Language Switcher

V2025

නාකොටික් අත්අඩංගුවේ මියගිය පුද්ගලයා ගැන පොලිසිය කියන කතාව !

නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයාගේ මරණය මොට ආයුධවලින් පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ ලේ ගැලීම හේතුවෙන් සිදුවී ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණවී ඇත.

ඒ බව අනාවරණය වී ඇත්තේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බව පොලීසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ. ජී. එස්. ප්‍රීති කුමාර නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ ශරීරයේ අභ්‍යන්තරයේ තුවාල 30 කට අධික ප්‍රමාණයක් තිබෙන බවටද ආරංචි මාර්ග සඳහන් කරයි.

උපායදූතයන් ලබාදුන් තොරතුරකට අනුව මියගිය සහකාර කළමනාකාරවරයාව වෘත්තීය පුහුණු අධිකාරිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබු අතර ඒ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් ය.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකා මරදාන පිහිටි පොලිස් බැරැක්කය අසලට ඔහුව රැගෙන ගිය අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට අසල තිබූ වීදුරු බෝතලයක් කඩා පහරදීමට උත්සාහ කර ඇත.

එහිදී පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් අනතුරුව තුවාල ලැබූ සහකාර කළමනාකාරවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සැකකාර සහකාර කළමනාකාරවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කර සිටියේ,

"මෙම සැකකරු වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කරන පුද්ගලයෙකු බවට පසුව හඳුනාගෙන තිබුණා. ඔහුව පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 15ක් පමණ තිබිලා තියෙනවා. රුපියල් 5,000 කොළ 21ක් තිබුණා. මෙම පුද්ගලයාව නෙළුම් කුලුන ප්‍රදේශයේ ස්ථානයකට රැගෙනවිත් තිබුණා. එහි සිට තමයි ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණේ. මෙම ජාලයට සම්බන්ධ අනෙක් අය ගැන."

"ප්‍රශ්න කරන අවස්ථාවේදී සැකකරු ආවේගශිලීව හැසිරී තිබෙනවා. එහි සිදුවූ සිදුවීමක් නිසා සැකකරුව ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී සැකකරු මියගිය බවට වාර්තා වෙලා තිබෙනවා."

"පශ්චාත් මරණ පරීක්ෂණයේදී අඩංගු කරුණු අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනවා. විශේෂයෙන්ම මෙම සිදුවීම ගැන අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරනවා. ඒ නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර තිබේද යන්න පරීක්ෂා කිරීමට."