V2025

පුවත්

රෝහලට එන දරුවන්ගෙන් 20% කට මන්දපෝෂණය ?

මෙරට දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩි වෙමින් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ආහාර හිගය මත දරුවන්ට අවශ්‍ය පෝෂණය නොලැබීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි හෙතෙම පැවසීය.

රෝහලට ඇතුළත් කරන ලද ළමයි පනස් තුන් දෙනෙකුගෙන් එකොළොස් දෙනෙකු මන්දපෝෂණය පෙළෙන බව ද හෙතෙම පැවසූ ඔහු ඉන්ද සිවුදෙනෙකුගේ උග‍්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බව ද කියා සිටියේය.

ඔවුනට විශේෂ පෝෂණ ආහාර ලබාදීම ආරම්භ කළ ඔහු සඳහන් කළේය.

මේ වන විට වාට්ටුවට ඇතුළත් කරන දරුවන් ගෙන් සියයට 20ක පමණ ප්‍රමාණයක් මන්දපෝෂණ ලක්ෂණ පෙන්නුම් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Cnews

නිමල් අමරේ එළියට !

අමාත්‍ය ධුර ගෙන රජයට එක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වහාම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇත .

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගත් බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි .

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එය පහත දැක්වෙයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධව !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමයි.

අදාළ එම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයි මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වේ.

ඒ අනුව රජයේ අමාත්‍ය තනතුරු ලබා ගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දරන සියලු තනතුරුවලින් ඉවත් කෙරේ.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක් : දයාසිරිගෙන් අනාවරණයක් !

විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩු පාර්ශ්වය තුළින් ම ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි .

ඔහු මේ බව අනාවරණය කර සිටියේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

එහිදී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ 21 වන සංශෝධනයට විරුද්ධව ආණ්ඩු පාර්ශ්වය තුළ කඳවුරු බඳිමින් සිටින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙසේද පැවසීය .

“විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්ථාවේදී එයට විරුද්ධව ඡන්දය භාවිත කරන අය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතුයි.එසේ ඡන්දය නොදී එය කඩාකප්පල් කොට විසි එක් වැනි සංශෝධනය පරාජය කර නැවත විසිවන සංශෝධනය බලාත්මක කරමින් ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමට සූදානම් වනවා.මේ ඔස්සේ විදේශ රටවල සිටින පුද්ගලයන්ට ලංකාවේ ප්‍රධාන තනතුරුවලට පත් වීමට හැකි ක්‍රමයක් සකස් කරනවා නම් එයට විරුද්ධව රටේ ජනතාවට නැඟී සිටිනා ලෙස ඉල්ලා සිටිනවා.එය කිසි විටෙකත් තර්ජනාත්මක කාරණයක් නොවෙයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට සහාය දීම මේ රටේ සියලු ජනතාවගේ වගකීමක්.” දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

සජිත්‍ට අලුත් තනතුරක් !

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක භූමිකාවට අමතරව කපුටු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ සිරිකොත එජාප මුලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවටත් එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර චෝදනා කළේය .

21 වන සංශෝධනයට සහය ලබා නොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව පැවැසූ එජාප මහ ලේකම්වරයා රටට ආදරය කරන අයකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව පැවසීය .

ජනාධිපති සමාව ඉවතට : දුමින්ද ආයෙත් ඇතුළට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර , ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත .

යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණ.

රනිල් ඇතුළු අමාත්‍ය මණ්ඩලේ කැබිනට් විෂය පථ මෙන්න !

දිවුරුම් දෙන ලද කැබිනට් අමාත්‍යවරුන්ට අයත් විෂය පථයන් නම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව වැඩිම ආයතන ප්‍රමාණයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත හිමිව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මහ බැංකුව ඇතුළු ආයතන 57ක් හිමිව ඇත . එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට විෂය පථ 42ක් වෙන්කර ගෙන ඇත .

අදාළ ගැසට් නිවේදනය මෙතැනින් බලන්න.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ : රනිල් බැසිල් එළිපිට ගැටෙති !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන ක්‍රියාත්ම කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ අදහස් දැක්වීම හමුවේ ඊයේ (30) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීම තුළ බරපතළ මත ගැටුම් ඇතිව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එහිදී 21 වැනි සංශෝධනය ඉදිරිපත් නොකරන ලෙස බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් යුතු කිහිප දෙනෙකුත්, 21 ගෙනා යුතු බව කියන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසේ කිහිප දෙනෙකුත් අතර මත ගැටුම් මතුව ඇති බවත් දැනගන්නට ඇත .

ආණ්ඩු පක්ෂයේ මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් එක්ව සිටියේ පළමු වතාවට ය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.

එසේම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද මෙම රැස්වීමට සහභාගී වී ඇත.

මෙම රැස්වීමේදී ඩයනා ගමගේ, දිලුම් අමුණුම, සරත් වීරසේකර, විමලවීර දිසානායක, ප්‍රසන්න රණවීර, චින්තක මායාදුන්න මන්ත්‍රීවරු 21 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස බල කරමින් තර්ක ඉදිරිපත් කර ඇත.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විජේදාස රාජපක්ෂ, මහාචාර්ය චරිත හේරත්, හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් 21 ගෙන ඒමට පක්ෂව අදහස් දක්වා තිබේ.

මේ අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යස්ථ මතයක් දරා ඇති බවත් වාර්තා වෙයි .

කෙසේ වුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී ඇත්තේ 21 වැනි සංශෝධනය සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා තිබෙනවා නම් ලබන බ්‍රහස්පතින්දාට පෙර ඒවා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමුකරන ලෙසය.

අපේ රටේ ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් එකට ගැටගැහිලා තියෙන්නේ - චරිත හේරත්

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මෙසේ පැවසිය.

"ලංකාව මේ වනවිට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයත්, දේශපාලන අර්බුදයත් කියන මේ දෙකම එකක් විදියට ගන්නවා ද එහෙම නැත්නම් එක අර්බුදයක් විසඳලා අනෙක් එකට යනවා ද කියන එක තමා මුලික අදහස වුණේ. නමුත් අදහස් දෙකම දරපු මන්ත්‍රීවරු හිටියා. විශේෂයෙන්ම මම විශ්වාස කරන්නේ, අපේ රටේ ආර්ථික අර්බුදයත් දේශපාලන අර්බුදයත් එකට ගැටගැහිලා තියෙන්නේ. ඒ නිසා ආර්ථිකය ගොඩගන්නවා හා සමානව වේගයකින් බරකින් දේශපාලන වශයෙන් මේ අලුත් ව්‍යවස්ථාව ඉදිරියට ගේන්න ඕනේ කියලා අපි අදහස් කරනවා. "

උතුරු නැගෙනහිර සමග සාකච්ඡාව සිකුරාදා - විජේදාස

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන පක්‍ෂ නායකයින් සමග ලබන සිකුරාදා සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පවසයි.

තවත් පාර්ශව කිහිපයක් සමගද සාකච්ඡා කර ලබන සදුදා එම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සංගම් සමඟද සාකච්ඡා කර ඔවුන්ගේ ද යෝජනා ලබා ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

බේකරි 7000න් 2000ක් වැහිලා !

වර්තමානයේ උද්ගතව ඇති ගෑස් සහ ඉන්ධන හිඟය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා පිහිටි බේකරි 7000න්, 2000කට ආසන්න සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි .

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි මිල ඉහළ යෑමද මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

මේ තත්ත්වය තවදුරටත් පැවැතියහොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් ඇතිවිය හැකි බවද එන්.කේ. ජයවර්ධන පවසයි .

ශෂීට ඇප ලැබෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (31) ඇප මත මුදා හැර තිබේ.

නීති විරෝධී ආකාරයෙන් විදේශ ගමන් බල පත්‍රයක් සැකසීම යන චෝදනාවට වරදකාරිය කරමින් ඇයට වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද්දේ පසුගිය සිකුරාදා දිනයේ දී ය.

නමුත් එම තීන්දුවට එරෙහිව ඇය අභියාචනයක් ගොනු කළ ගොනුකර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඇප ඉල්ලීම සලකා බලමින් අද දිනයේ මෙසේ ඇය ඇප මත මුදාහැර ඇත .

ආර්ථිකය ගොඩදාන්න : රනිල්ට ජොන්සන්ගෙන් පොරොන්දුවක් !

අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පවසා ඇත .

ඒ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (30) සිදුවූ විශේෂ දුරකථන සංවාදය අවස්ථාවේ ය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ද මෙම දුරකථන සංවාදයේ දී කර තිබෙන බවත් වාර්තා වෙයි .

එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රනිල් වික්‍රමසිංහට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙි අපනයන මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබාදෙන බවයි.රනිල් වික්‍රමසිංහ 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුභ පැතුම් පළ කර ඇති බවත් වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තැබූ ට්වීටර් සටහනක් පහත දැක්වෙයි .rw screen

රැට්ටාට ඇප !

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "රැට්ටා" නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න පොලීසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇත .

කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය චෝදනා මතය.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට හා ගෝල්ෆේස් විරෝධයේ නිරත තවත් පිරිසකට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන්නැයි අද දැනුම් දී තිබිණි.

එහිදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

එසේම ඔහු ඇප පිට නිදහස් කර ඇති බවත් වාර්තා වෙයි .

විධායකය අහෝසි කරන්න : රනිල්ගෙන් සජිත්‍ට තරු පණින අභියෝගයක් !

විසිවන සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල කළ නිසාත් වැඩිපුර බලතල විධායකය ලබාගත් නිසාත් පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අඩපණවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

යෝජිත විසි එක් වෙනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩි වෙන නමුත් එයින් පමණක් සෑහීමකට පත්වන්නට නොහැකි බව පවසන අග්‍රාමාත්‍යවරයා රටේ ආණ්ඩු පාලනයට මුළු පාර්ලිමේන්තුව එකතු කරන ක්‍රමයක් මෙන්ම විනිවිදභාවය ඇති කිරීම සඳහා සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් කොමිටිවලට රැස්වී ප්‍රතිපත්ති වැඩසටහන් අනුව ක්‍රියා කිරීමට වාතාවරණයක් සකසන බවද පවසයි .

සජිත් ලෝක අමාරුවක !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ මේ අදහස් දැක්වීම හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බරපතළ දේශපාලන අමාරුවක වැටෙන බව දේශපාලන විචාරකයන් පවසයි .

ඒ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක විසින් වත්මන් 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පළකරන විවේචනයට වඩා ඉදිරියට ගොස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදහස් දක්වා ඇති නිසාය.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ යෝජනා කරන්නේ විධායකය සතු බලතල ව්‍යවස්ථාදායකය අත්පත් කරගැනීම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට යොමුකර සිටීමය.

ඒ අනුව විධායකය සතු අසමමිතික බලතල එකවර පවරා ගන්නවාද නැත්නම් පවතින යථාර්ථය හමුවේ කොටස් වශයෙන් හෝ අත්පත් කරගන්නට කටයුතු කරනවාද යන්න තීරණය කිරීමට පක්ෂ නායකයන්ට සිදුව ඇත.

ඒ අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට පැවරෙන අතර එහිදී තීරණාත්මක භූමිකාවක් විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස ට කරන්නට සිදුව ඇත.

රනිල්ට ජාත්‍යන්තර සහය : ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් !

අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමග ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් මෙරටට අදාළව ධනාත්මක ප්‍රතිචාර ලැබෙන්නට ගෙන ඇත .

ඒ බව තහවුරු කරමින්, ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක පමණ මුදලක් ලබා දෙන බව කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා ප්‍රකාශ කර තිබේ.

ඇය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර මැයි 27 වන දා පැවති හමුවකදී මේ බව සඳහන් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටි බව ය.

තම කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුම් ආයෝජන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමග ද කටයුතු කටයුතු කරන බව ත් ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන බව ත් එහිදී ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය චියෝ කන්ඩා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කපුටාස් ග්‍රහණයෙන් මිදෙන හැටි : ගම්මන්පිල කියයි !

“RanilGoHome”, “GotaGoHome” පැත්තකින් තබා සියලු දෙනා මෙම අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු කාරක සභාවට මූල්‍ය බලය අධීක්ෂණ බලය ලබා දීමට එකඟ බව ත් ඊට සහයෝගය පළ කරන බව ත් ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරට ත් මෙසේ පැවසීය.

“පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ කපුටා අතේ කියන එක අපි පිළිගන්නවා. මේ පාර්ලිමේන්තුවේ 21 වන සංශෝධනය හරහා කපුටු ග්‍රහණයෙන් පාර්ලිමේන්තුව ත් රට ත් මුදව ගන්න පුළුවන් වේවි. කවුද බලය ඉන්නේ ඒ අයට පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා හැමෝම සහය දීලා නරාවලෙන් ගොඩ එන්න ඕන. ගොඩ ආවාට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕනේ. මැතිවරණයේදී ජනතාවට තීන්දු කරන්න දෙමු කවුද හරි වැරදි කවුද හොඳ කවුද නරක කියලා.”

ලබන මාසය වන විට ජනතාව ඖෂධ නොමැති වීමෙන් මරණයට පත් වන බව ත් ආහාර නොමැති වන බව ත් ඔහු මෙහිදී වැඩිදුරට ත් අවධාරණය කළේ ය.

21 ට  එරෙහිව  බැසිල් - සජිත් සන්ධානයක් : ජනාධිපති අද තීන්දුවක් ගනියි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරු 5.00 ට ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මේ බව සනාථ කර ඇත .

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතයි .

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් මේවනවිට කැබිනට් මණ්ඩලය වෙත මෙන්ම පක්ෂ නායකයන් වෙතත් ඉදිරිපත් කර තිබේ .

එහෙත් ඊට ඉදිරිපත්කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයට ඇමරිකානු - ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ දැනටමත් විරෝධය පළකර තිබේ .

අදාල ව්‍යවස්ථා කෙටුම්පතේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩ අහුරා තිබීම ඊට හේතුවය.

පොදුජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, පසුගිය දින කිහිපයේ වරින්වර ආණ්ඩු පක්ෂයේ සිය අනුගාමික මැති ඇමතිවරුන් කැඳවමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිවිය යුතුබව අවධාරණය කර ඇත .

ඒ මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා බලතල රහිත නාමමාත්‍රීක තැනැත්තකු බවට පත්වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව ශක්තිමත් වන බවත් පෙන්වා දෙමිනි .

එසේම, වහාම රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කර පක්ෂයේ අයකු අගමැති කිරීමේ අවශ්‍යතාවය ද ඔහු විසින් එහිදී අවධාරණය කර ඇති බවත් සඳහන් ය.

පසුගිය 09 වෙනිදා දේපල අලාභහානි වලට පත් මැති ඇමතිවරුන්ට සහන සලසාදීම සඳහා යයි කියමින් නෙලුම් මාවත පක්ෂ කාර්යාලයට කැඳවා තිබු මෙම සාකච්ජාවට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සහභාගී ඇති බවත් වාර්තා වෙයි .

සජිත්ගේ පෞද්ගලික මතය !

මේ අතර 21 වන සංශෝධනයට සහය නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පවසා ඇත . එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ සමගි ජනබලවේගය තුළ මේ සම්බන්ධයෙන් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවය.

එසේම දැනට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ පෞද්ගලික අදහස බවත් ඔවුන් සඳහන් කරයි.

එහිදී සජබ ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ තම පක්ෂයේ සහය ඇතිව බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය ශක්තිමත් කිරීමට කොහෙත්ම ඉඩදිය නොහැකි බවයි .

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහට බලතල හිමිවන කිසිඳු යෝජනාවකට තම පක්ෂය එකඟ නොවනබවයි.

21ට ශ්‍රීලනිප සහය !

කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිපියක් හරහා දැනුම්දී ඇත්තේ , අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනා කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට තමන් සහ තම පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බවයි .

21ට සහය දෙන්න ඕන ඇයි ? ඩලස්ගේ ට්වීටර් සටහන !

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ , යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට සියලු පාර්ශව සහයෝගය ලබාදිය යුතු බව යි.

der3පසුගිය ව්‍යවස්ථා සංශෝධනය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පසුබැස ගිය බවත්, තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරිව සම්මත වු එම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නව ව්‍යවස්ථා සංශෝධනයෙන් මඟහරවා ගැනීමට යහපත් ආරම්භයක් බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර ඇත .

ඒ අනුව දේශපාලන විචාරකයන් පවසන්නේ අද සවස සාකච්ඡාව අවස්ථාවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ස්ථාවරය තීරණාත්මක වනු ඇති බවයි.

දේශබන්දුට නිවාඩුවක් : පොලිස්පතිට ප්‍රශ්නයක් !

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සති දෙකක කාලයකට රාජකාරියෙන් නිවාඩු ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

ඊට අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා පොලිස්පති සි.ඩි වික්‍රමරත්න විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ පලිහක්කාර පත් කර ඇත .

ඩී.ජේ පලිහක්කාරගේ පත් කිරීම නැවත දින 14කින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් නිවාඩු අවසන් කරන තෙක් අදාළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පසුගිය 09 වෙනිදා මයිනාගෝගමට සහ ගෝටාගෝගමට පහරදීමට අරලියගහ මන්දිරයේ සිට පැමිණි මැරයන්ට එම පහරදීමට අවස්ථාව ලබා දුන් බවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන්ට බරපතල චෝදනා එල්ල වී තිබේ.

පොලිස්පතිගෙන් නීතිපතිට ලියුමක් !

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිපතිවරයාට ලැබී ඇති චෝදනා සහ පැමිණිලි තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට රහසිගත ලිපියක් යොමුකර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන බව දේශය පුවත්පත වාර්තා කරයි.

ඊට අනුව අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

පොලිස්පති විසින් එම ලිපිය නීතිපතිට යොමුකර ඇත්තේ පසුගිය මැයි 9දා කොළඹදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බලපෑම් සිදුවිය හැකි බැවින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹින් බැහැරට මාරු කරන ලෙස දන්වමින් නීතිපති විසින් පොලිස්පතිට යොමුකළ ලිපියට පිළිතුරු ලෙසය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරු සිදුකරන්නේ පොලිස්පතිවරයා විසින් නොවේ. රාජ්‍ය සේවා කොමිසම (P.S.C) විසිනි. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස එම කොමිසමෙන් ඉල්ලීමක් කළ යුත්තේ ප්‍රමාණවත් හේතු සාධක සඳහන් කරමිනි. එනිසා අදාළ තොරතුරු පොලිස්පති විසින් නීතිපතිගෙන් ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

බිත්තරේ 50 යි : කුකුල් මස් 1200 යි !

ඉදිරියේදී බිත්තර මිල සහ කුකුළු මස් මිළ ගණන්ද ඉහළ යා හැකි බව කුකුළු ගොවිපළ හිමියන් පවසයි .

ඔවුන් සඳහන් කරන ආකාරයට ඉදිරියේදී බිත්තරයක් රුපියල් 50ක් දක්වා සහ කුකුළුමස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යාමේ ඉඩක් පවතී.

ජුනි මාසයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 40ක් ආනයනකරුවන්ට බැංකු හරහා ලැබිය යුතු බවත් එසේ ලැබෙන්නේනම් මෙම කර්මාන්තය ඉදිරි මාස 06 තුළ අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවත් එම ව්‍යාපාරිකයන් පවසයි .

අද වෙනකොට නිෂ්පාදනය 40%කින් අඩුවී ඇති බවත් කුකුල් මස් නිෂ්පාදනය 30%ක් අඩුවී ඇති බවත් මේ වනවිට ගොවිපොළවල් වසා දමන තත්වයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

සුමන්තිරන් බැසිල් සරණ ගිහින් !

රාජපක්ෂවරුන් දේශපාලන වශයෙන් බරපතළ අර්බුදයකට පත්ව ඇති මොහොතක ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ගේ හැසිරීම සම්බන්ධයෙන් දමිළ දේශපාලනඥයින් තුළ විරෝධයක් ගොඩ නැගෙමින් ඇත .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ මොහොතේ රාජපක්ෂවාදය දේශපාලන වශයෙන් පරාජය කිරීම වෙනුවට සුමන්තිරන් මන්ත්‍රීවරයා ගේ හැසිරීම තුළ රාජපක්ෂ වාදයට සේලයින් සපයන බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ .

ඊට ප්‍රබල හේතුවක් ලෙස ඔවුන් පවසන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ වන විට රාජපක්ෂ වාදය මතවාදී ලෙස පරාජය කිරීම වෙනුවට අග්‍රාමාත්‍ය රනිල් විරෝධයක් වෙත පසුබැස ඇති බවයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් වැන්නෙකු , දෙමළ ජනතාව ගේ දේශපාලන ප්‍රශ්නය හුදු පුද්ගල විරෝධයක් වෙත ඇද දැමීම සැකසංකා දනවන්නක් බවත් දෙමළ දේශපාලනඥයින් බහුතරයකගේ අදහස වී තිබේ .

සුමන්තිරන්ගේ මතයේ TNA නෑ !

 දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් ගේ මතය හුදු පෞද්ගලික පෙනී සිටීමක් පමණයි . ඔහු දේශපාලන ශිෂ්‍යයා කරගෙන සිටින ශානක්‍ය රාසමාණික්කම් මන්ත්‍රීවරයා හැර දමිළ ජාතික සන්ධානයේ වෙනත් කිසිවකු ඒ ව්‍යාපෘතියේ නැත.

එසේම මේ වන විට දෙමළ දේශපාලන ප්‍රශ්නය වෙනුවට සුමන්තිරන් මන්ත්‍රීවරයා බැසිල් රාජපක්ෂ ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කරන බවටත් දේශපාලන ක්ශේත්‍රයේ අවධානය යොමුව ඇත.

අගමැති නොවෙන්න සජිත්‍ටත් උපදෙස් දීලා !

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ලැබෙන දේශපාලන ආරංචි මාර්ග අනුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වූ අවස්ථාවේ , එම ධූරය ලබානොගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට උපදෙස් ලබාදුන් පිරිස අතර සුමන්තිරන් මන්ත්‍රීවරයා ද සිටියි.

එහිදී ඔහුගේ උපදෙස වී ඇත්තේ , ඉදිරි මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් හරහා පැහැදිලිව බලය ගැනීමට අවස්ථාව තිබියදී දරුණු ආර්ථික අර්බුදයක් හමුවේ අගමැති වීම බරපතළ අවධානමක් බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැතිව තවත් දින කිහිපයක් තිබුනා නම් , රටේ නිර්මාණය වන දේශපාලන අරාජිකත්වයේ වාසිය පැහැදිලිව රාජපක්ෂවරුන් ට යාමට තිබූ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

එසේම නිර්පාක්ෂික අරගලය හමුවේ මතුවූ දේශපාලන අර්බුදය හමුවේ ලංකා නීතිඥ සංගමය නියෝජනය කරන්නෙකු වෙත අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට හැකියාව ඇති බවට ප්‍රවාදයක් සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් ගොඩනැගූ බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පවතී.

 

Page 342 of 482