අල්ලස් චෝදනා එල්ල වී සිටින චරිත් අබේසිංහ එම කාලවකවානුවේ (2023) මේ සිදුවීම සිදුවූ බව කියන 2023 කාලසීමාවේ දී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ ගේ චේම්බරයේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (26) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වරුණ රාජපක්ෂ...
චරිත් සහ රඛිත ලබාගත්තේ අල්ලසක් ද ගාස්තුවක් ද...?
‘‘හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පසුගිය 25වන දා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම එදා පාර්ලිමේන්තුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුණා. ජනාධිපති අනුර දිසානායකත් හදිසියේ ම එදා පාර්ලිමේන්තුවට ඇවිත් තිබුණා. ඔහුත් චරිත් අබේසිංහ මහතා ගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කතාවක් පාර්ලිමේන්තුවේ දී සිදුකරනවා. මේ සියල්ල එක වේලාවක දී සිදුවෙන්නේ හරිම සැලසුම් සහගත විදිහට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක යන අය පොලීසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහාත් අල්ලස් වශයෙන් මුදලක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් තමයි නීතීඥ රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට චෝදනා එල්ලවී තිබෙන්නේ. කෙසේ නමුත් එය අල්ලසක් ද ගාස්තුවක් ද යන්න තිරණය වන්නේ අධිකරණ ක්‍රියාවලියෙන් පසුවයි.
චරිත් අබේසිංහ වැරදිකරුවෙක් ද නිවැරදිකරුවෙක් ද යන්න පරීක්ෂණවලින් පසුව බලමු
කෙසේ වෙතත්, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකිරීමත්, ඔහු ගැන ඉදිරි විනය පියවර ගන්නා බවත් තිරණය කර තිබෙනවා. ඒ වගේම තමයි චරිත් අබේසිංහ අධිකරණයට ඉදිරිපත් කළාට ඔහු වැරදිකරුද නිවැරදිකරුද යන්න තිරණය වෙලා නැහැ. අධිකරණයෙන් වැරදිකරුවෙක් වුණත් නැතත් සමගි ජනබලවේගය චරිත් අබේසිංහ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ කළමනාකරණ කමිටුව තීරණය කරාවි. සමගි ජනබලවේගයේ මෙවැනි චෝදනාවක් එල්ල වුණ පළමු පුද්ගලයා චරිත් අබේසිංහ. ඔහු ඒ සිද්ධියට වැරදිකරුනම් සමගි ජනබලවේගය චරිත් අබේසිංහට විරුද්ධව විනය පියවර ගැනීමටත්, ඔහුගේ පක්ෂ සාමාජිකත්වය පිළිබඳව තින්දුවක් ගැනීමටත් නියමිත වේවි. මේ සිදුවීම සිදුවූ බව කියන 2023 කාලසීමාවේදී චරිත් අබේසිංහ, ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂගේ චේම්බර් එකේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. චරිත් අබේසිංහ විජයදාස රාජපක්ෂගේ චේම්බර් එකේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළානම් ඔහුගේ රාජකාරිය වන්නේ විජයදාස රාජපක්ෂ පෙනී සිටින නඩු විභාගවලට අදාල පුද්ගලයන් හමුවීම සහ සාකච්ඡා කිරීම. එවැනි සාකච්ඡාවක් ද මෙලෙස සිදුවී තිබෙන්නේ යැයි සැකයක් ද මතුවෙනවා. කෙසේ නමුත් ඔහු නීතිය හදාරා තිබෙනවා. ඒ නිසා අල්ලස් ගැනීමේ සිදුවීම කෙතරම් බරපතලද කියලා ඔහුට යම් දැනුමක් තිබිය යුතුයි. කෙසේ නමුත් පරීක්ෂණයෙන් පසු චරිත් අබේසිංහ වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද යන්න බලාගැනීමට හැකිවේවි.
චෝදනා එල්ල වුණ ආණ්ඩුවේ පුද්ගලයින්ට විනය ක්‍රියාමාර්ග කෝ...?
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන හඩ පටයක් මාධ්‍ය තුළ ප්‍රචාරණය වෙනවා. කෙසේ නමුත් ආණ්ඩුවේ මහා පරිමාණ වංචාවක් වූ බහලුම් සිද්ධිය සම්බන්ධයෙන් හඬ පටයක් නිකුත් වුණේ නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් රජයේ ඉහළ නිළධාරීන් සිදුකළ විමර්ශන වර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒ වාර්තාව අනුව වංචාවක් දුෂණයක් අක්‍රමිකතාවයක් වුණ බව හෙළි වුණා. ඒ වාර්තාව සභාගත කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්. නමුත් ඒ සම්බන්ධයෙන් තවම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම මහා පරිමාන ගල් අගුරු සිද්ධිය සම්බන්ධයෙක් හඬ පටයක් නිකුත් වුණේ නැහැ. ඒත් ලංකාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකිරිමෙන් පසු මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදුවී තිබෙව බව හෙළි වුණා. ඒත් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන බවත් පේන්නේ නැහැ. මෙම සිද්ධිවලට සම්බන්ධ යැයි සැකකෙරෙන මැති ඇමැතිවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළේ නැහැ. නමුත් සමගි ජනබලවේගයේ පුද්ගලයෙක්ට චෝදනා එල්ල වෙද්දීම අපි ඔහු වෙනුවෙන් විනය පියවර ගන්නවා. ඒ වගේ ම ඔහු නීතියෙන් වැරදිකරුවෙකු වුවහොත් ඔහුව පක්ෂයෙන් ඉවත් කරන්න කටයුතු කරනු ලබනවා. නමුත් ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුවේ චෝදනා එල්ල වුණ පුද්ගලයන්ට ජනාධිපතිවරයාට විනය ක්‍රියාමාර්ග ගැනීමට පැලවත්ත පක්ෂ කාර්යාලයේ බාධාවක් තිබෙනවාදැයි සැකයක් මතුවෙනවා. ඒ වගේම අධිකරණ ඇමැතිවරයාටත් පැලවත්තේ පුද්ගලයෙක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපහසු බවක් පෙනෙන්න තිබෙනවා.
ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරිම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා
ඒ වගේම මහා භාණ්ඩගාර සිද්ධිය , ගල් අගුරු සිද්ධිය වුණ අවස්ථාවේ දී ජනාධිපතිවරා පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. නමුත් චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා ඊයේ හදිසියේම පර්ලිමේන්තුවට පැමිණ තිබුණා. මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක සිද්ධිය වාර්තා වුණ දවසේ මුදල් ඇමැති ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකරන්න කටයුතු කළේ නෑ. ඔහු මේ රටේ ජනාධිපති සහ මුදල් ඇමති. නමුත් අල්ලස් චෝදනාවකට සැකකරුවන් ලෙස පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරිම පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම සියලුම දෙනාට එක ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියා ඔහු ප්‍රකාශ කළාට, එහෙම සිදුවෙනවද කියන එක ප්‍රශ්ණයක්. ඒ වගේම නීතිය ක්‍රියාත්මක කල යුතු සාධාරණ ආකෘතියක් තිබෙනවා. ඒ වගේම කෙනෙකු අධිකරණයෙන් වැරදිකරු ලෙස තහවුරු කරන තුරු ඔහු හෝ ඇය නිවැරදිකරු ලෙස විශ්වාස කළ යුතුයි.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
