''අටවපු බංකරයක
හිඳ
අම්මත් මමත්
නිවසක සැලසුම්
අඳිමින් හිටියෙමු''
රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන.."(දීප චෙල්වම්)
"අටවපු බංකරයක හිඳ අම්මත් මමත් නිවසක සැලසුම් අඳිමින් හිටියෙමු". මැතකදී වඩාත් කතා බහට ලක්‌වුණු ප්‍රකට දමිළ සාහිත්‍ය කරුවෙකු වන දීපචෙල්වම් ගේ මෙම පද පේළිය හුදු මතකයක් පමණක් නොවේ. එය මරණයේ අළු මත හිඳ ජීවිතයේ 'ශෛලිය' සොයා යන මනුෂ්‍ය ආත්මයක විලාපයයි. ඉතාලි මනෝවිශ්ලේෂක මැසිමෝ රෙකල්කාටි, ක්ලෝඩියෝ පර්මිජියානිගේ කලාව අළලා ඉදිරිපත් කරන දර්ශනය ලාංකීය ඊලම් යුද්ධයේ කම්පනය විඳි දීපචෙල්වම් වැන්නවුන්ගේ සාහිත්‍යයට අපූරුවට ගැළපේ.
වේදනාවම තම නිර්මාණයේ අමුද්‍රව්‍යය බවට පත් කර ගැනීම
රෙකල්කාටි පවසන පරිදි, ඕනෑම ශක්තිමත් නිර්මාණ ශෛලියක් බිහිවන්නේ ජීවිතයට එල්ල වූ දරුණු කම්පනයක ප්‍රතිඵලයක් ලෙසයි. පර්මිජියානිට එය 'ගින්නෙන් අළු වූ තම රතු පැහැති නිවස' නම්, දීපචෙල්වම්ට එය 'බංකරය' සහ 'අහිමි වූ නිවසයි'. යුද්ධය මනුෂ්‍යයා ගේ සංකේත ලෝකය සුනුවිසුනු කළ විට, ඉතිරි වන්නේ දරාගත නොහැකි වේදනාවේ පුනරාවර්තනයකි. කලාකරුවා කරන්නේ මෙම වේදනාවෙන් පලා යාම නොව, එම වේදනාව ම තම නිර්මාණයේ අමුද්‍රව්‍යය බවට පත් කර ගැනීමයි.

පර්මිජියානි තම නිර්මාණ සඳහා අළු සහ දුමාරය භාවිත කරන්නේ 'නැති දේ' සංවේදී කිරීමටයි. දීපචෙල්වම් ගේ කවියේ ද බංකරය යනු මරණයේ සෙවණැල්ලයි. නමුත් එම මරණයේ සෙවණැල්ල තුළ හිඳිමින් 'නිවසක සැලසුම් ඇඳීම' යනු රෙකල්කාටි පවසන 'පරාජිත පුනරාවර්තනය නිර්මාණාත්මක ක්‍රියාවක්' බවට පත් කිරීමේ ආශ්චර්යය යි. යුද්ධය සියල්ල අළු කර දැමුවද, එම අළු මත ඇඳෙන සැලසුම මගින් පරාජය කළ නොහැකි මානව අභිලාෂය ප්‍රකාශ වේ.
ඔහු රැගෙන එන අලුත් සහ ආශ්චර්යමත් වැලි කැට
දීපචෙල්වම් ගේ සාහිත්‍යය යනු හුදු යුද වාර්තාකරණයක් හෝ නැවත යුද්දයක් බලාපොරොත්තු වීම නොවේ. එය පර්මිජියානිගේ කලාව මෙන්ම "නොපැවැත්මේ සංකේතයක්'' බඳුය. විනාශ වූ නගර, මියගිය මිනිසුන් සහ අතහැර දැමූ නිවෙස් ඔහුගේ පෑන අගින් පණ ලබන්නේ ලෙයින් සහ මසින් නොව, ඒවායේ ඇති 'හිස්බව' අපට දැනෙන්නට හැරීමෙනි. රෙකල්කාටි පවසන පරිදි කලාවේ කාර්යය වන්නේ නොපෙනෙන දේ දෘශ්‍යමාන කිරීම නොව, එය මනුෂ්‍ය හදවතට 'සංවේදී' කරවීමයි.
පුනරාවර්තනය යනු සාමාන්‍යයෙන් මරණයේ ලක්ෂණයකි. එකම වේදනාව නැවත නැවත විඳීම පුද්ගලයෙකු අඩපණ කරයි. එහෙත් දීපචෙල්වම් බඳු කලාකරුවන් එම පුනරාවර්තනය 'නිර්මාණයක්' බවට හරවයි. බංකරය තුළ සැලසුම් ඇඳීම යනු අතීතයේ කම්පනයට යට නොවී, එම කම්පනයෙන් ම අනාගතය සඳහා නව ශෛලියක් උත්පාදනය කර ගැනීමකි. රෙකල්කාටි පර්මිජියානි ගැන පැවසූ දේ දීපචෙල්වම්ට ද වලංගුය. ඔහු තම කම්පනයේ රළ පහරින් තල්ලු වී නැවත නැවතත් එකම වෙරළට පැමිණියද, සෑම වතාවකම ඔහු රැගෙන එන වැලි කැටය අලුත් සහ ආශ්චර්යමත්ය.

Mandis Murrukkuwadura
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
