Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේගේ ධූර කාලය ඉරිදායින් අවසන්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ධූර කාලය ඉරිදා දින (07) අවසන් වීමට නියමිතය.

දියවඩන නිලමේවරයාගේ කාලය වසර දහයක් වන අතර ප්‍රදීප් නිලංග දෑල  ප්‍රථමයෙන් වර්ෂ 2005 දී එම තනතුර සඳහා පත් වූ අතර, යළිත් වරක් 2015 දී ද දෙවන වරටත් දියවඩන නිළමේ ධූරයට පත්විය.

විහාර දේවාලගම් පනතට අනුව අටවන දින සිට(08) වැඩ බලන දියවඩන නිළමේ වරයෙකු පත් කරගත යුතු අතර එදින සිට මාස තුනක් ඇතුළත දියවඩන නිලමේවරයෙකු තෝරාපත් කරගත යුතු වේ.

දියවඩන නිලමේවරයා තෝරා පත් කරගනු ලබන නිලවරණයේදී ඡන්දය ඡන්ද බලය හිමිවනුයේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ඇතුළු රජ මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේලා එකසිය පනස් නමකට(150), ප්‍රාදේශීය ලේකම්වරු එකසිය හැත්තෑ දෙනෙකුට(170), බස්නායක නිලමේවරුන් තිස් එක් දෙනෙකුට(31) හා ගිහි භාරකරුවන් දහ දෙනෙකුට (10) ද වශයෙන් ඡන්දය අයිතිය හිමි වේ.

ඡන්දයදීමට හිමිකම පවතින ප්‍රාදේශීය ලේකම්වරු අතරින් ප්‍රාදේශීය ලේකම්වරයෙක් කාන්තාවක් නම් ඇයට ඡන්ද බලය හිමි වන්නේ නැත. මෙවර එසේ ඡන්ද බලය හිමි නොවන ප්‍රාදේශීය ලේකම්වරියන්ගේ සංඛ්‍යාව සියයකට(100) ආසන්න යැයි කියවේ.

වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල වර්ෂ 2005 දී මෙම තනතුර සඳහා තේරී පත් වූයේ ජන්ද 199ක් ලබා ගනිමිනි. එවර ඔහු සමග තරග කළ මොහාන් පාන බොක්කේ  ඡන්ද 44 ක්ද, නෙරංජන් විජේරත්න  ඡන්ද 42ක් ද, සුදන්ත සේනානායක  ඡන්ද 04ක් ද වශයෙන් ලබාගෙන තිබුණි.

වර්ෂ 2015 දී පැවති නිලවරණයෙන් නිලංග දෑල  ඡන්ද 207ක් ද , ගයාන් හීන්කෙන්ද  ඡන්ද 53 ක් ද , නෙරන්ජන් විජේරත්න ඡන්ද 16ක් ද වශයෙන් ලබාගත් අතර එහිදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ සුදන්ත සේනානායකගේ නම යෝජනා කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයක් විය.