V2025

පුවත්

විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලංසු නියම වෙයි !

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු පවසා සිටියේ රුපියල්වල වටිනාකම දිනපතා අඩු වන නිසා එම මුදල් ලබාදෙන්නේ ඩොලර් වලින් බවත් ඒ සදහා ආණ්ඩුවේ නායකයන් සතුව ඩොලර් ඇති බවය.

ආණ්ඩුවේ බලය තහවුරු කරගැ සඳහා විපක්‍ෂ මන්ත‍්‍රීවරුනට ඩොලර් ගෙවමින් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක් දියත් ව ඇතැයි ද මන්ත්‍රීවරයා සදහන් කලේය.

අලුත් කැබිනට් එක: අරගලකරුවන් ප්‍රතිකේෂ්ප කරයි !

කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති පොදුජන අරගලය හමුවේ, ඉල්ලා අස්වූ පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය වෙනුවට, අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කිරීම , අද (18) සිදුවිය.

මේ සම්බන්ධයෙන් අරගල බිමේ සිටින අප වාර්තාකරුවන් පවසන්නේ, ජනාධිපති ගේ මේ තීන්දුව පොදුජන අරගලකරුවන් ප්‍රතිකේෂ්ප කරන බවයි.

මේ ක්‍රියාව, ජනාධිපති සිය අත්තනෝමතික බව නැවත තහවුරු කිරීමක් බවත් අර්බුදය විසඳීමට අවම සංවේදී බවක් මෙහි නොමැති බවත් ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.

අද සිදුකළ, කැබිනට් සංශෝධනයෙන් පසුව අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා සිටියේ , පවතින අර්බුදකාරී තත්වය, ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක්, බවයි.

නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්ථාව ලැබී ඇති බවත්, ඒ සදහා උපකාර කරන්නැයි, තරුණයින්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති පැවසීය.

එසේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි, තමා දැන් සිතන නිසා , ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව මෙන්ම , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට , මීට පෙර යෑමට තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ය.

ජීවන වියදම දරා ගත නොහැකිව සිටින ජනතාවට, අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා, පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් ඇතිවන වේදනාව අසහනය හා කෝපය ඉතාම සාධාරණ බවද ජනාධිපති නව කැබිනට් මණ්ඩලය අමතමින් පවසා සිටියේ ය.

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවූ විදෙස් ගමන් තහනම මැයි මස 02 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඔහුට මැයි මස දෙවැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (18) නැවත සිතාසි ද නිකුත් කෙරිණ.

ඒ ඔහු ඉකුත් හත්වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ සිතාසි අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එසේ නැවත සිතාසි නිකුත් කෙරිණ.

අජිත් නිවාඩ් කබ්රාල්ට අධිකරණය මගින් සිතාසි නිකුත් කරනු ලැබුවේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වකවානුව තුළ භාණ්ඩාගාර බිල්පත් සිය සමීපතයන්ට අලෙවි කරමින් රජයට පාඩු සිදු කළ බවට වූ පැමිණිල්ලකට අදාළවයි.

චෝදනා 6 ක් මත හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්  ඉදිරිපත් කළ මෙම පෞද්ගලික පැමිණිල්ල සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල  අධිකරණය හමුවේ අද පෙනී සිටින ලෙස දන්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඉකුත් 07 වැනිදා සිතාසි නිකුත් කෙරිණ.

තවද එදින පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේ ය.

 

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.

නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කර ඇති අතර ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කර තිබේ.

දැනට දිවුරුම් දී ඇති ඇමතිවරුන් මෙසේය.

1- දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා
2- රමේෂ් පතිරණ – අධ්‍යාපන හා වැවිලි
3- චන්න ජයසුමන – සෞඛ්‍ය
4- ෂෙහාන් සේමසිංහ – කෘෂිකර්ම හා වෙළෙඳ
5- කාංචන විජේසේකර – බලශක්ති හා විදුලිබල
6- දිලුම් අමුණුගම – කර්මාන්ත හා ප්‍රවාහන
7- කනක හේරත් – මහා මාර්ග අමාත්‍ය
8-ඩග්ලස් දේවානන්ද – ධීවර
9-ප්‍රසන්න රණතුංග – මහජන ආරක්‍ෂක, සංචාරක
10- විදුර වික්‍රමනායක – කම්කරු
11-ජානක වක්කුඹුර – කෘෂිකර්ම, වාරිමාර්ග
12-මොහාන්ද සිල්වා – ජල සම්පාදන
13-විමලවීර දිසානියක – වනජීවී හා වන සම්පත්
14-තේනුක විදානගමගේ – ක්‍රීඩා හා තරුණ කටයුතු
15-නාලක ගොඩහේවා – ජනමාධ්‍ය
16-නසීර් අහමඩ් – පරිසර
17-ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – වරාය හා නවුක

අරගලය එහිම හැඩවලින් අලුත් වෙයි !

#GoHomeGota අරගලය අද (17) තවත් විචිත්‍රවත් කෙරෙමින් ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය projecter mapping ආකාරයට ත්‍රිමාණ ආලෝක ධාරාවන්ගෙන් ආලෝකමත් කිරීමට අරගලයේ නිරත පිරිසක් කටයුතු කළහ.

මිනිත්තු කිහිපයකට පසුව විශේෂ ආවරණයක් යොදාගෙන ආරක්ෂක අංශ බාධා කිරීම හමුවේ නවත්වනු ලැබුවත් එය මෙරට අරගල ඉතිහාසයේ විචිත්‍රවත් විරෝධතාවක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

FB IMG 1650210553911

FB IMG 1650210549533

IMG 20220409 WA0021

IMG 20220417 WA0044

IMG 20220417 WA0045

IMG 20220417 WA0047

IMG 20220417 WA0048

IMG 20220417 WA0049

(ජායාරූප සමාජ මාධ්‍ය වෙතිනි)

 

අර්බුදයෙන් ගැලවෙන්න : පරිපාලන සේවා සංගමයේ විසඳුම් සූදානම් !

වර්තමානයේ සෑම ක්ශේත්‍රයක්ම කඩා වැටෙමින් රට මුහුණ පා තිබෙන දැඩි අස්ථාවරත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් සකස් කළ නව යෝජනාවලිය හෙට (18) දිනයේදී ජනගත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට මේ සම්බන්ධයෙන් වන සමාරම්භක වැඩසටහන හෙට දින පෙ.ව. 12.00 ට කොළඹ 07, ‘මහවැලි කේන්ද්‍රය’ හිදී පැවැත්වීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු යොදා ඇත.

පවතින තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා කඩිනම්, විධිමත් සහ ශක්තිමත් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

විවිධ විෂය ක්ෂේත්‍රවල පළපුරුද්ද සහ ප්‍රවීණත්වය ඇති ශ්‍රීලනිප නිලධාරීන්ගේ දායකත්වයෙන් සසා විසින් මේ සම්බන්ධයෙන් හදිසි යෝජනා මාලාවක් සකස් කර ඇත.

ආගමික නායකයින්, සිවිල් සංවිධාන, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරහා මෙම යෝජනා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචාරය කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම සංගමය විසින් තීරණය කර ඇත.

සීනි බදු වංචාවෙන් අහිමිවූ මුදල් නැවත ගන්න : විගණන කොමිසමේ නිර්දේශයක් !

වත්මන් ආණ්ඩුව යටතේ සිදුවූ කුප්‍රකට සීනි බදු වංචාව සම්බන්ධයෙන් තීරණාත්මක විගණන නිර්දේශයක් නිකුත්ව ඇත.

ජාතික විගණන කොමිසම නිකුත්කළ මේ නිර්දේශය වී ඇත්තේ සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමිවූ බදු ආදායම එහි වාසිය ලබාගත් පාර්ශ්වයන්ගෙන් නැවත අයකර ගන්නා ලෙසයි.

විගණන කොමිසම මෙම නිර්දේශය කර ඇත්තේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩු කිරිමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබීම පිළිබඳව අධ්‍යයනය කිරිම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාලවය.

2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට එතෙක් සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරිමට රජය පියවර ගත්තේය.

මෙම විගණනයෙදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වැනිදා සිට සීනි සඳහා පැවැති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 08 වැනිදා දක්වා වූ මාස 04ක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763 ක බදු ආදායමක් අහිමි වී ඇති බවයි.

අදාල කෙටි කාලසීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදීගෙන අඩු මිලට අලෙවි කිරීම මගින් රුපියල් මිලියන 102ක පමණ අලාභයක් වාර්තා කර තිබේ.

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තොබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වූ මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා ආයතනයේ සිනි ආනයනය සියයට 1,222 කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවය.

මෙලෙස සීනි සඳහා වූ බදු අඩු කිරීමෙන් රජය අපෙක්ෂා කළ පාරිභෝගික සහන සැලසිමේ අරමුණ යටපත් වී ආනයනකරුවන් සහ වෙළෙඳුන් කිහිප දෙනෙකු පමණක් ආර්ථික වාසියක් උදාකර ගෙන ඇතැයි විගණන කාර්යාලය තවදුරටත් අනාවරණය කර තිබේ.

විගණන කාර්යාලය නිර්දේශ කර ඇත්තේ සීනි සඳහා වූ බද්ද අඩු කිරීමට සාපෙක්ෂව එම වාසිය පාරිභෝගිකයින් වෙත විතැන් නොකර තමන් අත රඳවා ගත් පාර්ශව නිසි පරිදි හඳුනාගෙන එම ආර්ථික වාසිය ජනතාවට ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීමත්, එසේ නොමැතිනම් රජය කැප කළ බදු අදායම තමන් වෙත රඳවා ගත් පාර්ශව වලින් යළි රජයට ලබා ගැනිමේ හැකියාව පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවය.

(මූලාශ්‍රය - news 1st )

ගෝඨාගෝගම ගාලු ශාඛාව කැඩීම : පූර්ණ විමර්ශනයකට නියෝග !

කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ආශ්‍රිතව ඇරඹි අඛණ්ඩ විරෝධතාවය වූ "ගෝඨාගෝගම" ට සහය දෙමින් ගාල්ලේ ඇරඹි "ගෝඨාගෝගම ගාළු ශාඛාව " ට පොලීසිය කඩාපැන අට්ටාලය ඉවත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් නියමකර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් මේ නියෝගය නිකුත්කර තිබේ.

මේ අතර සාමකාමී විරෝධතා නීතිවිරෝධී ආකාරයට මර්දනය කරමින් පාලකයන් වෙතින් ලකුණු රැස්කරන්න කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව පෞද්ගලිකව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යෝජනා කෙරෙන රැල්ලක් සමාජ මාධ්‍ය හරහා නිර්මාණය වෙමින් පවතී.

සාකච්ඡා කරලා ගේමු : විශ්වාසභංගයට ශ්‍රීලනිපයෙන් කොළ එළියක් !

ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනා අත්සන් කිරීමට පෙර එම යෝජනාවට ඇතුළත් කෙරෙන කරුණු පිළිබඳව පක්ෂ සමඟ සාකච්ඡා කළයුතු වන බව ශ්‍රී ලංකා මානව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

එසේ නොමැතිව හිස් කොළවලට අත්සන් තැබීමට සූදානමක් නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ අදහස් විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ එකම කුට්ටම ඇනීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසඳෙන බවය.

රටේ ජනතාව ඇමති මණ්ඩල මෙලෙස පත් කිරීම පිළිනොගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

සජබ විශ්වාසභංගයට හොඳ අවස්ථාවක් !

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජනබලවේගය ට මෙහිදී හොඳ අවස්ථාවක් හිමිව ඇත.

ඒ මහ ලේකම් ගේ මේ විවෘත අදහස් දැක්වීම පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාව වෙත ශ්‍රීලනිප ඇතුළු ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සහය ගැනීමට ය.

සරත්ටත් ඇමති ධූර එපාම වෙයි !

පවතින අර්බුදය හමුවේ නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් තමන් භාර නොගන්නා බව හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර පවසා ඇත.

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එය පහත දැක්වෙයි.

screen

 

පොදුජන අරගලයට : විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සහයත් !

මහජන අරගලයට සහාය පළකරම්න කොළඹදී විරෝධතා පා ගමනක් අනිද්දා (19) සංවිධානය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර ඇත.

ඊට රටපුරා පිහිටි සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගීවීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.

 

නාමල්ගේ ඇමති දන්සල ජීවන් තොණ්ඩමන් ප්‍රතිකේෂ්ප කරලා !

ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් තමන්ට යෝජනා කළ කැබිනට් අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වෙයි.

ඒ බව ඔහු ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.

මේ වනවිට ඔහු තවත් මන්ත්‍රීවරයකු සමග ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කළද අමාත්‍ය ධූරයක් බාරගෙන යළි ආණ්ඩුවට එක්වීමේ සූදානමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළව තිබිණ.

කෙසේ වුවත් ලංකා කම්කරු කොන්ග්‍රසය පක්ෂයේ ජාතික සංවිධායක පි.සත්තිවේල් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ඇත.

නාමල්ගේ ඇමති අල්ලසක් !

ඊට අනුව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔහු දැරූ කැබිනට් අමාත්‍ය ධුරය වන ක්‍රිඩා අමාත්‍යංශය ,ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය ජිවන් තොණ්ඩමන්ට ලබදෙන්නත් , ඊට අමතරව වතු යටිකතල පහසුකම් අමාත්‍යංශයත්, පශු සම්පත් අමාත්‍යංශයත් ලබාදෙන්නම් කියා පොරොන්දුවී ඇත.

ජිවන්ට එම අමාත්‍ය ධුරය භාර ගන්න නොහැකි නම් එම කැබිනට් අමාත්‍ය ධුරය ලංකා කම්කරු කොන්ග්‍රසය පක්ෂයේ සභාපති සහ භාණ්ඩාගාරික මරුදපාණ්ඩි රමේෂ්වරන් ට ලබාදෙන්න හැකි බව නාමල් රාජපක්ෂ පැවසූ බවත් සත්තිවේල් පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය පක්ෂයේ ප්‍රතිචාරය වී ඇත්තේ ,

"අපට අවශ්‍ය තනතුරු නෙවෙයි මේ රටේ වතු කම්කරුවන් ඇතුළු බහුතර ජනතාව ඉන්ධන , ගැස් ඇතුළු ආර්ථික අර්බුධ රැසකට මැදි වෙලා ඉන්නවා , එවන් අවස්තාවක එම ජනතාවට මුලින්ම සහන සැලසිම තමයි රජය කල යුත්තේ.

අපි රජයෙන් ඉවත් වුණෙත් වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය පිලිබදව සැහිමකට පත් නොවු නිසා.

සමස්ත රටේ ජනතාවම වත්මන් රජය කෙරෙහි අප්‍රසාදය පල කරන අවස්තාවක අපට රජයේ කැබිනට් අමාත්‍ය ධුර අරගෙන වැඩක් නැ." යනුවෙනි.

විශ්වාසභංගයේදී නිෂ්ක්‍රියයි !

කෙසේ වුවත් මේ වන විට සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය සූදානම් කරමින් සිටින විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ ස්වාධීන ලෙස සිටීමට ලංකා කම්කරු කොන්ග්‍රසය තීන්දුවක් ගෙන ඇති බවත් වාර්තා වෙයි

ගෝඨාගෝගම ගාලු ශාඛාවට : පොලිසිය කඩාපැන යකා නටයි !

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්‍යාලය ආශ්‍රිතව ඇරඹි අඛණ්ඩ විරෝධතාවය වූ "ගෝඨාගෝගම" ට සහය දෙමින් ගාල්ලේ ඇරඹි "ගෝඨාගෝගම ගාළු ශාඛාව " ට පොලීසිය කඩාපැන බාධා පමුණුවා ඇත.

අද (17) හිමිදිරි උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් ගලවා ඉවත් කර නින්දිත ආකාරයට හැසිරුණු බව එම ස්ථානයේ සිටි පිරිස් පවසයි.

වාර්තා වන ආකාරයට ඊයේ (16) රාත්‍රියේ මෙම ස්ථානයේ විශාල සෙනගක් රැස්ව සිට ඇති නමුත් , 17 හිමිදිරිය වන විට පිරිසේ පැහැදිලි අඩුවක් සිදුව ඇත.

 ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පොලිසිය මේ සාමකාමී විරෝධතා ස්ථානයට කඩා පැන ඇත.

බොරු ෂෝ ඉවරයි : IMF සාකච්ඡා සඳහා ලංකා නියෝජිතයන් යයි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සදහා ශ‍්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම අද (17) අලුයම ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන පිරිස මෙම සාකච්ඡා සදහා එක්ව සිටිති.

අදාළ සාකච්ඡා ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වෙයි.

කබ්‍රාල් - ලක්ෂ්මන් පයිසෙට වැටෙයි !

කෙසේ වුවත් මීට පෙර වත්මන් ආණ්ඩුව යටතේ මහ බැංකු අධිපතිවරුන් ලෙස කටයුතු කළ මමහාචාර්ය ලක්ෂ්මන් සහ නිවාඩ් කබ්‍රාල් හිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිකේෂ්ප කරන අදහසකය.

එවකට ආණ්ඩුවේ පිරිස එය අනුමත කළ නමුත් මේ වන විට එකී ඊනියා ස්වයංපෝෂිත ආර්ථික කතා පට්ටපල් බේගල් පමණක් නොව ඉතා අසාර්ථක මරු උගුලක් බව වත්මන් දරුණු ආර්ථික අර්බුදය හමුවේ තහවුරුව ඇත.

ඒ නිසාම ඒ වැරදි මාරාන්තික ප්‍රතිපත්තිය වෙනස් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ඇතුළු ක්‍රියාවලිය වෙත ආණ්ඩුව යොමුවෙමින් ඇත.

පාසල් ⁣පැවැත්වෙන වේලාවේ වැඩිපුර පැය රිවස් වෙයි

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ පළමු පාසල්වාරය හෙට (18) ආරම්භ වීමට නියමිතය.

හෙට සිට ආරම්භ කරන නව වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් පැවසුවේය.

කෙසේ වෙතත් මෙලෙස අමතර පැයක් පාසල් කාලය දීර්ඝ කිරීමට ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

විරෝධතා සඳහා ජනතාවට ඇති අයිතියක් ඇත - ශ්‍රී ලංකා නීතිඥ සංගමය

විරෝධතා පැවැත්වීම සඳහා ජනතාවට ඇති නීත්‍යානුකූල අයිතිය වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පවසන්නේ, ගාලු මුවදොර පිටියේ විරෝධතාව පැවැත්වෙන ස්ථානය ආසන්නයේ පොලිස් ට්‍රක් රථ කිහිපයක් ස්ථානගත කර ඇති බව වාර්තා වූ බවයි.

සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග සිය සංගමය කළ දැනුම්දීමකට අනූව මේ වනවිට එම ට්‍රක් රථ ඉවත් කරගෙන ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එම සංගමය පවසන්නේ, ජනතාව විසින් පවත්වන සාමකාමී විරෝධතාවයක් වැළැක්වීමට පියවර ගැනීම බරපතල සිදුවීමක් බවය.

එවැනි ක්‍රියාමාර්ග හරහා රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල බලපෑමක් එල්ල විය හැකි බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

අරගලයේ යෙදී සිටින නව පරපුරේ අධ්‍යයනය පිණිසයි!

අදට වඩා වැදගත්
1953 හර්තාලයේ පාඩම !

''1953 හර්තාලය වනාහි සම්පූර්ණ සමාජ විපර්යාසයක් ඇති කිරීමේ මූලික වැඩ පිළිවෙලකට අදාලව ජනතාව විසින් ගත් ප්‍රථම පියවරකි. එකල ජනතාව විසින් අනාගත ජනතාවට හිමිකර දෙන ලද වීරෝධාර, එමෙන්ම නිවැරදි දේශපාලන උරුමයකි. එහෙත් මේ රටේ වාමාංශික නායකයෝ එම උරුමය පිටු දැක ධනේෂ්වර පංතිය සමග සහජීවනය දැක්වීමේ බියගුලු , මෙන්ම වැරැදි සහගත වූ දේශපාලනය උරුම කරගෙන දේශපාලන නපුංසකයන් බවට පත් වූහ.''
('මහා හර්තාලය' -එච් ඒ. සෙනෙවිරත්න )

1953 හර්තාලය මේ රටේ පැරැණි වාමාංශික ව්‍යාපාරය විසින් නායකත්වය දුන් සටනක් ලෙස ඉතිහාසගත වුවද එය සැබැවින්ම ජනතාවගේ මූලිකත්වයෙන් පැන නැගුණු සටනක් විය.

පැරැණි වාමාංශික ව්‍යාපාරයට ඒ සඳහා නායකත්වය දෙන්නට සිදු වූයේ එදා ජීවන බර දරාගත නොහැකිවූ ජනතාව ස්වේඡාවෙන් සටන් මඟට පිවිසීම මඟහැර යනු නොහැකිවූ නිසා බව පැහැදිලිය.

හර්තාලයේ ගිනි පුපුරු නැගුණේ එවකට බලයේ සිටි යූ ඇන් පී ආණ්ඩුව හාල් සේරුව සත 25 සිට සත 70 දක්වා ඉහළ දැමීමට එරෙහිවය. එම මිල වැඩි කිරීමට පෙර 1952 සැප්තැම්බර් වන විට සීනි මිල සත 25කින් වැඩිවී තිබුණු අතර සහල් සලාකය සේරු කාලකින් කපා හැර තිබිපණි. එවකට රජයේ පාසල් දරුවන් 7.50, 000 ට ලබාදි තිබූ දිවා අහාර වේල අහිමි කෙරෙන බවද ප්‍රකාශ කර තිබූ අතර පසුව තැපැල් සහ දුරකතන ගාස්තුද වැඩි කොට තිබිණි. මේ සියලු මිලවැඩි කිරීම් සහ සහනාධාර කපා දැමීම දරා ගත නොහැකි වූ තැන 1953 ජූලි 21 වැනිදා බලපිටිය හා අම්බලන්ගොඩ අතර රන්දොඹේ නැමැති ගමේ ස්ත්‍රින් හා පුරුෂයන්ගෙන් සැදුණු පිරිසක් මහ පාරේ වැතිර ගමනා ගමනය වලක්වා සටන් මඟට පිවිසියහ. එසේ හටගත් ජනතා ගිනි පුපුරු මාදම්පේ, සිනිගම, අකුල හා තොටගමුව දක්වාද ජුලී 23 වනවිට බලපිටිය දක්වාද 24 වනවිට කරන්දෙණිය ඌරගහ සහ අහුංගල්ල දක්වාද ලැව් ගින්නක් සේ පැතිර ගියේය.

ඊට සමගාමීව වරාය කම්කරුවන් 12000ක් පමණ පැය තුනක සංකේත වැඩ වර්ජනයක්ද, වැල්ලවත්ත රෙදි මෝල කම්කරුවන් වරුවක වැඩ වර්ජනයක්ද දියත් කොට තිබිණ.

1953 ජූලි 23 දින විපක්ෂයේ මෙහෙයවීමෙන් ගාලු මුවදොර පිටියේ පැවැති ජන රැළියට 50.000කට අධික පිරිසක් රැස්වූ බව වාර්තා විය.

1953 අගොස්තු 12 වන විට හර්තාල සටනේ කෙන්ද්‍රස්ථානය කොළඹ විය. කඩ සාප්පු වසා දැමීම , දුම්රිය බස්රිය ඇතුළු ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නතර කිරීම හර්තාලයේ ප්‍රධාන ක්‍රියාදාමයන් අතර විය.

මුහුදු බඩ ආශ්‍රිත ප්‍රදෙශවල ස්ත්‍රීන් රේල් පාර හරහා වාඩිලා කෑම පිසූහ. කොළඹට පැමිණෙන සහ පිටවෙන මහා මාර්ග සහ දුම්රිය මාර්ග සටන්කරුවන් විසින් අහුරා දමන ලදී. කොළඹ නගරයට නුගේගොඩ දෙසින් ඇතුළුවිය හැකි හයිලෙවල් පාර, කිරුළපන පාලම සහ ඒ අවට සටන්කාමීන් ගෙන් පිරී ඉතිර ගොස් තිබිණි. ඔවුන් පාර මැද ගස් කපා පාර මැද දමා අවහිර කොට ඇත.
බොරලැස්ගමුවේදී සටන්කාමීන් විසින් ගස් කපා හෙළා කැස්බෑව හා පිළියන්දල සිට කොළඹ දෙසට යන පාර අවහිර කොට තිබිණ. මේ නිසා කොළඹ නගරය අනෙකුත් නගර වලින් හුදෙකලාවී ගොස් තිබීණි.

වතුකරයේ කම්කරුවන්ද වැඩ නවතා හර්තාලයට එක්ව සිටීම විශේෂ සිද්ධියක් විය. රත්නපුර දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් 18,500ක් වැඩ වරා හර්තාලයට එක්වීම නිසා එම දිස්ත්‍රික්කයෙ වතු 28 ක වැඩ සම්පූර්ණයෙන්ම ඇනැ හිටියේය.
හර්තාලයේ සාර්ථකත්වය සනිටුහන් වන්නේ සියලුම පලාත්වල ජනතාව කිසියම් ආකාරයකින් හෝ තම විරෝධතාව දක්වා සිටීමයි. වැඩවර්ජන, කඩ සාප්පු වසා දැමීම, ගමනා ගමනය අඩාල කිරීම ආදී ක්‍රියාකාරකම් එම විරෝධතා අතර විය.

පාලකයන්ට කොළඹ නගරය තවදුරටත් ආරක්ෂක ස්ථානයක් නොවූ බැවින් එදින ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස්වූයේ මුහුදෙ නතර කොට තිබූ බ්‍රිතාන්‍යයට අයත් යුද නැවක් තුළය.

අගොස්තු 12 දින උදෑසනම සටන්කාමීන් විශාල පිරිසක් පිටකොටුව දෙසට ඒකරාශී වෙමින් සිටි අතර පොලීසියද සූදානම්න් සිටියේය. පොලිසිය විසින් රැස්ව සිටි සටන්කාමීන් පළවා හරින්නට දැරූ උත්සාහය නිසා දෙපිරිස අතර ගැටුමක් ඇති විය. පොලිසිය බැටන්පො‍ලු වලින් සටන්කාමීන්ට පහර දෙන්නට පටන් ගත්විට සටන්කාමීහු ගල් මුල්වලින් පහර දුන්හ. සටන්කාමීන් පොලිසියට පහරදුන් අවස්ථාවකදී පොලිසිය පසු බසිමින් බැරැක්ක වලට ගාල් වූහ. සටන්කරුවන් පසු බසින අවස්ථාවලදී පොලිසිය යළි ඉදිරියට පැමිණ පහර දුන්හ. එහිදී සටන්කරුවනට ගල් සපයා ඇත්තේ පිටකොටුවේ නාටාමිලා විසින් බව කියති. ඔවුන් තම කූඩවලට ගල් පුරවා ගෙන වුත් සටන්කාමීනට දුන් බවද කියති.

පොලිසිය හා සටන්කරුවන් අතර පැවැති ගැටුමේදී ලංකා සමසමාජ පක්ෂයේ සාමාජික එඩ්වින් නමැති සහොදරයකු හමුදා වෙඩි පහරකට ලක්ව මිය ගියේය.

ඉන්පසු ආණ්ඩුව හදිසි නීතිය ප්‍රකාශයට පත් කීරීමත් සමග සටන නතර කරන ලෙස සමසමාජ පක්ෂ නායකයින් ඉල්ලා සිටි නමුත් ඒ මොහොතේම සටන නතර කිරීමට ජනතාව සූදානම් නොවීය.ඔවුන් කොළඹින් පිට තම ප්‍රදේශවල මහා මාර්ග අවහිර කරමින් වාඩිලා සිටියහ.

හර්තාල් සටනෙදී පොලිස් වෙඩි පහරින් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සටන්කාමීහු 9 දෙනෙක් මිය ගියහ.

හර්තාලය අතරමග නතරවූ දේශපාලන ක්‍රියාවලියක් වුවද එයින් ජනතාවට ජයග්‍රහණ කිහිපයක් අත් කර දුන්නේය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සත 25 සිට 70 දක්වා වැඩිකළ හාල් සේරුවක මිළ සත 55 දක්වා අඩු කරන්නට සිදු විය.
අනතුරුව එම රජයේ අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක සෞඛ්‍ය හේතුන් මත යයි කියා අගමැතිකමින් ඉල්ලා අස්වූයේය

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා ගේ ෆේස්බුක් ගිනුමෙනි.

විශ්වාසභංගය සඳහා TNA පක්ෂයි : තොණ්ඩමන් මාරුවෙයි !

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම ආරම්භ කර ඇති බවයි.

එළැඹෙන අප්‍රේල් 18 සඳුදා පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව කතානායක වරයාට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවත් ඔහු පවසයි.

කෙසේ වුවත් මේ වන විට ලංකා කම්කරු කොන්ග්‍රසය විශ්වාසභංගය සඳහා අත්සන් නොකිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජීවන් තොණ්ඩමන් හට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදීමේ පොරොන්දුවක් පවතී.

නමුත් මීට පෙර එම පක්ෂය පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සහය නොදී ස්වාධීන වීමේ තීන්දුවක් ගෙන තිබිණ.

Page 362 of 482