රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් !

රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් පැවසීය.

රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව ද ඒ මහතා අවධාරණය කළේය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අප මේ වන විට නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් වූ පළාතක් ලෙස නැගෙනහිර පළාත මෙරට අනෙකුත් පළාත්වලට සාපේක්ෂව සංවර්ධනයේ පසුබෑමකට ලක් වුණා.

එබැවින් මේ පළාතට අයත් දිස්ත්‍රික්ක තුන සංවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් ලබා දී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මට උපදෙස් ලබාදී තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් රටටම දායක වන පළමු පළාත ලෙස නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත විවිධ ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාවට නඟමින් තිබෙනවා.

මේවන විටත් නැගෙනහිර පළාත සංවර්ධනය සඳහා තිබෙන විභවයන් අප හඳුනාගෙන තිබෙනවා. ඉස්සන් වගාව, ඛනිජ සම්පත්, වරාය, ගුවන් තොටුපළ, ජල සම්පත, සංචාරක කර්මාන්තය සහ කෘෂි නවීකරණය, ඉඩම් දියුණු කිරීම ඒ අතර විශේෂයි.
ඒ වගේම තවත් සම්පත් රාශියක් නැඟෙනහිර පළාත සතු නිසා ඒවා නිසි ලෙස කළමනාකරණය කරගනිමින් සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගත යුතුයි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මූල්‍යමය දායකත්වයක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම රටේ ණය පියවීමට ප්‍රමාණවත් බව කිව යුතුයි.

කඳුකර ජනතාවගේ වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයාගේ ස්ථාවරය වන්නේ වතුකර ජනතාවට සාධාරණ වැටුපක් ලබාදිය යුතු බවයි. ඒ සඳහා වතු සමාගම් සමඟ සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් වසර දෙකකට වරක් වැටුප් වැඩිවීම් ලබාදිය යුතුයි. මේ කාරණය මේ වන විට පඩි පාලක සභාව වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම වතු සමාගම් ද ඔවුන්ගේ යෝජනා ලබා දී තිබෙනවා. වැවිලි කර්මාන්තය විදේශ විනිමය සමඟ සම්බන්ධ විය යුතුයි. ඒ නිසා ඩොලරයේ අගය වැඩිවීම සමඟ දේශීය ජීවන වියදම අනුව වැටුප සකස් කළ යුතුයි.

ඒ වගේම අපේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව පැවසිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන මාස කිහිපයක් තුළ අප රට යථාතත්ත්වයට පත් කළා. අනාගතයේ කවුරු ජනාධිපති වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කළ නොහැකියි. ආර්ථික අර්බුදයට ලක්ව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය නොලැබූ රටවල් තවමත් යථා තත්ත්වයට පත්වී නැහැ.

එබැවින් රට ගොඩගත හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව අවධාරණය කළ යුතුයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න