නිෂ්පාදනය කරන ප්ලාස්ටික් සහ පොලිතීන් පරිසරයට බැහැර නොකර යළි තමන් වෙත රැස්කර ගැනීමේ වගකීම නිෂ්පාදකයාට පැවරෙන නව පනත් සම්පාදනය කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේ දී පැවති වැඩසටහනේ දී ය.
ඒ අනුව පරිසරය රැකගැනීම සඳහා වන නිෂ්පාදකයා ගේ විස්තීර වගකීම සහිත පනතක් ඉදිරි සැසිවාරයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව හෙතෙම සඳහන් කළේය.
මෙම පන්නත සම්මත කරගැනීම මගින් නිෂ්පාදකයන් විසින් වෙළඳපළට නිකුත් කරනු ලබන ප්ලාස්ටික් සහ පොලිතින් යළි රැස් කිරීමේ නීතිමය වගකීම ඔවුන්ට පැවරෙන බවත්, ඒ අනුව පළවෙනි වසරේ දී නිෂ්පාදනයෙන් සියයට හතළිහක් ද, පනත සම්මත කර දෙවන වසරේ දී සමස්ත නිෂ්පාදනයෙන් සියයට හැටක් ද, තුන්වන වසරේ දී නිෂ්පාදනයෙන් සියයට අසූවක් ද, වශයෙන් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදකයා රැස් කර ගත යුතු යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
රජයේ ආයතනවල කුඩා ප්‍රමාණයේ ජල බෝතල් මිලදී ගැනීම මේ වන විට තහනම් කරන චක්‍රලේඛනය ලබා දී ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ව්‍යාපාරික ස්ථානවලින් පරිභෝගිකයාට පොලිතීන් බෑග් නිකුත් කිරීමේ සීමාවක් පනවා ඇතැයිද පැවසී ය. රජය, රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව යන තුන් පාර්ශවය ඒකාබද්ධ කිරීම මගින් පරිසරය රැකගැනීමේ වැඩසටහන් සක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, උද්භීද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර ඇතුළු නිලධාරීන් සහ පාසල් දරු දැරියන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
