V2025

පුවත්

රේගුවේ මහා හොරකමක් : දැනට 4 ක් ගෙදර !

රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයකු ඇතුළු ඉහළ නිලධාරීන් සිවුදෙනකුගේ වැඩ තහනම් කර තිබෙන බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු සහ රේගු අධිකාරිවරයකු වැඩ තහනම් කළ නිලධාරීන් අතර සිටින බවද වාර්තා වෙයි.

මෙම බහලුමේ තිබූ මෙරට ලියාපදිංචි නොකළ සුවඳ විලවුන් සහ ආලෝපන වටිනාකම රුපියල් කෝටියකට අධික වියහැකි බව ද ආරංචි මාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙම නීති විරෝධි සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුම අදාල විමර්ශන ගොනුවේ ලියකියවිලි වෙනස් කර ව්‍යාජ නව ලියකියවිලි යොදා මේ මස 12 වැනිදා ‘ග්‍රේ ලයින් 2’ අංගනයෙන් නිදහස් කර ඇති අතර එම බහලුම හෝ එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන අද (18) පස්වරුව දක්වා සොයාගැනීමට නොහැකිව ඇත.

එම බහලුමේ නීති විරෝධී සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු යැයි චෝදනාවට පසුගිය ජනවාරි මස රේගු භාරයට ගෙන ආනයනකරුට දඩ මුදල් පැනවුවද ඔහු දඩ මුදල් ගෙවා නොමැති බවද වාර්තා වෙයි.

එසේම චෝදනා ලද පිරිස රේගු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු දිනය වූ මෙම මස 12 වැනිදා ලේඛණ වෙනස් කර රේගුවෙන් පිටකර ඇති බව ද වාර්තා වෙයි.

රේගු මධ්‍යම මිල පිරික්සුම් අංශයේ තිබූ එම බහලුමට අදාල ලිපිගොනුවේ සත්‍ය ලේඛණ පරීක්‍ෂා කිරීමේදී ව්‍යාජ ලේඛණ හදුනාගැනීමට හැකිවූ බවත් රේගු දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව වැඩි දුර විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇති බවත් වාර්තා වෙයි.

මෙරට ජාතික සම්පත තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවේ

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමිනි.

සමරු ඵලකය නිරාවරණය කර විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩලය සමඟ සුහඳ කතාබහක ද නිරත විය.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන  විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සමරු තළිණයක්ද පිළිගැන්වීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් විද්‍යා පීඨ භූමියෙහි පැලයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේද පැවසීය,

මෙම සම සෞඛ්‍ය පීඨය විවෘත කිරීම වෙනුවෙන් රමේෂ් පතිරණ අමාත්‍යවරයා කැපවී කටයුතු කළා. මෙම ගොඩනැඟිල්ලෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකාව වැනි ප්‍රධාන විශ්වවිද්‍යාලවල මෙවැනි ගොඩනැ‍ඟිලිවලින් පැය 24ම ප්‍රයෝජන ලබා ගන්නවා. රජයේ මුදල් අධ්‍යාපනය සඳහා යෙදවූ විට අප එහි සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. මෙම පංති කඩාකප්පල් වුවහොත් එහි හානිය ඔබට වගේම රටටත් සිදු වෙනවා.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ එම සංස්ථාවලට බිලියන 700ක් වියදම් කළ බව මෙහිදී සඳහන් කෙරුණා. නමුත් එය නිවැරදි විය යුතුයි. එම බිලියන 700 ය තවත් දස ගුණයකින් වැඩි කළයුතුයි. මෙවන් විශාල මුදලක් වැය කිරීමේ ප්‍රතිඵලය වුයේ රජයන් තුනක් යටතේ මේ වෙනුවෙන් ණය ලබා ගැනීමයි. ඒ හේතුවෙන් අපේ රටේ ණය ප්‍රමාණය වැඩි වුණා.

රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ අපට පළමුව සිදු වූයේ ණය ලබා ගැනීම නවතා දැමීමටයි. එය අසීරු කාර්යයක්. නමුත් එය සිදු කළ යුතු වුණා. ඒ වෙනුවට අලුතින් මුදල් සොයා ගැනීමට අවශ්‍ය වුණා. එහිදී තමන්ගේ වියදම තමන් උපයාගත යුතුයි කියලා අප සෑම රාජ්‍ය ආයතනයකටම දැනුම් දුන්නා.

මෙම තත්ත්වය සෑම ක්ෂේත්‍රයකටම බලපානු ලැබුවා. එහිදී මට දැඩි දෝෂාරෝපණයට ලක්වීමට සිදු වණා. රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දෙනවද, බැණුම් අහනවද කියලා මට තීරණය කිරීමට සිදු වුණා. නමුත් මේ වගකීමෙන් බැහැර වීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. සියලු අමාත්‍යවරුන් අපට එම කටයුතුවලදී අවශ්‍ය සහාය ලබා දුන්නා.

එදා ඇතැම් අය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට විරුද්ධ වුණා. අද විදුලිබිල සහ ඉන්ධන මිල ලෝක මිල ගණන් අනුව පවතිනවා. අපි ඒ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවන්නේ නැහැ. ඒ වගේම අනෙක් සංස්ථාවලටත් මුදල් ලබාදීම නතර කළා. අපට දැනට මුදල් ගෙවීමට තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පමණයි. මෙම වසර අවසන් වන විට එම ගෙවීම් කටයුතුවලිනුත් නිදහස් වීමට අපේක්ෂා කරනවා. ඒ අනුව රටට ඉතිරිවන මුදල් ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා යෙදවීමේ හැකියාව ලැබෙනවා.

මෙම කටයුතු ක්‍රියාත්මක කරන විට විශාල විවේචනයක් එල්ල වුණා. මම එහිදී ඇසුවේ එකම ප්‍රශ්නයයි. අපේ ජාතික සම්පත සංස්ථාද, තරුණ පරපුර ද කියා මම විමසුවා. අප අලාභ ලබන සංස්ථා ආරක්ෂා කරනවා ද, අධ්‍යාපනයට , සෞඛ්‍යට මුදල් ලබා දෙනවාද කියා තීරණය කළ යුතුයි. මෙම අලුත් වැඩසටහන් සමඟ ඉදිරි වසර දෙක, තුන තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් රට ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,

අතිශය කාර්යබහුල අවස්ථාවක අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට එක්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ ස්තූතිය පුදකර සිටිනවා. ඒ වගේම අතිශය තීරණාත්මක අවධියක මෙවැනි ව්‍යාපෘතියක් අවසන් කිරීම හැකිවීම පිළිබඳව සතුටු වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ගාල්ල දිස්ත්‍රික්කයට ඉතා සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් හිමි වුණා. එතුමා 2024 අයවැය මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. එය රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත් සාධනීය පියවරක් බව කිවයුතුයි. ඒ වගේම අද විවෘත කෙරුණු මෙම නව විද්‍යාපීඨය දකුණු පළාතට ආඩම්බරයක් බව කිවයුතුයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග,

මේ අවස්ථාවට සහභාගි වීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිය පුදකර සිටිනවා. දින 75ක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයන් එළඹෙන සඳුදා සිට යළි රාජකාරියට වාර්තා කරනවා. ඔවුන්ගේ වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා මැදිහත් වුණා. ඒ පිළිබඳව ජනාධිපතිතුමාට ස්තූතිය පුද කළ යුතුයි.

ඔවුන්ගේ හිග වැටුප් ගෙවීමට රුපියල් බිලියන 4.2ක් මහා භාණ්ඩාගාරය විසින් වෙන් කර තිබෙනවා. කිසිම වැඩ වර්ජනයක් නොමැති තත්ත්වයකට අපේ රට ගෙන යා හැකිනම් රටේ සංවර්ධනයයි එය බව මා විශ්වාස කරනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හා අන්‍යාගමික පූජකවරුන් ද, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල යන මහත්වරුන් සහ හිටපු උප කුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගය මත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙන් මෙම සංශෝධනය ගෙනවිත් තිබේ.

 කෙසේ නමුත්, ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ (ජූලි 18) උපදෙස් ලබා දී තිබිණි.

මෙරට  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය  අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක් !

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගේ ප්‍රධානත්වයෙන් අද (18) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව සහභාගීත්ව මූල්‍ය ආයතන 15ක් හරහා අර්බුදය හමුවේ ද පැවති හා ඉදිරියට යන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබා දීම සිදු කෙරේ.

ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය විසින් මූල්‍ය සහාය අවශ්‍ය සහ ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් උසස් කිරීමට ධාරිතාවය ඇති සුදුසුකම් ලත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත නිර්දේශ ලිපි නිකුත් කරනු ඇත.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ  වසර 10ක කාලසීමාවකට අදාළව 7%ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර තිබේ.

අක‍්‍රිය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර ,සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා කාරක ප්‍රාග්ධන ලෙස  වසර 5ක කාල සීමාවකට යටත්ව  8%ක පොලි අනුපාතයක් යටතේ රුපියල් මිලියන 5ක ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 05කි.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී  බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සීමාසහිත සණස සංවර්ධන බැංකුව, යුනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, කාගීල්ස් බැංකුව සහභාගිත්ව මූල්‍ය ආයතන වෙයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ  ඕනෑම රටක් දියුණුව කරා ගෙන යාමට නම් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ශක්තිමත් කළ යුතු බවයි.

පසුගිය ආර්ථික බිඳ වැටීම හමුවේ වැඩිම පීඩාවකට ලක් වූයේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන් නැවත නඟා සිටුවීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර කටයුතු කරන බවද සඳහන් කළේය.  ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුව  ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩි වශයෙන් රටට විදේශ ආයෝජන ලබා ගනිමින් මහා පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  රටේ සාමාන්‍ය ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ද පැහැදිළි කළේය.

මෙම නව ණය යෝජනා ක්‍රමය ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ දේශගුණික විපර්යාස ඇතුළු ව්‍යාපාර මෙහෙයුම් පරිසරයේ සිදුවන වෙනස්වීම් හේතුවෙන් හටගන්නා අවදානම් තත්ත්වයන්හි කටයුතු කිරීම සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ අනුවර්තන හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇත.

කෘෂිකර්ම, සංචාරක, නිෂ්පාදන, තාක්ෂණික සහ අපනයන ඉලක්ක කළ අංශ මෙන්ම කාරක ප්‍රාග්ධන මූල්‍ය අවශ්‍යතා සහිත කාන්තාවන් විසින් මෙහෙයවන  ඕනෑම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (වෙළඳාම, බදු දීම සහ ව්‍යාපාර කුලියට දීම හැර) මෙම ණය යොජනා ක්‍රමයේදී සුවිශේෂි අවධානයක් යොමු වේ.

විදේශ විනිමය සුරක්ෂිත කිරීම සහ ආර්ථිකය, ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමටද මෙය උපකාරී වේ.
සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්  පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විජේදාස 22 කල්දායි !

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් නොකරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (18) උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදී  අමාත්‍යවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට ජනතාව අතරේ බියක් ඇති වී තිබෙන හෙයින් එම බිය දුරු කිරීම සඳහා තමා මෙම පියවරගත්  බවයි.

ඡන්දය කල් දැමීම සඳහා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන්ද පසුගියදා චෝදනා එල්ල කෙරිණ.

කෙසේ වුවත් විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා පළවිය.

නිලන්ත ජයවර්ධන අනිවාර්යය නිවාඩු යවයි ‍ !

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා අධිකරණයෙන් දඩ නියම කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන) නිලන්ත ජයවර්ධන  සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විනය පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වෙයි.

මෙම තීරණය අද (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ගෙන තිබේ.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව අනුව නිලන්ත ජයවර්ධන ට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  පසුගිය 1 වැනිදා විනය පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.

නිලන්ත ජයවර්ධන   දැනට රාජකාරී කරන හෙයින් විනය පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇතිවීමෙන් විනය පරීක්ෂණයට අගතියක් විය හැකි හෙයින් මෙම පියවර ගත් බව ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

ජපාන නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති යළි ඇරඹෙයි !

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ  (Dr. IZUMI Hiroto) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ  කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබිඹු වන බව ද ඔහු සඳහන් කළේය.

මෙරටට පැමිණි නිවාස, ඉදිකිරීම් හා නාගරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයින්ගෙන් සමන්විත ජපාන ඉහළ පෙළේ දූත පිරිස අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමු වූ අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ ජපානය විසින් නිල සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ ශ්‍රී ලංකාව තුළ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ එක්ව ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට එළැඹ අවසන් වීම පිළිබඳ මෙම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර සිටියේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී තුළදී ණය හිමියන් සමඟ සාකච්ඡා පැවැත්වීම වෙනුවෙන් ජපානය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා අධ්‍යාපනය, කෘෂි නවීකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී මෙන්ම දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගනිමින් සමීප සබඳතා තහවුරු කරගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව කැපවී සිටින බව ද පැවසීය. ඒ සඳහා දැනට අතර මඟ නැවතී ඇති ජපාන සහයෝගීතාව මත ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නැවත ආරම්භ කිරීම වැදගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම කොළඹ නැව් තටාකාංගනය ශ්‍රී ලංකාවට වටිනා ආයතනයක් බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ රූපවාහිනී ඩිජිටල් විකාශන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති නැවත කඩිනමින් ආරම්භ කළ හැකි බව මෙහිදී ජපාන දූත පිරිස විසින් සඳහන් කළහ.

පසුගිය රජය විසින් අතරමඟ නවතා දමන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ද යළි ආරම්භ කිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ ජපාන දූත පිරිස කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට මනා පිටිහවලක් වන මෙම ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීම සඳහා හැකියාව පවතින ස්ථාන නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සහ අනෙකුත් නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයේ (PPP) වැදගත්කම දෙපාර්ශ්වයම මෙහිදී අවධාරණය කළහ. ශ්‍රී ලංකා රජය සිය ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර එකඟතාවන්ට අනුකූලව පරිසර හිතකාමී ව්‍යාපෘති සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

ජපානයේ විදුලි සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් එරට පෞද්ගලික අංශයේ පවතින රැකියා අවස්ථා සඳහා තාක්ෂණ ක්ෂේත්‍රෙය් ශ්‍රී ලාංකික උපාධිධාරීන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසුවන බවද ජපාන දූත පිරිස ජනාධිපතිවරයා දැනුවත් කළේය. එමෙන්ම කාබන්ඩයොක්සයිඩ් වායුව විමෝචනය අවම කිරීම සඳහා උසස් මට්ටමේ ජපන් තාක්ෂණය භාවිතයෙන් සිදු කරනු ලබන පාරිසරික තිරසරභාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති ඇතුළත් ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) පිළිබඳව ද මෙහිදී ජපාන දූත පිරිස විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවීය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (H.E. MIZUKOSHI Hideaki), ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ බැංකුවේ (JBIC) සභාපති මයෙදා තදෂි (MAEDA Tadashi), ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය. ආර්. එච්. එස්. සමරතුංග, කොළඹ නැව් තටාකාංගනයේ කළමනාකාර අධ්‍යක්ෂ තිමිර එස්. ගොඩකුඹුර යන මහත්වරැ ඇතුළු ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර කිහිපයක නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති වෙනුවෙන් විවාදයට සියඹලාපිටිය  සූදානම් !

ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඍණාත්මක හා පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සිදු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන්ට, සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ජනාධිපතිවරණයක් කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ පිළිබඳ ඇති බලවත්ම තීරණය බව අප දන්නවා. එවැනි වකවානුවක මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කරන වේදිකාවක් නිර්මාණය විය යුතුයි. රජයක වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව, සුබසාධනය සහ සංවර්ධනයයි. ඒ නිසා මෙම තීරණාත්මක මෙහොතේ යම් සංවාදයක් ගොඩ නැඟිය යුතුව තිබෙනවා.

ඒ වගේම ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩ ගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ සිදුකරන ලද සාධනීය කාරණා තුළින් රට නිවැරදි මාවතට ගෙන ඒමට හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් ඍණාත්මක කරුණු ඉදිරිපත් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන් සිදු කරනු ලබන පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරනවා.

පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා ගත් සාධනීය පියවර පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඕනෑම අවස්ථාවක සූදානම් බව ද කිවයුතුයි.

එසේම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදු කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 7%ක සහන පොලියක් යටතේ මෙම ණය ලබාදීම සිදුවන අතර ඒ සඳහා රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කිවයුතුයි.

මේ යටතේ ඔවුන්ට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකියි. ඒ වගේම කුඩා තේවතු සංවර්ධනය සඳහා රුපියල් බිලියන 06ක් ලබාදෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 02ක් ලබාදීම සිදු කෙරෙනවා.

එමෙන්ම ණය සුරුකුම් ආයතනයක අවශ්‍යතාවක් පවතිනවා. මෙම ණය මුදල හරහා ණය සුරකුම් ආයතනයක් ඉදිරි ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. තමන්ට ඇපයක් තබාගැනීමට නොහැකි වූ අවස්ථාවක මෙම ආයතනයේ උදව් උපකාර ඇතිව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ වගේම වාහන ආනයනයේ දී බලපා තිබෙන සියලූම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. මෙම ජූලි මස මුල් සතියේ දී ඔවුන් රැස්වුණා. ඒ අනුව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් තිබෙනවා.

තව ද රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි සම්මුඛ පරීක්ෂණ ජූලි මස 26 සහ 27 දිනවලදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීමේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කෙරෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙම බඳවා ගැනීම විනිවිද භාවයෙන් යුක්තව සිදු කෙරෙන බව කිවයුතුයි.

යාපනය ශික්ෂණ රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය විවෘත කෙරේ

යාපනය ශික්ෂණ රෝහල තුළ ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකයක් (Bone marrow transplant unit) ස්ථාපිත කිරීමත්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් කඩිනම්ව සිදු කිරීමට අවශ්‍යව තිබූ නවීන තාක්ෂණයෙන් යුත් 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රයක් ද රෝහලට ලබා දීම ඊයේ (17) පෙරවරුවේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  විසින් සිදුවිය.

මෙම අති නවීන 𝙲 𝙰𝚛𝚖 𝚇-𝚛𝚊𝚢 යන්ත්‍රය සදහා සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් මිලියන 50 ක මුල්‍ය පිරිවැයක් දරමින් යාපනය ශික්ෂණ රෝහලට ලබා දී ඇති අතර, මෙම 𝚇-𝚁𝚊𝚢 යන්ත්‍රය ශල්‍යකර්මවලදී අස්ථි ස්කෑන් කර පරීක්ෂාවන් සිදු කිරීම සදහා යොදා ගැනේ.

මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙලට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිළධාරීන් යාපනය ශික්ෂණ රෝහල තුළ මෙම නිරීක්ෂණය සිදුකර තිබෙයි.

මෙහිදී අමාත්‍යවරයා සහ නිළධාරීන් විසින් රෝහලේ බාහිර රෝගී අංශය, සායන, වාට්ටු, අක්ෂි ඒකකය, මුළුතැන්ගෙය, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, සහ විශේෂ ඒකකද නිරික්ෂණයට ලක් කරන ලද අතර නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්හට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් ගැටලු පිළිබදව විමසමින් ඒවාට විසදුම් ලබාදීමට ද කටයුතු කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  කියා සිටියේ ……

උතුරු පලාතේ යාපනය දිස්ත්‍රික්කය ප්‍රමුඛ යාබද දිස්ත්‍රික්ක වල ජනතාවට සුව සෙත සලසන ප්‍රධානතම රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ පවතින අඩුපාඩු සොයා බලා ඒවාට කඩිනම් විසදුම් ලබා දෙමින් මෙම පලාතේ ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම විශේෂ නිරීක්ෂණය සිදුකල බවය.

රෝහලේ සිදුකරන ලද නිරීක්ෂනයෙන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමග සිදුකල සාකච්ඡාවේදී පලවූ අදහස් වලින් රෝහලේ සිදුකල යුතු කඩිනම් සංවර්ධනය පිළිබද තමන් අවබෝධයක් ලැබූ බවත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට තමන් මේ අවස්ථාවේදීම අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බවද කීවේය.

එළැඹෙන වර්ෂයේදී අයවැය ප්‍රතිපාදන මත යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ඒකක හා ගොඩනැගිලි ඉදි කිරීම කටයුතු කරන බවත් ඒ සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ලබා දෙන බවද පැවසීය.

රෝගී සත්කාර සිදුකිරීම සදහා රෝහලට අවශ්‍ය මානව සම්පතද පුහුණුවීම් ලබා පිටවන කණ්ඩායම් වලින් හැකි පමනින් ලබා දීමට විෂයභාර නිළධාරීන් හට තමන් උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමුර්ති යන මහත්වරුන්ද විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්යමණ්ඩලය, මෙන්ම සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක්ද, එක්ව සිටියහ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා – ජනපති

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ එම සිසුන් වෙත කරන ලද ආරාධනය අනුව මෙලෙස විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ජනාධිපතිවරයා එම සිසුන් වෙත ලබා දී තිබු පොරොන්දුවක් ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් ද ඉතා කෙටි කලක් තුළ විද්‍යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සිසු දරුවන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.

එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 96 දෙනෙකු පමණ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා එක්ව සිටී අතර ඔවුන්ට සහතික පත්‍ ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ හා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීරගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී සිසු දරුවන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩනඟන අනාගත නායකයන් බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බවයි.

එහිදී ලබා ගන්නා අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට බොහෝ පාසල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මකවීම සතුටට කරුණක් බවද පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පෞරාණික පසුබිම මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කර දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් ව්‍යවස්ථා සභා ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය පිළිබඳවද දැනුවත් කළේය.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර  අදහස් දක්වමින් පාර්ලිමේන්තු කාර්යභාරය පිළිබඳ පැහැදිළි කළාය.

මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.යූ.බී. හේරත්  සහ ගුරුවරුන් හා දෙමව්පියන් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කංජිපානිවයි සංජීවවයි රටින් පැන්නුවේ නීතීඥවරුන්! - පොලිස් ඇමති කියයි

පොලීසියට අවශ්‍යව සිටින කන්ජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැන යෑම සඳහා උපකාර කළේ ඔවුන්ගේ නීතිඥයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (ජූලි 18) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

''ඒ නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරගෙන ගිහින් පැන්නුවේ. දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්තහම කතාව හොඳට කියනවා. බාගයක් දුර ගෙනිහිල්ලා තව කාටද භාර දුන්නා. ඒගොල්ලන් ගෙනිහිල්ලා බෝට්ටුවට දැම්මා,'' යනුවෙන් ඔහු පැවසුවේය.

2023 දෙසැම්බර් 17 දින යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දා පටන් රුපියල් බිලියන 19ක් වටිනා මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන ඇති බවත්, ගිනිඅවි 955ක් සොයාගෙන ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේය.

යුක්තියේ මෙහෙයුම නිසා අපරාධ අඩුවී ඇති අයුරු ඔහු විස්තර කරන ලදී.

(BBC සිංහල සේවය)

ඥානසාර හිමිට ඇප

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (ජූලි 18) නියෝග කර තිබේ.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කර තිබිණි

පසුගිය මාර්තු මස 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඥානසාර හිමියන්ට මෙම සිරදඬුවම නියම කෙරිණි

වාසුදේවගේ පක්ෂයේ නායකත්වය නිරෝෂාන් ට !

මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලන‍ඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී  වාසුදේව නානායක්කාර නායකත්වය දැරූ 'ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ' නව නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න තෝරගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විසින් මෙම  නව නායකත්වය  නිරෝෂන් ප්‍රේමරත්න වෙත පිරිනමා ඇත.

එහිදී ඔහු පවසා සිටියේ තරුණයෙකුට සිය පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගනුලැබූ බවයි .

එසේම තමන්ට පක්ෂයක් ඇති නමුත් ජනතාව නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය .

නිරෝෂාන් ප්‍රේමරත්න ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නායකයා ලෙස පත්වුණේ බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ ඊයේ (16) පැවති  පක්ෂ සම්මේලනයේදීය.
 
මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය ලද නිරෝෂාන් ප්‍රේමරත්න මිට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ ගේ 'ජාතික නිදහස් පෙරමුණ' නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

මේ වෙලාවේ රනිල් තමයි : රනිල් කැම්පේන් අරඹයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම හෙට (18) සිට ආරම්භවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රචාරක මෙහෙයුමේ  ආරම්භක වැඩසටහන 'මේ වෙලාවේ රනිල් තමයි' යන තේමාවෙන් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත ය.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුලත දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරණය කඩිනම් කරන්න : එජාපයෙන් මැකොස ට ඉල්ලීමක් !

යෝජිත ජනාධිපතිවරණය පැවැත්විය හැකි කෙටිම කාල සීමාව තුළ පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසම වෙත දැනුම්දී ඇත.

ඒ මැතිවරණ කොමිසම සහ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් පිරිසක් සමඟ අද (17) පැවති සාකච්ඡාවකදී ය.

අදාළ සාකච්ඡාව අවසානයේ මාධ්‍ය අමතමින් එජාප නියෝජිත පිරිස සඳහන් කර සිටියේ , ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි කෙටිම කාලසීමාව තුළ එය පැවැත්වීමට කටයුතු කරන ලෙස තම පක්ෂය මැතිවරණ කොමිසම වෙතින් ඉල්ලා සිටි බවයි.

ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බව එහිදී සඳහන් කළ බවද ඔවුන් පැවසීය .

මෙහිදී මාධ්‍යවේදියකු යැයි කියාගත් අයෙකු විසින් ජනාධිපතිවරණය පැවැත්වීම පමා කිරීමට එජාපය සූදානම් වන බව පවසමින් සංදර්ශනයක් දියත් කිරීමට ප්‍රයත්න දැරූවද, එජාප නියෝජිත පිරිස පවසා සිටියේ මාධ්‍ය වෙස්ගත් දේශපාලන ව්‍යාපෘති වලට ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් නොමැති බවයි.

විදුලි බිල වගේම ජල බිලත් අඩුවෙන ලකුණු !

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්  පැවසීය.

එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්  මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන්  මෙසේද පැවසීය,

විදුලි බිල අඩු කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව අමාත්‍ය කාංචන විජේසේකර මහතාට අපගේ ප්‍රශංසාව හිමි වෙනවා. ජල සම්පාදනය ද විදුලි ගාස්තුව මත රඳා පවතින ක්ෂේත්‍රයක්. එම නිසා මෙම විදුලි ගාස්තු සංශෝධනය ජල ගාස්තුව අඩු කිරීමට ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනවා.

ජල සම්පාදනය විවිධ සාධක මත රඳා පවතිනවා. විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට අප කලින් පොරොන්දු වී තිබුණා. මේ වන විට අමාත්‍යාංශය විදුලිය මත පමණක් නොව පොලී අනුපාත 26% සිට 11% දක්වා අඩු වී තිබෙනවා. ඒ තත්ත්වය හමුවේ ඩොලරයේ අගය මත පදනම්ව ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සම්පාදන මණ්ඩලයට අවශ්‍ය වන රසායන ද්‍රව්‍යයන් ආනයනය කිරීමේදී ඒවායෙහි මිල තීරණය වන්නේ ඩොලරය මත බව ද පැවසිය යුතුයි.

මෙම සතිය ඇතුළත ජල ගාස්තුව කොපමණ ප්‍රමාණයකින් අඩු කළ හැකිද යන්න තීරණය කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. 2023 ජනවාරි මාසයේ මා මෙම අමාත්‍යාංශය භාර ගන්නා විට එය පැවතියේ නව ජල සම්බන්ධතා 1000ක්වත් ලබාදීමට නොහැකි තත්ත්වයකයි. ඒ වගේම මට එදා පැවරුණේ ඩොලර් මිලියන 800ක ණය බරක් සහ දළ වශයෙන් රුපියල් බිලියන 2.8ක මාසික පාඩුවක් ලබන ජල සම්පාදන මණ්ඩලයක් සහිත අමාත්‍යාංශයක්. එසේම මාසිකව රුපියල් බිලියන 4.5ක පුනරාවර්තන වියදමක් දරන ජල සම්පාදන මණ්ඩලය රටට සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබුණා.

අද වන විට අප ලබාදුන් පොරොන්දු ඉටු කර තිබෙනවා. මේ වන විට නව ජල සම්බන්ධතා ප්‍රමාණය 113,000ක් දක්වා වර්ධනය කර තිබෙනවා. තවත් සම්බන්ධතා 30,000 ක් පමණ ඉදිරි සතිවලදී ලබාදීමට අප අපේක්ෂා කරනවා.

ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය මාසිකව ලැබූ රුපියල් බිලියන 2.8ක අලාභය මේ වන විට රුපියල් බිලියන 6.2ක මාසික ලාභයක් බවට පත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. තවද රුපියල් බිලියන 4.5 ක පුනරාවර්තන වියදමක් සහිතව, ඉතිරි මුදල් ප්‍රමාණය ණය සේවාකරණය සඳහා යොදා ගනිමින් ජල සම්පාදන අංශය තිරසර මට්ටමට ගෙනවිත් තිබෙන බවද සඳහන් කළ යුතුයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හරහා අපි ප්‍රතිපත්ති මත පදනම් වූ ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ලබා ගත්තා. ඒ හා සමානව, ජල සම්පාදන ක්ෂේත්‍රය සඳහා, අප උප වැඩසටහනක් සිදු කිරීමට සූදානමින් සිටිනවා. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවල අවසන් නිකුතු දෙක වන ජල ගාස්තු සූත්‍රය සහ ආයෝජන රාමු නිර්ණායක සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ විධායක මණ්ඩලය විසින් එය අනුමත කළ පසු තවත් ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව, ජල ගාස්තු ගෙවීමේදී අවදානමට ලක්විය හැකි සහ දැඩි දරිද්‍රතාව‍යෙන් පෙළෙන ප්‍රජාවන් ආරක්ෂා කිරීමට ද අප කටයුතු කරනවා. පුණ්‍ය ආයතන ලෙස වර්ග කර ඇති රෝහල්, පාසල් සහ ආගමික ආයතනවලට සහනාධාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

වෙන්ඩ ජනපතිලා සහ හිටපු ජනපතිවරුන් රකින්න : කැබිනට් යෝජනාවක් !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ බට්ලර් හි පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ල වූ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින් මෙරට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ පුද්ගලික ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, ජනාධිපතිවරණයේ නාමයෝජනා පිළිගැනීමෙන් පසුව අදාළ අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කිරීමට යෝජනා කර තිබේ.

කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පතිවරයා, ජාතික බුද්ධි ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) නම් කිරීමට යෝජනා කර තිබේ.

තවද, ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු මට්ටමේ පොලිස් නිලධාරියෙකු නම් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමට ද යෝජනා කර ඇත.

මෙම ආරක්ෂක විධිවිධාන බාධාවකින් තොරව සම්බන්ධීකරණය කිරීම සඳහා ඉහත සඳහන් කළ කමිටුව සහ නම් කරන ලද පොලිස් නිලධාරියා මැතිවරණ කොමිෂන් සභාව සමඟ සමීපව කටයුතු කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් ය.

ජනාධිපතිවරණයට මුදල් සූදානම් : ජන්ද දිනය කියන දිනය මෙන්න !

ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත්  මුදල් ප්‍රතිපාදන තිබෙන බව   මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින්  මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති ආර් එම්.ඒ  එල් රත්නායක ට  අද (17) දැනුම්දී තිබේ.

මුදල්  අමාත්‍යංශයේ ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.

මෙහිදී අවශ්‍යතාව ඇතිවන ආකාරයට   මුදල් වරින්වර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද   මැතිවරණ කොමිෂන් සභාවේ සාමාන්‍යයෙන්  සහ මුදල් අමාත්‍යාංශයේ  නිලධාරීන් අතර   දීර්ඝව  සාකච්ඡා වූ බවත් වාර්තා වෙයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අයවැය ලේඛනයෙන් වෙන්කරනු ලැබ ඇති මුදල  රුපියල් කෝටි 1000 කි.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ  නාම යෝජනා කැඳවන දිනය මේ මස 30 හෝ 31 නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක  පැවසීය.

එම දිනය සම්බන්ධයෙන් කොමිසම සාකච්ඡා කරමින් සිටින බවද  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Page 65 of 475