කතරගම ලොකු කපුවාට දේවල භුමිය තහනම්

කතරගම ලොකු කපුවාට දේවල භුමිය තහනම්

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර  ඊයේ (18) පියවර ගත්තේය.

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරු වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ ‘කපු ධූර’ විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවත් ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර  ලිඛිතව දැනුම් දුන්නේය.

රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩාරාළ තනතුරට අදාල වගකීම් සහ රාජකාරි සියල්ල දැනට රුහුණු මහා කතරගම දේවාලයේ කපු ධූරයේ නියුතු ‘අරාපක්‍ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර’ යන අයට නොපමාව බාරදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරලීම සහ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා සුදුසුකම්ලත් පරීක්‍ෂණ නිලධාරී මහතකු නම් කර කඩිනමින් ඔවුන්ට දන්වන බවත් බස්නායක නිළමේවරයා සඳහන් කරයි.

අදාල රත්තරන් තැටිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විධිමත් පරීක්‍ෂණයක් පවත්වා එම කපුමහතුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු අධිකරණයෙන් ඇප ලබා සිටින බව ද කියන බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අදාල සිද්ධිය ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමෙන් රුහුණු මහා කතරගම දේවාලයට දැඩි අපකීර්තියක් වූ බව ද සඳහන් කරයි.

මෙම සිද්ධිය බැලූ බැල්මට බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවක හෝ විනය විරෝධී ක්‍රියාවන්හි නියුතු වී ඇති බවට පෙනී යන බැවින් බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාර රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු විධිමත්ව පත්වාගෙන යෑමට නොහැකි වී ඇති බව ද බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා එම කපු මහතුන්ට යොමු කළ ලිපිවල සඳහන් වේ.

අදාල චෝදනාව එල්ලවී තිබෙන කපු මහතුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන මහතා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණි.

lankadeepa.lk

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න