ජනපති හමුවූ බිල් ගේට්ස්ගෙන් ප්‍රතිඥාවක් !

ජනපති හමුවූ බිල් ගේට්ස්ගෙන් ප්‍රතිඥාවක් !

දේශගුණික විපර්යාස මැඩලීමේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් (Bill Gates) පැවසීය.

ඩුබායි හි පැවැත්වෙන COP 28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (BMGF) සම සභාපති බිල් ගේට්ස් අතර හමුවක් අද (03) සිදු වූ අතර දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ ගෝලීය අභියෝගය සහ නිවර්තන කලාපය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමට අදාළ වැඩසටහන් සඳහා බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම දැනටමත් සම්බන්ධ වී සිටින බවත්, ඉදිරියේදී එම සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවත් බිල් ගේට්ස් පැවසීය.

ශ්‍රි ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන සහ කෘෂිකර්මාන්තය සඳහා දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද බිල් ගේට්ස් සඳහන් කළේය.

දේශගුණික විපර්යාස මැඩ පැවැත්වීම සඳහා සාමුහික කැපවීමක අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකාව විසින් COP28 සමුළුවට ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බිල් ගේට්ස් මහතා දැනුවත් කළ අතර ලෝකයටම අභියෝගයක් වී ඇති පාරිසරික ගැටළු විසඳා ගැනීම සඳහා වූ ගෝලීය ප්‍රයත්නයන් තුළ ඵලදායි කාර්යභාරයක් ඉටුකිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මැඩලීමේ දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම සමඟ පුළුල් සහ ඵලදායී හවුල්කාරිත්වයක් ඇති කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ නියෝජිත පිරිස සාකච්ඡා කළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න