ආණ්ඩුව තෙල් නැතුව ඇවිලෙයි : තෙල් ඉල්ලන්න තානාපතිවරුන් කැඳවයි !

ආණ්ඩුව තෙල් නැතුව ඇවිලෙයි : තෙල් ඉල්ලන්න තානාපතිවරුන් කැඳවයි !

තෙල් නිෂ්පාදනය කරන සියලුම රටවල තානාපතිවරුන් මාර්තු මස 15 වෙනිදා කැඳවා ඇති බවත්, දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීමට සාකච්ජා කිරීමට එහිදී බලාපොරොත්තු වන බවත්, ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීම පිළිබද ගැටලුවක් ඇති බවත් අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

අද රටේ පවතින්නේ ඉන්ධන, ඖෂධ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නොව විදේශ විනිමය හිඟයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටී.

රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටියේය.

”රටේ මේ වෙන කොට ඩිසල් හිඟයක් පවතිනවා. එයට හේතුව තමයි අවසන් ඩිසල් නැව නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා තෙක් අපි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩිසල් නිකුත් කරනු ලැබුවේ සිමා සහිතවයි.

මේ වෙනකොට රටට ඉන්ධන රැගත් නෞකා 03ක් පැමිණ තිබෙනවා. ඉන් එක නෞකාවක තිබු පෙට්ට්‍රල් ගොඩබෑම සිදුකරනු ලැබුවා. ඩිසල් නෞකාව සඳහා අවශ්‍ය විදේශ විනිමය ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැදිහත්වී සොයා දෙනු ලැබුවා. ඒ වගේම අනෙක් ඉන්ධන නෞකා සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට මුදල් ඇමැතිතුමා පියවර ගන්නවා කියලා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.

පෙබරවාරි 05 වෙනිදා ලංකා IOC සමාගම විසින් සිදුකළ මිල වැඩිකිරීමත්, විශාල මුදලකින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුකළ යුතු බවට ප්‍රසිද්ධියේම ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීම් සිදුකිරීම නිසා ඉන්ධන මිල වැඩිවේයැයි කියා සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවා ගත්තා. ඇත්ත ඒකයි.

අපි අවසන් වරට ඉන්ධන මිල වැඩි කලේ දෙසැම්බර් 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල තිබුණේ අමෙරිකානු ඩොලර් 72යි, නමුත් ඊයේ වෙද්දී එය ඩොලර් 99ක්. මේ කාල සීමාවේදී ජාත්‍යන්තර වෙළෙදපොළේ ඉන්ධන මිල සියයට 38කින් ඉහළ ගිහින් තියෙනවා. යුක්රේන -රුසියා අර්බුදය නිසා ඉක්මනින්ම ඉන්ධන බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවන්න පුළුවන්. ලෝක වෙළෙදපලේ අඛන්ඩ ඉන්ධන මිල වැඩිවීමක් අපේක්ෂා කරනවා, ඒ වගේම මාර්තු මාසය මැද වෙන විට ඩොලර් 115ක් වෙනු ඇති බවට සඳහන් වනවා.’ යැයි ඒ මහතා කීය.

මව්රට

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න