Image

“විදුලි බිඳවැටීම් හා නොරොච්චෝලේ වසා දැමීම විදුලි මාෆියාවේ කොටසක්" - තිස්ස අත්තනායක

“විදුලි බිඳවැටීම් හා නොරොච්චෝලේ වසා දැමීම විදුලි මාෆියාවේ කොටසක්" - තිස්ස අත්තනායක

පසුගිය(17) සෙනසුරාදා මුළු දිවයිනේම සිදුවූ විදුලිය බිඳ වැටීමත්, ඒ සමඟම නොරොච්චෝලේ බලාගාරය අක්‍රීය කිරීමත් ආණ්ඩුවේ විදුලි මාෆියාවේම කොටසක් විය හැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගෘහස්ථ වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් නිපදවන විදුලිය පද්ධතියට ලබා ගැනීම අඩපණ කරමින් සහ නෙරොච්චෝලේ වැනි බලාගාර අක්‍රිය කරමින් ආණ්ඩුව සිය ගජමිතුරු කල්ලියක් සතුටු කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි.

ඩීසල් විදුලි බලාගාර පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් හරහා මෙන්ම, සූර්ය බලය යොදා ගනිමින් මහා පරිමානයෙන් විදුලිය නිෂ්පාදනය කරන සමාගම් හරහා පමණක් විදුලිය මිලදී ගැනීමට ආණ්ඩුව විටින් විට දරණ උත්සාහයන් හරහා, ගජ මිතුරු කල්ලියක් සතුටු කිරීමට දරණ උත්සාහය මනාව පැහැදිලි වන බවද තිස්ස අත්තනායක අවධාරණය කළා.

කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ අද (19) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ අත්තනායක…,

 

විදුලි බිඳවැටීමට හේතුව කියන්න තවමත් ආණ්ඩුවට බැරිවෙලා

“අපිට මතකයි 2025 පෙබරවාරි 09 වෙනිදාත් මේ වගේම රට පුරා විදුලිය විසන්දි වුණා. ඒ වෙලාවේ හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි කිව්වේ වඳුරෙක් පැන්න නිසා පද්ධතිය නතර වුනා කියලා. පස්සේ කිව්වා සූර්ය පැනල මගින් උත්පාදනය කරන විදුලිය ප්‍රධාන පද්ධතියට එක් කිරීමේදී ඇති වූ දෝෂයකින් ඒ බිඳවැටීම සිදුවුණා කියලා. නැවත මේ වගේ දේවල් වෙන්න දෙන්නේ නෑ කියල තමයි ආණ්ඩුව එදා කිව්වා. ඒත් පසුගිය 17වැනිදා රටපුරා විදුලිය විසන්දි වුණා. විදුලිය ආවේ පැය ගාණකට පස්සේ. ඒ කාලය තුළ ජනතාව අපහසුතාවට පත්වුණා. ඒ වගේම ආර්ථික කටයුතු නතර වුනා. සේවා අංශවලට දැඩි බලපෑමක් සිද්ධ වුනා. ඒ අනුව සිදුවෙච්ච අලාභය කොච්චරද ? ගණන් බලන්න බැරි තරම්. ඒත් ඒ විදුලි බිඳවැටීමට හේතුව කියන්න තවමත් ආණ්ඩුවට බැරිවෙලා.”

මෙහිදී තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නේ, එදා වඳුරෙකු පිටින් හෝ යවා විදුලි බිඳවැටීමෙන් ඇඟ බේරාගත් රජය අද කීමට පිළිතුරක් සොයමින් සිටින බවයි.

බාල ගල්අඟුරු භාවිතයත්, ඉදිරි කාලසීමව සඳහා ගල්අඟුරුවල හිඟතාවයත් නිසා නොරොච්චෝලේ බලගාරය අක්‍රීය කරනු ඇති බවටද ඇතැම් වාර්තා පළවී තිබූ බව ද තිස්ස අත්තනායක මහතා පෙන්වා දුන්නා.

 

ඩීසල් බලාගාර මාෆියාකරුවන් පොහොසත් කිරීමේ ව්‍යාපෘතියක්

“මොගාවොට් 810ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන නොරොච්චෝලේ වසා දැමීමට මේ වන විට කටයුතු කරල තියෙනවා. තව දින ගණනාවක් යන තුරු එහි කටයුතු ආරම්භ කළ නොහැකි බව ආණ්ඩුව කියනවා. මේ අයගේ සැලසුම දැන් හරිම පැහැදිලියි. මේ කරන්නේ පුද්ගලික ඩීසල් බලාගාරවලින් වැඩි මිලට විදුලිය ලබාගැනීමට අවස්ථාව හදල දෙන එක. ආණ්ඩුව මේ කරන්නේ ඩීසල් බලාගාර මාෆියාකරුවන් පොහොසත් කිරීමේ ව්‍යාපෘතියක්. පහුගිය ආණ්ඩු විවිධ ව්‍යාපෘති යටතේ සූර්ය බලශක්ති ව්‍යාපෘති බලගන්වන්න පියවර අරන් තිබුණා. නමුත් මාළිමා ආණ්ඩුව ඒ සියල්ල අඩපණ කරමින්, සුර්ය බල ශක්තිය මිලදී ගැනීම පවා අත්හිටුවීමට කටයුතු කළා. බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් ඇති වූ අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වේ මොකක්ද? ගල්අඟුරු කාල බලලද ගන්නේ කියලා ඇහුවේ. රටම බලපාන ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවක ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවෙන් ලැබෙන්නේ ඒ වගේ පිළිතුරු නම් ජනතාවට කාගේ සරණක්ද ? ඇත්තටම ප්‍රශ්නෙකට උත්තරයක් නැති ආණ්ඩු මොකටද කියලා දැන් ජනතාව ප්‍රශ්න කරමින් ඉන්නේ. .පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ශක්තිමත් කරනව කියල ආපු ආණ්ඩුව කරන දේවල් තමයි ඔය.”

 

ජනතාවාදී දේශපාලන මාවතකට

සමගි ජනබලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලබන 31 සහ නොවැම්බර් 01 යන දෙදින පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද තිස්ස අත්තනායක මහතා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ඔහු අවධාරණය කළේ, සමගි ජනබලවේගයේ බිම් මට්ටම තවදුරටත් ශක්තිමත් කිරීමත්, ආණ්ඩු කෙරෙහි ජනතාවගෙන් එල්ලවන අප්‍රසාදය හමුවේ ජනතාවාදී දේශපාලන මාවතකට මග පෑදීමත් මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අරමුණ බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න