ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (15) දින 16ක් ගතවී තිබේ.
---------------------------------
08.40 am
අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර පහක් දියත් කළ බව සරායා අව්ලියා අල්-දම් කණ්ඩායම පවසයි.
ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඝාතනය කිරීම සහ තම සටන්කාමීන් පිරිසක් මියයාමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව එම කණ්ඩායම සඳහන් කළේය.
මෙම ප්‍රහාරවලට උතුරු ඉරාකයේ අර්බිල් නගරයේ පිහිටි අමෙරිකානු මධ්‍යස්ථානයක් සහ බැග්ඩෑඩ් ගුවන් තොටුපළේ පිහිටි වික්ටෝරියා කඳවුර ද ඇතුළත් වූ බව ඔවුහු වැඩිදුරටත් පැවසීය.
--------------------------------
08.25 am
දකුණු ලෙබනනයේ දේශසීමා නගරයක් වන ඔඩයිසේ අසල පිහිටි ඛල්ලට් අල්-මහාෆිර් ප්‍රදේශයේ රැඳී සිටි ඊශ්‍රායල සෙබළුන් ඉලක්ක කර ගනිමින් "විශාල රොකට් ප්‍රහාර මාලාවක්" එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පවසයි.
------------------------------------
08.15 am
ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ දකුණුදිග නගරයක් වන සයිඩන්හි ෂර්හබිල් ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.
------------------------------------
08.10 am
ජනාධිපති ට්‍රම්ප් NBC News සමඟ පැවැත්වූ පුළුල් සම්මුඛ සාකච්ඡාවකදී, ඉරානය සමඟ ඇති කරගත හැකි විභව ගිවිසුමක් පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.
ඉරාන බලධාරීන් තමා හා සම්බන්ධ වූ බවත්, නමුත් එහි කොන්දේසි තවමත් ප්‍රමාණවත් තරම් යහපත් නොවන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
ඔහු මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙවැනි ප්‍රකාශ කර තිබුණද, ඉරාන රජය මෙතෙක් එය තහවුරු කර නොමැත.
දෙපාර්ශවයම තවමත් එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් වාසි සහගත තත්ත්වයක් ලබා ගැනීමට උත්සාහ කරන බැවින්, දැනට මෙය ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් ලෙස පමණක් පවතී.
--------------------------------
07.55 am
ඉරානයේ ඉස්ෆහන් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ශීතකරණ සහ තාපක නිෂ්පාදනය කරන සිවිල් කර්මාන්තශාලාවකි.
යුද්ධය ආරම්භ වූ දා සිට ඉස්ෆහන් නගරය මෙම ප්‍රහාරක මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානයක් වී ඇත.
එය රට මැද පිහිටා ඇති ඉතා වැදගත් නගරයක් වන අතර, එහි හමුදාමය සහ සිවිල් යන අංශ දෙකටම අයත් කර්මාන්තශාලා මෙන්ම ඉරානයේ වැදගත්ම න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයක් ද පිහිටා ඇත.
මීට අමතරව ටෙහෙරාන්, තබ්‍රීස්, බන්ඩර් අබ්බාස් සහ කර්මන් පළාතේ සීර්ජාන් යන නගරවලට ද ප්‍රහාර එල්ල විය.
----------------------------------
07.49 am
ඊශ්‍රායලයේ අවිවිම්හි රැඳී සිටි එරට සෙබළුන් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පවසයි.
-----------------------------------
07.38 am
ගෙවුණු පැය 24 ඇතුළත ඩ්‍රෝන ප්‍රහාරක යානා පහක් වෙඩි තබා බිම හෙලූ බව කුවේට් ජාතික ආරක්ෂක බළකාය පවසයි.
කුවේට් බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ, ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇති පහසුකම්වලට එල්ල වී ඇති අතර, ඉන් ගුවන් තොටුපළේ රේඩාර් පද්ධතියේ කොටසකට හානි සිදුව ඇති බවය.
එමෙන්ම අහමඩ් අල්-ජාබර් ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයට මිසයිල දෙකක් පතිත වීමෙන් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
-----------------------------------
07.20 am
ඕමානයේ සිටින සියලුම අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයින්ට සහ සේවක පවුල්වල සාමාජිකයින්ට වහාම එරටින් පිටවන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
"ආරක්ෂක අවදානම්" හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
-----------------------------------
06.53 am
දකුණු ලෙබනනයේ සයිඩන් සහ අල්-කට්‍රානි ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඊශ්‍රායල වැටලීම් දෙකකින් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තවත් 8දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම දකුණුදිග නබාටියේ නගරයේ නන්ස් අසල්වැසි ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් 7දෙනෙකු මියගොස් ඇත.
එම පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකු ද වන බව වාර්තා වේ.
පෙබරවාරි 28 වැනිදා සිට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 826 දක්වා ඉහළ ගොස් ඇති අතර, අවතැන් වූ පිරිස 831,000 ඉක්මවා ඇති බව අමාත්‍යාංශය මීට පෙර වාර්තා කළේය.
----------------------------------
06.30 am
ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සූදානම් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නමුත් කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන නිසා තමන් දැන් එය කිරීමට අකමැති බවය.
කෙසේ නමුත් එම කොන්දේසි මොනවාද යන්න පැවසීම ප්‍රතික්ෂේප කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා ඕනෑම න්‍යෂ්ටික අභිලාෂයක් අත්හැරීමට ඉරාන කැපවීමක් ගිවිසුමක කොටසක් වනු ඇතැයිද පවසා තිබේ.
එහෙම්ම හෝමූස් සමුද්‍ර සන්දිය සුරක්ෂිත කිරීමට උදව් කිරීමට රටවල් කිහිපයක් කැපවී සිටින නමුත් එම රටවල් මොනවාද යන්න නම් කිරීමටද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.
ඉරාන තෙල් අපනයනය සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත එක්සත් ජනපදය සම්පූර්ණයෙන් විනාශ කර ඇති බවත් පවසා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පවසා ඇත්තේ විනෝදය සඳහා එක්සත් ජනපදයයට තවත් කිහිප වතාවක් එයට පහර දිය හැකි බවය.

