Language Switcher

V2025

කොංග්‍රසයට කඩාවැදීම දක්වා බ්‍රසීලයේ දේශපාලන වියවුල වර්ධනය වූයේ කෙසේද?

බ්‍රසීලයේ හිටපු ජනපති ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් එරට කොංග්‍රසයට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ ජනාධිපති මන්දිරයට පසුගියදා කඩා වැදුණි.

බ්‍රසීල ධජයේ දීප්තිමත් කහ සහ කොළ පැහැති කමිස පැළඳ සිටි මහා ජනකායක්, එරට පිහිටි ප්‍රධාන පාලන මධ්‍යස්ථානවලට කඩා වැදීම දක්වා මෙම වියවුල වර්ධනය වූයේ ඇයිද යන්න පිළිබඳව අපි මෙසේ සොයා බැලීමක් කළෙමු.

දෙමසකට පෙර පැවති බ්‍රසීල මැතිවරණය

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති ජනපතිවරණයේදී, එරට අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ 'ලුලා' නමින් ප්‍රකට ඔහුගේ වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාට එරෙහිව තරග කළේය.

ඉතා ප්‍රබල සහ ගැටලුකාරී මැතිවරණය ව්‍යාපාරයකින් අනතුරුව, පසුගිය ඔක්තෝබර් 30 වැනි දින පැවති ජනපතිවරණයේදී ඉතා කුඩා ඡන්ද පරතරයකින් බොල්සොනාරෝව පරාජය කිරීමට 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා කාලය තුළ බ්‍රසීලයේ ජනාධිපති ලෙස කටයුතු කර තිබු ලුලා සමත් විය.

මෙම කඩාවැදීම කිසිදු ආකාරයකින් "යහපත් පූර්වාදර්ශයක්" නොවන බව පැවසූ, ලූලා එය පිටුපස සිටින්නන් "උමතු ෆැසිස්ට්වාදීන්" ලෙස හැඳින්විය.

සමාජ මාධ්‍ය හරහා බොල්සොනාරෝ කැරලිකරුවන්ව දිරිමත් කරන බවට ද ඔහු චෝදනා කළ අතර, හිටපු ජනාධිපතිවරයා විවිධ ආකාරයේ කතා මගින් මෙවන් ක්‍රියාවල යෙදෙන්නන්ව උසිගන්වන බව සෑම දෙනාම පාහේ දන්නා කරණක් බව ද ඔහු කියා සිටියේ ය.

දැඩි ලෙස බෙදුණු රටක්

බ්‍රසීලය ඉතා දැඩි ලෙස බෙදීමට ලක් වී ඇති රටකි. කොංග්‍රසයට ඇතුළු වොඉ වී එහි පාලන මධ්‍යස්ථානවලට කඩා වැදීමට ඇතැම් බ්‍රසීල ජාතිකයන් පෙළඹීම හරහා තම මතය තවදුරටත් නියෝජනය නොකරන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට පහරදීමට තරම් දුරකට තමන්ට යා හැකි බවට ඔවුන් ප්‍රදර්ශනය කළ නාටකීය අවස්ථාවක් විය.

මෙය වාමාංශිකයන් සහ දක්ෂිණාංශිකයන් අතර ඇති ගැටුම සම්බන්ධයෙන් පමණක් වන කතාවක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක ප්‍රතිඵලය තම කැමැත්තට පටහැනි වූ විට එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේත මතින් තම කෝපය පිට කරන බ්‍රසීල ජාතිකයන් පිළිබඳවද කතාවකි.

කඩාවැදීමට සහභාගී වූවන් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී කණ්ඩායමේ අන්තයේම සිටින්නන් ය. නමුත් ලූලා ගැන අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින්, එම කඩාවැදීම වෙනුවෙන් උසිගැන්වීම් සිදුකළ තවත් බොහෝ විරුද්ධවාදීහු සිටිති.

සිරකරුවෙකුගේ සිට ජනපති දක්වා ලුලාගේ ගමන් මග 'ඕනෑවට වඩා වැඩි'

දෙවතාවක් ජනාධිපති ධුරය දැරූ ලුලා, සිර දඬුවම් ද විඳ තිබේ. ඇතැම් බ්‍රසීල ජාතිකයන්ට අනුව, සිර දඬුවම් විඳීමෙන් අනතුරුව ලුලා නැවතත් ජනපති මැදුරට කළ ආගමනය 'ලැජ්ජා විරහිත' ක්‍රියාවකි.

2017 වසරේදී දූෂණ චෝදනාවන්ට වරදකරු වූ ලූලා, දින 580 ක් සිරගතව සිටි අතර ඔහුට 2018 ජනාධිපතිවරණයට තරඟ කිරීම තහනම් විය. එවර ජනපතිවරණය බොල්සොනාරෝ විසින් ජයග්‍රහණය කළේ ය.

බ්‍රසීලයේ රාජ්‍ය තෙල් සමාගම සමඟ ගිවිසුමකට එළඹීම වෙනුවෙන් ඉංජිනේරු සමාගමකින් අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනා මත ඔහුට සිරගත වීමට සිදු විය. මෙම අල්ලස සමුද්‍රාසන්න මහල් නිවාසයක් ප්‍රතිසංස්කරණ කිරීමක් ලෙස ඔහු විසින් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබුණි.

මෙම මහල් නිවාසය කිසි විටෙකත් තමන්ට අයිතිව නොතිබූ බවට ලුලා ප්‍රකාශ කළ අතර, පසුව ඔහුගේ වරද නිෂ්ප්‍රභ කර ඔහුට නැවත නිලවරණයට ඉදිරිපත් වීමේ අවසරය ලබා දුනි.

නමුත් ලුලාගේ විරුද්ධවාදීන් පවසන්නේ බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ වරද නිෂ්ප්‍රභ කළද ඔහු නිර්දෝෂී බවක් ඉන් අදහස් නොවන බවයි. ක්‍රියා පටිපාටිමය හේතුවක් මත පදනම්ව පමණක් මෙම නිෂ්ප්‍රභ කිරීම සිදු කර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ලුලාගේ ආධාරකරුවන්ට අනුව, මෙම චෝදනා සියල්ල ම පදනම්ව ඇත්තේ දේශපාලන හේතු මත ය.

මෙම තීරණය පිටුපස සිටි විනිසුරුවරයා පසුව බොල්සොනාරෝගේ රජයේ අමාත්‍යවරයෙකු ලෙසට පත් වූ අතර, ඔහු විසින් ලුලාගේ නඩු විභාගය අධීක්‍ෂණය කිරීමේදී පක්ෂග්‍රාහී ලෙසට කටයුතු කළ බවට බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ විට ඔවුන්ගේ මතය තවදුරටත් සනාථ විය.

බොල්සොනාරෝගේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ආධාරකරුවන්

ජෙයාර් බොල්සොනාරෝව ඔහුගේ බොහෝ ආධාරකරුවන් විසින් හඳුන්වන්නේ "දෙවියන්, පිතෘභුමිය, පවුල" ලෙස ලැයිස්තුගත කර ඇති ඔවුන්ගේ ඇගයුම් සහ සාරධර්ම ආරක්ෂා කිරීමට පැමිණි ගැලවුම්කරුවෙකු ලෙසට ය.

වාමාංශික අපේක්ෂකයා බලයට පත්වුවහොත්, පල්ලි වසා දමන බවට අසත්‍ය කටකතා පැතිර ගිය අතර, ඒවා විශ්වාස කරමින්, තම සාරධර්මවලට තර්ජනයක් වන ලුලා පරාජය කරන පුද්ගලයා ලෙස ඔවුහු බොල්සොනාරෝ කෙරෙහි බලාපොරොත්තු තැබූහ.

ලුලා පරදින බවට දැඩි සේ විශ්වාස කළ ඔවුන්, ඔහුගේ ජයග්‍රහණය නිහඬව පිළිගැනීමට මැළි වූහ.

හමුදා බැරැක්ක ඉදිරිපිට කඳවුරු බැඳගත් ඇතැම් ආධාරකරුවන්, හමුදා කුමන්ත්‍රණයක් සිදුකර හෝ ලුලා ජනාධිපති වීම වළක්වන ලෙස බැගෑපත් වූහ.

කෙසේ වෙතත්, හමුදාව ඒ ආකාරයට ක්‍රියා නොකළ අතර ලුලා ජනපති ලෙස දිවුරුම් දුන්නේ ය.

ලුලා ජනාධිපති මන්දිරයට පැමිණීමෙන් කුපිත වූ බොල්සොනාරෝ ආධාරකරුවන්

 128235079 9de05c9bdc8a933333264508cbad9e086f71366e0 0 5760 38401000x667ඒ අනුව එරට අගනුවර වන බ්‍රසීලියාවේ කැරලි ආරම්භ වූයේ ලුලා බලයට පත් වී සතියකට පසුව ය.

සිය ජනපතිවරණ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බොල්සොනාරෝ, දිවුරුම් දීමේ උත්සවයට සහභාගී නොවූ අතර ඒ වෙනුවට එක්සත් ජනපදයට පියාසර කිරීමට ඔහු කටයුතු කළේ ය.

බොල්සොනාරෝ විසින් ලුලාව පරාජය කිරීම කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටි පිරිසගේ කෝපය වර්ධනය වීමට එය තවත් හේතුවක් විය.

ලුලා 'බ්‍රසීලයට තර්ජනයක් වූ කොමියුනිස්ට්වාදියකු ලෙස' හැඳින්වීම පුරුද්දක් බවට පත්කරගත් අයට ඔහු ජනපති මැදුරට යනු දැකීම දරාගත නොහැකි දෙයක් බවට පත්විය.

හමුදාව විසින් තමන්ට සහය නො දක්වන බව හැඟී යාමෙන් අනතුරුව ඔවුන් බලය සියතට ගැනීමට තීරණය කළ අතර, තවදුරටත් තමන්ව නියෝජනය කරන බව

නොහැඟෙන මෙන්ම, තමන්ගේ ඇගයුම්වලට එරෙහි වන බවට ඔවුන් විශ්වාස කළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන මධ්‍යස්ථානවලට කඩා වැදීමට ක්‍රියා කළහ.

අන්තවාදය සහ අසත්‍ය ප්‍රචාරවලට ඇත්තේ ඔවුන්ගේම හැඩයක්

ජෙයාර් බොල්සොනාරෝගේ බෙදුම්වාදී ප්‍රකාශ මෙන්ම බ්‍රසීලයේ මැතිවරණ ක්‍රමයේ වලංගුභාවය පිළිබඳ ඔහුගේ ප්‍රශ්න කිරීම් ද බ්‍රසීලයේ සිදුවූ කැරලිවලට විශාල වශයෙන් හේතු විය.

බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමය වංචාවට තුඩු දෙන්නක් බවට ජනපතිවරණයට පෙරදී ඔහු නැවත නැවතත් ප්‍රකාශ කළේ ය. එය මැතිවරණ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළේය.

නමුත් බොල්සොනාරෝගේ පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් මැතිවරණ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් බොහෝ බ්‍රසීල ජාතිකයන් විශ්වාස කරන්නේ ජනපතිවරණය වංචා සහගත වූ බවයි.

කැරැල්ලෙන් අනතුරුව, බොල්සොනාරෝ ට්විටර් ඔස්සේ ප්‍රකාශ සිදුකරමින්, තමන් බ්‍රසීලියාවේ කැරලිකරුවන් උසිගන්වන අන්දමේ ප්‍රකාශ කළ බවට ලුලා විසින් කරන්නට යෙදුණු චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

"අද සිදු වුණු ආකාරයේ පොදු ගොඩනැගිලි ආක්‍රමණය කිරීම් නීති විරෝධී බව" ඔහු පැවසුවේ ය.

එහෙත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට කඩා වැදුණු ආධාරකරුවන්ගේ අන්තවාදයට ඔවුන්ගේම හැඩයක් ඇති අතර, එය පාලනය කිරීම දුෂ්කර වී තිබේ.

බීබීසී -සිංහල