ප්‍රහාර පාලනය කිරීමට සමාජ ජාල තහනම 'පිටිවහලක් වුනා' - හමුදාපති

ප්‍රහාර පාලනය කිරීමට සමාජ ජාල තහනම 'පිටිවහලක් වුනා' - හමුදාපති

තෙල්දෙණිය සහ දිගන ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පසුගියදා හටගත් මුස්ලිම් විරෝධී කෝලාහල මැඩ පැවැත්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම පිටිවහලක් වූ බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

මහනුවරදී බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව සඳහන් කළ හමුදාපතිවරයා, සමාජ ජාලවල කාර්යභාරය විය යුත්තේ සමාජයට නිසි තොරතුරු ලබාදීම විනා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නොවිය යුතු බව අවධාරණය කළේය.

මහනුවර දිස්ත්‍රික්කය තුළ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වයත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය සන්නිවේදනය බදාදා (මාර්තු 07) සිට අවහිර කිරීමට රජය පියවර ගත්තේය.

ආණ්ඩුවේ එම පියවර බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක් වූ අතර, සමාජ ජාලවලට පිවිසීම පිණිස බොහෝ දෙනා VPN තාක්ෂණය භාවිත කරන බව ද වාර්තා විය.

හමුදා සෙබළුන්ට සමාජ ජාල තහනම් :

සමාජ ජාල තහනම පිළිබඳ අදහස් දක්වමින් හමුදාපතිවරයා කියා සිටියේ, "මේක තියෙන්න ඕන හරි දේ කරන්න; මේක තියෙන්න ඕන හරි තොරතුරු, හරි පුද්ගලයන්ට හරි වෙලාවට ලබාදෙන්න," බවය.

"මේක වැරදියට පාවිච්චි කරන එක තමයි මේ රටේ ප්‍රශ්නය."

එබැවින් තමන් පසුගියදා හමුදා සෙබළුන්ට සමාජ ජාල භාවිතා කිරීම තහනම් කළ බවත් ඔහු සිහිපත් කළේය.

ඉතා සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත්, මහනුවර බොහෝ ප්‍රදේශවල තත්වය දැන් සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්ව තිබෙන බව පවසන හමුදාපතිවරයා, කෙසේ වුවත් ආරක්ෂක හමුදා තවත් දින කිහිපයක් ප්‍රදේශයේ රැඳී සිටිනු ඇතැයි ද පැවසීය.

එසේ තවමත් ආරක්ෂක හමුදා යොදවා තිබෙන්නේ ජනතාව අතර බිඳ වැටුණු විශ්වාසය ගොඩනැගීම සඳහා බව පවසන හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, "හමුදාව දැකීමත් සමහර විට ජනතාවට හිතෙනවා මේකෙන් ඔවුන්ගේ ආරක්ෂාව ඇතිවෙලා තියෙනව කියල," බවය.

"ඇඳිරි නීතිය වුනත් මම යෝජනා කළා අද මගේ උසස් මූලස්ථානවලට අඩුම ගානේ නගර සීමාව තුළවත් ඇඳිරි නීතිය පනවන්න එපාය කියල."

theldeniya 3

"අපි බලා ඉන්දැද්දී මේක කළා, අපි මේක උසිගැන්වුව කියල මම කියන්නේ නෑ. එහෙම අවස්ථාවක් කිසිසේත්ම වුනේ නෑ."

 සිදුවීම් මැඩ පැවැත්වීම පිණිස කටයුතු නොකළ බවට ආරක්ෂක අංශවලට එල්ලවන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ යුද හමුදාව, ගුවන් හමුදාව හෝ නාවික හමුදාව කිසිදු අවස්ථාවක එලෙස කටයුතු නොකළ බවය.

විශේෂයෙන්ම ආරක්ෂක හමුදා ප්‍රදේශයට කැඳවනු ලැබුවේ ගැටුම් ආරම්භවීමෙන් දින දෙකකට පසුව හදිසි නීතිය පනවනු ලබෙමීන් අනතුරුව බව පෙන්වා දුන් ඔහු, වෙනත් ප්‍රදේශවල සිට කැඳවනු ලැබූ හමුදාවට තත්වය වටහා ගැනීමට කිසියම් කාලයක් ගතවූවා විය හැකි වුවත් "අපි බලා ඉන්දැද්දී මේක කළා, අපි මේක උසිගැන්වුව කියල මම කියන්නේ නෑ. එහෙම අවස්ථාවක් කිසිසේත්ම වුනේ නෑ."

මුස්ලිම් ජනතාවට එරෙහිව මතු වූ ප්‍රහාර රැල්ල සමග මතු වූ තත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් කරුණු දැක්වූ හමුදාපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අත්දැකීම් සලකා බලන විට ශ්‍රී ලංකාවේ යළිත් වරක් හදිසි නීතිය පැනවෙනු නොදැකීම සිය අපේක්ෂාව බවය.

එබැවින් ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට යළිත් වරක් හදිසි නීතිය අත්දකින්නට නොලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ශක්තිමත් සැළැස්මක් අවශ්‍යයි

මේ අතර අද( 09) උදෑසන මහනුවරදි ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ පැවති මාධ්‍ය හමුවකදි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුයේ, මහනුවර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යළි ඇති නොවීමට ශක්තිමත් සැළැස්මක් අවශ්‍ය බවයි.

30 වසරක් පුරා පැවති යුද්ධයෙන් හමුදා නිලධාරීන් 28,000 ක් මිය ගිය බවත්, 50,000 ක් පමණ තුවාල ලැබු අතර 20,000 ක් පමණ පූර්ණ වශයෙන් අබාධිත තත්ත්වයට පත් වු බවත් එවැනි තත්ත්වයක් නැවත උදා කිරීමට උත්සහ ගැනීම කණගාටුවට කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

තමා ද සිංහල බෞද්ධයෙක් බව පැවසු හමුදාපතිවරයා උඩරට පැවති පෞඩ ඉතිහාසයක් ඇති තැනක මෙවැනි ක්‍රියාවක් සිදුවුයේ කෙසේ ද යන්න අද වන විට විශාල ගැටළුවක් වී ඇති බව ද පැවසීය.

කෙසේ වෙතත් අමිහිරි අතීතයක් ලෙස සිතා මෙය අවසන් කර ශක්තිමත් අනාගතයකට ඉදිරියට යා යුතු බව ද හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න