Image

මීළඟ සාර්ක් සමුළුව පැවැත්වීමට ශ්‍රී ලංකාවේ සහාය

මීළඟ සාර්ක් සමුළුව පැවැත්වීමට ශ්‍රී ලංකාවේ සහාය

දැනට අඩපණවී ඇති දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව (SAARC Summit) නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව නිර්මාණාත්මකව සහ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට සූදානම් බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ප්‍රකාශ කළේ ය.

සාර්ක් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ මීළඟ සාර්ක් සමුළුව පැවැත්වීමට ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව අවධාරණය කළේ, සාර්ක් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (SAARC CCI) සභාපති චන්දි රාජ් දකල් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර පසුගියදා (13) කොළඹ පැවති විශේෂ හමුවේ දී ය.

සභාපති ධුරයට පත්වීමෙන් පසු දකල් මෙරට සිදුකළ ප්‍රථම නිල සංචාරය මෙය වූ අතර, මෙම අවස්ථාවට ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) සභාපති සහ සාර්ක් වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආචාර්ය රෝහිත සිල්වා, හිටපු සභාපති රුවන් එදිරිසිංහ ඇතුළු උසස් පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගී වූහ.

දැනට අඩපණ වී ඇති සාර්ක් ක්‍රියාවලිය යළි පණගැන්වීම

මෙහිදී අදහස් දැක්වූ චන්දි රාජ් දකල්, සාර්ක් කලාපය තුළ වෙළඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා තම මණ්ඩලය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කළේය. විශේෂයෙන්ම, දැනට අඩපණ වී ඇති සාර්ක් ක්‍රියාවලිය යළි පණගැන්වීම සඳහා මීළඟ සාර්ක් සමුළුව (SAARC Summit) කැඳවීමට මැදිහත් වන ලෙසත්, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන ලෙසත් ඔහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. සාර්ක් සමුළුව පැවැත්වීම හරහා කලාපීය ඒකාබද්ධතාවය සහ ආර්ථික සහයෝගීතාව වඩාත් ශක්තිමත් වනු ඇති බව ද ඔහු අවධාරණය කළේ ය.

ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාරික සංසදයක්

සාර්ක් වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගත් විදේශ අමාත්‍ය විජිත හේරත්, කලාපීය රටවල් අතර ව්‍යාපාරික සබඳතා ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශය ඉටුකරන මෙහෙවර ඇගයීමට ලක් කළේය. සාර්ක් සමුළුව පැවැත්වීමට පහසුකම් සැලසීම සහ සාර්ක් සාමාජික රටවල් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව නිර්මාණාත්මක සහ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන බවට අමාත්‍යවරයා මෙහි දී සහතික විය.

ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපති ආචාර්ය රෝහිත සිල්වා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ, සාර්ක් වාණිජ මණ්ඩලය සමග එක්ව එළඹෙන ඔක්තෝබර් මාසයේ කොළඹ දී ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයක් සහ ව්‍යාපාරික සංසදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. මෙමගින් සාර්ක් සාමාජික රටවල ව්‍යාපාරිකයන්ට නව වෙළඳ අවස්ථා සහ ආයෝජන සහයෝගීතා ඇති කර ගැනීමට මග පෑදෙනු ඇත. එසේම, සාර්ක් ක්‍රියාවලිය යළි පණගැන්වීම සම්බන්ධයෙන් තමන් පසුගියදා ඉන්දීය සහ පකිස්ථාන මහ කොමසාරිස්වරුන් සමග ද සාකච්ඡා කළ බව ආචාර්ය සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ ය.

දකුණු ආසියාතික රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ පොදු එකඟතාවයකින් යුතුව මෙම හමුව සාර්ථකව නිමාවට පත්විය.

ජේ.මුණසිංහ

WhatsApp Image 2026 07 15 at 5.40.15 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න