දේශපාලන වේදිකාවේ එකිනෙකාට දොස් පවරා ගනිමින් පොරොන්දු දෙන සාම්ප්රදායික දේශපාලනය තුළින් තවදුරටත් ඉදිරි ගමනක් නොමැති බවත්, මිලේනියල් (Millennials) සහ ජෙන්සි (Gen Z) වැනි නව පරපුරේ කණ්ඩායම්වලට මුල්තැන දෙමින් පක්ෂය ප්රතිව්යුහගත කර නව ක්රමවේදය හරහා ඉදිරියට යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.
නව පරම්පරාවේ අදහස්, යෝජනා අනුව පක්ෂයේ ප්රතිරූපය වෙනස් විය යුතුයි
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්රමසිංහ පෙන්වා දුන්නේ, අද ලෝකය තුළ 'ජෙන්සි' සහ 'මිලේනියල්' යන පරම්පරා වල ස්වාභාවය පෙන්වා තිබෙන බවද, අරගලය තුළත් මෙම පිරිස සිටි බවයි.
කෙසේ වෙතත්, වර්තමාන ආණ්ඩුව තුළින් මෙම අලුත් පරම්පරාව බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවුණු නිසා එම පිරිසගෙන් විශාල පිරිසක් විදේශගත වීමට ඉඩ තිබෙන බවත්, ඔවුන්ගේ අදහස් හා යෝජනා අනුව එක්සත් ජතික පක්ෂයේ ප්රතිරූපය වෙනස් විය යුතු යැයි තමා යෝජනා කළේ එම හේතුව නිසා බවද රනිල් වික්රමසිංහ පැවසීය.
"මේ අයගෙන් කොහොමද පක්ෂය ඉදිරියට ගෙනියන්නේ කියලා මා ඇහුවා. ඒ අය කිව්වේ පක්ෂය ගෙනියන්න ඕන ඔන්ලයින් හරහා කියලයි. එය ඇත්තටම හොඳ ප්රවණතාවක් වනවා. එහෙමනම් ඒ අයගේ අදහස්වලට ඉඩ සලසා දිය යුතුයි. සාම්ප්රදායික විදිහටම ගිහින් ලෝකයත් සමග ඉදිරියට යන්න පුළුවන් වෙයි කියා මා සිතන්නේ නැහැ."
එමෙන්ම ඇතැම් අය පවසන පරිදි එජාපය සහ සමගි ජන බලවේගය එකතු වුවහොත් දිනීමට හැකි යැයි පැවසුවද සියල්ල වෙනස් වී ඇති වර්තමානයේ එය එසේ වේ යැයි කිව නොහැකි බව හෙතම කියා සිටියේය. අලුත් පරම්පරාවේ ඡන්දදායකයන් එකතු කරගත්තේ නැතහොත් සාම්ප්රදායික ඡන්දදායකයන් පවා දුරස් වන බව ඔහු අවධාරණය කළේය.
"සමහර අය එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වුනොත් දිනන්න පුළුවන් කියනවා. ඒක එහෙම වෙයි යයි කියන්න බැහැ. සියල්ල දැන් වෙනස් වෙලා. අලුත් පරම්පරාවේ ඡන්දදායකයින් එකතු කරගත්තේ නැතිනම් අප කාටවත් ඉදිරියට යන්න බැහැ. සම්ප්රදාය පැත්තකින් තියා අලුත් විදිහකට ඉදිරියට යමු. මොකද අපට ඕන තරම් කරුණු කතා කරන්න තිබෙනවා."
වසර 20 ක ඉලක්කයක් සහිතව එන 'හරිත පත්රිකාව'
මෙම නව පරපුරේ අදහස් මත පදනම්ව පසුගිය මාසයේදී ‘හරිත පත්රිකාව’ ඉදිරිපත් කළ බව පැවසූ වික්රමසිංහ, අවුරුදු පහක මැතිවරණ ප්රකාශනවලින් පමණක් රටක් හැදිය නොහැකි බවත්, රට ඉදිරියට යාමට නම් දේශපාලනයට එහා ගිය අවුරුදු 25ක දිගුකාලීන ජාතික ප්රතිපත්තියක් අවශ්ය බවත් පෙන්වා දුන්නේය. ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්රේමදාස සමයේ වසර 17ක් එක දිගට ක්රියාත්මක කළ වැඩපිළිවෙළ මගින් රට හොඳ තැනකට ගෙන ආ බවද ඔහු සිහිපත් කළේය.
එම 'හරිත පත්රිකාව' හරහා ථෙරවාදී ලක්ෂණ සහිත සමාජ වෙළඳ ආර්ථිකයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බව රනිල් වික්රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
