භික්ෂූන් වහන්සේලාගේ සත්යග්රහය සහ ජනාධිපතිගේ තීරණය
භික්ෂූන් වහන්සේලාගේ සත්යග්රහය අවසන් වුවද ඊට අදාළ ප්රශ්නය තවමත් අළු යට ගිනි සේ පුපුරු ගසමින් පවතී. රනිල් මන්ත්රී කණ්ඩායම් හමුවේදී ද මූලික අවධානය යොමු කළේ මේ පිළිබඳවයි.
"මහානායක ස්වාමීන් වහන්සේලා මේ ගැන ජනාධිපති එක්ක කතා කර තියෙනවා. ඒ වගේම සත්යග්රහයට සම්බන්ධ භික්ෂූන් වහන්සේලත් කතා කරලා තියෙනවා මහනා හිමිවරුන් එක්ක .ඊට අදාළ සාකච්ඡා මේ වන විට යනවා.
සත්යග්රහය අතහරින ලෙස මහා නා හිමිවරුන් අදාළ හාමුදුරුවරුන්ට දැනුම් දුන්නා. දැන් බලාපොරොත්තුව තියෙන්නේ ආණ්ඩුව යම් ධනාත්මක ප්රතිචාරයක් දක්වනු ඇතැයි කියලයි. එවැනි ධනාත්මක ප්රතිචාරයක් දෙනවාද නැද්ද කියන එක දැන් ජනාධිපති තීරණය කරන්න ඕන. සමාව දුන්නොත් ප්රශ්නයක් නැති බව ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුවේ සඳහන් වෙනවා. නමුත් ජනාධිපති කියන්නේ සමාව දීම ප්රශ්නයක් කියලයි.
සමාව නොදුන්නත් මේ ප්රශ්නෙ මීට වඩා ලොකුවට එන්න තියෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලා අතරත් ප්රශ්නයක් ඇතිවෙනවා. මේ වස් කාලය නිසා පන්සල් වල කඨින පින්කම් තියෙනවා.මේ නිසා මාසයක් දෙකක් ඇතුළත මේවට උත්තර දෙන්න ඕන. වැඩි කාලයක් නැහැ" රනිල් මන්ත්රීවරුන් හමුවේ පැවසීය.
විපක්ෂයේ උනන්දුව සහ අනුරාධපුර පූජා භූමි කතාබහ
විපක්ෂයේ කණ්ඩායම් සියල්ල ඉන්නේ සමගි ජන බලවේගය සමඟ අප්රසාදයෙනි. සමගි ජන බලවේගයේ දැන් ප්රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ කතානායකගේ විශ්වාස භංගය පිළිබඳවයි. නමුත් පොදු සමාජයේ ඒ ගැන කිසිම උනන්දුවක් නැත. සමාජයේ දැඩි උනන්දුවක් ඇත්තේ චීවරයෙහි ගෞරවය රැක ගනිමින් බුදුදහම රැක ගැනීම ගැනයි. නමුත් සජිත්ගේ කණ්ඩායම මූලික ප්රශ්නය යට ගසමින් වෙනත් කාරණයක් ගැන නන් දොඩවෙමින් සිටිති.
මේ අල්ල පනල්ලේ අනුරාධපුර පූජා භූමියේ චිරස්ථිතිය සම්බන්ධයෙන්ද විවිධ සැක මුසු කතා සමාජයේ පැතිර යමින් පවතී. නමුත් මීට ආණ්ඩුව තවමත් පැහැදිලි උත්තරයක් ලබාදී නැත.
"දැන් අනුරාධපුරේ ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා නම් ආණ්ඩුවට යුතුකමක් තියෙනවා මොකක්ද වෙන්නේ කියලා පැහැදිලිව රටට කියන එක. සමහරු මේක ඉන්දියන් විරෝධී දෙයක් බවට පත් කරගෙන තියෙනවා" රනිල් පැවසීය.
බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා වෙත රනිල්ගෙන් විශේෂ ලිපියක්
බ්රසීල ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළ ලූලා ද සිල්වාට සුබ පතමින් රනිල් විශේෂ ලිපියක් යැව්වේය.ඒ ලිපියේ රනිල් සුවිශේෂී කාරණයක් ගැන අවධානය යොමු කර තිබිණි.
"ඔබතුමාගේ නායකත්වය බ්රසීලයෙන් ඔබ්බටද බෙහෙවින් වැදගත් වේ.බ්රික්ස් සංවිධානය සාමාජිකත්වයෙන් සහ බලපෑමෙන් වර්ධනය වන විට, ගෝලීය මූල්ය, වෙළඳාම සහ සංවර්ධනය යන අංශවලදී ගෝලීය දකුණට වඩාත් ස්ථිර හඬක් ලබා දෙන සංසදයක් බවට එය පත් කර ගැනීමට ඔබතුමාගේ සහය අපේක්ෂාවෙන් ලෝකය බලා සිටිනු ඇත. දේශගුණික ක්රියාකාරීත්වය, ආහාර සුරක්ෂිතතාව සහ ජාත්යන්තර ආයතන ප්රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ඔබතුමා කරන කැපවීම, ශ්රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ඉතා අගයනු ලැබේ" යනුවෙන් හුදු සුබ පැතුමකට එහා ගිය දැක්මකින් රනිල් ඒ ලිපිය ඉදිරිපත් කර තිබිණි.
ආණ්ඩුව ක්රියාකල ආකාරය එජාපය හෙළා දකී
මේ අතර සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් ආණ්ඩුව ක්රියා කළ ආකාරය හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කර තිබිණි. මේ කාරණය සම්බන්ධයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබුයේ එක්සත් ජාතික පක්ෂය පමණි.
"මාලිමා ආණ්ඩුවට මෙරට බුද්ධාගම නැති කිරීමට දැඩි අවශ්යතාවයක් තිබෙන බව ඔප්පු වූයේ කරුණු කාරණා එකකින් දෙකකින් පමණක් නොවේ. රජය හැමවිටම උත්සාහ කරන්නේ බුද්ධාගමටත්, ගරුතර මහා සංඝරත්නයටත් ලැබෙන හැම අවස්ථාවෙන්ම පහර ගැසීමටය.
මාලිමා රජයේ මේ අතිශය පහත් වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂය තරයේ හෙළා දකී. එසේම ආණ්ඩුව අපේක්ෂා කරන ආකාරයට බුද්ධ ශාසනයත්, භික්ෂූන් වහන්සේලාත් නැති කිරීමට ඉඩ නොදෙන බව යළිත් අවධාරණය කරමු" යනුවෙන් නිවේදනයේ අවධාරණය කර තිබිණි.
ජනමාධ්ය හා සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන අලුත් පනත් 3ක්
ආණ්ඩුව අලුතින් ගෙන එන පනත් තුනක් ගැන ඒකාබද්ධ විපක්ෂ නායක හමුවේදී මූලික අවධානයට යොමු විය.
මහාචාර්ය ජී.එල් මෙහිදී අදහස් දක්වමින් පැවසූයේ මෙම පනත් තුන එකට ගත්විට අතිශය භයානක ප්රතිඵල අත්කර දෙන බවයි.
"ත්රස්තවාදයට විරුද්ධව රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත, සංවිධානාත්මක අපරාධ පනත හා NGO (රාජ්ය නොවන ස්වේච්ඡා සංවිධාන) පනත යන මේ තුන එකට ගත්තහම මේ භයානක බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අප ඒ ගැන විශ්ලේෂණය කළා.ඊට විරුද්ධව මම උසාවි ගියා. අලි සබ්රි ජනාධිපති නීතිඥතුමා මම වෙනුවෙන් තර්ක ඉදිරිපත් කළා ශ්රේෂ්ඨාධිකරණයට. හැබැයි අපි පැහැදිලිව තීරණය කළා උසාවියේ නඩු පැවරීම පමණක් ප්රමාණවත් වන්නේ නැහැ.මේ පනත් තුන නිසා ඇතිවිය හැකි ප්රතිඵල සම්බන්ධයෙන් සමාජයට අවබෝධයක් ලබා දිය යුතුයි.
මෙම පනත් තුන නිසා මාධ්ය නිදහස සම්පූර්ණයෙන් නිෂේධ වෙනවා. මාධ්ය ආයතන වලට කිසිම අනාගතයක් නැහැ.
මේ පනත් තුනෙන් ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන් නිෂේධ වෙනවා.
මේ සම්බන්ධයෙන් සිවිල් සමාජය එක්ක සමීපව කටයුතු කරලා ජනමතයක් ගොඩනගන්න අප තීරණය කර තිබෙනවා.
වෘත්තීය සමිති මේක ගැන ලොකු විරෝධයක් ප්රකාශ කරලා තියෙනවා, වෘත්තීය සමිති 35ක් විතර.
දැන් අර හෝමාගම සිද්ධිය අරගෙන බලන්න. ඒකෙන් පේනවා ඔය අධිකරණ අධීක්ෂණයට යටත් නොවන පොලිස් බලතල වලින් මනුෂ්ය ජීවිතයට පවා සිදුවන හානිය.
දැන් ප්රධාන මේ පනතේ අපි ප්රධාන වශයෙන් භයානක කමක් හැටියට දකින්න පුළුවන් කාරණයක් තියෙනවා.ඒ කියන්නෙ තොරතුරක් ගත්තේ කොහෙන්ද කියලා මාධ්යවේදීන්ගෙන් බල කරලා අහන්න පුළුවන්.
එතකොට මාධ්ය වේදීන්ගේ ගවේෂණනාත්මක වැඩ කටයුතු කොහොමවත් කරන්න බැරි තත්ත්වයක් එනවා.
investigative journalism නිසා තමයි මහා පරිමාණයේ දූෂණ ගැන කරුණු සත්ය සමාජයට එළිදරව් වන්නේ. උදාහරණයක් වශයෙන් ගල් අඟුරු වංචාව. ඇමතිවරයෙක්ම පිළිගත්තා එහි අලාභය රුපියල් කෝටි 1576ක් කියලා" ජී.එල් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කළේය.
පරීක්ෂණ නැතුව කන්ටේනර් 325ක් වරායෙන් නිදහස් කිරීම, මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 1.6ක් අතුරුදහන් වීම.මේ වගේ සිද්ධි ගැන ගවේෂණාත්මක වාර්තා මීට පස්සේ දැකගන්න ලැබෙන්නෙ නැහැ යනුවෙන්ද ජී.එල් පැවසීය.
එතකොට පොලිස් බලතල හමුදාවට පැවරීම ඉතා භයානකයි.යුද්ධයක් හෝ හදිසි අවස්ථාවක් නැති වෙලාවක මෙවැනි තීරණ ගන්නේ කුමටද?
IGPට හෝ DIG ට පුළුවන් මේ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්ගෙන් ඉල්ලීමක් කරන්න ඕනෑම කෙනෙක් මාස දෙකකට හිර කරන්න. කිසිම අධිකරණ අධීක්ෂණයක් නැහැ. ඊට පස්සේ මහාධිකරණයේ අනුමැතිය ඇතිව අවුරුද්දකට එය දීර්ඝ කරන්න පුළුවන්.
දැන් අර හෝමාගම සිද්ධියෙනුත් පැහැදිලිව පේනවා අධිකරණ පාලනයෙන් තොරව පොලිසියට මෙහෙම පුළුල් අභිමතයක් දෙනකොට, ඒකෙන් වෙන විශාල හානිය. අනික ආරක්ෂක ලේකම්ට පුළුවන් ඕනෑම තැනක් තහනම් තැනක් හැටියට ප්රකාශයට පත් කරන්න යනුවෙන් ද ජී.එල් පක්ෂ නායකයන් හමුවේ පැවසීය.
දළදා මාලිගාවේ සත්යග්රහය සහ පාඨලීගේ හෙළිදරව්ව
මල් පාරේ මාධ්ය හමුවෙන් අනතුරුව මාධ්ය ප්රබලයන් සමඟ දොඩමළු වෙමින් පාඨලී චම්පික රණවක වැදගත් කරුණු කිහිපයක් හෙළිදරව් කළේය.
හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,රනිල් ජනපති සමයේ මාධ්ය අධ්යක්ෂ ශානුක කරුණාරත්න මෙන්ම කීර්ති තෙන්නකෝන්, පසිඳු ගුණරත්න එහි සිටියහ.
සුනාමි සහන මණ්ඩලය පැමිණි අවස්ථාවේ ක්රියා කළ ආකාරය පිළිබඳව පාඨලී එහිදී විස්තර කළේය."අපි සත්යග්රහයක් කරන්න දළදා මාලිගාවට ගියා.දළදා මාලිගාව ඇතුලේ එම සත්යග්රහය කරනවාට දියවඩන නිලමේරිවරයා විරුද්ධ උනා. දළදා මාලිගාව ඇතුළේ සත්යග්රහය කිරීමට අදහස් නොකරන බවත් මාලිගයෙන් එළියේ එය කරන බවත් අපි දැනුම් දුන්නා.ඒ අනුව මාලිගාවෙන් එළියේ සත්යග්රහය පැවැත්වීමට ඒ අයම පහසුකම් සලසා දුන්නා.අපටත් කරගන්න අවශ්ය වී තිබුණේ ඒක තමයි.
ඒ වගේම බලයේ සිටි අන්තිම කාලේ ප්රේමදාස ජනාධිපතිට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ඔහු ලොකු මානසික ආතතියකට ලක්වෙලා හිටියේ.අනුර කුමාරත් තත්වෙටම දැන් ගමන් කරමින් ඉන්නවා.අපිට තියෙන්නෙ පොඩ්ඩක් මේකට තල්ලුවක් දාලා පැත්තකට වෙලා ඉන්න විතරයි" යනුවෙන්ද පාඨලී එහිදී සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
