පුවත්

ර/ සීවලී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය ජනාධිපති කාර්‍යාලයේ !
රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි .
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පසුගියදා ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 152කු මීට එක්ව සිටී අතර කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි.
ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු පිළිබද භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලදි. අභිනවයෙන් පත් වූ කථානායකවරිය භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තුව කතානායකවරයා හා පාර්ලිමේන්තු නිලධාරීන් සමග සම්බන්ධ වී කටයුතු කරයි.
මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙය පාසලට හිමි වු සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටියේය.
එසේම රට ගොඩනඟන අනාගත නායකත්වය බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බවද සඳහන් කළේය.
පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තු එක් කර ශිෂ්‍ය පාර්ලිමේන්තු සංසදයක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් වෙත පැහැදිළි කළාය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් වතුකාරවත්ත ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය ඉදිරියටත් සාම කළාපයක් ! සාගල
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වූ ශ්‍රී ලංකාව ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යාමට කැපවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සඳහන් කළේය.
සාර්ථක ආරක්ෂක සහයෝගීතාවයක් සඳහා, දැනට පවතින කලාපීය රාමු මෙන්ම මුලපිරීම් සමඟ පෙල ගැසී ඒ සඳහා සහාය දීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ හවුල් අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් බවද අවධාරණය කළේය.
සාගල රත්නායක මේ බව සඳහන් කළේ රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (09) පැවති 'කොළඹ ගුවන් කතිකාව 2023' (Colombo Air Symposium 2023) හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 06 වන වරට සංවිධානය කරන ලද මෙම කතිකාව ඔක්තෝබර් 09- 10 දෙදින තුළ පැවැත්වේ.
එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, චීනය යන රටවල් ඇතුළුව දෙස් විදෙස් විද්වතුන් රැසක් 'කොළඹ ගුවන් කතිකාව 2023' සඳහා සහභාගි වූ අතර මූලෝපායික අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ (CDISS) අධ්‍යක්ෂ මහාචාර්ය ඇඩම් ලියොන් කොක්වේ මහතා (Adam Leong Kok Wey) විසින් ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාගල රත්නායක මෙසේද පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 06වන වරටත් සංවිධානය කරන මෙම කතිකාව සඳහා සහභාගී වීමට ලැබීම ඉතාම ගෞරවයක් ලෙස සළකනවා. 2015- 2016 හිදී මෙහි පළමුවැන්න ආරම්භ වුණේ “සමුද්‍රීය ගුවන් ආරක්ෂාව හරහා ජාතිය ගොඩනැගීම” යන තේමාව යටතේයි.
ශ්‍රී ලංකාව යුදමය තත්ත්වයෙන් මිදුණු සහ යුද්ධයේ අවසාන අදියරේදී මෙරට ගුවන් සීමාවේ විවිධ උල්ලංඝණයන්ට මුහුණ දුන්නා. ඒ කාලයේ ගුවන් ආරක්ෂාව කියන මාතෘකාව ඉතා කාලෝචිත මාතෘකාවක් බවට පත්ව තිබුණා.
ඉන්දියානු සාගර කලාපය සමුද්‍රීය වෙළඳාමේ සිට ආරක්ෂාව, උපායමාර්ගික, ආර්ථික, පාරිසරික සහ සමාජීය වශයෙන් ප්‍රධාන ගෝලීය සම්බන්ධතා දක්වා පරිවර්තනය වී ඇති මොහොතක මෙවර මෙහි මාතෘකාව වී තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපය තුළ හවුල් අවශ්‍යතා පෝෂණය කිරීමයි.
අපේක්ෂිත පරිදි, ඉන්දියානු සාගරයේ උපාමාර්ගික වැදගත්කම එහි සීමාවන් කරා ළඟා වී ඇත්තේ කලාපයේ පැවැත්ම සහ ආධිපත්‍යය සඳහා බලපෑම් කරන බාහිර ප්‍රධාන බලවතුන් සමඟයි. ඔවුන් වෙළඳ මාර්ගවල ප්‍රධාන මරමස්ථාන අසල යුදමය පැවැත්මක් පවත්වා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වෙනවා.
මෙහිදී කලාපය තුළට ලෝක බලවතුන්ගේ පැමිණීම පිළිබඳ පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වෙනවා. ඉන්දු-පැසිෆික් කලාපය ලෙස අර්ථ දක්වා ඇති ප්‍රදේශයේ උපායමාර්ගික වැදගත්කම චීනයේ ගෝලීය නැගීම සමඟ ද සම්බන්ධ වෙනවා.
එක්සත් ජනපදය හා චීනය අතර පවතින විශාල බල අරගලය හමුවේ, චීනය විසින් කළාපයේ සිදුකරනු ලබන ක්‍රියාවන් පරීක්ෂා කර බැලීමට ඉන්දියාවට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මෙම තත්ත්වය හමුවේ සාපේක්ෂව සාමකාමී අයුරින් පවතින ඉන්දියානු සාගර කලාපය උපායමාර්ගික සහ දේශපාලනික වශයෙන් ලෝකයේ දැඩි අවධානයට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වී තිබෙනවා.
ඉන්දියාවේ ආරක්‍ෂක පරිසරය සඳහා ස්ථාවර ඉන්දියන් සාගරයක් යන කාරණය ඉතා වැදගත් වෙනවා.
ඵලදායි කලාපීය ආරක්ෂක සහයෝගීතාවක් සඳහා, භූගෝලීය වශයෙන් උපායමාර්ගික පරිසරය හරය බවට පත් වන නිසා, පොදුවේ පවතින අවශ්‍යතා සඳහා එය තර්ජනයක් හෝ අවදානමක් නොවන බවට දැඩි හැඟීමක් අපට තිබිය යුතුයි.
යුරෝපීය සහ මැදපෙරදිග ජාතීන් ඉන්දියානු සාගරය කෙරෙහි දක්වන උනන්දුව වැඩි වීම ධනාත්මක වර්ධනයක් බව කිව යුතුයි. කෙසේ වෙතත්, මෙය කලාපයේ බලවතුන් අතර ආතතීන් වැඩි කිරීමට හේතු නොවන බව සහතික කිරීම වැදගත් වෙනවා.
එබැවින් හවුල් අවශ්‍යතා සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලුම පාර්ශ්වකරුවන් සාධනීය සංවාදයකට ප්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වෙනවා.
සන්නිවේදන මාර්ග තහවුරු කිරීම, සමුද්‍රීය නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) මත පදනම් වූ බහුපාර්ශ්විකව එකඟ වූ නීති පිළිපැදීම සහ බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික රාමු භාවිතා කිරීම මගින් කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අපට ක්‍රියා කළ හැකියි.
කලාපීය ආරක්ෂක සැලැස්මක්, පොදු කලාපීය අනන්‍යතාවයක් හෝ පිළිගත් කලාපීය නායකත්ව රාමුවක් නොමැති වීම හේතුවෙන් ඉන්දියානු සාගර කලාපය තුළ ඵලදායී ක්‍රියාමාර්ගයක් කරා සහයෝගීතාවයෙන් යුතුව ගමන් කිරීම දැවැන්ත අභියෝගයක් වී පවතිනවා.
සාර්ථක ආරක්ෂක සහයෝගීතාවයක් සඳහා, අපි දැනට පවතින කලාපීය රාමු සහ මුලපිරීම් සමඟ පෙලගැසීමටත් ඒ සඳහා සහාය දැක්වීමටත් උත්සාහ කළ යුතුයි.
අග්නිදිග ආසියාවේ මෙන්ම පුළුල් ආසියා-පැසිෆික් සහ ඉන්දියානු සාගර කලාපවල ආර්ථික හා ආරක්ෂක සැලැසුම හැඩගැස්වීම සඳහා ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංවිධානයේ දැක්ම මගින්, නායකත්වය ලබාදීමට උත්සාහ කරනවා.
සැබැවින්ම මෙය ඉන්දියානු සාගරයේ ආරක්‍ෂාව සහ ආර්ථික සැලැස්ම වෙනස් කිරීම සඳහා බෙහෙවින් අවශ්‍ය සාමූහික නායකත්වයක් බව කිව යුතුයි.
බිම්ස්ටෙක් සහ ආසියාන් කලාපීය සංසදය වැනි ආසියාන් සංවිධානයේ යාන්ත්‍රණ, කලාපය සඳහා අනුගමනය කළ යුතු සහයෝගීතාව පිළිබඳ ආදර්ශයන් විය හැකියි.
නමුත් බටහිර ඕස්ට්‍රේලියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා විහිදෙන සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය, ප්‍රමුඛ ලෙසසළකන ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය ද අප සතුව තිබෙනවා.මෙම යාන්ත්‍රණය, දේශපාලනික වශයෙන් ඉහළ මට්ටමකින් සාකච්ඡා පැවැත්වීමට සහ අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා තවත් පරමාදර්ශී සහ පැහැදිලි තේරීමක් විය හැකියි.
ඇත්ත වශයෙන්ම, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ අමාත්‍යවරුන්ගේ රැස්වීම මෙම සතියේ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව එහි සභාපතීත්වය ලබාගැනීමත් සමග පැහැදිලිවම මෙම සංසදයේදී මේ කරුණ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වනු ඇතියි.
ඉන්දියන් සාගරය බොහෝ දුරට ගැටුම් හා ආරවුල් වලින් තොර බව නිරීක්ෂණය වෙනවා. කෙසේ වෙතත්, ඉන්දු පැසිෆික් කලාපයේ පවතින ආතතීන් ඉන්දියානු සාගර කලාපයට ඇතුළුවීමේ හැකියාව පවතිනවා. එබැවින් මහා බල එදිරිවාදිකම් සහ බාහිර ගැටුම් ඉන්දියන් සාගරයෙන් බැහැරව තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
ශ්‍රී ලංකාව හමුදා සන්ධානවලින් වැළකී සිටීමේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉන්දියන් සාගරය ගැටුම් වලින් තොර විය යුතු බව අපේක්ෂා කරනවා. ඇත්ත වශයෙන්ම, 1971 දී ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා ඉන්දියන් සාගරය සහ ගුවන් අවකාශය සදාකාලික සාම කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරවීමට සමත් වුණා. එය කලාපය තුළ යාත්‍රා කිරීමේ සහ පියාසර කිරීමේ නිදහසට දායක වී තිබෙනවා.
අප ඉදිරියේ ඇති සැලකිය යුතු අභියෝගය වන්නේ කලාපය තුළ සහ ඉන් පිටත පවතින බල සංයෝජනයන්ගේ අවශ්‍යතා සහ මැදිහත්වීම් හඳුනාගෙන ඒවා ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයයි. එවැනි මූලාරම්භයන් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි සංසද මගින් සංවාදයක් ඇති කරනවා.
එබැවින් ගුවන් හමුදාව විසින් මෙය සංවිධානය කිරීම වඩාත් වැදගත් වෙනවා. එබැවින් ඒ පිළිබඳව මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ස්තූතිවන්ත වෙනවා.
මෙම ක්ෂේත්‍රයේ දැවැන්ත අත්දැකීම් ඇති මහාචාර්ය ඇඩම් ලියොන් කොක්වේ මහතා අද මෙහි ප්‍රධාන කථිකයෙකු ලෙස සිටිනවා.
දශක ගණනාවක් පුරා ගුවන්යානා තාක්ෂණය විශාල ලෙස දියුණු වී තියෙනවා. දෙවන ලෝක සංග්‍රාමයේදී ගුවන් යානා විශාල වශයෙන් නිෂ්පාදනය වූ බව අපි දන්නවා.
ඔවුන් ලුහුබැඳ ගියේ තාක්ෂණය හෝ ගුවන් යානයේ ගුණාත්මක භාවය පිළිබඳව නොවෙයි. මහා පරිමාණ නිෂ්පාදනය පිළිබඳවයි.
ඔවුන්ට ගමන් කිරීමට, සාම්ප්‍රදායික පරිදි ආයුධ මගින් වෙඩි තැබීමට සහ අවශ්‍ය අවස්ථාවලදී බෝම්බ හෙළීමට ගුවන් යානා අවශ්‍ය වුණා. ඒ වගේම තමයි ගුවන්යානාවක් නැති වුණොත් නැති වුණාම තමයි. ඇත්තෙන්ම මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් තිබුණත් එදා අනුගමනය කළේ එයයි. නමුත් දැන් අපි දියුණුයි.
අපි තාක්‍ෂණය අතින් දියුණු වී තියෙනවා, අපි ආයුධවල තාක්‍ෂණික අංශයෙන් මෙන්ම ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය පැත්තෙන් ද දියුණු වී තියෙනවා, එහිදී භාවිතා කරන තාක්ෂණය සඳහා විවිධ වාසි ලබා දීමට යොදා ගන්නා අමුද්‍රව්‍යවලට හැකියාව තිබෙනවා.
ඉස්සර නම් රේඩාර් වලින් මග හැර යාමට අවශ්‍ය නම් පියාසර කරන්නේ හරිම පහතින්. ලෝක යුද්ධ සමයේදී සිදු වූයේ එයයි. නමුත් දැන්, රහසිගතව යාමේ හැකියාව ලැබෙන්නේ පහළින් එලෙස පියාසර කිරීමෙන් නෙවෙයි, භාවිතා කරන ද්‍රව්‍ය හා භාවිතා කරන තාක්‍ෂණය මතයි.
දැන්, යම් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරන්න, ඔබට ගුවන් යානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්දියාව විසින් මෑතකදී සබ්මැරීන පිටතට ගෙන යන MQ-9B ඩ්‍රෝන යානා පිළිබඳ විශාල මිලදීගැනීමක් සිදුකළා. ඒක ඩ්‍රෝන් එකක්. එය ගුවන් නියමුවෙකු රැගෙන යන්නේ නැහැ. ඒ ආකාරයෙන් තාක්ෂණය විශාල දියුණුවක් ලබා තිබෙනවා.
මෙම තීරණාත්මක අවස්ථාවේ නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති බව සහතික කිරීම සඳහා මෙම තීරණාත්මක අවස්ථාවේ ඉන්දියානු සාගරයේ සිය කාර්යභාරය අගය කරන ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක්. මෙම භූමිකාවට සහාය වන සැමට අප ඉතා කෘතඥ වෙනවා. ඩ්‍රෝනීය ගුවන් යානයක් ලබා දීමෙන් ඉන්දියාව, මේ සඳහා අපට උපකාර කර ඇති බව මම සඳහන් කළ යුතුයි.එක්සත් ජනපදයද අපගේ නාවික ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා උපකාර කිරීමට ඉදිරියට පැමිණ සිටිනවා.
ඒ වගේම එවැනි අපේ මිත්‍ර රටවල් මෙහි පැමිණ හමුදා පුහුණු අභ්‍යාසවල යෙදී තිබෙනවා වගේම මෙවැනි සම්මන්ත්‍රණවලට අප සමඟ එක් වී ඉන්දියන් සාගරය තුළ සිදු කරන මේ කාර්යභාරයට සහයෝගය දී තිබෙනවා. මා පෙර සඳහන් කළ පරිදි, මෙම කලාපයේ ආරක්ෂාව සඳහා නිවැරදි සාකච්ඡාවක් සිදු වන බව සහතික කිරීම සඳහා වැදගත් වන මූලික පදනම්, මේවා බව සඳහන් කළ යුතුයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු, විදෙස් තානාපතිවරු , මහකොමසාරිස්වරු, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සජබ සභාපති SF : ජනපතිව ඉහළටම ඔසවා තබයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින්ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය හැකි පුරවැසියෙකු නොවන බවත් ඔහු පවසයි.
සමගි ජනබලවේගය පක්ෂයේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.
මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ද තමන්ට ඇති බවය.
සජබ ඇතුලේ තරගයක් !
කෙසේ වුවත් මේ වන විට විපක්ෂයේ පාර්ශ්ව අතර ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ප්‍රබල තරගයක් මතුව තිබේ.
එහි විශේෂත්වය වන්නේ ද සමගි ජනබලවේගය පක්ෂය අභ්‍යන්තරයේ , එහි නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර ද එම තරගය පැවතීමයි.
මේ වන විට ඔවුන් දෙදෙනා එකිනෙකා ගේ මුහුණ නොබලන තැනට මේ " වෙන්ඩ ජනාධිපති ":තරගය ඔඩුදුවා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

2030දී සියලු ම පාසල් සිසුන්ට දිවා ආහාරය - අධ්‍යාපන ඇමති
2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩි කර 2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බවත් ඒ සඳහා ප්‍රතිපාදන සලසා ගැනීමට අදාළ සාකච්ඡා ප්‍රංශ රජය ඇතුළු අදාළ පාර්ශව සමග මේ වන විට සිදු කරමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.
මේ සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කළේ ය.
පාසල් පද්ධතිය තුළ විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
තවද ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705ක් හා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 405ක් පුරවමින් ගුරු උපදේශක සේවා විෂමතා ඉවත් කර එම සේවාවට අදාළ පුරප්පාඩු පිරවීමටත් ක්‍රියා කරන අතර සමස්ත අධ්‍යාපන පද්ධතියේම මානව සම්පත් ඌනතා ලබන ජනවාරි වන විට අදියරෙන් අදියර සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසූ අමාත්‍යවරයා අධ්‍යාපන පරිවර්තනීය වෙනස තුළ සිදු කරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම්වල දී සියලු දෙනාට ම ඊට අනුගත වීමට සිදු වන බවත් කියා සිටියේ ය.

ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම
අභාවප්‍රාප්ත ප්‍රවිණ රංගධර ජැක්සන් ඇන්තනී ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා මේ වන විශාල ජනකායක් බොරැල්ලේ ඔහුගේ දේහය තැන්පත් කර ඇති කොළඹ 8, බෞද්ධාලෝක මාවතේ, ජයරත්න රෙස්පෙක්ට් හෝම්හි වෙත පැමිණෙමින් සිටිති.
එමෙන් ම, කලාකරුවන් රැසක් ද ජැක්සන් ඇන්තනීගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට එහි පැමිණ සිටිති.
රූගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන් ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරට ලක්ව ඔහු බරපතළ තුවාල ලබා මාස 14ක කාලයක් රෝහල්ගතව පසුවීමෙන් අනතුරුව ජැක්සන් ඇන්තනි ඊයේ (ඔක්. 9) ජීවිතක්ෂයට පත් විය.
ඔහුගේ දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා අද උදෑසන 7.30 සිට රාත්‍රී 11:00 දක්වා අවස්ථාව ලැබේ.
අනතුරුව දේහය හෙට (ඔක්. 11) හා අනිද්දා (ඔක්. 12) දෙදින රාගම පාර, කඩවත පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසෙහි දේහය තැන්පත් කෙරෙනු ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (ඔක්. 12) සවස 3:00ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කිරීමට නියමිත ය.
ජැක්සන් ඇන්තනි නළුවෙකු, ගායකයෙකු, නිවේදකයෙකු, සාහිත්‍යවේදියෙකු, කලා විචාරකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නර්තන ශිල්පියෙකු, හඬ නළුවෙකු, ගවේෂකයෙකු, ගුවන් විදුලි ශිල්පියෙකු, මාධ්‍ය කළමනාකාරවරයෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූ ප්‍රවීණ කලාකරුවෙකි.

කටුනායක ගුවන් තොට ඩිජිටල්කරණය වෙයි
මෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය අද (10 ) දින උදෑසන සිට ඩිජිටල්කරණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පැවති උත්සවයක දී පියවර ගත්තේය.
ඒ අනුව ගුවන් ගමන් සදහා ගුවන් නියමුවන්ට සහ ගුවන් ගමන් පාළකවරුන්ට අත්‍යාවශ්‍ය වන ” ගගන නාවික තොරතුරු ප්‍රකාශනය ” ( Aeronautical Information Publication ) මින්පසු අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල්කරණය වෙමින් ඔවුන් අතට පත් වීම සිදු වේ .
එසේම ගුවන් ගමනක දී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැළසුම ( Flight Plan ) ගුවන් ගමන් නිවැරැදිව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාව ලෙස ද මෙම නව ඩිජිටල්කරණ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වීමට නියමිතය .
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිර්දේශ අනුව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2 ක් (රුපියල් කෝටි 120 ක් ) වැයකර ප්‍රංශයේ එම්.එස්.තෙල්ස් (M.S.Thales ) සමාගම විසින් නිෂ්පාදිත මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ .
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සදහා එළඹෙන 2025 වසර තෙක් කල් ලබා දී තිබූ අතර , එම කාළයට පෙර මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට ලැබීම ජයග්‍රහණයක් බව මෙම උත්සවයේ දී ප්‍රකාශට පත් විය .
මේ වනවිට යුරෝපය , ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු මහාද්වීප තුළ ගුවන් ගමන් හැසිරවීම සදහා මෙම ඩිජිටල්කරණ පද්ධති භාවිතා කරන අතර ආසියා ෆැසිපික් කළාපයේ මාළදිවයින , ඉන්දුනීසියාව සහ භූතානය යන රටවල් තවමත් තවමත් තම ගුවන් සීමා කළාප වල ගුවන් යානා හැසිරවීම සදහා භාවිතා නොකරයි .
මේ මගින් ගුවන් යානා සහ එහි ගමන් ගන්නා මගීන්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමට සමත් වී තිබේ.
මෙම පද්ධතිය මගින් රත්මලාන සහ මත්තල ගුවන් තොටුපොළ වෙත ද අවශ්‍ය සේවා සම්පාදනය කරනු ලබයි .
මෙම උත්සව අවස්ථාවට වරාය , නාවික , ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ජී.එස්.විතානගේ , එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.ජයකාන්ත , ශ්‍රී ලංකාවේ ගුවන් සංතරණ ප්‍රධානී නිශාන් අබේවර්ධන , තත්ව සහතිකය පිරිනැමූ සී.ජී.එස්. සමාගමේ ව්‍යාපාර කළමනාකරු චාමික විමලසිරි යන මහත්වරුන් ඇතුළු ගුවන් නියමුවන් , විදේශීය ගුවන් සේවා නියෝජිතයන් ඇතුළු ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ .

ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් උපදෙස් !
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ( 09) අමාත්‍ය මණ්ඩලය හමුවේ අදහස් දැක්වීමක් සිදුකර ඇත.
ඊට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ එම ප්‍රකාශය පහත දැක්වෙයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට සිදු කළ ප්‍රකාශය (2023-10-09)
“ඊශ්‍රායලයේ සේවය කරනු ලබන බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන් නිවැරදිව ස්ථානගත කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික කළ යුතු වෙනවා. සංචාරකයින් ලෙසත්, විවිධ සේවකයන් ලෙසත් ඊශ්‍රායල ජාතිකයින් සැලකිය යුතු පිරිසක් ද ශ්‍රී ලංකාව තුළ සිටිනවා. ඔවුන්ට නැවත ඊශ්‍රායලයට යාම සඳහා අපි උපකාර කළ යුතු වෙනවා. මම පොලිස් දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් පිළිබඳ සොයා බලන ලෙස දැනුම්දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සෑම විටම ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පය සඳහා සහාය දක්වනු ලබනවා. ඒ සඳහා අපේ සහයෝගය දැකවීම ස්ථිරයි. සමහර අවස්ථාවලදී අපි ඊශ්‍රායලයේ ක්‍රියා හෙළා දැක තිබෙනවා. එසේ වුවත්, මේ සියල්ලෙන්ම සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරමින් ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකියි. ශ්‍රී ලංකා රජය මෙම පෙර නොවූ විරූ ප්‍රහාරය තරයේ හෙළා දකිනවා.
ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය වහා අවසන් කළ යුතුයි. ශ්‍රී ලංකාව අප්‍රිකානු සංගමය විසින් ගෙන ආ යෝජනාවට එකඟ වෙනවා. මෙම අර්බුදයේ තවත් බලපෑමක් තිබෙනවා. පෙට්‍රල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. ඉන් පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේ අග සිට නැවත අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙම අර්බුදය මගින් තවදුරටත් ඉන්ධන හිඟයක් ඇති කරන අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල දිගු කාලයක් ඉහළ මට්ටමක පැවතීමට ඉඩ තිබෙනවා. මෙය සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයන්ට විශාල පහරක් බවත් කිව යුතුයි.”

පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියට නව නිලධාරී මණ්ඩලයක්
මෙරට පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමේ අරමුණින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරිය සඳහා සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ අර්නස්ට් ඇනඩ් යන්ග් (Ernst & Young) ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු සහ හිටපු උපදේශකවරයෙකු වන අර්ජුන හේරත් පත් කර තිබෙනවා.
රජයේ හිටපු නීතීඥ නිසිත් අබේසූරිය, ජනාධිපති නීතීඥ සෞම්‍යා අමරසේකර, ඩිජිටල් නීති විශේෂඥ හා පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත් කිරීමේ කමිටුවේ සභාපති ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ජාත්‍යන්තර ප්‍රමිති ආයතතයේ සහතිකලත් විගණක හා තාක්ෂණ කළමනාකරණ විශේෂඥ බිම්සර සෙනවිරත්න සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු හා ඩිජිටල් උපාය මාර්ග විශේෂඥ ෂෙහාන් විජේතිලක යන අය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
මීට අදාළ 2022 අංක 9 දරන ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත, 2022 මාර්තු මස 19 වැනි දින කතානායකවරයා විසින් සහතික කර බලාත්මක කරනු ලැබූ අතර ඒ සමඟ දකුණු ආසියානු කලාපයේ පුද්ගලික දත්ත ආරක්ෂණය වෙනුවෙන් නීති සම්පාදනය කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වුණි.
2023 ජූලි මස 21 වැනි දින නිකුත් වූ ගැසට් නිවේදනය මගින් මෙහි පස්වන කොටස ක්‍රියාත්මක කිරීමත් සමඟ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ හරහා රාජ්‍ය ආයතන, බැංකු, සන්නිවේදන මෙහෙයුම් සහ රෝහල් වැනි ආයතන සතුව පවතින මහජනතාවගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම අරමුණු කරන අතර, පෞද්ගලිකත්ව නීතිය පිළිබඳ ගෝලීයව සිදුවන වර්ධනයන් මෙන්ම රජයේ සහ පෞද්ගලික අංශයේ ඩිජිටල් උපාය මාර්ග අනුව ද මෙම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත අතිශය වැදගත්කමක් උසුලයි.
එමගින් ජාතික ඩිජිටල් උපාය මාර්ග සහ ශ්‍රී ලංකාවේ අද්විතීය ඩිජිටල් අනන්‍යතා (SL-UDI) ව්‍යාපෘතිය සමඟ සමගාමීව, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කරන බව සඳහන්ය.
මෙම ස්වාධීන නියාමක යාන්ත්‍රණය විසින් පෞද්ගලික දත්ත නිසි ලෙස පාලනය කිරීම සහතික කිරීම සඳහා විවිධ අංශවල නියාමකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.
මෙම පනත කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය 2019 වර්ෂයේ සිට මහජන අදහස් විමසීම මගින් විනිවිදභාවයකින් යුතුව ආරම්භ කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ අයවැය කතාවේදී ද දත්ත ආරක්ෂණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් 2023 වසරේ දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීම සහතික කර තිබේ.

ඇමති නිමල් කියන බිලියන 22 ලාබය මොකක්ද ?
මෙරට ගුවන් ක්ෂේත්‍රයේ සේවා සැපයීමෙන් 2023 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා රුපියල් බිලියන 22 ක ලාභයක් උපයා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේය.
ඉන් රුපියල් බිලියන 10ක පමණ ප්‍රමාණයක් මේ වන විට මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළේ, "ස්ථාවර රටකට- සැවොම එක මගකට" මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි .
පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙන බවද සඳහන් කළ අමාත්‍යවරයා එය මේ වන විට ගුවන් ගමන් වාර 200 සම්පූර්ණ කර තිබෙන බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේද පැවසීය.
පසුගිය කාලය තුළ පැවැති විවිධ අර්බුද හමුවේ ගුවන් සේවා කටයුතු පවත්වාගෙන යාම විශාල අපහසුතාවයකට පත්ව තිබුණා. කොවිඩ් වසංගතය නිසා ගුවන් ගමන් වාර නවතා දමා තිබුණා . ඒ වගේම සංචාරකයින්ගේ පැමිණීම තිබුණේ ද ඉතා පහල මට්ටමකයි. ඩොලර් අර්බුදය හේතුවෙන් සමස්ත ගුවන් ක්ෂේත්‍රයම විශාල අර්බුදයකට මුහුණ දුන්නා. උදාහරණයක් ලෙස එම වකවානුවේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීම පවා ඉතා අසීරු වුණා. ඒ කාලයේ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගත්තේ එක් ගුවන් යානයක් මදුරාසියට යවා එමඟින් තවත් ගුවන් යානයකට අවශ්‍ය ඉන්ධන ගෙන ඒම හරහායි. නමුත් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ සහ මාගේ මැදිහත්වීම මත ගුවන්යානා සඳහා ඉන්ධන ආනයනය පෞද්ගලික අංශය ට ලබාදීම තුළින් හිඟයකින් තොරව ගුවන් යානා සඳහා ඉන්ධන ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වුණා . ඒ වගේම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල නවීන තාක්ෂණය යොදා ගෙන සංවර්ධනය කිරීම නිසා අන්තර් ජාතික ගුවන් සේවා අධිකාරිය විසින් එය අග්නිදිග ආසියාවේ ප්‍රධානම ගුවන් තොටුපළක් බවට නම් කරීමට කටයුතු කර තිබෙනවා. ඒ සමඟම ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබු විවිධ ගුවන් සමාගම්වලට අයත් ගුවන් යානාවල වාර ගණන වැඩි කිරීමට ඔවුන් කටයුතු කළා.
ඒ අනුව එමිරේට්ස් ගුවන්යානා සතියකට ගුවන් ගමන් වාර 28ක්, චයිනා ඊස්ටන් එයාර් සතියකට ගුවන් ගමන් වාර 05ක්, එතිහාර්ඩ් ගුවන් වාර 06ක්, කටාර් එයාර් ගුවන් වාර 35ක්, එයාර් අර්බියා ගුවන් වාර 11ක්, එයාර් ඉන්ඩියා 17ක්, ජසීරා එයාර් 04ක් ලෙස ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ වගේම තවත් ගුවන් සමාගම් කිහිපයක් සිය මෙහෙයුම්වාර ශ්‍රී ලංකාව හරහා ආරම්භ කිරීමට එකඟතාව පළකර තිබෙනවා.
ඒ වගේම පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු ඉතා සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යමින් තිබෙනවා. සතියකට තුන් වතාවක් පමණක් මදුරාසිය සහ පලාලි අතර පැවති ගුවන් මෙහෙයුම් වෙනවිට ගුවන් වාර 200 සම්පූර්ණ කර තිබෙනවා.
කොරෝනා වසංගතය සහ රටපුරා පැවැති ආර්ථික අර්බුදය හමුවේ මගීන් ගෙන් තොර කලාපයක්ව තිබුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මේ වන විට කාර්යබහුල ගුවන්තොටුපලක් බවට පත්වෙමින් තිබෙනවා. එය පසුගිය අගෝස්තු මාසයේ මගීන් 650,000 අධික පිරිසකට සේවා සපයා තිබෙනවා. ගුවන් සේවා සැපයීමෙන් මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 22ක ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. එයින් රුපියල් බිලියන දහයක් මහා භාණ්ඩාගාරයට අප ලබාදී තිබෙනවා.
මත්තල ගුවන්තොටුපල සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එහි මෙහෙයුම් පාඩුව අවම කර ගැනීම සඳහා ද දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. එම යෝජනාව මහා භාණ්ඩාගාරයට යොමු කිරීමෙන් පසුව ඒ සම්බන්ධව ලෝක බැංකුව සමග ද සාකච්ඡා කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාරදෘශ්‍ය භාවයක් ඇති කිරීමට ජාත්‍යන්තර උපදේශකවරයෙකුගේ සහාය ලබා ගැනීමට යෝජනා කෙරුණා. ඒ අනුව නව උපදේශකවරයෙක් මේ වන විට පත්කර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. එම කටයුත්ත සැලසුම් කළ ආකාරයට සිදු වුවහොත් ලබන වසරේ පෙබරවාරි මාසය වන විට අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගත හැකියි.
මේ වන විට අප අයිති කිසිදු ගුවන් යානයක් නැහැ. තිබෙන සියලු ගුවන් යානා ලබාගෙන තිබෙන්නේ කල් බදු පදනම යටතේයි. ගුවන් යානයක් මිලදී ගැනීම ක්ෂණිකව සිදුකළ නොහැකියි. එහිදී ඇණවුම භාරදී වසරක පමණ කාලයක් බලාගෙන සිටීමට සිදුවෙනවා. අපට A330 ගුවන් යානා නොමැතිවීම නිසා එංගලන්තයට, ප්‍රංශයට, ඕස්ට්‍රේලියාවට මෙහෙයුම් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. දැනට අප කල්බදු ක්‍රමයට ගෙන තිබෙන ගුවන් යානා සියල්ලම A320 යානායි. එම ගුවන් යානාවලින් දුර මෙහෙයුම් කටයුතු සිදු කරන්න බැහැ. එම නිසා මෙම ගැටලු ද විසඳා ගැනීමට සිදු වන්නේ ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම හරහායි.
පසුගියදා ගුවන් ගමන්වල සිදු වූ ප්‍රමාදයන් නිසා සිදු වූ පාඩුව ඩොලර් බිලියන 06 ක් පමණ වෙනවා. වෘත්තිය සමිති කියා සිටියේ ගුවන් යානා වල තාක්ෂණ දෝෂ නිසා එම ප්‍රමාදයන් සිදු වූ බවයි. නමුත් ගුවන් ඉංජිනේරුවරයකුගේ සහතිකයක් නැතුව ගුවන් නියමුවෙකුට ගුවන් යානයක් අහසට ඔසවන්න හැකියාවක් නැහැ. අනෙක් කාරණාව නම් අනෙක් ගුවන් සමාගම් වල ගුවන් නියමුවන් මසකට ගුවන් පැය සීයක ගුවන් ධාවන කාලයක් සිදු කළත් අපේ ගුවන් නියමුවන් ගෙන් බහුතරය පියාසර කර තිබෙන්නේ ගුවන් පැය 63ක් පමණයි. එම නිසා විවිධ චෝදනා සිදු නොකර ආයතන හැටියට සාර්ථක ඉදිරියට යාමට තම තමන්ගේ කැපවීම ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ සඳහා සේවකයන්ගේ ආකල්ප ද වෙනස් විය යුතුයි. ඒ වගේම ගුවන් නියමුවෙකුට රුපියල් මිලියන 4ක, (ලක්ෂ 40 ක) මාසික වේතනයක් ලබා දෙනවා. නමුත් ඔවුන් ලෝකයේ දියුණු ගුවන් සමාගම් ලබාදෙන ඉහළ වැටුප් පෙන්වමින් වැඩි වැටුපක් ඉල්ලා සිටිනවා. නමුත් මේ මොහොතේ එවැනි වැටුප් වැඩිවිමක් ලබාදීමට හැකියාවක් නැහැ.
ඒ වගේම එයාර් ඉන්දියා ආයතනය, ටාටා ආයතනය විසින් මේ වන විට මිලදීගෙන තිබෙනවා. ඔවුන් මේ වන විට boeing 777 ගුවන් යානා 250ක් සඳහා ඇනවුම් භාර දී තිබෙනවා. අපද එවැනි කලාපීය ගුවන් සමාගම් සමග ඒකාබද්ධව ඉදිරියේදී ගුවන් ගමන්වාර වැඩ කිරීම තුළින් ශ්‍රී ලංකන් සමාගමේ 6000වන සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරගනිමින් ශක්තිමත් ගුවන් සේවයක් ඇති කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඊශ්‍රායල් - හමාස් ගැටුම : දැනට ශ්‍රීලාංකිකයන් දෙදෙනෙක් අතුරුදහන් !
ඊශ‍්‍රායලය සහ පලස්තීනයේ හමාස් සංවිධානය අතර ඇති වී තිබෙන දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනකු අතුරුදන්ව ඇති අතර තවත් ශ‍්‍රී ලාංකිකයකු තුවාල ලබා තිබෙන බව ඊශ‍්‍රායලයේ ශ‍්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙසේ අතුරුදහන්ව සිටින පිරිමි පුද්ගලයා ශ‍්‍රී ලංකාවේ වෙන්නප්පුව ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු කෘෂි කර්මාන්තය ආශ‍්‍රිත රැකියාවක් සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත්, අනෙක් අතුරුදහන්ව සිටින කාන්තාව ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිව සිට සාත්තු සේවය සඳහා ඊශ‍්‍රායලයට ගොස් ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
මෙම අතුරුදහන්ව සිටින ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පිළිබඳ තොරතුරක් සොයා ගැනීම සඳහා මේ වන විට ඔවුන්ගේ තොරතුරු රතු කුරුස ලබාදී ඇති බවත් වාර්තා වෙයි.
තවද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ තැනැත්තා 38 හැවිරිදි සුජිත් ප‍්‍රියංකර නම් පුද්ගලයෙකු බවත් ඔහු කැකිරාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහු දකණු ඊශ‍්‍රායලයේ සංචාරක හෝටලයක සේවය කළ අයෙකු බවත් ඔහුගේ අතට සහ බඩට වෙඩි වැදී ඇති නමුත් තත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි.
තානාපති කාර්යාල ආරංචිමාර්ග අනුව මේ වන විට ශ‍්‍රී ලාංකිකයන් 8000 ක් පමණ ඊශ්‍රායලයේ සිටින බවත් ශ‍්‍රී ලාංකිකයන් බොහොමයක් ඊශ‍්‍රායාලයට පැමිණ තිබෙන්නේ සාත්තු සේවය සහ කෘෂි කර්මාන්තය පදනම් කරගත් රැකියා සඳහා ය.

පක්ෂ මාරු කළ මැතිඇමතිවරුන් තිගැස්මෙන් !
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත් සමඟ පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් දැන් තිගැස්මෙන් පසුවෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය නසීර් අහමඩ් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳ සිදුකළ කරුණු විමසීමකදීය.
පක්ෂ මාරු කළ සමහරුන් ඇමැති තනතුරු දරන බවද තමන්ගේ මන්ත්‍රීකම මෙන්ම ඇමැති තනතුරු අහිමි වේයැයි බියක් ඔවුන්ට තිබෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.
එහිදී එම තිගැස්ම මහින්ද අමරවීර අමාත්‍යවරයාට නොමතිදැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ තමා පක්ෂය මාරු නොකළ බැවින් එවැනි බියක් තමාට ඇති වන්නට හේතුවක් නැති බවය.

බෝට්ටුවෙන් ඉන්දියාවට යමුද?
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව හෙට (ඔක්. 10) සිට ක්‍රියාත්මක වන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසයි.
ඒ අනුව, ඊට අදාළ අත්හදා බැලීම් චාරිකාවක් ඊයේ (ඔක්. 8) දින සිදු කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, ‘චෙරියපානි’ නම් එම මගී යාත්‍රා සේවාව හෙට දින දහවල් 12:30ට නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරේ වරායට සේන්දු වීමට නියමිත බව ය.
ප්‍රථම මංගල චාරිකාවට මගීන් 50කට ආසන්න ගණනක් පැමිණෙන බව ත් යාත්‍රාව එදින ම පස්වරු 4:00ට නාගපට්නම් බලා යාත්‍රා කිරීමටත් නියමිත බව ත් එම අමාත්‍යංශය පැවසීය.
ඉන්දියානු නැව් සංස්ථාවට (S.C.I) අයත් දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 9.6 වූ අධිවේගී ”චෙරියපානි” යාත්‍රාවෙන් මගින් 150ක් රැගෙන යාමට හැකියාව තිබේ.
නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය 04ක් පමණ කාලයක් ගතවන අතර එක් ගමන් වාරයක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 26,750ක් ද, යන එන ගමන් වාර දෙකක් සඳහා ශ්‍රී ලංකා රුපියල් 53,500ක් ද අය කරනු ලබයි.
ඒ වෙනුවෙන් එක් මගියෙකුට කිලෝ 50 බරකින් යුතු භාණ්ඩ රැගෙන යා හැකි බව මගී යාත්‍රා සේවා හිමියන් ප්‍රකාශ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.
මෙම යාත්‍රා සේවාවේ මෙහෙයුම් සහ අලෙවි කටයුතු ශ්‍රී ලංකාවේ සමාගමක් වන ආශා නියෝජිත පෞද්ගලික සමාගම (Asha Agency Ltd ) විසින් සිදුකරනු ලබන අතර යාපනය නගරයේ ද ගමන් ප්‍රවේශ පත් අලෙවි නියෝජිතයෙකු පත් කර ඇති බව එම සමාගම සඳහන් කර ඇත.
මෙම යාත්‍රා සේවා මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රුපියල් මිලියන 450ක වියදමකින් නවීන පහසුකම්වලින් සමන්විත මගී පර්යන්තයක් ඉදිකර කරනු ලැබ ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
මෙම පර්යන්තය තුළ ආගමන විගමන රේගු ,සෞඛ්‍ය සේවා ඇතුළු සියලු යටිතල පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.

ලංකාවට මැලේසියානු සහාය....
කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලුමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir අතර හමුවක් අද (09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණී.
RCEP වෙත ශ්‍රී ලංකාව ඇතුළුවීමෙන් මෙරට පුළුල් අග්නිදිග ආසියානු කලාපය තුළ සිය ආර්ථික සම්බන්ධතාව ශක්තිමත් කරගතහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මැලේසියානු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වෙමින්, “ශ්‍රී ලංකාව අපේ කලාපයට අයත්” බව ප්‍රකාශ කළේය. මෙම ආර්ථික ඉදිරි දර්ශනයේ ප්‍රගතිය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දු-පැසිෆික් කලාපය සඳහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ( ASEAN) හි අනාගත දැක්ම සමඟ පෙළගස්වන බව මෙහිදී තහවුරු කළේය.
වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) වැනි කලාපීය කණ්ඩායම්වල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. වර්ධනය වන සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ ඖෂධ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයින්ට ආරාධනා කළේය. මැලේසියාව මෑත වසරවල ශ්‍රී ලංකාවේ ඉහළම 6 වැනි ආයෝජන හවුල්කරුවා විය.
පසුගිය වසරේ ආර්ථික අර්බුදයේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා මැලේසියානු රජයට ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාව සමඟ පවතින ඉහළ මට්ටමේ සම්බන්ධතා, ඓතිහාසික සම්බන්ධතා, මානව සම්බන්ධතා අතර භූගෝලීය සමීපත්වය සහ ගැඹුරු මිත්‍රත්වය පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය සැම්බ්‍රි ඇබ්ඩ් කඩීර් (Zambry Abd Kadir) මහතා, ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව ඉහළ නැංවීමට තම රජය අපේක්ෂා කරන බව පැවසීය.
මැලේසියානු දූත පිරිසට සහකාර මහලේකම්වරුන් වන Dato Syed Mohamed Bakri Syed Abdul Rahman සහ Ahmed Kamrizamil Reza, මහ කොමසාරිස් Badli Hisham Adam ඇතුළත් වූ අතර රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්විය.

සංවත්සරය අස්සේ : එජාපයේ තනතුරු වෙනසක් !
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවත් එහි දී හිටපු මුදල් අමාත්‍ය මහ ලේකම්වරයා ලෙස පත්කෙරෙනු ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන සංවත්සරයේ දී මෙම පක්ෂ මහ ලේකම් ධුරයේ වෙනසසිදුවීමට නියමිතය.
පක්ෂ මහ ලේකම් ධුරය සඳහා හිටපු මුදල් ඇමති රවී කරුණානායක පත්කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය සමයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡා වට කිහිපයක් සිදුව ඇති අතර එහිදී ඇතිකරගත් එකඟතා මත මෙම පත්කිරීම සිදුකිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග පවසයි.
මේ වන විටත් එළඹෙන වසර මැතිවරණ වසරක් වනු ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් කතා බහක් මතුව තිබෙන අතර ඒ හමුවේ පක්ෂය ශක්තිමත් කිරීමට නම් සංවිධාන කටයුතු වලදී මෙන්ම සියලු පාර්ශ්ව සමඟ ගනුදෙනු කළ ජ්‍යෙෂ්ඨයකු මහ ලේකම් ධුරය සඳහා පත්කර බව පක්ෂයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ගේ මතය වී තිබේ.
ඒ සඳහා සියලු සුදුසුකම් ඇති නායකයා මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන රවී කරුණානායක බව පක්ෂයේ බහුතර අදහස බවත් දැනගන්නට ඇත.
එසේම පක්ෂය දුර්වලව පැවති අවස්ථාවේ පසුගියදා කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම රටේම අවධානය දිනාගන්නා අයුරින් සාර්ථකව පැවැත්වීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සමත්වූ අතර, එහිදී බොහෝ පාක්ෂිකයන් ද ඉල්ලා සිටියේ එම ජවය පුරා සිටින අලි නැගිටවීමට යෙදවීම සඳහා පෙරට එන ලෙසය.
කෙසේ වුවත් යෝජිත පක්ෂ සම්මේලනයෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ ශක්තිමත් ගමනක් යාමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මැදිහත්ව මේ වන විට සකස්කර ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ නිමා වූ සංචාරය
රිය අනතුරකට ලක්ව මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී අභවප්‍රාප්ත වී තිබේ. පවුලේ ඥාතීන් සදහන් කළේ ඔහු අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවය.
අනුරාධපුර ප්‍රදේශයේ රූගත කිරීමක් අවසානයේ යලි පැමිණමින් සිටි අවස්ථාවේ තලාව මාර්ගයේ මොරගොඩ නම් ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් කැබ් රථයේ වන අලියකු ගැටීම නිසා සිදු වූ අනතුරින් බරපත තුවාල ලැබු ජැක්සන් ඇන්තනී වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මිය යන විට 65 වන වියෙහි පසුවුණි.
මෙරට ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔහු රංගන ශිල්පියෙක්, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභාපුර්ණ හැකියාව පෙන්නුම් කළ විශිෂ්ට මාධ්‍යවේදියෙකි. තව ද මොහු රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස ද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ.
සිනමාවට අසහාය සේවයක් කළ මෙතුමාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවකි.
සිනමාවේ ද වේදිකාවේ ද රූපවාහිනියේ ද සූර ලෙස කරක් ගැසූ ජැක්සන් ඇන්තනී නම් මහා සංචාරකයා දිවි ගමනේ සංචාරය නිමාකර ගොස් ඇත. ඔහු කල කී දෑ මෙරට සමාජයේ කාලාන්තරයක් පුරා පවතිනු ඇත.
ජ්‍යෙෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනීට මොක්සුව ලැබේවා...

සැරටම හෙන ගහනවා : කාලගුණයෙන් නිවේදනයක් !
ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊට අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රවේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තවද නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද යන පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එසේම නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම යන දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

ඉලංගෙයි තමිල් අරසු තනිවෙයි !
දෙමළ ජාතික සන්ධානය ලෙස ආර් සම්බන්ධන් නායකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු කරන පක්ෂ ඉන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
එසේ ඉවත් වීමට තීරණය කර ඇත්තේ සෙල්වම් අඩෙයික්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ, ආර් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් බුලට් හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගේ නායකත්වයෙන් යුත් ඊපීආර්එල්එෆ් යන පක්ෂයි.
එසේ ඉවත් වන පක්ෂ දෙමළ ජාතික සන්ධානයට අයත් නැති ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ කොංග්‍රසය හා සීවී විග්නේශ්වරන් ගේ පක්ෂය යන උතුරේ පක්ෂ සමග ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.
- Anidda

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මුලසුන ලංකාවට : රැස්වීම ඔක් 23 !
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ 2023 ඔක්තෝම්බර් 11 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිත, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ 23 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එහි සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ නියෝජිතයන් ඉදිරි සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඕස්ටේලියානු සහකාර විදේශ කටයුතු අමාත්‍ය ටිම් වොට්ස් (Tim Watts), බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මූමන් (Dr A. K. Abdul Momen), ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් (Dr. Subrahmanyam Jaishankar), ඉන්දුනිසායාවේ දේශපාලන නීති සහ දේශපාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශක ඇඩම් මුලවර්මන් ටුජිඕ (Adam Mulawarman Tugio), ඉරාන විදේශ කටයුතු අමාත්‍ය හුසේන් අමීර් - අබ්දොලාහියන් (Hossein Amir-Abdollahian), මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය දතෝ සෙරි ඩිරජා සම්බ්‍රි අබ්දුල් කදීර් (Dato Seri Diraja Zambry Abdul Kadir), මුරුසියේ විදේශ කටයුතු, කලාපීය සහයෝගීතා සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මනීෂ් ගොබින් (Maneesh Gobin), ඕමානයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් ෂෙයික් ඛලීෆා බින් අලි බින් ඉසා අල්-හර්ති (Sheikh Khalifa bin Ali bin lssa Al-Harthy), සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අමාත්‍ය අධ්‍යාපන සහ විදේශ කටයුතු පිළිබඳ දෙවන අමාත්‍ය ආචාර්ය මොහෙමඩ් මලිකි බින් ඔස්මන් (Dr Mohamed Maliki Bin Osman), දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය නලෙඩි පන්දෝර් (Dr (Mrs) Naledi Pandor), තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සිහසක් ෆොන්ග්කෙට්කියෙව් (Sihasak Phuangketkeow), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථික සහ වෙළෙඳ කටයුතු සහකාර අමාත්‍ය ෂයිඩ් මුබාරක් අල් හජරි (Sayeed Mubarak Al Hajeri), යේමනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අස්වන් අබ්දුල්ලාහ් අහමඩ් අල්-ඔවුද් (Awsan Abdullah Ahmed Al-aud) යන මහත්ම මහත්මීන් කොළඹ දී පැවැත්වෙන අමාත්‍යවරුන්ගේ කවුන්සිල රැස්වීම සඳහා සහභාගී වනු ඇත.
ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය මසහිරෝ කොමුරා (Masahiro Komura), කොරියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය චන්ග් යුන්ග් - වොන් (Chung Byung-won), එක්සත් රාජධානියේ ඉන්දු - පැසිෆික් අමාත්‍ය ඈන් මාරි ට්‍රැවලියන් Anne Marie Trevelyan යන අය මෙහි සංවාද හවුල්කරුවන් ලෙස එක් වෙති.
අමාත්‍යවරුන්ගේ කවුන්සිලය යනු ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ තීරණ ගැනීමේ ඉහළම ආයතනය යි.
මෙම සංගමයේ වත්මන් සභාපතිත්වය දරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත මීළඟ සභාපති ධුරය භාර දීමට නියමිත ය. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මෙම කවුන්සිලයේ මුලසුන හොබවනු ඇත.
කවුන්සිලයට පෙර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීම ඔක්තෝබර් 9-10 දෙදින පැවැත්වීමට නියමිත ය.
1997 දී පිහිටුවන ලද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය යනු ඉන්දියන් සාගරයේ වටද්දර ප්‍රදේශවල පිහිටි රාජ්‍යයන්ගෙන් සුසැදි අන්තර් රාජ්‍ය සංවිධානයකි. අප්‍රිකාව, බටහිර ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියාව යන කලාපවලට අයත් රටවල් එහි සාමාජිකත්වය දරති. අද වන විට එහි සාමාජිකත්වය සාමාජික රටවල් 23ක් සහ සංවාද හවුල්කරුවන් 11ක් දක්වා ව්‍යාප්ත වී ඇත. අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ 23 වැනි රැස්වීම අතරතුර ශ්‍රී ලංකාව 2023 සිට 2025 දක්වා කාලය සඳහා මෙම සංගමයේ සභාපතිත්වය භාරගනු ඇත.
වෙළඳාම හා ආයෝජන, සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව, ධීවර කටයුතු කළමනාකරණය, ආපදා අවදානම් කළමනාකරණය හරිත ආර්ථිකය ඇතුළුව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්ෂේත්‍ර හයට අදාළව සහයෝගයෙන් කටයුතු කළ හැකි ක්‍රම පිළිබඳව අමාත්‍යවරු මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ මහලේකම් ආචාර්ය සල්මාන් අල් ෆාරිසි සහ මුරුසි හි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් ද මෙම රැස්වීමට සහභාගී වීමට නියමිත ය.
මෙරටට පැමිණෙන අමාත්‍යවරු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත ය. තවද, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.
Page 148 of 464