ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාළව, රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මෙම වංචනික සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු එම දත්ත පිටපත් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනයට අදාළව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16 ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව පෙර නඩු දිනයේ දී අධිකරණයට දන්වා සිටියේ ය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම විමර්ශනයට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කළ තිබෙන තාක්ෂණික කමිටුවට ලබා දෙන ලෙසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට මෝෂමක් ගොනු කරමින් කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ මහා පරිමාණ මුදල් වංචාව පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශන කටයුතු සඳහා රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියට අදාළ දත්ත පිටපත් මෙලෙස තාක්ෂණික කමිටුව වෙත ලබා දීමට නියෝගයක් නිකුත් කිරීම අත්‍යවශ්‍ය වන බවයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු සඳහා අදාළ දත්ත පිටපත් තාක්ෂණික කමිටුව වෙත ලබා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත නියෝග නිකුත් කිරීමට පියවර ගත්තේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
