Language Switcher

V2025

ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකයට ගෙන ගිය 20 සංශෝධනයට 80% ක් විරුද්ධයි - කරූ

වත්මන් ආණ්ඩුව සම්මත කළ  20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැමැත්ත පළකර ඇත්තේ රටේ ජනගහනයෙන් 20% ක් පමණක් බවත් 80%ක් ජනතාව 20 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කර ඇති බව සමීක්ෂණ කිහිපයක් හරහා තහවුරු වී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය පවසයි.

20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වටා ගොණු කරගත් අසීමාන්තික බලතල හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා රැගෙන යමින් සිටින තත්වයක් තුළ, වගකීමක් ඇති පුරවැසියන් ලෙස නිහඩව සිටිමට නොහැකි වූ බවත්  එවැනි පරිසරයක මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමන විට, සමස්ත රාජ්‍යතන්ත්‍රයම අසීමාන්තික ලෙස දේශපාලනීකරණයට ගොදුරු කරමින් පවතින විට, රටේ සමස්ත ආර්ථිකය එක් පුද්ගලයෙකු හා ඔහු වටා සිටින ගජ මිතුරු කල්ලියක් විසින් දැවැන්ත ප්‍රපාතයක් කරා තල්ලු කරමින් සිටින විට අපට වඩ වඩාත් සක්‍රීයවීමට සිදුවුණ බවත් ඔහු පවසයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක  කරූ ජයසූරිය මේ අදහස් දක්වා සිටියේ "ප්‍රජාතන්ත්‍රවාදය කොයිබට ද?- ලංකාවට සිදුවිය හැක්කේ  කුමක් ද?" මැයෙන් ඊයේ  (04 ) සංවිධානය කර තිබූ වැඩසටහන අමතමින්ය.

එහිදී ඔහු සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.

අද මෙම විශේෂ සාකච්ජා සභාව සඳහා එක්වන සියලුම සම්භාවනීය ආරාධිතයින් සෙනෙහසින් හා සුහදව පිලිගන්නවා.

WhatsApp Image 2021 03 05 at 20.29.05

දේශපාලන පක්ෂ හදන්න අදහසක් නෑ ! 

අද මෙම අවස්ථාවට හිටපු මැතිඇමතිවරු, මන්ත්‍රීවරුන්, රාජ්‍ය සේවකයන්, නීතිඥයන්, සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන්, කලාකරුවන් ඇතුළු ඉතාමත්ම සම්භාවනීය මේ රට පිළිගත් විශාල පිරිසක් සහභාගී වී සිටිනවා.

ඔවුන්ගේ මෙම දායකත්වය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතාමත්ම අගය කොට සලකනවා.  එමෙන්ම එය අප සංවිධානයට ලබාදෙන මහත් වූ ධෛර්යයක් හා ශක්තියක් වන බවද ගෞරවයෙන් යුතුව සඳහන් කිරීමට කැමැති යි.

ප්‍රථමයෙන්ම මා මෙහිදී එක් කරුණක් කෙරෙහි අවධාරණය කිරීමට කැමැතියි. එනම් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට දේශපාලන බලය ලබා ගැනීම සඳහා වන කිසිදු අභිප්‍රායක් නැහැ.

ඒ නිසාම දේශපාලන පක්ෂ පිහිටුවීම සදහා කිසිදු අවශ්‍යතාවයක් ද නැහැ. එමෙන්ම මැතිවරණ සඳහා පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ද ඕනෑකමක් නැහැ. 

අපේ අවංක උත්සාහය තේරුම් ගන්න !

අප මේ සියල්ලම කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් ජනතාවට වඩා යහපත් රටක් ගොඩනගා ගැනීම සඳහා මේ රටේ පුරවැසියන් තුල පවත්නා බලවත් අධිෂ්ඨානය යථාර්තයක් කරගනු පිණිස අපගේ දායකත්වය ලබාදීමටයි. කරුණාකර අප කරන මෙම අවංක උත්සහය වරදවා තේරුම් ගන්න එපා.  පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසුව වඩා වැඩි සමාජ මැදිහත්වීමක් උදෙසා නිරතවීමට අප සංවිධානයට සිදු වුණා. විශේෂයෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒම තුළ අපට කිසිසේත්ම නිහඩව සිටීමට නොහැකි තත්වයක් උදා වුණා. 

WhatsApp Image 2021 03 05 at 20.29.04

ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකයට ගෙන ගිය  20 ! 

20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වටා ගොණු කරගත් අසීමාන්තික බලතල හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා රැගෙන යමින් සිටින තත්වයක් තුළ, වගකීමක් ඇති පුරවැසියන් ලෙස අපට නිහඩව සිටිමට නොහැකි වුණා.

එවැනි පරිසරයක මේ රටේ අහිංසක සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමන විට, සමස්ත රාජ්‍යතන්ත්‍රයම අසීමාන්තික ලෙස දේශපාලනීකරණයට ගොදුරු කරමින් පවතින විට, රටේ සමස්ත ආර්ථිකය එක් පුද්ගලයෙකු හා ඔහු වටා සිටින ගජ මිතුරු කල්ලියක් විසින් දැවැන්ත ප්‍රපාතයක් කරා තල්ලු කරමින් සිටින විට අපට වඩ වඩාත් සක්‍රීයවීමට සිදුවුණා.

ඒ වගේම මේ රටේ අතිබහුතර ජනතාව 20 වන සංශෝධනයට එකඟ නොමැති බව අප හොදින්ම දන්නවා. එමෙන්ම මේ රටේ අතිපූජනීය මහා සංඝරත්නයද ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයන් මෙන්ම මේ සමාජයේ ජීවත් වන රටට ආදර කරන සියලුම කොටස් අද වනවිට අධිෂ්ඨාන සහගතව එක් මතයකට පැමිණ තිබෙනවා.

20 අහෝසි කරමු !  

ඒ 20 වන සංශෝධනය අහෝසි කළ යුතුව ඇතියි යන පැහැදිලි අදහසට යි. මහා සංඝරත්නයද  ඇතුළු ඒ සියලුම දෙනා දක්වන එම අදහස අප සංවිධානයට මහත් වූ ධෛර්යයක් ලබාදුන්නා.

එමෙන්ම ආශිර්වාදයක් වී තිබෙනවා. අපට වාර්තා වී ඇති අන්දමට මේ රටේ සිදුකර ඇති ජනමත සමීක්ෂණ ගණනාවක ප්‍රතිඵල අනුව අදාල සමීක්ෂණයන්ට සහභාගී වූ ජනතාවගෙන් 80%ක්ම 20 වන සංශෝධනය අනුමත කරන්නේ නැහැ.

20 වන සංශෝධනය පිළිගන්නේ රටේ ජනතාවගෙන් 20%ක් තරම් සීමිත පිරිසක් පමණයි. මෙම තත්වය කෙරෙහි රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වේවායි අප ප්‍රාර්ථනා කරනවා. 2/3ක බලයෙන් උදම් වී සිටින ඔවුන් මෙම යථාර්තයන් වටහා ගතයුතුයි.  ඉමේජ් එකක් දාන්න  එමෙන්ම මෙම සම්මන්ත්‍රණය පවත්වන්නේ අපට පසුගිය මාස කිහිපය තුළ සමාජයේ විවිධ පාර්ශවවලින් ලැබුණු ඉල්ලීම් අනුවයි.

අපේ යුතුකමක් වශයෙන් එම වගකීම අපි ගෞරවයෙන් පිළිගත්තා. එය කලේ සත්භාවයෙන්. 20 වැනි සංශෝධනයෙන් සමාජයට ඇතිවූ මහා පරිමානයේ විනාශය ගැන විශේෂ දේශන තුනක් අද පැවැත්වෙනවා. ඒ රාජ්‍ය සේවය බිඳවැට්ට වූ ආකාරය, අධිකරණය හෑල්ලු කිරීම හා වෘත්තීය සමිති හා විරුද්ධ මතධාරීන් දඩයම් කිරීම ආදි වැදගත් කරුණු එමඟින් තවත් පැහැදිලි වෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.ඒවගේම තවත් වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි මේ රටේ ජනතාව දැනුවත් කිරීම අපගේ යුතුකමක් සේ සලකනවා.

WhatsApp Image 2021 03 05 at 20.29.05 1

පළාත් සභා හදිස්සිය !

ජුනි මාසයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා රජය උත්සුක වන බවට වාර්තා වෙනවා. මෙම හදිසිය අප තේරුම් ගතයුත්තේ කෙසේ ද?  මෙම තත්වය නිදහස් හා සාධාරණ මෙන්ම සාමකාමී මැතිවරණ පිළිබදව අපේක්ෂාවන් ඇති බොහෝ පාර්ශවයන්හි දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

මැතිවරණ කොමිසන් සභාවේ කටයුතු කරන බොහෝ දෙනෙක් ද මේ පිළිබදව අප වෙත කරුණු දක්වා තිබෙනවා. ඔවුන් අප වෙත අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ ස්වාධීන කොමිෂන් සභාවන් හි වර්තමාන සංයුතිය දෙස බලන විට නිදහස් හා සාධාරණ මැතිවරණ පිළිබද අපේක්ෂා දැල්වීම නිශ්ඵල දෙයක් විය හැකි බවයි.එම අදහස අප තුළද තිබෙනවා.

මුදල් කොමිසම හැර අනෙකුත් සෑම කොමිසමක් තුළ බලගතු දේශපාලන හස්ත තිබෙනවා. අද බහුතර මතය වන්නේ මේ කොමිෂන් සභා විපක්ෂයේ ද එකගත්වයෙන් නැවත පත්විය යුතුය යන්නයි.

එක් බලලෝභී පුද්ගලයෙකු මේ කොමිෂන් සභා ඇති කලේ ඒකාධිපති ආණ්ඩුවක් ඇතිකර සැමදා බලේ සිටීමටයි.

විරුද්ධ මතධාරීන් දේශපාලන සිතියමෙන් ඉවත් කිරීමේ උත්සාහයක් !

2001 වසරේදී 17 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසු 2015 දක්වා පැවැත්වු මැතිවරණ අතීතයට සාපේක්ෂව සාමකාමීව සිදුවුණා. 19 වැනි සංශෝධනයෙන් ඇතිකල ප්‍රජාතන්ත්‍රවාදී ආවරණ තුළ 2019 ජනාධිපතිවරණය 2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත්ම ආදර්ශමත්ව සිදුවුණා. වර්තමාන පරිසරය තුළ එවැනි මැතිවරණයක් ගැන සිතන්නටවත් බැහැ. 

එමෙන්ම මුලු රටම ආන්දෝලනයකට ලක්කර ඇති උපාලි අබේරත්න කොමිසමේ විකාර යෝජනා මේ රටේ ජනතාව පිළිකුලෙන් හෙලා දකිනවා. මෙහිදි අපි කලින් සදහන් කල පරිදි බලලෝභී දේශපාලඥයන් කිහිප දෙනෙකුට අවශ්‍ය වී ඇත්තේ විරුද්ධ මතධාරීන් දේශපාලන සිතියමෙන් පූර්ණ වශයෙන් අතුගා දැමීමටය. 

WhatsApp Image 2021 03 05 at 20.29.06

මෙරට බලධාරීන්ට අප කියන්නේ එවැනි උත්සහයක් දැරුවොත් එමඟින් මේ රට ලේ විලක් වෙන්න පුලුවන් බවයි. අද මියන්මාරයේ ඒකාධිපතිත්වයට එරෙහිව වීදිසටන් කරන්නේත් ජීවිත පූජා කරන්නේත් අවුරුදු 20 ගණන්වල වෙසෙන තරුණ පරපුර යි. එවැනි තත්වයක් අප රට තුළ නිර්මාණයවීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. එය මේ රටේ සමස්ත ජනතාව වෙත පැවරී ඇති වගකිමකි. 

අබේරත්න කොමිසම රටේ අධිකරණයට කැලලක් !

උපාලි අබේරත්න කොමිසම අපේ රටේ අධිකරණයට විශාල කැලලක්, ඒ වගේම අපේ අධිකරණයට සිදු කරන ලද බරපතලම අපහාසයක්. අග්‍රවිනිශ්චයකාරතුමා ප්‍රමුඛ ගරු අධිකරණය මේ කරුණු පිළිබදව දැඩිලෙස අවධානය යොමුකරනු ඇතැයි අප විශ්වාස කරනවා.

උත්තරීතර අධිකරණය උපයාගත් ගෞරවය හා විශ්වාසය බිදවැටීමට ඉඩ දෙන්න එපා. මේ රට තුළ ස්වාධීන අධිකරණයක් ප්‍රාර්ථනා කරන, රටට ආදරය කරන අප හැම දෙනාගේම ඉල්ලීම එයයි.  කරුණු බොහෝ ඇතත් මේ කරුණු කිහිපය අපි සදහන් කළේ, රට යන අත ගැන දැඩි වේදනාවෙන්. සීමිත සංඛ්‍යාවක සහභාගීත්වයෙන් විශේෂ අවසරයක් ලබාගෙන මේ සම්මන්ත්‍රණය පැවැත්වූයේ මේ රටේ ජනතාවට අප විසින් මෙම කරුණු පැහැදිලි කරදිය යුතු නිසයි. අනාගතයේදී මුහුණදීමට සිදුවිය හැකි විනාශයෙන් රටත්, ජනතාවත් බේරා ගැනීම සදහායි.

අපි අතර විවිධ මත ගැටුම් තිබෙන්නට පුලුවන් නමුත් මේ ගිනිගෙන දැවෙන රට එයින් මුදා ගැනීම අත්‍යවශයෙන්ම කලයුතුව තිබෙනවා. ඊළග පරපුරට යහපත් රටක් උරුම කරදීම අපවෙත පැවරී ඇති දැවැන්තම වගකීම වී තිබෙනවා. ඒ සදහා අත්වැල් බැද ගනිමු.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මෙහිදී කරනුයේ ඒ සඳහා වන ජාතික එකගත්වයක් වෙනුවෙන් කරන්නාවූ සම්බන්ධීකරණය යි.

WhatsApp Image 2021 03 05 at 20.29.06 1