එල්.ටී.ටී සංවිධානය සම්බන්ධ අලුත් පොතක් මට කියවන්න ලැබුණා. ඒකෙ කතුවරයා කගුස්තන් ආරියරත්නම්. The 05 Files නමින් හඳුන්වන එම පොත දැනට ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ. සිංහල පරිවර්තනයක් ඉදිරි අනාගතයේ දී සුනන්ද දේශප්‍රිය මහතා විසින් කිරීමට නියමිතයි.
තමා, තමා සොයාගත් පසු...
මේ පොතේ පෙරවදනේ සිට ම බොහොම විකල්ප අදහස් සමූහයක් ගැබ්වෙනවා. උදාහරණ වශයෙන් පටන් ගැනීමෙ ම තියෙන්නේ කගුස්තන් ඔහු ගේ ජීවිත ගමන ගැන කරන ප්‍රකාශ. ඔහු ගේ උපත ගැන, හැදී වැඩුණු තත්ත්වය ගැන හඳුන්වන්නේ ''මම ඉන්දියානු උප මහද්වීපයේ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරයෙහි ඉපදී හැදී වැඩුණු කෙනෙක්" වශයෙන්. මට එම භාෂාව හසුරුවන විදිහ ගැන හරි අපූර්වත්වයක් දැනේ. මහත්මා ගාන්ධිගේ මූලධර්ම යටතේ ඔහු ගේ පසුබිම සහ ඔහු ගේ වර්ධනය සිදුවූ ආකාරය ගැන ඔහු ප්‍රකාශ කරනවා. අවිහිංසාව සත්‍යයෙන් ම ඔහු ගේ ජීවිතය යහපත් ක්‍රියාවලින් වසාගත් ආකාරය ඔහු පාඨකයාට දැනුම් දෙන අතරම එල්ටීටීඊ සංවිධානයට ඔහු ඇතුළු වූ ආකාරය ද යම් ආකාරයක වෙනස් සිදුවීමක්. ඔහුට අනුව, ඔහු පාසලෙන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් කොටි සංවිධානයට බඳවා ගත් ළමා සොල්දාදුවෙක්ව සිට ඉන්දියානු විදේශ බුද්ධි අංශයේ සහ ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ සේවය කළ අයෙක්. ඊට අමතරව කැනේඩියානු රහස් ඔත්තු සේවා සමග පවා වැඩ කර ඇති අයෙක්. කුඩා කල පාසැල් වියේ දී ඔහුට ඔහුව අහිමිවී ඇත. ඇගේ සහෝදරියට අනුව කැනඩාවේ දී ඔහුට ඔහුව නැවතත් සොයා ගැනීමට හැකි තත්ත්වයක් උදා වී ඇත. මට අනුව ඔහු තමාව සොයා සොයාගත් පසු මෙම කෘතිය ලියන්නට ඇත.

පොන්නම්බලම් පිළිබඳ ගීතය
පළමුවෙන්ම මට හැඟුණ දේ තමයි විවිධ බුද්ධි අංශ වෙතින් මිනිසුන් පාවිච්චි කරන සූක්ෂම ආකාර. කකුස්තාන් එය සංයමයකින් යුක්තව සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් පැහැදිලි කර තිබෙනවා. කුතුහලය දනවන ආකාරයෙන් ම අපිට ඒක දැනෙනවා. Fredric foresight ගේ පොතක් කියනවා වගේ තමයි යම් යම් පරිච්ඡේද මට කියවනකොට දැනුණෙ. තමන් ඉන්දියානු රහස් ඔත්තු සේවය වෙනුවෙන් වැඩ කරන බව ප්‍රකාශ කළ පසු එල්ටීටීඊ විසින් කගුස්ථාන් විනාශ කළේ නෑ. ඒ වෙනුවට ඔවුන් කළේ ඔහුව ඔවුන් ගේ විශේෂිත මෙහෙයක් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව වෙත තල්ලු කිරීමයි. ඒ සදහා ඔහු කළු කොටියෙක් බවට පත් කර අදාළ මෙහෙය පවරා ඇත. එහි යම් ආකාරයක තර්ජනාන්විත තත්ත්වයකින් කගුස්තාන් ගේ පවුලේ අනිකුත් සාමාජිකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමක් තුළ සිදුවන මෙහෙවරක් බවට ද ඉඟි කර ඇත. මෙහි කතා නායකයා මතක් කරන්නේ ඔහුගේ මුල් කාලයේ දී පොන්නම්බලම් රාමනාදන් ගැන දෙමළ සමාජයේ තිබූ මතකයක්. යාපනයේ රාජකීය පවුලෙන් පැමිණ, මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා තමන්ට ලැබීමට යුතුව තිබූ සියලු සැප පහසුකම් අතහැර ලංකාවේ මිනිසුන් වෙනුවෙන් ඔහු නීතිඥයෙක් වශයෙන් කළ සේවය. ථේරවාදී බෞද්ධ ධර්මය පුනර්ජීවනය කිරීම සඳහා ඔහු පහසුකම් සැලසීම ගැනද මතක් කරයි. අවාසනාවකට මෙන් බොහෝ සිංහල ජාතිකයින් මේවා ගැන අද කිසි දෙයක් දන්නේ නැත. අපව සතුරන් කර හමාරය. නමුත් කගුස්තාන් මේ ගැන තම පොතේ මතක් කර ඇත. පොන්නම්බලම් රාමනාදන් ගැන ඇති ගීතය ද මහා ආඛ්‍යානයකි.
O lion flag, our national flag, do you know the history of our motherland?
O lion flag, our national flag, do you know when Prince Vijaya came to our country?
O lion flag, our national flag, do you know the Tamils' existence in our country long before the prince came?
O lion flag, our national flag, do you know the fame of Sir Ponnambalam Ramanathan?
O lion flag, our national flag, do you know how Sinhalese leaders virtually carried Sir Ramanathan on their backs?
O lion flag, our national flag, is the pride of the Tamil history of our country.
දෙමළ වීම හේතුවෙන් ම...
එමෙන්ම දෙමළ සිංහල ප්‍රශ්නයට ප්‍රස්තුත වු කාරණා ඉතා සියුම් ලෙස ඔහු ප්‍රකාශ කරනවා. විශ්වවිද්‍යාලයට පිවිසීම සඳහා සිංහල ජාතිකයකුට ලකුණු 229ක් ඇතිවන විට දෙමළ ජාතිකයකුට එය දෙසිය පනහ ඉක්මවා යන තත්ත්වයක් එකල උද්ගතවී තිබුණු බව ඔහු ඔහුගේ අත්දැකීම්වලින් ම පවසයි. ඇත්ත වශයෙන්ම එසේ වන්නේ ඇයිද යන්න එකල තරුණ පරම්පරාව සිතීම සර්ව සාධාරණයි. එකල මධ්‍යම පාන්තිකයින්ගේ සිහිනය වී තිබුණේ තම දරුවන් වෙනත් රටකට යවා ඔවුන්ගේ අනාගතය සාක්ෂාත් කිරීම බව තම දෙමව්පියන්ගෙන් සිතැඟි හරහා ඔහු පවසයි. මේ සියල්ල අතරතුර ඔහුට එල්ටීටීඊ සංවිධානයට ඇතුළු වීමට බලහත්කාරයෙන් අවස්ථාවක් ලබා දී ඇත. එම අවස්ථාව තුළ ඔහුට පලස්තීන විමුක්ති සංවිධානය, ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය යනාදි සංවිධානවල පුහුණු කිරීම් ගැන ද මෙම පොතෙහි පවසා ඇත. මෙම කෘතියෙහි විශේෂයෙන්ම අවස්ථා කිහිපයක් මා හට දකින්නට ලැබිණ. එක්සත් ජනපදයේ 9/11 ප්‍රහාරයෙන් පසු එල්ටීටීඊය භාවිතා කළ උපක්‍රම ජාත්‍යන්තරව අප්‍රසාදයට පත් වූවා යයි අප කතා නායකයාගේ ප්‍රකාශනය එකකි. මා සිතන්නේ තිරස්චීන ආකාරයෙන් ගම්මානවලට කඩා වැදී කරන්නාවූ ම්ලේච්ඡ ඝාතන සහ රජීව් ගාන්ධි පුපුරවා හැරීම යන ඒවා නිසා මෙම අප්‍රසාදය පළවූවා විය හැකි බවයි.
කොබ්බෑකඩුව ඝාතනය

ඒ අතරතුරේදී කථානායකයා නිතරම කල්පනා කළේ මෙම රටෙන් වෙනත් රටකට ගොස් හොඳ ජීවිතයක් ගත කිරීම ගැන සිහිනයක සිටීම යි. කොටි සංවිධානයේ නායකයෙක් වන ශංක කැනඩාවට ගියා මෙන් ඔහුටත් දිනෙක කැනඩාවට යාමට අවස්ථාවක් උදාකර ගැනීම ඔහුගේ සිත්හි ගැඹුරින් කාවැදී තිබූ බව (කෙසේ හෝ ඒ අරමුණ අද ඔහු සාක්ෂාත් කරගෙන ඇත) මෙම පොතේ යම් පරිච්ඡේද හරහා කියවෙයි. මම ප්‍රකාශ කළ ආකාරයටම මේ කෘතියෙහි අප නොදන්නා වූ නමුත් සිංහල සමාජය තුළින් ආන්දෝලනාත්මක කුතුහලයක් සහිතව එකිනෙකා හට ඇඟිල්ල දික් කරගන්නා වූ යම් ඝාතන ගැන සඳහන් වෙනවා. ඉන් එකක් වන්නේ කොබ්බෑකඩුව මහතා ගේ ඝාතනය යි. කොටි සංවිධානය මුලිනුපුටා දැමීමට කොබ්බෑකඩුව මහතා ගේ තිබූ අප්‍රතිහත ධෛර්ය නිසාම, ඔහු එල්ටීටීඊ එකේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් කර තිබුණා. කගුස්තාන්ට අනුව කොටින් ගේ විශේෂ ඔත්තු බැලීමේ සේවාවක් වන "විසේද වේව් පිටිවූ" විසින් කොබ්බෑකඩුව මහතාව ඝාතනය කර තිබෙන බව ප්‍රකාශ කරනවා.
මිනිස් ජීවිතයක වටිනාකම පිළිබඳ සිතුවිලි
අප කතා නායකයාගේ තවත් එක් අධිෂ්ඨානයක් මෙයින් මා ඔබට ඔහු ගේ ම වචනවලින් ප්‍රකාශ කරන්නට කැමතියි. ජෙනරල් පැටර්න්ගේ වචනවලින් කියා ඇති ආකාරයට ඊළම වෙනුවෙන් මැරෙන අන්ත අසරණ, කිසිවක් කරගියා ගැනීමට නොහැකි, දුප්පතුන් ගෙන් කෙනෙක් නොවීම ට ඔහු අධිෂ්ඨාන කරගෙන තිබෙනවා. (26 පිටුව) එම අධිෂ්ඨානය ඉෂ්ට කර ගැනීම සඳහා ඔහු ඉතාමත් සංයමයෙන් යුක්තව තම ලිවීමේ හැකියාව ප්‍රයෝජනයට ගත් බව ප්‍රකාශ කරනවා. "කතා කරන තුවක්කුව" ඔහුගේ පළමුවෙනි ලියමනයි. මෙයින් ඔහු ලියා ඇති කෙටි රචනාව ඔහුගේ ගමන් මඟ වෙනස් කිරීමට ප්‍රධාන සාධකයක් වූ බව පෙන්නුම් කරනවා. මේ සියල්ල හරහා ඔහුට එල්ටීටීඊ සංවිධානයේ මේසවල වැඩ කිරීමට ඉහළම නායකත්වය විසින් නිර්දේශ කරනවා. දුප්පතෙක් ලෙස සටන් පිටියේ මිය යාමට තිබූ අවස්ථාව ඔහුගේ ඉරණම විසින් ඉතා සංයමයෙන් සූක්‍ෂමව වෙනස් කරගන්නා ආකාරය පැහැදිලි වෙනවා. මේසවල පුහුණුවට පෙර ඔහුට සටන් බිමට ගොස් සටනෙහි නියැළීමට විධිවිධාන යොදා තිබුණා. එම සටන්වල ඔහු නිතරම මිනිස් ජීවිතයක වටිනාකම ගැන ඔහු ඉතාමත් ඉහළින් සිතන බව අපට මෙම කෘතියේ සඳහන් දෑවලින් තේරෙනවා. කුමන ජයග්‍රහණයක් කුමනාකාරයේ ආයුධ ඔවුන්ට ලැබුණත් අහිමි වූ ජීවිතවලට ඒවා සමාන ද කියන ප්‍රශ්නය ඔහු ඔහු ගෙන් ම නිතරම ප්‍රශ්න කර තිබෙනවා. "මා සංවිධානයට අල්ලා ගැනීමෙන් පසු පළමු වතාවට මට නිදහසේ හුස්ම ගැනීමට හැකි වූයේ, මා හැකි තරම් ආරක්ෂිත බව දැනගත් පසු ය. නමුත් මා සමග සිටි දහස් ගණනක් ජනතාව මෙන්ම සිංහලයින් ද මරා දැමූ ගැටුමකට සම්බන්ධ සංවිධානයකට වැඩ කිරීම ගැන මම මුළා වී නොසිටි අතර, කොටි යුද්ධයෙන් පරාජය වුවහොත්, අනෙක් සියල්ලන් සමග මමත් මිය යන බව මම දැන සිටියෙමි. ඉරණම මා වෙනුවෙන් මා සිතුවාට වඩා බොහෝ දේ ගබඩා කර තිබුණි."කගුස්තාන් ගේ සිත යට ඇති ප්‍රභල සිතුවිලි ඔහුගේ ම වචනවලට හැරී ඇත්තේ මෙලෙසින්ය.
තරුණ තරුණියන් ගේ මොළ සේදීම
කගුස්තාන් විශේෂ පුහුණුවක් ඔත්තු බැලීම සම්බන්ධව ලබාගත් අතර තම භාෂා ඥානය වැඩි කරගත් ආකාරය ගැනත් ඔහු මෙහිදී කතා කරයි. ඔහුට අනුව ක්ලෙයා හෝයි සහ වික්ටර් ඔස්ට්‍රොස්ගි විසින් රචිත By the way of Depiction නම් මොසාඩ් සංවිධානයෙන් ඉවත් වූ ක්‍රියාදරයාගේ කෘතිය ගැනත් මෙහි කතා කරයි. එය ඔහුත් පරිශීලනය කර ඇත. 1990 දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය සිංහල පාඨකයාට තම මව් භාෂාවෙන් කියවීමට අවස්ථාව ලැබෙන්නේ 2025 වසරේදී ය. නමුත් එල්ටීටීඊ සංවිධානයේ ඉහළ බුද්ධි අංශ විසින් මෙම පොත ප්‍රකාශයට පත් වූ පසු පරිශීලනය කර ඇත. ඊට අමතරව කෙන් ෆොලෙට් විසින් රචිත the eye of the needle යන කෘතිය ද මොවුන් පරිශීලනය කර ඇත. මේ සියල්ල හරහා කගුස්තාන් හට ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර බුද්ධි තොරතුරු රැස්කිරීමේ කාර්යය පැවරුණ බවව අපට දක්නට ලැබේ.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ගේ දුක් වේදනාවලට කිසිදු වගකීමක් නැති එවැනිම දුක් වේදනා සහිතව ජීවත්වන දකුණේ පුරවැසියන් ගැන ද, ඔවුන් ගේ දරුවන් ද ඒ වෙනුවෙන් මිය යෑමට සිදුවීම ගැන ඔහු ගේ හදවතේ ඇති කම්පනය මෙම පොත පුරා ම විහිදී යයි. සංවිධානයේ නායකයා ආගමික නායකයකු ගේ මට්ටමට ඉහළ දැමීම ගැනත් ඔහු ගේ ඇත්තේ වෙනම ම කියවීමකි. කළු කොටි සාමාජිකයින් හට නායකයා සමග කෑම ගැනීමට, ඔහුත් සමග ඡායාරූපයකට පෙනී සිටීමට ලැබෙන අවස්ථාව ඉතාමත් උත්කර්ෂවත් භක්තිමත් අවස්ථාවක් බවට පත්කර ඇති බව ඔහුු පවසයි. විප්ලවීය සංවිධානයකට එවන් දෑ නුසුදුසු සේම, ඔහු එයට එකඟ නොවන බව මෙම අදහස් අදහස්වලින් අපට පෙනී යයි. ඒ උදෙසා ආබාධිත වූවන් සහ වෙනත් තරුණ තරුණියන් ගේ මොළ සේදීම සම්බන්ධයෙන් ඔහු තම පිළිකුල මෙහි දී දක්වයි.
රහ්මාන් ගේ ගීතවලින් ලද ආහ්ලාදය
මේ සියල්ල ඔහු නිහඩව විඳ දරාගෙන ඇත්තේ තනි ඔහුට කිරීමට කිසිදු දෙයක් ඉතිරිව නැති නිසා ය. මොළ සේදීමට ලක්කර ඔවුන්ව මරාගෙන මැරෙන තත්ත්වයට යොමු කිරීම ගැන උදාහරණයක් වශයෙන් රජීව් ගාන්ධි ගේ ඝාතනයට සම්බන්ධ ධනු ගැන මෙහි කතා කර ඇත. මේ සියලු මානසික ආතතීන්ගෙන් මිදීමට ඔහුට මතකය තුළින් දෙවියන්ට ප්‍රශංසා කරන භජන් ගීත සහ ආදරයේ හැඟීම්බර අවස්ථා දක්වන දකුණු ඉන්දියානු චිත්‍රපටවල ගීත ද මතකයට නගා ගැනීම කර ඇත. එය ඔහුට මතු බලාපොරොත්තුවක් ඇති කිරීමට විශ්වාසවන්තව උපකාර කර ඇත. රෝජා චිත්‍රපටයේ ඒ. ආර්. රහ්මාන්ගේ ගීත නිසා ඔහු ලැබූ තෘප්තිය අපිටත් වඩා ආහ්ලාදජනක ලෙසින් විස්තර කර ඇත.
කර්නල් අජිත් බෝයගොඩ අත්අඩංගුවට පත් වූ ආකාරය ගැන ද මෙහි සවිස්තරාත්මකව සඳහනක් තිබේ. එයට සමගාමීව ඔහුගෙන් ගත යුතු බුද්ධි තොරතුරු සඳහා ප්‍රශ්නාවලියක් සැකසීමට භාරව සිටියේ ද කගුස්ථාන් බව ඔහු පවසයි. පෙර පැවසුවක් මෙන් ඉතා වැදගත්ම දේ මෙහිදී මට පෙනෙන්නේ කොටි සංවිධානය තුළට රෝ නිලධාරීන් රිංගාගෙන සිටීමයි. මෙය සම්බන්ධයෙන් එල්.ටී.ටී. එකට සැකසිතූ අවස්ථා කිහිපයක් තිබූ නමුත් නිශ්චිත තොරතුරක් ඔවුන්ට සොයා ගැනීමට නොහැකි වීම ගැන සහ කකුස්ථාන් වැන්නවුන්ගේ සූක්‍ෂම ක්‍රියා කලාප ගැන ද ලියැවේ.
සමාව සමග ප්‍රබල කොන්දේසියක්
මරන්න සහ මැරෙන්න අවශ්‍ය පුද්ගලයින් පමණක් බිහි කරන කොටි සංවිධානය ගැන කගුසාන් මෙන්ම එම ස්ථාවරයේ සිටින වෙනත් නායකයන් ගැන ද මොහු අපට පැහැදිලි කරයි. ආර්ථික යටිතල පහසුකම්වලට සහ සිංහල දෙමල දේශපාලඥයින්ට පහර දීමෙන් එල්ටීටීය කරන වැරැද්ද ලෝකයේ ඉදිරියේ ඔවුන් ත්‍රස්තවාදින් බවට පත්වන ආකාරය ගැන ඔවුන් සාකච්ඡා කර ඇත. දෙමළ නිදහස් අරගලයේ මූලික දෘෂ්ටිවාදයට පටහැනි ක්‍රමෝපා භාවිත කිරීමේ දී සංවිධානයට වෙන හානිය ගැන ඔවුන් කණගාටු වී ඇත.
එල්.ටී.ටී.ආයතනයට අයර්ලන්තයේ Sinn Fein හෝ කැනඩාවේ Parti Quebecois යනාදි සන්නද්ධ සංවිධාන දේශපාලන පක්‍ෂයක් බවට පත් වූ ආකාරයටම පත්වීමට අවස්ථාව තිබිණි. නමුත් නායකයාට අවශ්‍යය සම්පූර්ණ ආර්ථික විසඳුමක් ලැබෙන දෙමළ ඊළමෙන් එපිට විසඳුමකට පියවර ගෙන නොමැත. එය ම කෙදිනක හෝ කොටින් ගේ පරාජයට හේතුවන බව මොහුට ඒත්තු ගැන්වී ඇත. ඉන්දියාවේ රෝ සංවිධානයත් සමග මොහු ගේ සම්බන්ධකම් පිළිබඳ පාපොච්චාරණය අවසානයේ මොහු සමාව ලැබූවේ ය. ඒ සමාවේ ප්‍රබලම කොන්දේසිය වූයේ ඔහු ශ්‍රී ලංකා හමුදාවට සම්බන්ධ වී තොරතුරු සංවිධානයට ලබාදීම ය. මෙම තීරණය ගැනීමට පෙර ඔහුට ඔහු ගේ නිවසට ගොස් තම දෙමාපියන් සමග මේ ගැන සාකච්ඡා කරන අතර වාරයේ දී ඔහුගේ සිතුම් පැතුම් ගැන ඔහු සඳහන් කර ඇත. "ඔත්තු බැලීම සහ මළ සිරු ගණන් කිරිමට වඩා ජීවිතයට තවත් දෙයක් තිබිය යුතුය." මෙහිදී ඔහු තමාට මුණගැසුණු විවිධාකාරයේ හමුදා නිල ඔවුන් ගේ සැබෑ නම්වලින් ම මෙම කෘතියෙහි දක්වා ඇත.
09 – 05 රැකියාවක් නොවන කැපවීම
මෙම මුළු කෘතිය පුරාවම කිසිදුම් පුද්ගලික ප්‍රශ්නයක් මත හෝ මානසික අතතියක් මත කිසිවකුට දෝෂාරෝපණය කිරීමක් හෝ කිසිවකු කෙරෙහි ද්වේශ සහගත ලෙසින් කතා කිරීම සිදුව නැත. නමුත් කගුස්තන් ශ්‍රී ලංකා හමුදාවට භාර වූ පසු ඔහුට ලැබුණු සැලකිලි සම්බන්ධව එක් ස්ථානයක කතා කරන්නේ සැබෑ යථාර්ථය යි. ඒ ඔහුට පහර දුන්නාට හෝ ඔහුව ම්ලේච්ඡාකාරයෙන් සැලකීමට ලක් කිරීම නිසා හෝ නොවෙයි. ඒ සියල්ල ඔහු බලාපොරොත්තු වූ දේවල් ය. නමුත් ඔහුට හමුදා පොලිසියේ කෲරත්වය සහ එම නිලධාරීන් සිංහලයින් එබැවින් ඔවුන් දෙමළ අනාරක්ෂිත සිරකරුවන්ට පහර දෙන ආකාරයත්, තමා එහි ගොදුරක් වූ ආකාරයත් පැහැදිලි කරයි. විශේෂයෙන් කගුස්ථාන් ඔහුට පහර දීම සම්බන්ධයෙන් අනුමාන කරන්නේ හමුදා පොලිසියේ සිටි අනෙකුත් නිලධාරීන්ට වඩාත් තමන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබූ නිසාත් ඔවුන් නූගත් නිසාත් බව ඔහු පවසයි. එය සත්‍යද අසත්‍යය ද යන්න තීරණය කිරීම අප සතුය. මක්නිසා ද අපේ පොළොවේ අපේ මිනිසුන් ගැන ඔහුට වඩා හොඳින් අප දන්නා බැවින් අපට එය තීරණය කිරීම පහසුය.
ඒ වගේම වාර්ගික දෙමළ සහ සිංහල ජනතාවට එකම රටක සාමයෙන් ජීවත් විය හැකිදැයි යන්න ඔහුට කිසිදු විශ්වාසයක් නැති බව ඔහුගේ ම වචනවලින් මෙහි දක්වා ඇත. එයට හේතුව ලෙස දකින්නේ, මේ සම්බන්ධයෙන් එල්ටීටී සංවිධානයත් ශ්‍රී ලංකා රජයත් බෙහෙවින් කතා කලාට ඒ වෙනුවෙන් ඔවුන් ගේ බලාපොරොත්තු වූ ඉලක්කයක් නැත යන්නයි. එමෙන්ම ඔහු ගේ තවත් එක් දැක්මක් මෙහි අවසාන කොටස්වල දක්වා ඇත. එනම් තම සංවිධානයේ පුද්ගලයන්ට කාන්තාවන් නොසිටි බවත්, ඔවුන් මත්පැන් පානය කළේ නැති බවත් තමා අරමුණට ඔවුන් කොතරම් විශ්වාසව සිටියේ ද යන්නත් ඔහු ඉතාමත් බැරෑරුම් ලෙස කතා කරයි. ඔවුන් කරේ නමයේ සිට පහ දක්වාම රැකියාවක් නොවන බව අවධාරණය කරයි.
මනස්කාන්ත විස්තරය

තම සංවිධානයේ රැකියාවක් වශයෙන් නොවෙයි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන්නාවූ සටනක් බව ය කියා පැවසුවත් පැවසූවත් එම සටන අවසානයේ දී ජයගන්නේ නැති බව ඔහු කතාවේ ප්‍රකාශ නොකර අපිට දැනෙන්න සලස්වයි. එයට හේතු වශයෙන් කොටි සංවිධානයේ ඇති දුර්වලකම් සහ ම්ලේච්ඡකම් ගැන අප හට දැනෙන්න සලස්සවයි. ඒ හා සමානවම ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය ක්‍රියා කරන ආකාරය ගැන ද ඔහු කතා කරයි. ලෝකයේ සෑම හමුදාවකින් ම යුද්ධයක් පවතින විට එසේ අපරාධ සහ දූෂණ සිදුවන බව ඔහු ගේ මිතුරෙක් ඔහුට ප්‍රකාශ කළ ද ඔහු ඉන් කම්පනයට පත්වීම කිසිවකුට වළක්වා ගත නොහැකි විය. මුල පටන් ඔහුට තිබූ විදේශගත වීමේ ඒකායන අධිෂ්ඨානය හමුදාව හරහා ඉෂ්ට කර ගන්නේ මෙම අවස්ථාවේ ය. එහි දී ඔහු තම සහෝදරිය කරා කැනඩාව බලා යාමේ දී ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ සිංගප්පූරු ගුවන්තොටුපළ ගැන තම ජීවිතයේ පළමුවතාවට දුටු අවස්ථාව ගැන ඉතාමත් මනස්කාන්ත විස්තරයක් ඉදිරිපත් කරයි.
ඇත්ත වශයෙන් ම යාපනයේ බංකර් අතර කැලෑ අතර යුද භූමියක් මැදින් ඉතාමත් කලබලකාරී, නොසන්සුන් මරණය අතින් ගත් ජීවිතයක් ගත කළ ඔහු වැන්නකු කිසිදු ප්‍රශ්නයක් නැති සාමකාමී අධි සුඛෝපභෝගී තත්ත්වයකින් පවතින එවන් ගුවන්තොටුපළකට ඇතුළු වූ පසුව, තමන්ට දැනෙන දේ ඔහු මීට වඩා විස්තර කළ යුතුව තිබුණි. නමුත් එය පොතේ හරයට නොගැළපෙන නිසා ඔහු ඉදිරිපත් කර නැති බව මට විශ්වාසයි. එහි ඇති පහසුකම් ගැන ඉතාමත් ඉහළ තත්ත්වයකින් කතා කරයි. ඔහු පුරුදු වී ඇති දේට සාපේක්ෂව ඉහල ප්‍රමිතියකින් යුත්, පහසුකම්වලින් යුත් රටවල් කෙසේ වේදැයි යන්න ගුවන්තොටුපලෙන්ම ඔහුට ඉඟි ලැබී ඇති බව අපට තේරෙයි. සරණාගතීන් මෙන් ශ්‍රී ලංකාවෙන් පලා යන නෞකාවක සිටින්නා වූ 76 දෙනෙක් වූ පිරිසකට සරණාගත භාවය ලබා ගැනීමට ඔහු ක්‍රියා කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීය වන අතර එහි ඇති කතාව ඉතා දුක්බරය. මේවා ඇත්ත වශයෙන්ම අප කියවිය යුතු කථාය. මීට පෙර මා කොටි සංවිධානය සම්බන්ධ විවිධ පරිශීලනය කර ඇති නමුත් ,මෙවන් ආකාරයේ පොතක් කියවීමට ලැබෙන පළමු අවස්ථාව මෙයයි. මෙහි ඇති කුතුහලයන් මානුෂිකත්වය සහ තමන්ගේ ජීවිතය සහ අන් අයගේ ජීවිතය ගලවා ගැනීම සඳහා තමන්ගේ සහ අන් අයගේ ද සියලු ජීවිත අනතුරේ හෙලීම, ඒ අවදානම් ක්‍රියාවන් මෙහි බොහෝ ගැබ්ව ඇත.
උමග අවසානයේ ආලෝකය දැකීමට නම්...
කොටි සංවිධානයේ අභ්‍යන්තර කවුළු විවර කරමින්, ශ්‍රී ලංකා හමුදාවේ අභ්‍යන්තර කවුළු විවර කරමින් එහි ඇති මානුෂික නොවන කෲර, දෙබිඩි ක්‍රියා කලාප අපට මේ පොත ඇර වෙන කිසි පොතක් පෙන්වා දෙන්නේ නැත. මෙය ඔබත් අනිවාර්යයෙන්ම කිව යුතු කෘතියකි.
කැනීඩියානු හිටපු අගමැතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි විට ඔහුට රටට ඇතුළුමට ඉඩ නොදී නැවතත් ආපසු හරවා යැවීමක් සම්බන්ධව මෙහි පවසයි. එයට මූලික හේතුව වන්නේ ඔහුට දෙමළ ජනතාව වෙනුවෙන් සානුකම්පිත දෑසක් තිබිම ය. මෙවැනි දෑ මධ්‍යයේ අප ජාත්‍යන්තර වශයෙන් අප කීර්තියට පත් වූ ආකාරය ද, මෙවැනි ක්‍රියා වන් නිසා එවකට හිටි රාජ්‍ය නායකයින් ලංකාවේ ජනතාව තුළ ජනප්‍රිය වූ බව ද ඔහු ඉතා මත් නිහතමානීව පෙන්වා දෙයි. ඔහුගේම භාෂාවෙන් ලියූ පහත වැකිවලින් මෙම විචාරය අවසන් කිරීමට මා සූදානම්..
''සන්නද්ධ ප්‍රතිරෝධය උපදින්නේ දැඩි පීඩාකාරී තත්වයක ය. සටන්කාමීන් තුරන් කළ හැකි නමුත්, යටින් පවතින හේතු පවතින තාක් කල් සටන්කාමීත්වය තුරන් කළ නොහැක. මිනිසා පාන්වලින් පමණක් ජීවත් නොවේ, මන්ද මිනිස් ආත්මයට ද පෝෂණය අවශ්‍ය වේ. සැබෑ සහ කල් පවතින සාමය සාක්ෂාත් කරගත හැක්කේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සියලු ම පුරවැසියන්ට එක හා සමානව සලකන විට සහ ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය අවම කළ විට පමණි. අපගේ නිජබිම වන ශ්‍රී ලංකාවේ එවැනි සමාජයක් ගොඩනැගීමට අප උත්සාහ කිරීම අත්‍යවශ්‍ය වේ.
දෙමළ ජනතාව සාමකාමී විරෝධතා, දේශපාලනික උපදේශනය සහ සන්නද්ධ ප්‍රතිරෝධය වැනි විවිධ ප්‍රවේශ භාවිතා කරමින් තම අයිතිවාසිකම් සඳහා දීර්ඝ කාලීන අරගලයකට මුහුණ දී ඇත. මෙම උත්සාහ නොතකා, සැබෑ සාමය, ස්වයං නිර්ණය සහ යුක්තිය තවමත් නොපැහැදිලි ය.
වත්මන් රජය යුද්ධයෙන් පීඩාවට පත් වූවන් පුනරුත්ථාපනය කිරීමෙන් සහ යුද්ධයෙන් විනාශ වූ උතුරු සහ නැගෙනහිර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, කැනඩාව වැනි ෆෙඩරල් ක්‍රමයක් තුළ, වාර්ගික දෙමළ සුළුතරයට සාධාරණ ස්වයං පාලනයක් ලබා දිය යුතු ය. අවාසනාවකට මෙන්, අනුප්‍රාප්තික ස්වෝත්තමවාදී සිංහල ආණ්ඩු දෙමළ දුක්ගැනවිලි පිළිගැනීමට අපොහොසත් වී ඇත.
සාරාංශයක් ලෙස, අනාගත අවිහිංසාවාදී නිදහස් සටන්කරුවන් එක්සත් විය යුතු අතර දෙමළ ඊළම තුළ බිම් මට්ටමේ සිට පහළ සිට ආරම්භ කළ යුතු ය. දෙමළ දුක්ගැනවිලි සපුරාලීම බහුපාර්ශ්වික ප්‍රතිචාරයක් අවශ්‍ය වන බහුවිධ උභතෝකෝටිකයකි. පළමුවෙන් ම සහ ප්‍රධාන වශයෙන්, අපට ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව සහ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල තවමත් ජීවත් වන දෙමළ ජනතාව නැවත එක්සත් කිරීම අවශ්‍ය වේ; එවිට පමණක් අපට උමග අවසානයේ ආලෝකය පෙනෙනු ඇත.
එතකොට, ආදරණීය පාඨකයිනි.... ඔබ මේ ගැන කියන්නේ කුමක් ද...?

සටහන - චානක තිලකරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
