පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන සත්යග්රහය අතරතුරදී බලංගොඩ කස්සප හිමියන්ට සිදු වූ බව කියන පහරදීම තරයේ හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ මෙම පහරදීම මගින් පිළිබිඹු කෙරෙන්නේ මාලිමා රජය යටතේ ක්රියාත්මක වන අබෞද්ධකරන ක්රියාදාමයේ තවත් දැඩි පියවරක් බවයි.
එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ මාධ්ය නිවේදනයේ ඇතුළත් ප්රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ
කෝට්ටේ සංඝ සභාව මගහැරීම
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ සම්පූර්ණ බලතල හිමිවන්නේ උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවට සහ එහි මහනායක අති පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමියන්ට පමණක් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. ජනාධිපතිවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි නියෝජිතයන් හමුවී සාකච්ඡා කළ ද, මෙම ගැටලුවට කෙළින්ම සම්බන්ධ කෝට්ටේ සංඝ සභාවට ඊට ආරාධනා නොකිරීමෙන් පෙනී යන්නේ රජයට මෙයට විසඳුමක් සෙවීමට උවමනාවක් නැති බවයි. "එසේ ආරාධනා නොකළේ පැලවත්තේ නියෝග මතද?" යන්න එජාපය ප්රශ්න කර සිටියි.
සිවුර ඉවත් කිරීම සහ ව්යවස්ථා උල්ලංඝනය
1877 අංක 16 දරන බන්ධනාගාර ආඥා පනත සහ බන්ධනාගාර රෙගුලාසි පවතිද්දී, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම මඟින් බන්ධනාගාර රෙගුලාසි, බෞද්ධ විනය පිටකය මෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය ද බරපතල ලෙස උල්ලංඝණය වී ඇති බව පෙන්වා දෙයි.
හිටපු බන්ධනාගාර ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල ක්රියා කළ ආකාරයට සිරගතව සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවීරයන්ට සිවුර දරා සිටීමට වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා ක්රියා නොකළේ මන්ද? යන්න එජාපය ප්රශ්න කර සිටියි.
පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්යතාව
බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් මහනායක හිමිවරුන් හමුවට යැවීමට ප්රථම, රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව රජය පියවර ගත යුතු බව එජාපය අවධාරණය කරයි. එමෙන්ම, බන්ධනාගාර කොමසාරිස්වරයා මහනාහිමිවරුන් බැහැදැකීම නිලධාරීන්ගේ තීරණයක්ද නැතහොත් බාහිර බලපෑමක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ නිවේදනය පහළින්>>

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
