Language Switcher

V2025

කංසා අපනයනයෙන් ලංකාවට ඩොලර් බිලියන 03ක ආදායමක් !

කංසා අපනයන වෙළෙඳපොළ වෙත පිවිසීමට ශ්‍රී ලංකාව සූදනම් වෙයි.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි බීබීසීය වෙත ප්‍රකාශ කළේ ඉදිරි වසර දෙක තුළ කංසා අපනයනයෙන් ඩොලර් බිලියන තුනක අදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බව යි.

පනත් කෙටුම්පත සකස්කර අවසන්

කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි නොවැම්බර් 30 දා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඔහු පවසා සිටියේ ඉදිරි මාස තුන ඇතුළත ඒ සඳහා අනුමැතිය ලබා ගන්නා බව යි.

මේ වන විටත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා වන පනත් කෙටුම්පත සකස්කර අවසන් බව ඔහු බීබීසිය වෙත පැවසිය.

"ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය වන නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබා දෙන්න පියවර ගන්නවා. සාම්ප්‍රදායීක නීති පද්ධතිය වෙනස් බවට පත් කිරීමේ මාර්ගයටත් අපි දේශීය වෛද්‍ය අමාත්‍යංශය විදිහට කටයුතු කරමින් ඉන්නවා. අපේ රට තුළ පැවති සාම්ප්‍රදායී ඖෂධ වර්ග නැවත වතාවක් නීතිගත කිරීමේ ක්‍රමවේදයකට අපි ගමන් කරමින් ඉන්නවා," අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

"ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධීය කංසා මඟින් විශේෂයෙන්ම පිලිකා රෝග සුව කිරීම, ස්නායු රෝග සුව කිරීම, ඒ වගේම මන්දමානසික භාවය අඩු කිරීම, වේදනා නාශකයක් වශයෙන් කටයුතු කිරීම, රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාලව විවිධ ඔසු වර්ග බටහිර යටත්විජිත පාලනය විසින් අපේ රටේ තහනම් කරනු ලැබුවා. ඒ නිසා ඉදිරි කාල පරිච්ඡේදය තුළ, ඉදිරි මාස තුන ඇතුළත ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය වන නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබා දෙන්න අපි අවශ්‍ය නීතිමය කටයුතු කටයුතු කරලා තියෙනවා," ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

කංසා අපයනය සඳහා අවශ්‍ය නීති කෙටුම්පත මේ වන විට අධිකරණ අමාත්‍යවරයාට භාර දී ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් එහි අඩුපාඩු මඟහරවා ගැනීමට නියමිත බවත්, අනතුරුව කැබිනට් මණ්ඩලයට එය ඉදිරිපත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසිය.

මන්ත්‍රීවරුන්ගේ යෝජනාව

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගතකර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස්කර ගත හැකි බව විවිධ මන්ත්‍රීවරුන්‌ මීට පෙර පවසා ඇත.

ඔවුන් අවධාරණයකර සිටින්නේ ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට අවස්ථාව පවතින බව යි.

තේ, රබර්, පොල් වැනි වාණිජ බෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ මීට පෙර පැවති අවකාශය අහිමිව ඇති වටපිටාවක් තුළ, ස්වභාව ධර්මයෙන් ලබා දී ඇති කංසා වගාව නීතිගතකර අපනයනයට මෙය කදිම අවස්ථාවක් බව ද ඔවුන් පවසයි.

තව ද, කංසා අපනයනයෙන් ආදායම් ලබන ලොව අනෙකුත් රටවල් පිළිබඳව මෙන්ම, අනාගතයේ දී කංසා අපනයනය නිසා ලැබෙනු ඇති වාසි පුරෝකථනය කරන දත්ත ද ඉදිරිපත් කරමින් එම මන්ත්‍රීවරුන් පවසන්නේ කංසා වාණිජ බෝගයක් ලෙස වගාකර අපනයනය කළහොත්, තවදුරටත් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන බව යි.

"අපේ රටට ඩොලර් බිලියන ගාණක විදේශ විනිමයක් ගෙන ඒමට පුළුවන්. අපි කාගෙවත් ළඟට හිඟා කන්න යන්න ඕන නෑ. කාගෙවත් ළඟට දෙකට නැමෙන්න යන්න ඕන නෑ. අපිට මේ කියන IMF ලෝන් ගන්න යන්න ඕන නෑ. ස්වභාව ධර්මය දීල තියෙන මේ සම්පත පාවිච්චි කරලා, නීතිගත කරලා, රාජ්‍ය අනුග්‍රහයෙන් මේක අපනයනය කරලා විදේශ විනිමය උපයාගත යුතු යි," සමගි ජනබලවේගයෙන් පාර්ලිමේතු පිවිසි ඩයනා ගමගේ පැවසිය.

ලෝකයේ කංසා යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරන බව වැඩිදුරටත් සඳහන් කළ ඇය, එලෙස නිෂ්පාදනය කළ රූපලාවන්‍ය ක්‍රීම් වර්ග, දත් බෙහෙත්, දත් බුරුසු වැනි දේ ජනතාවට පෙන්වීම සඳහා රැගෙන ආව ද සභාව තුළට ගෙන ඒමට අවසර නොලැබුණු බව කියා සිටියා ය.

රාජ්‍ය අනුග්‍රය ඇතිව කංසා වගාවක් ලෙස නීතිගතකර අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් රට තුළට ගෙන ඒම සඳහා ඇති එකම බාධකය බ්‍රිතාන්‍ය යුගයේ පනවන ලද ආඥා පනත බවත්, එය අහෝසි කළ යුතුව ඇති බවත් මන්ත්‍රීවරිය අවධාරණය කළා ය.

අපනයන වෙළෙඳපොල

කංසාවලට ඇති අපනයන වෙළඳපොළ පිළිබඳව සඳහන් කරමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කැනඩාව, අමෙරිකාව, ඊශ්‍රායලය වැනි රටවල දැනටත් ගංජා සඳහා විශාල ඉල්ලුමක් ඇති බව යි.

"ඉතා අවාසනාවන්ත ලෙස දැනට දකුණුදිග ඉන්දියාවේ කේරළයත්, වියට්නාමය වැනි රටවලුත්, අප්‍රිකානු රටවලුත් එම වෙළෙඳපොළ ආක්‍රමණය කරමින් ඉන්නේ. ඒ නිසා අපි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනේ," රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සඳහන් කළේ ය.

කංසා වගා කළ හැක්කේ කාටද?

රාජ්‍ය අනුග්‍රහය යටතේ කංසා වගා කිරීමට අවසර දුනහොත්, එම අවසරය ලැබෙන්නේ කාට ද යන ගැටලුව මතුවේ.

"ආවට ගියාට දුන්නොත් ලොකු සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා නේ," අමාත්‍ය සිසිර ජයකොඩි කියයි.

ඔහු පැවසුවේ කංසා වගා කිරීම සඳහා රාජ්‍ය අංශයෙන්, ගුවන් හමුදාව ඇතුළු හමුදා මැදිහත්කර ගැනීමට බලාපොරොත්තු වන බව යි.

අදාල නිර්ණායක සකස් කිරීමට, රෙගුලාසි සකස් කිරීමට, හා අනුමැතිය ලබා දීමට අනුකමිටු තුනක් පත් කර ඇති බවත්, එම අනුකමිටු තුනෙහි අවසරය මත වගාවට අවසර ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

ගෝලීය ගංජා වෙළෙඳපොල

වසර 2028 වන විට ගෝලීය නීතිමය ගංජා වෙළඳපොළෙහි විශාලත්වය අමෙරිකානු ඩොලර් බිලියන 91.5ක් දක්වා ළඟා වනු ඇතැ යි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයක් පුරෝකථනයකර ඇත.

ග්‍රෑන්ඩ් වීව් පර්යේෂණ ආයතනයට අනුව ලෝකයේ ප්‍රදේශ කිහිපයක මෑතකාලීනව ගංජා නීතිගත කිරීම හේතුවෙන්, වෛද්‍යමය අරමුණු සඳහා ගංජා භාවිතාව වේගවත් වෙමින් පවතියි.

"ඖෂධීය ගංජා" යනු විවිධ නිධන්ගත තත්ත්වයන්ට සහ වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා වන්නකි.

වෛද්‍ය නිර්දේශය යටතේ ඇල්සයිමර් රෝගය, ආතරයිටිස්, පිළිකා, මානසික අවපීඩනය, කාංසාව, පාකින්සන්, අපස්මාරය සහ අනෙකුත් ස්නායු රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගංජා යොදා ගැනේ.

ගෝලීය ප්‍රවණතා

ගංජා, ලෝකයේ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය වේ.

වසර 2013 දී උරුගුවේ රාජ්‍යය ගංජා විනෝදාත්මක භාවිතාව සඳහා නීතිගත කළ පළමු රට බවට පත්විය.

එසේ සිදුකළ අනෙකුත් රටවල් වන්නේ කැනඩාව, ජෝර්ජියාව, සහ දකුණු අප්‍රිකාව යි. එක්සත් ජනපදයේ ප්‍රාන්ත 18ක, ප්‍රදේශ දෙකක, හා කොලොම්බියා දිස්ත්‍රික්කයේ විනෝදාත්මක භාවිතය සඳහා ගංජා භාවිතා කළ හැකි ය. කෙසේ නමුත් ෆෙඩරල් නීති අනුව ගංජා නීති විරෝධී ලෙස පවතියි.

කෙසේ වෙතත්, 2019 වසරේ දී එක්සත් ජනපදයේ මිලියන 48.2ක ජනතාවක් (එරට ජනගහණයෙන්18%ක් පමණ) අවම වශයෙන් එක් වරක්වත් ගංජා භාවිතාකර ඇති බව, එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය අධ්‍යයනයක් උපුටා දක්වමින් අනාවරණය කළේ ය.

වෛද්‍යවරයෙකුගේ අනුමැතිය යටතේ ඖෂධීය ගංජා භාවිතය රටවල් රැසක නීතිගත කර ඇත. ශ්‍රී ලංකාවේ ද ගංජා ඖෂධ සඳහා භාවිතා කිරීම නීති විරෝධී නොවේ.

ගංජාවල එතනොලික් සාරය වරක් සුලබ වූ නමුත් වසර ගණනාවකට පෙර නිල ඖෂධ ලැයිස්තුවලින් ඉවත් කෙරිණි.

18%ක පමණ THC අන්තර්ගතයක් සහිත ශාකසාර ගංජා ('ගංජා ෆ්ලෝස්' ලෙස හැඳින්වේ) ඇතැම් රටවල වෛද්‍ය නිර්දේශය යටතේ ලබාගත හැකිය. එය ඇතැම් ආකාරයේ වේදනාවන් සහ අනෙකුත් ස්නායු රෝග ලක්ෂණ සමනය සඳහා යොදාගැනෙයි.

කැනඩාව තුළ වාණිජමය අරමුණු සඳහා ගංජා වවන්නන් ද, සෞඛ්‍යමය හේතු සඳහා වෛද්‍යවරයෙකුගෙන් ගංජා භාවිතාවට නිර්දේශ ලැබූවන් ද එරට සෞඛ්‍ය අංශයන් සමග ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගත යුතු වේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍යය ගංජා වේ. කංසා, "මල්" සහ වෙනත් නම්වලින් ද හැඳින්වෙන ගංජා ලංකාවේ වයස අවු. 14ට වැඩි ජනගහණයෙන් 1.9%ක ප්‍රතිශතයක් භාවිතා කරයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 2019 වසරේ ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ 301,898ක් දෙනා ගංජා භාවිතා කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ජයමාල් ද සිල්වා පවසන්නේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව, ගංජා භාවිතා කරනවුන්ට සයිකෝසියාව වැනි රෝග ලක්ෂණ සහ භින්නෝන්මාදය වැනි මානසික රෝග වැළඳීමේ අවදානම 2.5% සිට 8% දක්වා ඉහළ යතැ යි විද්‍යාත්මකව සනාථකර ඇතිබව යි. පවුලේ ඥාතියෙකුට මානසික රෝගයක් තිබේ නම් මෙම අවදානම තවත් ඉහළ බව ඔහු සඳහන් කළේ ය.