පුවත්

අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ සූදානමක !
තමාගේ අගමැති ධූරය යටතේ ආණ්ඩුව ස්ථාව බව පෙන්වීමට මන්ත්‍රීවරුන් 113 දෙනෙකු ගේ අත්සන් නොලැබුණහොත් හෙට (25) දින තුළ ධුරයෙන් ඉල්ලා අස්වනබව අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂ මිට පෙර පළමුව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය විපක්ෂය විසින් පෙන්නුවහොත් පමණක් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව වන බවයි.
දෙවනුව ඔහු සඳහන් කර සිටියේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු යෙදුනත් එහි අගමැති තමන් බවයි.
කෙසේ වුවත් මේ වන විට අගමැති මහින්ද සිය පුත්‍රයා වන හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත විපක්ෂ නායක ධූරය ලැබෙන ආකාරයක් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .
එහෙත් ඊට රාජපක්ෂ පවුලේ එකඟතාවක් නොමැති බවත් වාර්තා වෙයි.
අගමැති සඳහා පොහොට්ටු නම් 3ක් !
මේ අතර දේශය පුවත්පත වාර්තා කරන්නේ , යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරන බවය.
දේශයට ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු මගින් සනාථ වූයේ එම නම් අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරැන්ගේ නම් ඇතුළත් බව යනුවෙන් ද එම පුවතේ සඳහන් වෙයි.
අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
මෙම ප්‍රධාන නම්වලට අමතරව වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ නම්ද ඇතැම් පිරිස් අග්‍රාමාත්‍ය තනතුර සඳහා යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති බලතල ඉවත් කරන පරිවාස ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් වන බව එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
මේ අතර සිකුරාදා සවස හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වරයා පුමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් විය යුතු බවය.
එසේ ඉවත් වී පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාව අනුව වසරක කාලයක් සඳහ ප්‍රමාණයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් සැකසිය යුතු බව ද ඔහු විසින් යෝජනා කර ඇත.

උල්කටු මාර්ග බාධක ගැන නීතිඥ සංගමයෙන් හඬක් !
ඒ මේ උල්කටු සහිත මාර්ග බාධක ආවරණය කර තිබීම නිසා ජනතාවට හානි වීමේ අවධානම සැලකිල්ලට ගෙනය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් නීතීඥ සංගමය රජයට නැවතත් අවධාරණය කරන්නේ, පොලිස්පති පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමටත් සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බවයි .
යම් කිසි හේතුවකින් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇති වුවහොත් එය රටට දරුණු ප්‍රතිවිපාක අත් කර දීමට තුඩු දිය හැකි බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

අරගලය රාජපක්ෂවාදයට යට නොකරමු - වරුණ දීප්ත රාජපක්ෂ
#GoHomeGota අරගලය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සටහනක් තැබීමට තරුණ දේශපාලනඥයකු වන වරුණ දීප්ත රාජපක්ෂ කටයුතු කර ඇත.
එම සටහන පහත දැක්වෙයි.
රාජපක්ෂ ලා පැරදවීමට යනමග
රාජපක්ෂවාදයට යට නොවෙමු !
ගාලුමුවදොර අරගලය ඇරබීමට මුල්වූයේ රැඩිකල් ලිබරල්වාදීන් පිරිසකි.
එයට රැඩිකල් වාමාංශිකයන් පිරිසක් එකතුවිය.
මේ එකතුව දෙස මා ඉතා ආස්වාදයෙන් බලා සිටියේ මේ දෙපාර්ශවය අතර අරගලබිමේ බොහෝදේ හුවමාරුවේය යන විශ්වාසයෙනි.
අරගලය ජයගැනීමට බහුජනතාව එක්කර ගතයුතුය. එනිසා වඩාත්ම පුලුල් සාමුහික එකගතාවයක් සහිත සටන් පාටයක් අවශ්‍යය.
(Collective will) gota go home ඒ සදහා හොදින් ගැලපුනි.
සටන ජයගැනීමට බහුජනතාව කැදවිය යුතුය
රාජපක්ෂලා වෙනුවෙන් කහකඩයන් එනවිට අරගලකරුවන්ට තම සහයට භික්ෂූන් කැදවීමට සිදුවේ.
කොන්ඩම් පෙන්නා මඩගසන විට ,
අරක්කු සිගරැට් පෙන්නවිට,
පිලිතුරු බැදිමට සිදුවේ.
කුනුහරප කියන්න එපා කියන්න සිදුවේ
අද දේශප්‍රේමී ගී පමනක් කියන්න කියා පිරිසක් ඉල්ලා ඇත.
කෙතරම් සුදන්දර වුවද යුතෝපියාවකට ලේසියෙන් පවතින්නට නොහැක. ගාලුමුවදොර සුන්දර යුතෝපියාවට ඇති සැබෑ අභියෝගය එයයි. රාජපක්ෂලාට එය මර්ධනය ලෙයින් කුඩුපට්ටම් කිරීමට නොහැකිවීම අරගලය ලැබූ පොදුජන සහයෝගයේ ප්‍රතිපලයකි. එහෙත් රාජපක්ෂ වාදයෙන් ගැලවීම ලේසිනැත.
එය ආදරය ලෙසින්
ආදාර ලෙසින්
උපදෙස් ලෙසින්
ඉල්ලීම් ලෙසින්
පැමිනෙනු ඇත.
එය පරාජය කිරීමේ වගකීම අරගලකරුවන්ගේ පමනක් වගකීම නොවේ. එය දේශපාලන වාද ප්‍රවාද ඉදිරිපත් කරන්නන් සැමගේ වගකීමකි.
මම එන්න එපා කිව්වද එහි යමි.
හැකි අයුරින් දායක වෙමි.
එහෙත් එය විවේචනය කරමි.
මක්නිසාද එය අත්‍යාවශ්‍ය දායකත්වයක් වන බැවිනි.
දුශ්කර අරගලයක වෙහෙසෙන්නන්ට එය වේදනාවක් වියහැක.
දේශපාලන පක්ෂ වලට තමන්ගේ ගමනට එරෙහි ද්‍රෝහීකමක් වියහැක.
එහෙත් ආදරය ස්වරූපයෙන් එන රාජපක්ෂවාදයට වඩා අපේ ප්‍රවාද තුල ආදරය ඇත.
සටන් බිමේ විරාමයක කතාකරමු
Csk Thushara, Sanjaya Liyanage, Thusitha Pathiran,a Chanaka Hettiarachchi, Shanuka Karunaratne, Thushara Sewwandi Witharana, Thushara D Wanniarachchi, Sanjeewa Batuwatta, Vidarshana Kannangara, Nirmal Dewasiri
මේ ප්‍රසංගය ගැන මා දන්නාදේ නිවැරදි නොවිය හැක. එහෙත් ඒ පිලිබද අරගලයේ අප්පච්චිලා සහ අම්මලා ලෙස පෙනී සිටින්නන් කල, කීදෑ අසා සිටියෙමි.
වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

බැසිල්ගේ උත්සාහය වතුරේ : ජනාධිපති අගමැති තීරණාත්මක හමුව සූදානම් !
රටත් ආණ්ඩුවත් පත්ව ඇති දේශපාලන අරාජිකත්වය ඇතුළු තීරණාත්මක දේශපාලන තීන්දු තීරණ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර අද (24) මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම තීන්දුව ගෙන ඇත්තේ හදිසියේ වන බවත් වාර්තා වෙයි.
ඊට පෙර අගමැති මහින්ද රාජපක්ෂ ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පෙන්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සහය පළකිරීමේ ලියවිල්ලක් සකස් කිරීමට ගනුලැබූ උත්සාහය ද ව්‍යර්ථව ඇති බවත් වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට බැසිල් රාජපක්ෂ ගේ මූලිකත්වයෙන් මේ උත්සාහය දියත්කර ඇත. ඒ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් දැනුවත් කිරීම පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සිදුකර ඇත. එහෙත් ඒ ලියවිල්ල සඳහා අවශ්‍ය අත්සන් ප්‍රමාණය ලබා ගැනීම අසාර්ථක වී තිබේ.
ඒ අනුව අද රාත්‍රියෙහි මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව තීරණාත්මක වන්නේ ඊළඟ කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපති බලතල කප්පාදු කර ඒවා අගමැති යටතට ගැනීමට යෝජනා ප්‍රමාණයක් අගමැති විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිසා බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එසේම ජනාධිපති ගෝඨාභය විසින් පසුගියදා පත්කළ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් අගමැති මහින්ද ගේ ප්‍රසාදයක් නොමැති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඇතැම් මාධ්‍ය වාර්තා මේ බව පළකර තිබුණේ රාජපක්ෂ පවුලේ බල අරගලයක් ලෙසය. එහෙත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පවුල අභ්‍යන්තරයේ කුමන කාකොටා ගැනීම් තිබුණත් පවුලේ බලය අවධානමට යද්දී ඔවුන් එක්ව ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ අනුව අද ජනාධිපති සහ අගමැති මුහුණට මුහුණ හමුවෙන් පසුව දේශපාලනයේ තීරණාත්මක වෙනස්කම් දකින්නට ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

අන්තරේ මඩින්න ගිහින් : ආණ්ඩුව ඉල්ලං කෑවා !
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය අද (24) කොළඹ පැවැත්වූ විරෝධතා පාගමන වැලැක්වීමට ගොස් ආණ්ඩුව ඓතිහාසික නින්දාවක් හිමිකරගත් බව දේශපාලන විචාරකයන් පවසයි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන වැලැක්වීමට පොලිසිය ආරම්භයේ සිට අසාමාන්‍ය වෙහෙසක් ගත් අතර ඇතැම් අවස්ථාවල පමණ ඉක්මවා ක්‍රියාත්මක වූ බවත් ඔවුන් පෙන්වා දෙයි.
අන්තරයේ පාගමන වැලැක්වීමට පොලිසිය පළමුව අධිකරණ නියෝගයක් ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වීමෙන් පසුව අන්තරේට යන්න තහනම් මාර්ග කිහිපයක් සඳහා නියෝගයක් ගත්තත් එයද ව්‍යර්ථ කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වූ බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ , ආණ්ඩුව සහ එහි වුවමනාව අනුව කටයුතු කිරීමට ගොස් පොලිසිය ඉල්ලං කෑමක් සිදුකර ගත් බවයි.
" ඉල්ලගෙන කෑවෙ. මේ ජනතා අරගලයේ මූලික කොන්දේසියක් තමයි ප්‍රචණ්ඩ නොවීම. එය ඔවුන්ගේ උපක්‍රමයක්. ඒ නිසා ගෝල්ෆේස් යන්න දෙන්න තිබුණේ. නමුත් ආණ්ඩුව පසුගිය යුද සමයේ පවා නොතිබූ ආකාරයට GI පයිප්ප යොදා බැරියර් දැම්මා. බැරියර් වලට උල්කටු වෑල්ඩිං කරලා ඒවා ඉටිකොළ යොදා සඟවා තිබුණේ. හරිම මිලේච්ජ හැසිරීමක් ඒ. නමුත් ශිෂ්‍ය ප්‍රජාව උපක්‍රමික ලෙස සාර්ථක වුණා. ඔවුන් අගමැති මහින්ද ගේ නිල නිවස වටලා කියන්න තියන දේ කිව්වා. ඕනම ටික තාප්පවල ලියලා ආවා.
විරෝධතාකරුවන් ඉල්ලුවේ ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත් විය යුතු බව. ඒක තමයි මේ අරගලයේ මූලික සටන් පාඨය. අන්තිමේ අන්තරය ගෝල්ෆේස් අරගල බිමටත් ගියා."

IMF නොයන තීන්දුව බැසිල්ගේ : කබ්‍රාල් පව් සමාවක !
"අයිඑම්එෆ් එකට යන එක හෝ නොයන එක රජයේ තීරණයක්. රජයේ එදා තීරණය වුණේ අයිඑම්එෆ් එකට යා යුතු නැහැ කියන එක. අයවැය අවස්ථාවේදීත් මුදල් ඇමැතිතුමා කැබිනට් එක දැනුවත් කරමින් ප්‍රකාශ කළා අපි අයිඑම්එෆ් එකට යා යුතු නැහැ කියලා." යයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ , දැඩි ආණ්ඩුව හිතවාදී පෞද්ගලික මාධ්‍ය ජාලයක් වන දෙරණ හි "අරුණ පුවත්පත" සමග සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
එහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න කිහිපයක් සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඊට ලබාදුන් පිළිතුරු පහත දැක්වෙයි.
මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි ඩොලර් හිඟය. මේ අර්බුදය විසඳන්න අන්ත්ර්ජාතික මූල්‍ය අරමුදලට යෑම වැළැක්වූවේ ඔබ කියන එක තමයි එල්ල කෙරෙන ප්‍රධානම චෝදනාව. මොකක්ද ඊට ඔබේ පිළිතුර ?ජනාධිපතිවරයා පවා දැන් කියනවා අපිට මීට කලින් අයිඑම්එෆ් එකට යන්න තිබුණ කියලා?
අයිඑම්එෆ් එකට යන එක හෝ නොයන එක රජයේ තීරණයක්. රජයේ එදා තීරණය වුණේ අයිඑම්එෆ් එකට යා යුතු නැහැ කියන එක. අයවැය අවස්ථාවේදීත් මුදල් ඇමැතිතුමා කැබිනට් එක දැනුවත් කරමින් ප්‍රකාශ කළා අපි අයිඑම්එෆ් එකට යා යුතු නැහැ කියලා.
ඔබ කියන්නේ ඒ අවස්ථාවේ ඔබ සම්පූර්ණයෙන්ම කටයුතු කළේ රජයේ උපදෙස් අනුවයි කියලා?
ඔව්. මොකද රජය කිව්වොත් අයිඑම්එෆ් එකට යන්න ඕනෙ කියලා, අපි එතකොට යා යුතුයි. දැනුත් කරල තියෙන්නෙ ඒකමනෙ. අපේ රජය කියල තියෙනවා අපි අයිඑම්එෆ් එකට ගිහින් යම් සහනයක් බලාපොරොත්තු වෙනවා කියල. එතකොට අපි ඒ දේ කළ යුතුයි. ඒ සියල්ල රජයේ තීරණ. රජය තීරණය කළා බදු වැඩි කරන්නෙ නැහැ කියලා. තෙල් මිල වැඩි කරන්නෙ නැහැ කියලා. ඒ රජයේ තීරණත් එක්ක මහබැංකුවට කටයුතු කරන්න සිදුවුණා.
අයිඑම්එෆ් එකට යෑම පිළිබඳව අපිට විවිධ මත තියෙන්න පුළුවන්. දැන් අයිඑම්එෆ් එකට යෑම නිසා ඉදිරියේදී ලොකු පීඩනයක් ඇති වෙන්න පුළුවන්. අයිඑම්එෆ් එකට ගිය ගමන්ම සියලුම ප්‍රශ්න විසඳෙයි කියලා කවුරුත් හිතන්න නරකයි. අයිඑම්එෆ් එකට ගිය නිසා දැනටමත් පොලී අනුපාත විශාල ලෙස වැඩිවෙලා තියෙනවා කියල අපිට පේන්න තියෙනවා. ඒ වගේ මේ හැම ප්‍රශ්නයකටම දෙපැත්තක් තියෙනවා. කොහොම වුණත් අවසාන තීරණය තියෙන්නේ රජය සතුව.
හැබැයි මීට පෙර ඔබ මහ බැංකු අධිපතිව සිටියදී දෙදාස් නවයේදී අයිඑම්එෆ් එකට ගියා. ගිහින් ඒ වෙලාවේ තිබුණු ආර්ථික අර්බුදය විසඳගත්තා. මේ මොහොතේ නැවත අයිඑම්එෆ් යෑම ගැන ඔබේ අදහස මොකක්ද?
දෙදාස් නවයේදී අයිඑම්එෆ් එකට ගිහින් ක්‍රියාත්මක කරපු වැඩසටහන තමයි මේ රටේ අයිඑම්එෆ් එකත් එක්ක කරපු සාර්ථකම වැඩසටහන. ඒක තමයි විශාලතම වැඩසටහන. ඒකෙන් රටට විශාල සෙතක් සිදුවුණා. ඒ නිසා අයිඑම්එෆ් එකත් එක්ක මට තරහක්වත් ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වුණාට මේ වෙලාවෙ අයිඑම්එෆ් එකට යෑමෙන් රටේ තියෙන පීඩනය තවදුරටත් වැඩි වෙන්න පුළුවන් කියන අදහස මට තියෙනවා. ඒකට විරුද්ධ මතයක් රජය දරනව නම් රජයට පුළුවන් දැන් කරනව වගේ කිසිම ගැටලුවක් නැතුව අයිඑම්එෆ් එකත් එක්ක කටයුතු කරන්න.
මම මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වෙලා යන්න පෙර මාර්තු මාසෙ පහළොස් වැනිදා ජනාධිපතිතුමා අයිඑම්එෆ් එකේ නියෝජිතයන් මුණ ගැසුණු අවස්ථාවේදි මමත් එතන හිටියා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙත් ඒක තියෙනවා. මම මෙතන නියෝජනය කළේ මගේ පෞද්ගලික මතයක් නෙවෙයි. මම මහ බැංකු අධිපති විදිහට රජය වෙනුවෙන් මගේ වගකීම ඉෂ්ට කරල තියනවා. ඒ නිසා කාටවත් කියන්න බැහැ මේ මගේ තනි මතයට වුණ දෙයක් කියලා. මේකට රජය සාමුහිකව වගකිව යුතුයි. ඒක හැමෝම හොඳටම මතක තියාගන්න ඕනේ.
ඇයි බැසිල් විතරක් : හැමෝම වගකියන්න ඕන !
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල් සියල්ල හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ වෙත පවරා ශුද්ධ වීමට උත්සාහ කළත් මහ බැංකු අධිපති ලෙස ඔහු පත්වීම ගත්තේ කැබිනට් බලතල සහිතව බව අමතක නොකළ යුතු බවයි.
එසේම මහ බැංකු අධිපති ස්වාධීන ලෙස කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී මහ බැංකු ධූරය ගනුලැබූ නිවාඩ් කබ්‍රාල් මුළුමනින්ම ආණ්ඩුවේ දේශපාලනය ක්‍රියාත්මක කිරීම වෙනුවට වගකීමෙන් කටයුතු කළ බවක් ඒ කාලය තුළ නිරීක්ෂණය නොවූ බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ජනාධිපති තනතුරෙන් ඉවත් නොකළ යුතුයි - විමල්
ඇතැමුන් කියන පරිදි ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කළොත් මේ රට අස්ථාවර වෙන බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
එම නිසා ජනාධිපතිවරයා ඉවත් කිරීම නොකළ යුතු බවත් රටට අභිවෘද්ධිය සලසන වැඩපිළිවෙළකට සහ රට පිළිබඳ සාමූහික තීන්දු ගන්නා සියලු පක්ෂවලින් සැදුම්ලත් ජාතික සභාවකට එකඟ කරවාගෙන අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව පූර්ණ ලෙස ඉවත් කළ යුතු බවත් ඔහු පවසයි.
ඉන් පසුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම අර්බුදයට මේ මොහොතේ විසඳුම” ලෙසත් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.
එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද සඳහන් කර ඇත.
කෙසේ වුවත් දැන් අරගලය පිටින් ඒ කියපු කතා වචන වලට සීමාවන
“ඉන්ධන ලබා ගන්න ගියාම ඉන්ධන නැතිවෙනකොට, ආනයනික ඇතැම් භාණ්ඩ හිඟ වෙනකොට, ගෑස් මිල දී ගන්න ගියාම ගෑස් නැති වෙනකොට, විදුලිය කැපෙන කොට ආදී විවිධ කාරණා ඔස්සේ අපේ ඇඟපතට දැනෙනවා, ‘රටේ ආර්ථිකය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබෙනවා’ කියා. මේ ආරම්භය පමණයි. දැන් කියවෙනවා ‘කඩදාසි නැහැ’ කියා. ඉදිරියේදී සුපිරි වෙළඳසැල්වල බඩු හිඟයි, කියාවි. බරපතලකම කොයි තරම් අඩු වැඩි වශයෙන් දැක්කත් අපට පිළිගන්න වෙනවා අපි ඉදිරියේ අර්බුදයක් තිබෙනවා කියා. එය විසඳාගත හැක්කේ කෙසේද, කියන ප්‍රශ්නය ඒ සමඟ එනවා.සහරාන්ලාගේ ප්‍රහාරය නාවත්, කෝවිඩ් නාවත්, යුක්‍රේන යුද්ධය නාවත් ප්‍රමාදවී හෝ අපට මේ විදේශ විනිමය අර්බුදයට මුහුණදීමට සිදුවෙනවා. අර්බුදය ඉක්මනින් පැමිණීමයි ඉහත සාධක මගින් සිදු වූයේ.දැන් ‘යකා’ අවුස්සාගෙන ඉවරයි.
මේ මධ්‍යම පංතිය එක්තරා දුරකට යකෙක්. පුරුදු ජීවන රටාව දෙන්නම වෙනවා. නැතිනම් මරන් කන්න එනවා. පුද්ගලික ජෙට් එකෙන් ගිහිල්ලා හරි තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන, පිටරටකට හෝ ගිහින් ජීවත් විය හැකි උඩම පිරිස හැරුණාම, මධ්‍යම පන්තියේ ඉහළම කොටස, ඊට පහළ මට්ටමේ පිරිස, ඊටත් පහළ සියලු සමාජ ස්ථරයන් මේ අර්බුදය විසින් පීඩාවට පත් කර තිබෙනවා”
සුමන්දිරන් හිතනවා ‘ෆෙඩරල් දිනා ගන්න මේක හොඳම වෙලාව’ කියා. දෙමළ ඩයස්පෝරාව හිතනවා ‘මේක ඊළම ගන්න හොඳම වෙලාව’ කියා. ඒ වගේම බෞද්ධ විරෝධී, නිරාගමික රැවුල්කාර මහත්වරුන් හිතනවා, ‘ශාසනයට, භික්ෂූත්වයට පහර දෙන්න මේක නියම වෙලාව’ කියා.
මේ අවස්ථාව දෙස බලාගෙන ඉන්න එක එක අයට එක එක උවමනාවන් තිබෙනවා ඉටුකර ගැනීමට.සමහරු කියනවා, ‘ගෝඨාභය රාජපක්ෂත් යන්න ඕනේ’ කියලා.
ගෝඨාභය රාජපක්ෂ ගියාට පස්සේ මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉතිරි අවුරුදු දෙකහමාරට ජනාධිපති වෙනවා. දැන් හැංගිලා ඉන්න බැසිල් මහත්තයා ඇවිත් ‘මට 113 හදන්න පුළුවන්’ කියලා ඇවිත් 113 හදලා පෙන්නුවොත් ගෝඨාභය මහත්තයා ගිහින් තියෙන්නෙ බැසිල් මහත්තයාට ජනාධිපති වෙන්නනේ. ‘කපුටා කමිං ටු ප්‍රසිඩන්ට් හවුස්’. ඒකද කරගන්න ඕනේ. එහෙම නැතිව 113 පෙන්වන්න දෙන්නෙක් පොරකෑවොත් කිසිම කෙනෙකුට 113 නැති වුණොත් මොකද වෙන්නේ? කාටත් තක්කු මුක්කු වෙලා ඉන්නයි වෙන්නේ. මේක තක්කු මුක්කු වෙලා ඉන්න පුළුවන් වෙලාවක් ද? දැන් කරන්න ඕනේ ජනාධිපතිත් ඉවත් කරලා රට තවදුරටත් අස්ථාවර කරන එක නොවෙයි"
කෙසේ වුවත් ජනාධිපති විසින් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත්කළ අවස්ථාවේ වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී අවධාරණය කර සිටියේ වත්මන් ජනාධිපති සිටින අමාත්‍ය මණ්ඩලයක ධුරයක් භාර නොගන්නා බවය.

පොලිසියෙන් උල්කටු සහිත මාර්ග බාධක !
උද්ඝෝෂකයින් මර්දනය කිරීමට පොලිසිය අද (24) උල්කටු සහිත මාර්ග බාධක යෙදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.
බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ අදාළ උල්කටු සහිත මාර්ග බාධක ඉටිකොළ වැනි තුනී ඇතිරිලි වලින් ආවරණය කර තිබීමය.
ඒ අනුව එකවර මේ මාර්ග බාධා වල ඇත්තේ උල්කටු බව නොපෙනෙයි.
වඩාත් විශේෂ සිදුවීම වන්නේ සාමාන්‍ය නිරායුද උද්ඝෝෂණකරුවන් පාලනය සඳහා මෙවැනි මිලේච්ජ උපක්‍රමයක් යෙදීමයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සහ වෘත්තීය සංවිධාන කිහිපයක් මේ වන විට ගෝල්ෆේස් ආශ්‍රිතව දියත්කර ඇති තරුණ පොදුජන අරගලයට සහය දීමට අද විරෝධතා පාගමන් සූදානම් කර තිබේ.
පොලිසිය අන්තරේ පිරිසට එරෙහිව වාරණ නියෝගයක් ගෙන කිසිවෙකුට යාමට නොහැකි ආකාරයට මාර්ග බාධක යොදාගෙන ගෝල්ෆේස් අරගල බිම ආශ්‍රිත ප්‍රදේශය වසාගෙන ඇත.

මහින්ද ගෝඨාභයගේ තටු කැපීමේ සූදානමක !
ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර ඒවා අගමැති සතු කරගන්නා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අගමැති මහින්ද රාජපක්ෂ විසින් මේ යෝජනා ගෙන එන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීමට අදාල යෝජනා ලෙසය.
මෙම යෝජනා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රි කණ්ඩායම විසින් 21 වන සංශෝධනය සකස් කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේදි කතානායකවරයා වෙත භාර දුන් යෝජනා බවත් වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඔහුගේ නව කැබිනට් මණ්ඩලය මේ යෝජනා සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්නත් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා වෙමින් පවතී.
පසුගියදා නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේ අගමැති මහින්ද රාජපක්ෂ ඊට සහභාගීවී නොතිබීම ගැනත් දේශපාලන ක්ශේත්‍රයේ විවිධ කතා පළවිය.

ගෝල්ෆේස් වටේට මාර්ග වසා බැරියර් දායි !
මේ වනවිට සාමාන්‍ය ජනතාවට ඇතුල්විය නොහැකි පරිදි ජනපති මැදුර දෙසින් ගෝල්ෆේ්ස් පිටියට ඇතුලු වන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා මාර්ග බාධාක ඉදිකිරීමෙන් වාහනවලට කොළඹට ඇතුළු වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට සිදුව තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන විරෝධතාව ඇතුළු විරෝධතා කීපයක් අද (24) ගාලුමුවදොරට පැමිණීමට නියමිත නිසා පොලිසිය මෙසේ මාර්ග බාධයක යොදා ඇති බව වාර්තා වෙයි.

සබන් හොඳටම ගණන් !
වෙළඳපලේ සබන්වල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව රෙදි සේදීම වැනි කටයුතු සඳහා යොදාගත් වර්ගයේ සබන් කැටයක් රුපියල් 140 ක් , ළමුන්ගෙ ගල්වන සබන් කැටයක් රුපියල් 175ක්, සාමාන්‍ය සබන් කැටයක් 145 ක් ආදී ලෙස මිල ඉහළ ගොස් ඇත.
මෙය පෙර පැවති මිලට වඩා විශාල මිල වැඩි කිරීමක් බව වෙළඳුන් කියා සිටිති. එසේම පාරිභෝගික ජනතාව පවසන්නේ යළිත් සබන් භාග, කාල යුගයක් පැමිණ ඇති බවයි.

හිටපු මැකෝ තනියම විරෝධයක
හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත වී ඇත.
‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යනුවෙන් සටහන් කළ දැන්වීම් පුවරුව එල්ලාගෙන මෙසේ =මහින්ද දේශප්‍රිය අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාවට වී සිටියේය .
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පවතී බිග් මැච් එක නැරබීමින් සිටින අතරතුර මහින්ද දේශප්‍රිය මේ දැන්වීම ප්‍රදර්ශනය කරමින් සිට ඇත.
ලංකාදීප

හෙට, ගුරු – විදුහල්පතිවරු දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් !
හෙට (25) දිනයේදී දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සහ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙන්ම රජය ගෙන යන ජනතා විරෝධි වැඩපිළිවෙළට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු විදුහල්පති සංගම් 30 ක් සහභාගි වන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ ය.
කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය කටයුතුවලට බාධාවක් නොවන ලෙස වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වන ලෙස අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ගුරු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන තිබේ.

ගෝල්ෆේස් අරගලය අල කරන : කොටුව පොලිසියේ උත්සාහය ව්‍යර්ථයි !
#GoHomeGota සටන් පාඨය ප්‍රමුඛ කරගත් වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්‍යාලය සහ ගෝල්ෆේස් ආශ්‍රිතව දියත්කර ඇති පොදුජන අරගලයට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීමට පොලිසිය දැරූ උත්සාහයක් අද (23) ව්‍යර්ථව ඇත.
අප වාර්තාකරුවන් පවසන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලිසිය ඉල්ලා ඇත්තේ ගෝල්ෆේස් අරගල බිමේ විරෝධතා ව්‍යාපාරයේ නිරත පිරිස ප්‍රචණ්ඩකාරී හැසිරීම වළක්වන්න නියෝග කරන ලෙසයි.
එහිදී අදාළ විරෝධතාවය මෙහෙයවන 16 දෙනෙකුගේ නම් අධිකරණයට ඉදිරිපත් කරමින් කොටුව පොලීසීය පෙන්වාදී ඇත්තේ , පුරා දින ගණනාවක් තිස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් ගාලු මුවදොර පිටියේ රැස්වී විරෝධතාවක නිරතවීමෙන් දැඩි මහජන පීඩාවක් මෙන්ම පොදු දේපොළවලට හානි කිරීමේ ප්‍රවණතාවක් පවතින බවය.
කෙසේ වෙතත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්.ඒ. ප්‍රභාකරන් අදාළ ඉල්ලීම ප්‍රතිකේෂ්ප කර ඇත.
ඒ යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ මහජන පීඩාවක් සිදුවීමට පෙර විරෝධතාකරුවන්ට නියෝග පැනවීමේ හැකියාවක් නොමැති බවත් එවැනි නීතිවිරෝධී ක්‍රියාවක් වන්නේ නම් පොලිස් ආඥා පනත අනුව නිසි පියවර ගැනීමේ බලය පොලිසීයට හිමි බව ද, කොටුව පොලීසියට පෙන්වා දීමට මහේස්ත්‍රාත් කටයුතු කර ඇත.
ඒ අවස්ථාවේ විරෝධාතකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා අධිකරණයට නීතිඥයින් විශාල පිරිසක් පැමිණ සිටි බව ද අප වාර්තාකරු සඳහන් කළේ ය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ලොක්කත් : ජනාධිපතිට එරෙහිවෙලා !
"සියලු ප්‍රජාවන් එකමුතු වී සාමකාමී විරෝධතාවල නියැලෙමින් ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් ඉල්ලුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට.ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දරුණු ආර්ථික අර්බුදයට සමාන අභියෝගවලට ලෝකයේ තවත් රටවල් මුහුණ දෙමින් සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන්,කුමන රජයක් සිටියත් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම අමාරු දෙයක් ඒ වගේම තමයි මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඉතා වැදගත්” සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය පවසයි.
දේශපාලන විචාරකයන් පවසන්නේ නිර්පාක්ෂික ආණ්ඩු විරෝධය සාධාරණීකරණය කරන මේ සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයේ සභාපති අශෝක් පතිරගේ බවත් ඔහු මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ලෙස ද කටයුතු කරන බවත් ය.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ පත්වීමක් වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ගේ සමාගමේ මේ විරෝධය දෛවයේ සරදමක් බවත් ලෙස සැලකිය හැකි බවත් විචාරකයන් පවසයි.
මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ මහා පරිමාණ ව්‍යාපාර 08 ක් ආණ්ඩුව වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් ද දේශපාලන විචාරකයන් අවධානය යොමුකර ඇත.
මේ මහා පරිමාණ ව්‍යාපාර වන්නේ මාස් හෝල්ඩින්ග්ස්, හේමාස් සමූහ ව්‍යාපාරය, ඩයලොග් ඇක්සියාටා සමාගම ,ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය, ජෙට්වින්ග් සමාගම,සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරය, සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය සහ බ‍්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම ය.
මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස මේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර අට සිය ලිපිය හරහා ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.
එමෙන්ම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරත වී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින බව එම ආයතන නිවේදනය කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ආණ්ඩුව ලැබූ ජනවරම මේ වන විට අහෝසි බවට මේ ලිපිය නිදර්ශනයක් බවය.

වැරදි පිළිගත්තා නම් ඉල්ලා අස්වෙන්න : සුදර්ශනීගෙන් ජනාධිපති ට ප්‍රහාරයක් !
"අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ." යැයි හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මේ බව සඳහන් කර ඇත්තේ 'මව්රට’ සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
එහිදී ඇය මෙසේ අදහස් දක්වා ඇත.
‘ආණ්ඩුව දැන් හිසරදයට කොට්ට මාරුකරනවා වගේ අලුත් කැබිනට් එකක් හදලා. ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. සියලු පක්ෂ එකතු වෙලා අන්තර්වාර පාලනයක් ඇති කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕනෙ. අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ. අයි.එම්.එෆ්. යන එකට බාධා කළේ අජිත් නිවාඩ් කබ්රාල්. එයාගෙ හිතුමතයට තමයි මහ බැංකුව පාලනය කළේ.
ජනාධිපති ගොවීන්ගෙ ප්‍රශ්නයෙදිත් එහෙමයි. කාබනික පොහොර ප්‍රශ්නය වසර පහක දිගු සැලැස්මක් තුළ කළයුතු බවට යෝජනා කළ කෘෂිකර්ම උපදේශකවරු, ලේකම්වරු ඒ තනතුරුවලින් ඉවත් කළා. කාගෙවත් අදහස් යෝජනා ගනන් ගත්තෙ නැහැ. මුදල් අමාත්‍යාංශයෙ ඇතැම් නිලධාරීන් පවා වැරැදි තොරතුරු දුන්නා. හරි තොරතුරු දුන්නෙ නැහැ. ගොවීන්ට පොහොර ටික දෙන එක හරියට කළා නම් ගොවි ජනතාව අද පාරට වැටෙන්නෙ නැහැ. මේ රට ස්වයංපෝෂිත කළේ ගොවි ජනතාවයි. ඒක ජනාධිපති අමතක කළා. අද ඒ අයට පොහොර ටික ලැබිලා වෙලාවට ගොවිතැන් කරන්න ලැබුණ නම් ගොවි ජනතාවට බඩගින්න දැනෙන්නේ නැහැ. ඒ අයගෙ පිහිටෙන් බඩගින්න දැනෙන අනිත් අයටත් සහල් ටිකක් අඩු මිලට කන්න හැකි වෙනවා. නමුත් ඒ අවස්ථාවත් අද රටේ ජනතාවට අහිමි වෙලා. අහස උසට බඩුමිල. තවමත් ඉල්ලා අස්වෙන්නෙ නැතිව බලා ඉන්නේ මොකද කියන එක අපටත් ප්‍රශ්නයක්. බලන්න පසුගියදා ඇතිවුණු රඹුක්කන සිද්ධිය. ඒ අහිංසකයා මියගියේ නිරපරාදෙ. රඹුක්කන සමුපකාර සංගමයට ගෙන එන්න තිබුණු බවුසරය පමා කරලා ගෙනාවෙ. එදා මැදියම් රාත්‍රි ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුවයි. ඒ නිසාම ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති වුණේ. ඒකයි ඇත්ත.’
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය මේ වන විට ආණ්ඩුවට සහය දීමෙන් බැහැරව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග කටයුතු කරයි.

ඇමති ධූර අහිමි පිරිසකුත් ස්වාධීන වීමේ සූදානමක් !
මේ වන විට සරල බහුතරය පවා අහිමිව සිටින පොදුජන පෙරමුණ ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇමති පොරයක්ද මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අවසන් වරට සිදු කරනු ලැබූ කැබිනට් මණ්ඩල පත් කිරීමේ දී අමාත්‍ය ධුර හිමි නොවූ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු බලවත් කලකිරීමක පසුවීම හේතුවෙන් ය.
ඔවුන්ගෙන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමක් ඇති බවත් වාර්තා වෙයි.

අන්තර්වාර ආණ්ඩුවෙත් අගමැති මමයි : මහින්ද තරයේ කියයි !
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ ද එහි ද අගමැතිවරයා තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර ආණ්ඩු පිහිටුවන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ නෙත් නාලිකාව සමග සිදුකළ සාකච්ඡාවක් අවස්ථාවේ ය.
ඉතිහාසය නොදන්නා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් තමනට ඉවත්වෙන්නැයි ඉල්ලා ඇති බවද පැවසූ අගමැතිවරයා බහුතර මන්ත්‍රී පිරිසක් තමන් සමග සිටින බවද සඳහන් කළේය.
මේ මොහොතේ යම් අසීරු තැනක රට තිබෙන බව තමා පිළිගන්නා බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා එම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇති බවද පැවසීය.
මීටත් වඩා දරුණු අර්බුදවලට රට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
ගාලු මුවදොර පිටියේ අරගලයක යෙදී සිටින පිරිස්වලට සාකච්ඡා සඳහා අරලිය ගහ මන්දිරය විවෘත බවත් නැවත වතාවක් තමන් සාකච්ඡා කිරීමට තමන් ආරාධනා කරන බවත් පැවසූ අගමැතිවරයා එසේ නො පැමිණෙන්නේ නම් ඔවුනට දිගටම සිදු වන්නේ අරගල කිරීමට පමණක් යයිද පැවසීය.
Page 340 of 464