනවා !

ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජීත කණ්ඩායම ලබන සඳුදා ලංකාවට එනවා.

මේ කණ්ඩායම් තුනම කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම අප සකස් කළා. ඔවුන් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වනවා. ඒ වගේම දැන් මේ කණ්ඩායම් තුනටම එකට එක්ව ලංකාවේදී සාකච්ඡා පැවැත්වීමේ අවකාශ උදාවෙනවා. අපේ වැඩපිලිවෙල වේගවත් කරලීමට ඒ අවකාශය රුකුලක්.

ජූනි මාසය අවසන් වෙද්දි අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟත්වයකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම වඩාත් වැදගත් !

මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ ණය ගෙවීම් ප්‍රතිව්‍යූහගත කරලීමේ සැලැස්මයි. ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම් සමඟ එක්ව ජූලි මාසය අවසන් වීමට පෙරාතුව මේ සැලැස්මේ රාමුව සකස් කිරීමට අප උත්සාහ කරනවා.

ඉන්පසු මේ සැලසුම් රාමුවත්, නිලධාරී මට්ටමේ එකඟතාවත් සලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අවසාන තීරණයට එළැඹීමට නියමිතයි.

මේ වැඩ කටයුතුවලට සමාන්තරව අපි ඉන්දියාව, ජපානය සහ චීනය යන රටවල මූලිකත්වයෙන් ණය ආධාර සමළුවක් සංවිධානය කරන්නට සැලසුම් සකස් කරනවා. මේ රටවල් තමයි අපට ණය දෙන ප්‍රධාන රටවල්. ඔවුන් සමඟ යම් යම් නොහොඳ නෝක්කාඩු ඇති වී තිබුණා. අප ඒවා සමනය කරමින් නැවතත් හොඳ හිත තහවුරු කරලීමට වෙහෙසෙනවා. මේ රටවල් ණය ආධාර ප්‍රදානය කරන ක්‍රමවේදයන්හි වෙනස්කම් තියෙනවා. ආධාර සමුළුව මගින් අප උත්සාහ කරන්නේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මේ රටවල් තුන සමඟ පොදු එකඟතාවයකට පැමිණීමටයි.

IMF සහතිකයේ වටිනාකම !

IMF සහතිකය අපට ලැබුණොත් අප ගැන ලෝකයට විශ්වාසයක් ඇති වෙනවා. ලෝකයේ අනික් රටවලින් ආධාර සහ අඩු පොලී ණය ලබා ගැනීමේ අවස්ථාවත් අපට ලැබෙනවා.

ඒ සමඟම IMF මුදල් ලැබෙන තුරු අතර මැදි කෙටි කාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමඟත්, ඇමරිකාව ඇතුළු අපට හිතවත් වෙනත් රටවල් හා රාජ්‍ය නායකයන් සමඟත් සාකච්ඡා පවත්වමින් යනවා.

මේ කටයුතු සාර්ථක ලෙස නිම කර ගැනීමෙන් පසු ආර්ථික ස්ථාවරභාවයට පදනම දමා ගන්න අපට පුළුවන්. එතැනින් මේ ගමන අවසන් වුණා කියා සතුටු වෙන්න අපට බැහැ. එතැන තමයි, අපේ ඉදිරි ගමනේ ආරම්භය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අළුත් ගමනක ආරම්භය.

එතැන් සිට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ, නව ලාංකීය ආර්ථිකයක් බිහිකරලීමේ ගමන ඉදිරියටම යා යුතුයි.

අගෝස්තු මාසයේ අන්තර්කාලීන අයවැයක් !

මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ 2022 ඉතිරි කාලය සඳහා අන්තර්කාලීන අයවැයක් අප ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ඊට අමතරව ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අවශ්‍ය නව නීතිරීති සහ අණපනත් කීපයක් ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ අප සාකච්ඡා ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡාවලට සහභාගි වී, රට ගොඩ නැංවීමේ කාර්යයට උර දෙන සියළු පක්ෂවලට සහ විද්වතුන්ට මගේ ස්තුතිය පුද කරනවා.

ඒ සමඟ ම ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත්, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් අපි ක්‍රියා කරනවා.

ලබන කන්නයේදි හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට සැලසුම් සකස් කර තියෙනවා.

සහල් මිල පාලනය කිරීම උදෙසා, ඉන්දීය ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළඳ පොළට නිකුත් කිරීමට අප පියවර ගන්නවා. ඒ මගින් පාර්භෝගිකයන්ට සහනයක් ලබා දෙනවා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරලීම උදෙසා වෙහෙසෙන, කැපවෙන පුද්ගලයන්ටත්, කණ්ඩායම්වලටත්, ස්තුතිය පළ කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජයේ සාකච්ඡාවන්ට පක්ෂ භේද පසෙක ලා බොහෝ අය සහභාගී වන බවත්, මම මෙහිදී සිහිපත් කරනවා.

කෘෂි ගොවිපළ පිහිටුවීම ගැන : සජබට - ජාජබට ස්තූතියි !

විශේෂයෙන්ම සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් කෘෂි ගොවිපළවල් පිහිටුවිමට මූලිකත්වය ගන්නා බව ප්‍රකාශයට පත් කර තියෙනවා. රජයෙන් කිසිඳු සහයක් නොඉල්ලා එවැනි ගොවිපළවල් පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව මම ඔවුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පසුගිය දා ප්‍රකාශ කළ පරිදි වගා කළ යුතු ස්ථාන පවා මේ වනවිට ඔවුන් තෝරා ගෙන අවසන්.

හිස් ඉඩම් කෘෂිකර්මයට !

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත හිස් ඉඩම් ගණනාවක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කටයුතු කර ගෙන යනවා. සජිත් ප්‍රේමදාස මහතාටත්, අනුර දිසානායක මහතාටත් වගා කිරීම සඳහා ඉඩම් පිළිබඳ ගැටළුවක් ඇත්නම් බන්දුල ගුණවර්ධන ඇමතිතුමන් සමඟ සාකච්ඡා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතා කමිටුවේ ලේකම්තුමාටත් මේ පක්ෂ දෙකේ නායකයන් සමඟ සාකච්ඡා කරන මෙන් මම දැනුම් දී තිබෙනවා.

පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩලය 21 වන සංශෝධනයට එකඟත්වය පළ කළා. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධන යෝජනා පිළිබඳ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කර තියෙනවා. රජයේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟ වී තියෙනවා. දැන් අප කඩිනමින් කළ යුත්තේ මේ යෝජනා පිළිබඳ එකඟත්වයකට පැමිණි පාර්ලිමේන්තුවට අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමයි. නමුත්, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු වර්ජනය නිසා 21 වන සංශෝධනයේ කාර්යයන් තවදුරටත් ප්‍රමාදවීම කණගාටුවට කරුණක්.

අලුත් පාර්ලිමේන්තු කමිටු ක්‍රමයේ සැලැස්ම සඳුදට කරූ ජයසූරිය දෙනවා !

අප අළුතින් යෝජනා කළ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය පිළිබඳව පූර්ණ සැලසුමක් හා වාර්තාවක් ලබා දෙන ලෙස මම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළා. එතුමාගේ වාර්තාව පසුගිය සඳුදා අපට ලබා දුන්නා.

ඒ නිසා මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින්නේ, වහාම පාර්ලිමේන්තුවට පැමිණ, 21 වන සංශෝධනය සම්මත කරලීමේ වැඩපිළිවෙලට දායක වන ලෙසයි. පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ස්ථාපිත කිරීමට එක්වන ලෙසයි.

මම මීට කළින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළා වගේ අද අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙවෙයි. නූතන ඉතිහාසයේ කිසි අවස්ථාවක අපේ රට මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී නැති බව මා වරින් වර සඳහන් කර තිබෙනවා.

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයට රට භාර දෙන්න. වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්න. ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසි ඔබට. එතැනදී රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට මූලික වූවායැයි සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඔබට හිමිවෙනවා. ඒත් ඒ සියල්ල ඉටු කර ගන්න පුළුවන් වෙන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් යළි යථා තත්වයට පත් කර ගැනීමෙන් පසුවයි.

වැටුණු රට ගොඩනගන්න හැම පුරවැසියම එකතු වෙන්න !

ඒ බවත් සිහිතබා ගෙන, වර්තමානයේ රට වැටි ඇති තත්ත්වයෙන් යළි ඔසවා තැබීමේ වෑයමට දායක වන ලෙස මම මේ රටේ හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.

ඒ නිසා අපි මුලින්ම මේ තත්ත්වයෙන් ගොඩ එන්නට එක්සිත්ව එක්සත්ව වෙහෙසෙමු. අසීරුතා ඇති වේවි, දුෂ්කරතා මතුවේවි. ඒ දුෂ්කරතා, අසීරුතා මැද්දේ අපිට රට ගොඩ නැංවීම වෙනුවෙන් සුළුවෙන් හරි කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම හැම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ කෙටි කාලයකට මේ දුෂ්කරතා, අසීරුතා විද දරා ගෙන රට ගොඩනැංවීමේ වෑයමට දායක වන ලෙසයි.

අප රජයක් ලෙස දැනට අනුගමනය කරන යන ක්‍රියාමාර්ග අනුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ දුෂ්කරතා, අසීරුතා අඩුවෙමින් යනු ඔබට දැනේවි. විදුලි කප්පාදුව අවම තත්ත්වයකට ගෙන එන්නට හැකි වෙලා තියෙනවා.

ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපේ ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පියවර ගෙන තිබෙනවා. මේ ගෑස් තොග ලැබුණු විට ගැස් හඟිය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වෙනවා.

ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි. දැනට අප මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් ආදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව කාලයක් ගතවේවි. මේ නිසා ඉතාම අරපරිස්සමෙන් ඉන්ධන භාවිතා කරන ලෙස මම ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

අඩියෙන් අඩිය ඉස්සරහට යමු !

අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපනය කඩා වැටී ඇති බව අප දන්නවා. දරුවන්ට මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා. මුලින්ම කොවිඩ් වසංගතය නිසා, ඊළඟට ආර්ථික කඩා වැටීම නිසා. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටිනවා. පාසල් බස් රථ, පාසල් වෑන් සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන අදාළ බලධාරීන් සැලසුම් සකස් කරමින් යනවා. පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට හැකි පරිසරයක් ඉක්මණින්ම සකසා දෙනවා.

අපි පියවරෙන් පියවර, අඩියෙන් අඩිය මේ ගමන ඉදිරියට යමු.

ලෝකය අපට උදව් කරන්නේ මේ වැටුණ තැනින් නැගිටීමට අප තුළ ඕනෑකමක්, කැපවීමක් ඇති බව ඔවුන්ට දැනුනොත් විතරයි. ඉතිං මේ අවස්ථාවේ අපට එක්කෝ රට ගොඩනැංවීමේ අභිලාෂය අප තුළ ඇති බව පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම්, එවැනි අවශ්‍යතාවයක් අපට නැති බව පෙන්වීම සඳහා නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න පුළුවන්. ඔබ මෙතනදී අරගල කළ යුත්තේ රට නැංවීම වෙනුවෙන්. එහෙම නැතිව රට විනාශ කිරීම වෙනුවෙන් නෙවෙයි. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳින් සිතා බලා, විමසිල්ලෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් දැන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ පොදු ස්ථාවරයකට පැමිණ තිබෙනවා.

සියලු පක්ෂ සමග සාකච්ඡා කරන්න : IMF වෙතින් ඉල්ලුවා !

IMF සමඟ එක්ව කටයුතු කළ බව සමගි ජන බලවේගය කලින් ප්‍රකාශ කර තිබුණා. දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලාද ? IMF සාකච්ඡා ගැන ජාතික ජනබලවේගය එකඟ ද නැද්ද ?

සියළු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන ලෙස මම IMF නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. මේ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙසට මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටිනවා. විවේචනයට වඩා මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ විසඳුම්. ඒ නිසා ඔබ සතුව වඩාත් හොඳ විසඳුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න.

21 වන සංශෝධනය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මේ පක්ෂ දෙකට 21 වන සංශෝධනය අවශ්‍ය ද නැද්ද ? ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය ද නැද්ද ? පාර්මේන්තු කමිටු ක්‍රමය මගින් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියළු මහජන මන්ත්‍රීවරුන් රාජ්‍ය පාලනයට හවුල්වීමට ඔවුන් එකඟ ද විරුද්ධ ද ? ඒ පිළිබඳ ඔබේ මතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් සමගි ජනබලවේගයට සහ ජාතික ජන බලවේගයට හිමි වී තියෙනවා.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳවම ජනතාවගේ පොදු විරෝධතාවක් එල්ල වෙමින් පවතින අවස්ථාවක් මේ. එවැනි අවස්ථාවක රටේ අනාගතයට බලපාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී තිබෙනවා. එවැනි මොහාතක රටට සැබෑ ආදරයක් ඇත්නම් කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමයි. ඒ ප්‍රතිසංස්කරණයන්හි අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දී නිවැරදි කිරීමයි.

ඒ නිසා හුදු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදි, රට වෙනුවෙන් අළුතින් සිතන්න කියා මම හැම දෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම උදෙසා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වන ලෙස ද ආරාධනා කරනවා.

මේ ප්‍රතිසංස්කරණ කඩිනමින් ඉටු කිරීම ජනතා අපේක්ෂාව බවද මම මෙහෙිදී අවධාරණය කරන්නට කැමතියි.

 

ණය නොගෙවීම සැළසුම් සහගතව කරේ : ඇමරිකානු බැංකුවක් නඩු මගට !

ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ‍්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබේ.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ‍්‍රී ලංකාව, ණය ගෙවීම පැහැර හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ‍්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි පළමුවෙන් වාර්තා කළේ ඇමෙරිකාවේ ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවයයි.

ශ‍්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ද හැමිල්ටන් සංචිත බැංකුව ඒ අනුව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජූලි මස 25 කල් ඉකුත්වන සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.

හැමිල්ටන් සංචිත බැංකුව නඩුව පවරා ඇත්තේ හැමිල්ටන් සංචිත බැංකුව ශ‍්‍රී ලංකාවට ලබා දී ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම සහ ගෙවීමට ඇති පොලිය ජූලි 25 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් යැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය පැහැදිලි කර තිබේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් සඳහා පොලී ගෙවීමට දී තිබූ දින 30 සහන කාලය ඉකුත් මැයි මාසයේ අවසන් වීමත් සමඟ ශ‍්‍රී ලංකාව නිල වශයෙන් ණය පැහැර හැරි රටක් බවට පත් විය.

ශ‍්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම පැහැර හැරි ප‍්‍රථම අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටි හැමිල්ටන් සංචිත බැංකුව ගොනු කළ නඩුවේ පැමිණිල්ලේ ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම රාජපක්ෂ පවුල ඇතුළුව ශ‍්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සැලසුම් සහගතව සංවිධානයක් කර ඇති බව සඳහන් වෙයි.

ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුා වලින් දේශීය බැංකු සහ උනන්දුවක් දක්වන පාර්ශව තබා ඇති බැඳුම්කර බැහැර කර ඇති බවට හැමිල්ටන් සංචිත බැංකුව චෝදනා කරයි.

- lankadeepa

උද්ධමනය 45.3% යි !

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි .

එහි වාර්තාවට අනූව සියයට 45.3 ක් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට ආහාරමය කාණ්ඩයෙන් සියයට 27.3 ක දායකත්වයක් සපයා ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 18.1ක දායකත්වයක් ලබා දී ඇත.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 58 ක් වන අතර ආහාර නොවන කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 34.2 ක් වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තාව පවසයි.

ඉදිරි ආධාර ගැන බලන්න : ඉන්දීය ඉහළම දූත පිරිසක් ලංකාවට !

ශ‍්‍රී ලංකාවට තව දුරටත් ආර්ථික ආධාර ලබා දීමට පෙර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්‍ෂණය සඳහා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (23) මෙරටට පැමිනීමට නියමිත බව වාර්තා වෙයි .

දූත පිරිස පැය තුනක කාලයක් පමණක් මෙරට රැඳී සිටින අතර එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මේ පිරිස පැමිණෙන්නේ , ලංකාවේ වත්මන් අර්බුදය හා ඉදිරි ණය වැඩසටහන් පිලිබද සාකච්ඡා කර එකගතාවයකට පැමිණීම සදහා ය.

මේ වන විට ලංකාව කිලෝමීටර් ගණන් දිග ඉන්ධන පෝලිම් සමග ඉතිහාසයේ දරුණුතම ඉන්ධන අර්බුදයට මුහුණදී සිටියි.

ලංකාවේ සහයට ඕස්ට්‍රේලියාවත් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් සමඟ ඊයේ (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීය.

ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහාය ලබා දෙන ඔස්ට්‍රේලියානු අමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේය.

විදේශයන්හි ආයෝජන සඳහා විවෘත වන අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානු සංචාරක ව්‍යාපාරය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ගෙනයාමට හා ශ්‍රී ලංකාව තුළ ඔස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.

තම රජය ක්‍රියාත්මක කිරීම ට නියමිත නැව් මාර්ග සංවර්ධනය කිරීම පිලිබද පැහැදිළි කළ අමාත්‍යවරිය . සමුද්‍ර ආරක්ෂාව සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තම පරිපාලනයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළාය.

මිනිස් ජාවාරම් නැවැත්වීමට ශ්‍රී ලංකා රජය සහ එහි ආරක්ෂක අංශ කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට සුදානම් බව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රකාශ කලේය .

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක සංවර්ධන ආධාර පැකේජයක් ලබා දීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු රජයට සිය ස්තූතිය පුද කළේය.

IMG 20220620 WA00011

 

පාර්ලිමේන්තුව වර්ජනය කිරීම : සජබ කිව්වෙත් නෑ : අපේ තීන්දුවකුත් නෑ - දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීන්දුවක් ගෙන නොමැති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ‘මව්රට’ වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත .

පාර්ලිමේන්තුව වර්ජනය කිරීම පිළිබදව සමගි ජන බලවේගය තම පක්ෂයට කිසිදු දැනුම්දීමක් කර නොතිබූ බවත්, එසේ කර තිබුණේ නම් ඊට සම්බන්ධ විය හැකිව තිබූ බවත්, තමන් ඒ බව විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි බවත් එහිදී ශ්‍රීලනිප මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර ඇත .

පසුව ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසද්දී තමන්ට එය අතපසු වූ බව ඔහු කියා සිටි බවත් ශ්‍රීලනිප මහ ලේකම් පවසා ඇත .

මහලේකම්වරයාගේ එම අතපසුවීම හේතුවෙන් විපක්ෂනායකවරයා තමන්ට කනගාටුව ප්‍රකාශ කළ බවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත .

කෙ‌සේවෙතත් අද දිනයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැදවා මේ පිළිබදව සාකච්ජා කරන බවද ශ්‍රීලනිප මහ ලේකම් මව්රට වෙත පවසා තිබේ.

අනුරත් සජිත්ගේ පාරට බහියි : සතියක පාර්ලිමේන්තු වර්ජනක් !

ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි .

පාර්ලිමේන්තුවේදී අද (21) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය .

රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මන්ත්‍රීවරයා එහිදී පැවසීය .

මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද තමන්ට බලය දෙන්න කියමින් , සතියක පාර්ලිමේන්තු වර්ජනයක් සහ විරෝධතාවක් ප්‍රකාශයට පත්කර ඇත.

Page 237 of 386