AI පාසල් විෂය පද්ධතියට : මයික්‍රසොෆ්ට් සමාගම සමග ගිවිසුමක් !

AI පාසල් විෂය පද්ධතියට : මයික්‍රසොෆ්ට් සමාගම සමග ගිවිසුමක් !

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

මෙම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මයික්‍රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පුර්ණ සහාය ලබා දෙන බවයි.

මයික්‍රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රි ලංකාව නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යමින් කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන සහාය සහ මඟපෙන්වීම ඉතා අගය කරන බව ඒ මහතා සඳහන් කළේය.

මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර මෙම අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් ජුලි චන්ග් මහත්මිය ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකීය ජනතාව සහ පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායම් මඟින් සහාය ලබා දෙන බව ද ජුලි චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධර්මසිරි කුමාරතුංග යන මහත්ම මහත්මීන් සහ මයික්‍රසොෆ්ට් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ද, කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, මුස්ලිම් කාන්තා විද්‍යාලය , පුස්සැල්ලාව හින්දු ජාතික පාසල, තංගල්ල බාලිකා විද්‍යාලය,කොළඹ හින්දු විද්‍යාලය නියෝජනය කරමින් විදුහල්පතිවරු, ගුරුවරුන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න