Image

අමාත්‍ය විජිත හේරත් ගේ ඕස්ට්‍රේලියානු නිල සංචාරය

අමාත්‍ය විජිත හේරත් ගේ ඕස්ට්‍රේලියානු නිල සංචාරය

ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 ජුනි 1වෙනි දින සිට 3වෙනි දා දක්වා ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විය.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ශ්‍රී ලංකාව ඇතුළත් කරයි

මෙම සංචාරය අතරතුර දී: අමාත්‍ය හේරත්, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් සමඟ වෙළෙඳ, ආරක්ෂක සහයෝගීතාව, සංචාරක, අධ්‍යාපන සහ ක්‍රීඩා ඇතුළු පුළුල් පරාසයක් ආවරණය වන පරිදි සාකච්ඡා පැවැත්වී ය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ කථානායක මිල්ටන් ඩික්, කුඩා ව්‍යාපාර, ජාත්‍යන්තර සංවර්ධන සහ බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඈන් ඇලි, ඉන්දියානු සාගර සබඳතා සඳහා විශේෂ නියෝජිත ටිම් වොට්ස් සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම සමග ද අමාත්‍ය හේරත් සාකච්ඡා පැවැත්වීය.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ශ්‍රී ලංකාව ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත සඳහා ඕස්ට්‍රේලියාව සිය සහයෝගය නැවත ප්‍රකාශ කිරීම එම සාකච්ඡාවල වැදගත් ප්‍රතිඵලයක් විය.

ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සම්බන්ධ වීමේ වැඩසටහනක්

අමාත්‍ය හේරත්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර මාග්‍රට් ගාඩ්නර් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ජසින්ටා ඇලන් සම ද සාකච්ඡා පැවැත්වී ය. මෙම සංචාරයේ ව්‍යාපාර සහ ආයෝජන ආශ්‍රිත වැඩසටහනේ කොටසක් ලෙස, වික්ටෝරියා ප්‍රාන්ත රජයේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ආයතනය වන ග්ලෝබල් වික්ටෝරියා විසින් පවත්වන ලද ශ්‍රී ලංකා - වික්ටෝරියා කර්මාන්ත වට මේස සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සිය අදහස් දැක්වූ අතර, ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් සමග ව්‍යාපාර ජාලකරණ සැසියකට ද සහභාගී විය.

ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාව සමඟ සමීප සබඳතා වර්ධනය කිරීමේ රජයේ කැපවීම නැවත තහවුරු කිරීමට අමාත්‍යවරයාට අවස්ථාවක් සලසා දෙමින්, කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී, ශ්‍රී ලාංකික ප්‍රජාව සමග සම්බන්ධ වීමේ වැඩසටහනක් ද මෙම සංචාරයට ඇතුළත් විය.

ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත්

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයෙකු දශකයකට වැඩි කාලයකට පසු ඕස්ට්‍රේලියාව වෙත සිදු කළ පළමු නිල සංචාරය මෙය වන අතර, මෑතක දී ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත සිදු වූ ඉහළ මට්ටමේ සංචාර සමගින්, පුළුල් පරාසයක අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ නව කැපවීම මෙහි දී පිළිබිඹු විය.

කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර, නැගෙනහිර ආසියා සහ ඕෂනියා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්ක, අමාත්‍යවරයා සමඟ රැස්වීම් සඳහා සහභාගී වූ අතර, මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරිය වික්ටෝරියා හි පැවති වැඩසටහන් සඳහා එක්වූවා ය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න