Image

පහත්වෙලා බල නහරද කපාගමී - මහත්තුරුනි මම වල්ගය විකාගමී

පහත්වෙලා බල නහරද කපාගමී - මහත්තුරුනි මම වල්ගය විකාගමී

පහන් සිතින් මගෙ මව්බිම බදාගෙන

කෙළින් වෙමින් බල නහරද කපාගෙන

දැහැන් ගතව පපුවට අත තියාගෙන

බවුන් වඩමි මම වල්ගය විකාගෙන

 

ඇල්මෙන් අකුරු කළ දිවියක ජිංතු පිට

හොල්මන් වෙමින් ලංකාවේ ඉන්නකොට

ඉල්ලං කෑව ටික තලු මරනා අපට

වල්ගය විකා ගන්නා එකමය සතුට

 

කෙනිත්තුවත් ගෙට ඇවිදින් මරණ බිය

උලත් පිලත් විප්ලවයට පොහොර විය

යලත් මහත් ඉකිලනකොට තුරුණු විය

මටත් වල්ගයක් ඇති බව පසක් විය

 

චූන් පාන් සංගීතෙක රසට හැරී

මාංසියම බේරෙයි පොල්කිරට පෙරී

පාන් වාටියක මා කර වටක් එරී

යාන්ත්‍රිකව ලද ආතල් කියනු බැරී

 

ක්ෂීරපායි මෙවලම් උඩ තියාගෙන

ක්ෂීරපථය ලෙවකා රස උරාගෙන

ධූලි වලාකුළු පපුවට පෙරාගෙන

පාර සොයමි මම වල්ගය විකාගෙන

 

කරුම ගෙවෙන හැටියට ආ පතාගෙන

අරුම හැඟුම් දෙන හංකිති මකාගෙන

සරම පිටින් කකියන දුක දරාගෙන

පරම සතුට ගමි වල්ගය විකාගෙන

 

මාක්ස්වාදයේ පටුනක වාඩිවෙමී

සාස්පානකට දාඩිය පෙරාගමී

වාස්තවික ටිංකිරි ලෙවකා විඳිමී

මාත් මගේ වල්ගය නටවා බලමී

 

ක්ෂුද්‍ර ජීව පුනරුදයක සතුට හිමී

ලබ්බ සේම පුහුලද අතගා බලමී

විප්ලවීය ආචාරය පුදකරමී

සත්‍යවාදි වී මම වල්ගය විකමී

 

දෑ කැත්තයි මිටියයි මට ගිලුණාම

දෑ බැති පෙම මුත්‍රාශෙට එයි තාම

සිංහ වල්ගයක් අල්ලා ගත්තාම

කොඩියෙන් වට අසිපත මට දෙයි ගේම

 

රතු කොඩියක් ගෙන අමුඩය ගසා ගමී

ටොපි කොළයක් ලෙවකා බොර වතුර බොමී

ඇට මිරිකන සතුටක පරිධියට නැමී

කටු පෑදෙන තුරු වල්ගය විකාගමී

 

පිරිත් පැණින් දැලි පිහියද දොවාගමී

කියත් තලේ උඩ මම වක ගසාගමී

පහත්වෙලා බල නහරද කපාගමී

මහත්තුරුනි මම වල්ගය විකාගමී

 

ටයර් සෑයකින් වට අළු ඇබිත්තක

ශේෂ කැකෑරෙයි මවකගෙ කැවුත්තක

අතරමංව දත ගලවන නිමිත්තක

කවිය තබා යමි නිවහල් කනත්තක

කුමාර හෙට්ටිආරච්චි

 

 

 

 

කුමාර හෙට්ටිආරච්චි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න