Image

අධිකරණ තීරණවලට එහා තීරණ බලාපොරොත්තු වෙන්න එපා - ජනපති අනුර කුමාර

අධිකරණ තීරණවලට එහා තීරණ බලාපොරොත්තු වෙන්න එපා - ජනපති අනුර කුමාර

අධිකරණයෙන් ලබා දී තිබෙන තීරණවලට එහා ගිය තීරණ අපෙන් බලාපොරොත්තු නොවන්නැයි ජනපති අනුර කුමාර දිසානායක පවසයි. 

අද (18) බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර, රජය කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මත පමණක් බවත්, අද වන විට නීතිය කාටත් සමාන බව අවධාරණය කළේය.

කෙසේ නමුත් පැරණි නීතියෙන් වරප්‍රසාද ලැබූ, නීතියේ රැකවරණය ලැබූ සහ නීතිය ඉදිරියේ තමන්ට දඬුවම් ලැබේ යැයි සිතන අය ඊට එරෙහිව කෑගසන්න පටන් ගෙන ඇති බවද ජනාධිපතිවරයා පැවැසුවේය.

“නීතිය පිළිබඳව අවසන් වගකීම කාටද? පාර්ලිමේන්තුව පනත් හදලා දෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම ඒ පනත්වලට අනුව නඩු දානවා. ඒ නඩුවලට අවශ්‍ය වන පරීක්ෂණ ටික අල්ලස් කොමිසම, CID එක, පොලීසිය කරලා දෙනවා.

අවසානයේදී ඒ නීතිය අවසන් වගවිභාගයට ලක් කිරීම අධිකරණය විසින් සිදු කරනු ලබනවා. ඒ අධිකරණයේදීත් අවසානයේ නීතිය වගවිභාගයට ලක් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනවා.

තීන්දුවක් දුන්නාම 'නෑ ඒක අයින් කරන්න' කියලා කෑගහනවා. දැන් කොහෙද මේ නීතිය තියෙන්නේ එතකොට.

එහෙම නීති තියෙන්න බෑ රටක. ඒ නිසා මතක තබාගන්න, ඒ ආයතනවලට අපි නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය දීලා තිබෙනවා.

අධිකරණ පද්ධතිය විසින් ලබාදෙන තීරණ මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තීරණය ලෙස අපි සලකනවා. අධිකරණය ලබාදී තිබෙන තීරණයට අපි යටත් වෙනවා. එතනින් එහා කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා.” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න