1977 සිට 1994 දක්වා පැවති එ.ජා.ප. ආණ්ඩුවේ අවසාන කාලය වූ 1990-1994 යන යුගය (ජ.වි.පෙ. කැරැල්ලෙන් පසු යුගය) නිදහස පිළිබඳ අලුත් අදහසක් කරළියට පැමිණි යුගයකි.
රාවය, හිරු යනාදි විකල්ප ධාරාවේ පුවත් පත් ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මව්වරුන්ගේ පෙරමුණ සහ සිවිල් සමාජයේ සීඝ්‍ර වර්ධනයන් ද සහිතව ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව නැගුණු මේ නිදහස ඉල්ලා සිටි සටන් පෙරමුණු සියල්ල ම පාහේ 1994 චන්ද්‍රිකා බලයට පත්වීමත් සමග ම අහෝසි විය. නොමැතිනම් ඒවා සමාජය තුළ විසිරී දියවී අතුරුදන් විය.
මර්දනයක් නොමැති තැන නිදහසක් පිළිබඳ අදහසක් මතු නොවීම

සිදුවූයේ කුමක්දැයි බොහෝ දෙනකුට ප්‍රහේලිකාවක් වුව ද මෙහි න්‍යායික අර්ථයක් ගැබ්වී තිබේ. මනුෂ්‍යයාට නිදහස පිළිබඳ අදහස මතුවන්නේ මර්දනීය රාජ්‍යයක් තුළදී විනා නිදහස් රාජ්‍යයක් තුළ දී නොවේ. ප්‍රේමදාස ගේ මර්ධනීය රාජ්‍යය යටතේ මතුවූ නිදහස පිළිබඳ අදහස චන්ද්‍රිකා ගේ රාජ්‍යය තුළදී දියවී යන්නේ එම නිසාය. අපි "නිදහස" පිළිබඳ සිතන්නේ සහ ඒ මත ක්‍රියා කරන්නේ "තහනම" හෝ "සීමාව" ලකුණු කර ඇත්නම් පමණි. නැතහොත් මර්දනයක් නොමැති තැන නිදහසක් පිළිබඳ අදහසක් මතුවන්නේ නැත.
දෙමළ ජාතික කවියෙකු වන දීපචෙල්වම්ගේ කවිපොත් කිහිපයක් රේගුවෙන් රදවා තබාගෙන සිටීමත් ඒ සඳහා සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත් වීමත් හරහා නැවත නිදහස පිළිබඳ සංවාදයක් කරළියට පැමිණ ඇත. මීට පෙර කලාවේ නිදහස පිළිබඳ හැඩූ කඳුළින් සිටි කලාකරුවන් යැයි කියන හාල්පාරුවන් විශාල පිරිසක් රාජ්‍යය වෙනුවෙන් සුනිල් සෙනෙවි ගේ කිරිපල්ල අතගාමින් සිටින අතර රාජපක්ෂ රෙජීමය තුරුල්ලේ නැළවුණු කලාකරුවන් යැයි කියන තක්කඩියන් රෑනක් ජ.වි.පෙ. ආණ්ඩුව නිදහස මර්ධනය කරනවා යැයි කියමින් කිඹුල් කඳුළු හෙලමින් සිටිති.
තමන් මියගිය බව නොදන්නා ශරීර

මේ දෙපාර්ශවයේම හාල්පාරුවන් සහ තක්කඩියන් යනු උතුරේ සංහාරක සිවිල් යුද්ධයේ දී කටයි-පුකයි දෙකම වහගෙන සිටි නිවටයින් හා වන්දිභට්ටයන් මිස වෙනත් අය නොවේ. දෙමළ ජනයාගේ මිනී මතින්, ලේ හා කඳුළු මැද සිය වලිගය දෙපරහැන්ද අස්සේ ගහගෙන සිටි මේ පුලන්නන් දෙමළ කවියකුගේ කවිපොතක් වෙනුවෙන් ළය පැලී ශෝක ගීතිකා ගයන්නට පටන් ගෙන ඇත. අනිත් පැත්තෙන් රාජ්‍යය පිළිබඳත් එහි වාරණයේ අයිතීන් පිළිබඳත් දේශනා කරන බහුශ්‍රැතියන් බවට ද පත් වී ඇත.
අපි දන්නා ලංකාවේ නම් කලාකරුවෝ නැමැති ජාතියක් දැන් ඉතිරි වී නැත. ඉන්නේ දිලිත් හා රෙනෝගේ චැනල්වල කරපිංචා හා රම්පේ ගානට වැටී ඇති හම සුදු ස්ත්‍රී පරාණ සහ ඇඟවල් පුම්බා ගත් පිම්පි පිරිමින් පමණි. එසේත් නැතිනම් බඩුගැසීමට ටෙලිනාට්‍ය හදන හා වෙළඳපොළ වෙත නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස චිත්‍රපටි හදන, හෝටල්වලට විකිණීමට චිත්‍ර අදින, ආදරය අහිමි ගීත ලියන, බල්ලකු නොබලන පොත් ලියන, මියගිය පරාණකාරයින් පමණි. වෙනත් වචනවලින් කියන්නේ නම් කලාවේ සෞන්දර්‍යමානය අහිමි, ආත්මය විකුණා දමා ඇති, සංඛේතීයව මියගොස් ඇති, තමන් මියගිය බව නොදන්නා ශරීර පමණි.
කවි පොතක්: බෝම්බයක් හෝ මල් පෙත්තක් වන්නට නම්...

මේ සියල්ලන්ට ම තමන් ඉන්නවා යැයි කෑගසා පැවසීමටත්, පොරකමින් තිරය මත ප්‍රකාශ වීමටත් අවස්ථාවක් දීපචෙල්වම් සහ සුනිල් සෙනෙවි දෙබාන විසින් උරුම කරදී ඇත. ලංකාව වැනි නරුමයින් පිරි දේශයක මනුෂ්‍යයින් කවි පොතක් නිසා වෙනස් වෙතැයි සිතීමත් කවිපොතක් තහනම් කිරීම මර්ධනයක් ලෙස සිතීමත් දෙකම අයිති වෙන්නේ උමතුවකටය. මිනී කඳු දකුනේත් උතුරේත් ගොඩගැහුණු රටක කවි පොතක් බෝම්බයක් වන්නේත්, මල් පෙත්තක් වන්නේත් නැත.
එක් යුගයක සිටි රාජ්‍යයේ අයිතිය තහවුරු කරගත් වන්දිභට්ටයන් රංචුවක් වෙනුවට වෙනත් රංචුවක් ආදේශ වනවා හැරෙන්නට මේවායින් වෙන අන් යමක් නැත. සිදුවිය හැකි හොදම දෙයනම් තිබෙන නිවසට අමතර කාමරයක්, නාන කාමරක්, සිවිලිමක් හෝ ඇල්ටෝ කාර් රථය වෙනුවට ටොයෝටා පියර්ස් රථයක් මාරුවීම පමණි. අමතර දීමනාවක් ලෙස තිරයකින් නැවත තමන්වම දැකීමේ වරමද හිමිවෙනු ඇත.
විප්ලවයක් අවශ්‍යනම් face book හෝ tiktok තහනම් කරන්න.
ප්‍රති-විප්ලවයක් අවශ්‍යනම් පන්සල් වල ස්පීකර් ගලවන්න.
නිදහස අවශ්‍යනම් ටිල්වින් සිල්වාව ජනාධිපති කරන්න.
කලාකරුවන් අවශ්‍යනම් ලංකාවට පරමාණු බෝම්බයක් අතහරින්න.
ආමේන්......!
Samabima party
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
