පුවත්

කොරෝනා මරණ 14,752 ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14752ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මිය ගිය අය අතරින් 60 වැඩි පුද්ගලයන් 16 දෙනෙකු වන අතර ඒ අතරින් පිරිමි පුද්ගලයින් 10 හා සෙසු 06 දෙනා කාන්තාවන් ය.

ආණ්ඩුව අභ්‍යන්තරයේ රාජපක්ෂ විරෝධී අදිසි නායකයෙක් !
ආණ්ඩුව අභ්‍යන්තරයේ රාජපක්ෂවරුන්ට පාලනය කරගත නොහැකි බලවේගයක් නිර්මාණය වී ඇති බවත් ඒ බලවේගය මේ මොහොතේ බැසිල් විරෝධී පමණක් ස්වරූපයෙන් කටයුතු කරන බවත් දේශපාලන විචාරකයන් පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙකී බලවේගය විමල් වීරවංශ ඇතුළු පක්ෂ 11 කණ්ඩායම ලෙස නම් කළ හැකි බවයි.
මේ බව පසුගියදා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරයකු වෙතින් ප්‍රකාශ වූ බවත් පවසන දේශපාලන විචාරකයන් මේ මොහොතේ කරළියේ පෙනෙන්නට නැති නමුත් විමල් - ගම්මන්පිල - මෛත්‍රී - වාසු නොවන අයෙකු රාජපක්ෂවරුන් ට එරෙහි බලවේගයේ ප්‍රධානියා විය හැකි බවත් අවධාරණය කරයි.
ජගත්ගේ කටින් පැන්නේ මොකක්ද ?
මේ අතර පසුගියදා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසා සිටියේ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් වූවොත් තවත් විශාල පිරිසක් ඔවුන් සමග ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවයි.
ආණ්ඩුව කළ යුත්තේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ පුද්ගලයන් ආණ්ඩුවෙන් එළවා දැමීම නොව ඔවුන් සමග ඉදිරියට යෑම බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
රටේ අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා සුදුසු ද නැද්ද යන්න පිළිබදව තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු පැවසීය.
එසේම අග්‍රාමාත්‍ය ධුරයට හෝ ජනාධිපති ධූරයට පත්වීමට සිය පක්ෂය තුළ සුදුසුකම් ඇති තවත් නායකයින් කිහිප පොළක් සිටින නමුත් එම පුද්ගලයන්ගේ නම් මේ මොහොතේ හෙළි කළ නොහැකි බවද ඔහු පැවසීය.
එමෙන්ම කලින් වතාවලදී මෙන් මෙවර ඇමරිකාවට ගොස් පැමිණි විට බැසිල් රාජපක්ෂ මහතාට කිරීම සඳහා විශේෂ දෙයක් නොමැති බවත් රටේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුව විනාශ කිරීමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බව ද ඇතැම් රාජ්‍ය නිලධාරීන් අමාත්‍යවරුන් ගේ පමණක් නොව ජනාධිපති වරයාගේ ද අණ නොතකමින් ආණ්ඩුවේ ක්‍රියාදාමය අඩපණ කරමින් රට බංකොලොත් කරමින් දේශපාලන කුමන්ත්‍රණයක නිරත වන බවටද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.
මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් තමා පුද්ගලිකව විරුද්ධ නමුත් මේ මොහොතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ආණ්ඩුවට අවාසි සහගත බවත් ඔහු සදහන් කලේය.

කබ්‍රාල්ගේ කල්ල මරේ !
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිය දෙවන ධුර කාලය තුළ සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු වත්මන් සහ හිටපු අධිපතිවරුන් සඳහා අලුතින් අනුමත කරන ලද හිඟ විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 7 ක වෙන් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු මීට පෙර අධිපති ධුරය හෙබවූ කාලයේ ලබාගත් වැටුවෙන් සියයට 74ක් විශ්‍රාම වැටුපක් ලෙසත් මසකට රුපියල් 400,000ක් වත්මන් වැටුප ලෙසද ලබමින් සිටී. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලැබූ වැටුපට වඩා රුපියල් 150,000ක මාසික වැටුපක් කබ්රාල් මහතා ලබාගනිමින් සිටියි. බැඳුම්කර වංචා චෝදනා මත මහ බැංකුවෙන් ඉවත් වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ මසක වැටුප රුපියල් 70,000ක් වූ අතර ඔහු නව විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් ඉවත් කර තිබේ.
2021 සැප්තැම්බර් මාසයේදී නව මහ බැංකු අධිපති ලෙස වැඩ භාරගත් කබ්රාල් මහතාට නව වැටුප මත ඔහුගේ මීළඟ විශ්‍රාම වැටුප ලැබෙනු ඇත. හිඟ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ඔහුට ගෙවා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි. මහ බැංකුවේ හිටපු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා බැංකුවේ වසර දෙකක් පමණක් සේවය කර ඇතත් ඔහු ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපකට හිමිකම් කියයි.;
ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි
අද වෙබ්අඩවිය

මැති ඇමති ප්‍රභූන්ගෙන් : ලක්ෂ 93ක ජල බිල්පත් පොල්ලක් !
රජයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූන් 40 දෙනකුගේ නිවෙස්වලට ජලය සැපයීම වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අයවිය යුතු රුපියල් අනූතුන් ලක්ෂයක පමණ මුදලක් අදාළ තැනැත්තන් විසින් මෙතෙක් ගෙවා නැතැයි ජල සම්පාදන මණ්ඩලය සිදුකළ විගණනයකින් හෙළිදරව් වී ඇත. දිගින් දිගටම ජල බිල්පත් ගෙවීම ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම හිඟ මුදල් අයකර ගැනීමට නීතිමය පියවර ගැනීමට ජල සම්පාදන මණ්ඩලය සූදානම් වන බවද වාර්තා වෙයි.
මෙලෙස ජල බිල්පත් නොගෙවූ බහුතරයක් දැනටත් පාර්ලිමේන්තුව නියෝජනය කරති. ආණ්ඩුවේ ඇමැතිවරැන් ගණනාවක් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීන් හා හිටපු මැති ඇමැතින් ගණනාවකගේ නම්ද මෙම ලැයිස්තුවට ඇතුළත්ය. එයින් දෙදෙනකු මියගොසිනි.
මෙලෙස පොලු තැබූ ජල බිල්පත්වලින් වැඩිම වටිනාකම සහිත බිල්පත සහිත නිවසේ හිමිකරු වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු මධ්‍යම පළාත නියෝජනය කරයි. ඔහුගේ හිඟ බිල්පතේ වටිනාකම රුපියල් ලක්ෂ 18කි.
මෙකී හිඟ බිල්පත් අයකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට අදාළ උපදෙස් ජල සම්පාදන මණ්ඩලය විසින් මේ වනවිට ලබා ගනිමින් සිටින අතර මරණයට පත්වූ අමාත්‍යවරුන් දෙදෙනා හැර අන් සියල්ලන්ගෙන් බිල්පත් අයකර ගැනීමට අපේක්ෂා කරන බවද ජල සම්පාදන මණ්ඩලය පවසයි. යම් හෙයකින් නිසි ලෙස ජල බිල්පත් නොගෙවුවහොත් එම ජල සබඳතා විසන්ධි කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර තිබේ.
-දේශය

ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මග මෙන්න !
ඔමික්‍රෝන්වලින් වැළකීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් එන්නත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
එම නිසා බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ වන විට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් තීන්දු කර ක්‍රියාවට නංවා ඇත.

විදුරත් විමල් පිළට !
ආණ්ඩුව යුගදනවි ගිවිසුම මුල් කරගෙන සාමූහික වගකීම කඩකිරීම පිළිබදව කතා කරනවාට වඩා ආණ්ඩුව ජනතාවට වූ වගකීම කඩකිරීම සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් දැක්වීම සිදුකර ඇති අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සෞභාග්‍යයේ දැක්ම තුළින් කොතැනකදීවත් රාජ්‍ය දේපොළ විකුණන බව රටට නොකී බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ද ආණ්ඩුවේ විමල් පාර්ශ්වය වෙත ඇදීගොස් ඇති බවක් පෙන්නුම් කරන බවයි.
ඒ අනුව ආණ්ඩුව අභ්‍යන්තරයේ බැසිල් විරෝධී පිළ තවදුරටත් ශක්තිමත් වෙන බවක් පෙන්නුම් කරන බවත් ඔවුන් පවසයි.

එන ජන්දෙට මං ඉල්ලන්නයි හිතාන ඉන්නේ - දුමින්ද සිල්වා
තමන් ඊළඟ මැතිවරණයේදී ජනතාව ඉදිරියට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා පැවැසීය.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නාරාහෙන්පිටදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
කවුරුන් කොහේ ගියද තමන් පක්ෂය දමා නොයන බවද බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ හැදුවේ බොහෝ වෙහෙස මහන්සියෙන් බවද ඔහු එහිදී සදහන් කලේය.
“අපේ පක්ෂය හදන්න මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා කොච්චර කැපවුනා ද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහේ ගියත් අපි ඉන්නවා. අපි යන්නෙ නෑ.
ඔයගොල්ල දන්නවා මං වැඩ කරන විදිහ. මම වැඩකරනකොට පක්ෂ පාට භේද බලන්නෙ නෑ.
ගිය ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පලි අරන් මුලින්ම පලි ගත්තෙ මගෙන්. ආයෙ කියන්න දෙයක් නෑ නෙ. මම තමුන්නාසෙල එක්ක ඉන්නවා. එන මැතිවරණයේ දි මම තමුන්නාසෙල ලඟට එනවා. මම ඡන්දෙ ඉල්ලයි ද නැද්ද කියලා දන්නෙ නෑ.
මම මේ සභාපතිකම ගත්තෙ කොමිස් ගහන්න නෙමෙයි. රට ගොඩනගන්න.
අපි මේ රටේ තියන තත්වයෙන් ගොඩ එන්න ඕන. මොකද මේ රට යූඑන්පී එකට දෙන්න ද ආයෙ. එහෙම කරන්න බෑ”

මාසයකට ඩොලර් මිලියන 100ක් දෙන්න : බන්දුල ආණ්ඩුවෙන් ඉල්ලයි !
රටට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තම අමාත්‍යාංශයට මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයට දැනුම් දී ඇති බව දේශය පුවත්පත වාර්තා කරයි.
සහල්, පිටි, සීනි, මිරිස්, අල, ලූනු, පරිප්පු ආදිය ආනයනය සඳහා මාසිකව මෙම මුදල අවශ්‍ය බවද අමාත්‍යවරයා පවසා ඇති බවත් එම පුවතේ සඳහන් වෙයි.
මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දැඩි ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන අතර භාණ්ඩ හිඟය සම්බන්ධයෙන් ද පාරිභෝගික ජනතාව මැසිවිලි නගමින් සිටියි.

කොරෝනා මරණ 14,734 ක් දක්වා ඉහළට
කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,734 කි.
මිය ගිය අය අතරින් 09 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 05 දෙනා කාන්තාවන් ය.

වගා හානි වන්දි වී සඳහා පමණයි - මහින්දානන්ද
මෙවර මහ කන්නයේදී රසායනික පොහොර ආනයනය කිරීමට නොහැකි වූ බවද පොහොර නොමැතිවීමෙන් හානී වූ වගාවන්ගෙන් මෙවර මහ කන්නයේදී වන්දි ගෙවනු ලබන්නේ වී වගාව සඳහා පමණක් යැයිද කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදීය.
“රසායනික පොහොර ගේන්න උනන්දුවක් නැත්තම් වෙන මොනවත් ගේන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඒකට තමයි වැඩිම උනන්දුව. මේ මහකන්නයට රසායනික පොහොර ගේන්න කොහොමත් වෙලාවක් නැහැ. ඊළඟ යලට තමයි පොහොර ගේන්නේ. මේකට රජයත් වගකියන්න ඕනේ. රජය මේක අරගෙන ගියේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනීසිටියේ නැහැ. පරිසර අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කළා. ඒ කවුරුත් වැඩකළේ නැහැ. අන්තිමට කෘෂිකර්ම ඇමති වන මට තනියම මේක ඇදගෙන යන්න වුණා.”

රිජෙක්ට් පොහොරට ඩො.මි 6.7ක් : දයාසිරිට සැර කොමිස් සැකයක් !
චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කරයි.
නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි.
ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ එම කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි බවද ඔහු කියා සිටී.
මහින්දානන්ද ඇමතිතුමා බොහොම පැහැදිලිව කිව්වා, එක සතයක්වත් අපි ගෙවන්නෙත් නෑ.. ආපහු මේ පොහොර නැවේ කිසිම දෙයක් ගන්නෙත් නෑ කියලා. දැන් ඒකෙ අනික් පැත්ත වෙලා තියෙන්නේ."
"දැන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙලා තියෙනවා. මේවා ජාතික අපරාධ. ඒකයි මම කියන්නේ මේවට වගකියන්න ඕන අයගෙන් පුද්ගලිකව ඒවා අය කරගන්න ඕනේ කියලා. අපිට තේරෙනවා මේකෙත් යම් කොමිස් මුදලක් ගෙවලා තියෙනවා කියලා. එතකොට මේ කොමිස් මුදල ගන්නද ඩොලර් මිලියන 6.7 දෙන්න වෙන්නේ."

බැසිල්ගේ වැඩ අප්‍රේල්වල : විශාල වැඩපිළිවෙළක් හදලා - චන්ද්‍රසේන
අප්‍රේල් අලුත් අවුරුද්ද වන විට ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පවසයි.
එම කාලය වන විට එළවළු ඇතුළු ආහාර මිල විශාල වශයෙන් පහළ යනු ඇති බව ද ඔහු පැවසීය.
ඒ සඳහා දැනටමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විශාල වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එනිසා ආර්ථික විද්‍යාඥයන් කුමක් කීව ද ඉදිරි කාලයේ දී ජනතාවට විශාල වශයෙන් සහන ලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක්
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් එම අනතුරු අඟවීම නිකුත් කර ඇත.
මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය හමුවේ රටවල් රැසක කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව සඳහන් කළේ, එම තත්ත්වය තුළ ඔමික්‍රෝන් ආසාදිතයින් තවදුරටත් මෙරටින් හමුවිය හැකි බවයි.
බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයට මුහුණ දීමේ හැකියාව 75 % වඩා වැඩි බව ද, විශේෂඥ වෛද්‍ය රන්ජිත් බටුවන්තුඩාව පැවසුවේ ය.

ඉන්ධන මිල වැඩිකරන්න ම වෙනවා - තෙල් ඇමති ගම්මන්පිල
මෙරට ඉන්ධන මිල වැඩිකිරීමට අවශ්‍ය බව ඛණිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
අමාත්‍ය උදය ගම්මන්පිල ඒ බව පැවසුවේ හංවැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉන්ධන මිල මෙරට අවසන් වතාවට ඉහල දැම්මේ මැයි මාසයේ ලෝක වෙළඳ පොළේ මිල පදනම් කරගෙන බවත් එතැන් සිට මේ දක්වා 24%ක ඉන්ධන මිල ඉහළ යෑමක් ලෝක වෙළදපොලේ පෙන්නුම් කරන බවද ඔහු එහිදී පැවසීය.
ඉන්ධන මිල ඉහළ නොදැමීමෙන් සිදු වන්නේ එම පිරිවැය ද වාහන පාවිච්චි නොකරන නොකරන ජනතාව විසින් ගෙවා දැමීම බවත් එය ඔවුනට කරන අසාධාරණයක් බවත් ඇමතිවරයා සඳහන් කරයි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යද්දී භාණ්ඩාගාරයෙන් සහනයක් ලබා නොදෙන්නේ නම් ඉන්ධන මිල වැඩි කළ යුතු බවද පැවසූ ඔහු නමුත් මෙතෙක් මිල ඉහළ දැමීමට තීරණය කර නැති බවද තවදුරටත් කියා සිටියේය.
ඉන්දන මිල වැඩි කිරීමේ කමිටු රැස්වීම ?
ඉන්ධන මිල ඉහල දැමීම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහල දැමීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් දෙසැම්බර් 16 දා රාත්‍රී 8.00 ට මුදල් අමාත්‍යංශයේ දී වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුනද එම රැස්වීම අවලංගු කර තිබිණ.
ඒ සම්බන්ධයෙන් වූ පුවත් වාර්තා එදින පස්වරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම එම රැස්වීම අවලංගු කිරීමට හේතුවූ බව මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.
ඊට අදාල පුවත් වාර්තා පළවීමත් සමග විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ, ''අද රාත්‍රී ඉන්ධන මිල ඉහල දැමීමක් සිදු කෙරෙන බවට සමාජ මාධ්‍යවල පලවී ඇති වාර්තා සාවද්‍ය බවයි.''.
එහිදී ඔහු අවධාරණය කර තිබුනේ ''අද රාත්‍රී ඉන්ධන මිල ඉහල දැමීමක් සිදු නොකරන බව'' යි. එදින වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පිරිස් විසින් විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවක් හෝ ඉන්දන මිල ඉහල නොදමන බවක් හෝ ඔහු ප්‍රකාශ කර නොතිබිණ.
කෙසේවුවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යලි දිවයිනට පැමිණීමට පෙර ඉන්දන මිල මිල වැඩි කිරීමක් සිදුකෙරෙන බවයි.

රිෂාඩ් රඳවාගෙන සිටීම : අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානයට !
සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක සහ වන්නි දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානය යොමු වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2021 අපේ‍්‍රල් 24 වෙනිදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන් මහතා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම පිළිබඳ පසුගිය නොවැම්බර් 30 වැනි දින මැඩ්රිඩ් හි පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 208 වැනි සැසිවාරයේ දී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය එළැඹි තීරණ දෙසැම්බර් 16 දා ප‍්‍රකාශයට පත් කෙරින.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, පාස්කු ප‍්‍රහාරයට අනුබල දීම යටතේ රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගත් නමුත්, මේ වන තෙක් ඒ සම්බන්දයෙන් කිසිදු සාක්ෂියක් ප‍්‍රසිද්ධ කර නැත. සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළේ යැයි කියන ඉන්සාෆ් අහමඞ් නැමැත්තා ට අයත්, ක්ලෝසස් පුද්ගලික සමාගමට තඹ ලබාදීම යන චෝදනාව ද, රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයා ට එල්ල කර තිබිණ. ක්ලෝසස් පුද්ගලික සමාගමට කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා තඹ ලබාදීම සඳහා රිෂාඩ් බදියුදීන්, විෂයබාර අමාත්‍යවරයා ලෙස විශේෂ මැදිහත්වීමක් කර ඇති බවට තොරතුරු අනාවරණය වී නැති බවද අන්තර් පාර්ලිමේන්තු සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයාව අත්අඩංගුවට ගත් ආකාරය, ඉදිරිපත් කර ඇති චෝදනා ඇතුළු කරුණු කෙරෙහි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කර සිටී.
රිෂාඩ් බදියුදීන් මන්තී‍්‍රවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම මන්දගාමී වීම පිළිබඳව, අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි.
අත්අඩංගුවට ගෙන මාස 06ක් රඳවා තබා ගැනීමෙන් පසු කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දුන්නද, බදියුදීන් මන්තී‍්‍රවරයාව සැකකරුවෙක් කිරීම ට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පරීක්ෂණ කණ්ඩායම් අසමත්වීම පිළිබඳව ද අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධන හෝ අහෝසි කිරීමකින් තොරව වර්තමාන ස්වරූපයෙන් කි‍්‍රයාත්මකවීම පිළිබඳව ද අන්තර් පාර්ලිමේන්තු සංගමය කනස්සල්ල පළ කරයි. සංශෝධනයට ලක් නොකර එකී පනත කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සංවිධානය ද කනස්සල්ල පළ කරයි. එකී පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම ට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම පිළිබඳ ව ද අන්තර් පාර්ලිමේන්තු සංගමයේ අවධානයට යොමුව තිබේ.
එම පනත සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීම පිළිබඳ ශී‍්‍ර ලංකා බලධාරීන්ගේ ප‍්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත්, බදියුදීන් මන්තී‍්‍රවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට පිළිගත හැකි සාක්ෂි තිබේනම්, එ් පිළිබඳව දැනුම් දෙන ලෙසත්, අන්තර් පාර්ලිමේන්තු සංගමය ඉල්ලා සිටී.
එල්කේආර් 77 ලෙස සඳහන් කර ඇති එකී තීරණය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සහ නීතිය කි‍්‍රයාත්මක කරන ආයතන සියල්ල දැනුවත් කරන්නැයිද අන්තර් පාර්ලිමේන්තු සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කොරෝනා මරණ 14,720 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා මරණ 22 ක් අද(17) වාර්තා විය.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14,720 දක්වා ඉහල යයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම මරණ ඊයේ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ බවයි.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු වේ.
මියගිය පුද්ගලයින් 22 දෙනා අතුරින් 19 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් ය.
අනෙක් පුද්ගලයින් 03 දෙනා වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවන්නන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

විමල් ගම්මන්පිල සහ වාසුලා : නීතිපතිගෙන් හොඳට අහගනී !
කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි නීතිපති , ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අද ( 17) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.
එසේම එලෙස අමාත්‍යවරුන් තිදෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දීම නීතියට පටහැනි යැයිද නීතිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
උදය ගම්මන්පිල , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඉකුත් 07 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් වලට පක්ෂව විරෝධතා කරනු ලැබූහ.
මෙම අමාත්‍යවරුන් තිදෙනා එම මූලික අයිතිවාසිකම් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියදී පෙත්සම් වලට පක්ෂව විරෝධතා ගොනු කිරීම විශේෂත්වයකි .
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් , විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලේ.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර , වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර සිටිති.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය, එහි සභාපතිවරයා, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම, ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නීතිපති වරයා ඇතුළු 54දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටි.
-mawrata

ගිනි ගණන් : දෙල් කෑමත් දෙල් වෙයි !
දෙල් ගෙඩියක් රුපියල් 300 ක් වැනි ඉහල මිලකට අම්බලන්ගොඩ සතිපොළේ අලෙවි වූ බව එහි සිටි පාරිභෝගිකයන් පැවසූ බව ආණ්ඩුව හිතවාදී සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.
අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
පොහොර කිසිවක් නො දමමින් ස්වභාවිකවම හැදෙන දෙල් ගෙඩියක් මෙතරම් ඉහළ මිලකට අලෙවි කරන්නේ මන්දැයි පාරිභෝගිකයන් විමතිය පළ කරති.
දෙල් පමණක් නොව කොස් බතල ආදියද මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව කියා සිටිති.
මේ අතර අමුමිරිස් කිලෝවක් රුපියල් 1000-1200 මිල දක්වා ඉහළ ගොස් තිබේ.
එළවළු මිල දරා ගත නොහැකි ලෙස දිගින් දිගටම ඉහළ යමින් පවතින බව ජනතාව කියා සිටිති.
Page 391 of 463