V2025

පුවත්

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (26) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කර තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද (26) උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ බවයි.

මේ අතර කිරිබත්ගොඩ, නාහේන ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා බව ඉවත් කර තිබේ.

cf20aefd isolation 2021 06 26 page 001

 

සිවිල් සමාජ ක්‍රියාකාරී අසේල සම්පත්ව නාඳුනන පිරිසක් පැහැරගෙන !

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සහ මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති වන අසේල සම්පත්ව පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර සිටියි.

වෑන් රථයකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ යැයි හඳුන්වාගත් පුද්ගලයින් 20ක් පමණ මෙසේ ඔහුව රැගෙන ගිය නමුත් ඔවුන් නිල ඇඳුම් නොපැළඳ සිටි බවත් ඔවුන් අසේල සම්පත්ව එසේ රැගෙන යාමට කිසිඳු හේතුවන් නොදැන්වූ බවත් ඔහුගේ දියණිය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස පෙනී සිටිමින් ප්‍රකාශ කළාය.

ඇය ඇතුළු පවුලේ සාමාජිකයින් පිරිසක් මේවනවිට පිළියන්දල පොලිසිය වෙත ගොස් මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

විමල්ගේ තුනක් බැසිල් ගලවලා ?

ආණ්ඩුව තුළ නිර්මාණය කරගෙන තිබෙනකුඩා පක්ෂ එකමුතුවෙන් පක්ෂ කිහිපයක්ම ඉදිරි සති දෙක තුළ එයින් ඉවත්වීමට සූදානම් වන අතර විමල් වීරවංසගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුද ඒ සමගම පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ. 

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන වීරවංසගේ මන්ත්‍රීවරයා, මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු එම පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් බවද අනාවරණය වේ.

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම්දීමට සමගාමීව ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙම දේශපාලන වෙනස්වීම සිදුකෙරෙමින් පවතී.

වාසුදේව නානායක්කාර සහ මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කුඩා පක්ෂ සංවිධානයෙන් ඉවත්වීමට මේ වනවිටද කැමැත්ත පල කර ඇත. එසේම අතුරලියේ රතන හිමි වෙත මන්ත්‍රී ධුරය තහවුරු කර ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවද හෙළි වේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය මේ වනවිට නව තත්වය පිළිබඳව කිසිදු ස්ථාවරයකට පැමිණ නැත.

මේ අනුව ඉදිරි සති කිහිපය තුළ බැසිල් රාජපක්ෂ තමන්ට විරෝධීව සිටින කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන් තමන්වෙත දිනාගැනීමේ මෙහෙයුම සාර්ථක කරගනු ඇති බවට අනාවැකි පල වී තිබේ.

(Lanka truth )

MSC මෙසීනා නැවෙත් ගින්නක් !

Express pearl නෞකාවේ ගින්න සමගින් මෙරට සමස්ත සාගරික කලාපයටම අති දැවැන්ත පාරිසරික හානියක් සිදු වී එහි උණුසුම පහව යනටත් පෙර කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එන්ජිම අයත් කුටියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවේ ගින්න හටගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවට වාර්තාවී ඇති බවය.

ඒ අනුව අදාළ නෞකාව අසලින් ගමන්ගන්නා නෞකාවලට මේ පිළිබඳව දැනුම් දී ගින්න නිවීම සඳහා සහයෝගය ඉල්ලා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ නෞකාව ඊයේ (24) රාත්‍රියේ මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවය. මෙම නෞකාව කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ ලයිබීරියා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.

සුමුදු මද්දුමආරච්චි

මිලානෝ.

ඉතාලිය.

වැලිකඩ සහ මහර මරණ දඬුවම ලැබූ සිරකරුවන් : ආහාර වර්ජනයක !

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල මරණ දඬුවම හිමිවූ රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කිරීම ඔවුන්ගේ ඉල්ලීම වී ඇති බවත් වාර්තා වෙයි.

විරෝධතාවයේ නිරත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග සිටි බවත් වාර්තා වෙයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධව මරණ දඬුවම ලබා සිටි දුමින්ද සිල්වා ඊයේ (24) ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබිණ.

සිරගෙවල් - නීතිය - විනිසුරුවරුන් කුමකටද? : හිරුණිකා ජනාධිපතිට ලියයි !

ගරු ජනාධිපතිතුමනි,
 
"ඔබතුමාගේ සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය මම වෙමි. " යනුවෙන් ආමන්ත්‍රණය කරමින් දුමින්ද සිල්වා ගේ නිදහස සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකර ඇත.
 
"එක රටක් එක නීතියක් යන තේමාව යටතේ ඔබ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ලදී. එහෙක් අද එම තේමාව හුදෙක් මැතිවරණය ජයග්‍රහණය සඳහා යොදාගත් වචන පෙළක් පමණි. " යනුවෙන් සහ "මෙසේ වැරදිකරුවන් හිතුමතේ ජනාධිපති සමාව යටතේ නිදහස් කරනවා නම් සිරගෙවල් කුමකටද? නීතිය කුමකටද? විනිසුරුවරුන් කුමකටද?" යනුවෙන් ද  හිටපු මන්ත්‍රීවරිය විසින් ජනාධිපතිගේ ක්‍රියාව ප්‍රශ්න කර ඇත.
 
 අදාළ ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
"විනිසුරුවරුන් හත් දෙනකුගේ තීන්දු ඉවත දම්මින් ඔබ විසින් අද නිදහස් කරන ලද දුමින්ද සිල්වා ඉදිරියේදී මහ ඇමැති අපේක්ෂකයකු ලෙස හෝ දේශපාලනයට ගෙනැවිත් ඔහු ජයග්‍රහණය කළ ද මම පුදුම නොවෙමි.
 
 හේතුව මේ රට දැන් ස්වාමියා විසින් විනාශය කරා දක්කන වහලුන් සිටින රටක් බවට පරිවර්ථනය වී ඇති බැවිනි. ජනතාව මෙම අසාධාරණකම් සදාකල නොඉවසනු ඇත. ඔබ පාලනය යටතේ වැඩෙමින් පවතින මෙම අයුක්තිය නැමැති යදම් බිඳදා මහජනතාව ඔබට එරෙහිව නැගී සිටින දිනය වැඩි ඈතක නොවන්නේය. එවැනි අනාගතයක ඔබ වැනි කශේරුකාවක් නොමැති නීතියට ගරු කිරීමක් නැති පුද්ගලයන්ට කිසිදු දේශපාලන අනාගතයක් නොමැති වනු ඇත."
 
ස්තුතියි.
 
මෙයට.
විශ්වාසි.
 
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ඝාතනය කරන ලද භාරත ලක්ෂ්මන් ප්‍රේමවන්ද්‍රගේ දියණිය,
 
අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.
 FB IMG 1624599814113

FB IMG 1624599824549

FB IMG 1624599833988

FB IMG 1624599838873

 
 

දුමින්දගේ නිදහස : එජාපයත් ජනාධිපතිගෙන් ප්‍රශ්න කරයි !

මිනීමැරුමකට වැරදිකරු වී 2016 දී මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර නිවේදනයක් නිකුත්කර ඇත.  

ජුනි 24 නිකුත් කරන ලද ජනාධිපති සමාව ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළත් කිරීමට ගත් තීරණය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව එහි සඳහන්ය  එසේම ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාද? යනුවෙන් විමසා ඇති අතර වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.  

මෙම විශේෂිත නඩුව විශාල මහජන උනන්දුවක් ඇති වූ අතර, එම සමාව ලබා දීමට ඔහු තෝරාගත්තේ මන්දැයි ජනාධිපතිවරයා රටේ පුරවැසියන්ට පැහැදිලි කළ යුතුය. 

ජනාධිපති සමාව අසීමිත ලෙස භාවිතා කිරීම තුළින් අධිකරණය අවභාවිතා නොකරන ලෙස එක්සත් ජතික පක්ෂය තවදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. 

එවැනි සමාව නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබේ, මෙම ක්‍රියා පටිපාටිය මෙම තත්වය තුළ අනුගමනය කළේද?

 රට තුළ අධිකරණයේ අඛණ්ඩ ස්වාධීනත්වය සඳහා වූ කැප වන බව එක්සත් ජාතික පක්ෂය යළිත් වරක් ප්‍රකාශ කරයි.

දුමින්දගේ නිදහසේ විස්තරය දෙන්න : නීතිඥ සංගමය ජනාධිපතිගෙන් ඉල්ලයි !

මිනීමැරුමකට සම්බන්ධ වැරදිකරුවකු වන දුමින්ද සිල්වාට සමාව ලබා දීමේදී නියමිත ක්‍රියාදාමය අනුගමනය කළේද යන්න  ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

ඊට අනූව මිනීමැරුම් වැරදිකරුවෙකුට සමාව දෙන විට ඒ සඳහා නඩු විභාගයේ විනිසුරුවරු, නීතිපති සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ කැඳවිය යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

 එමෙන්ම, ජනාධිපති සමාව සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම, කරුණු සහ ඔහුට විශේෂයෙන් සමාව ලැබීමට තරම් කැපී පෙනෙන හේතූන් කවරේද යන්න මහජනතාව දැනගත යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ලිපියෙන් ජනපතිවරයා වෙත අවධාරණය කර තිබේ.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

bar association 1

bar association 2

දුමින්ද නිදහස් කරාට ඇමරිකාවේ විරෝධය !

ඇමරිකා එක්සත් ජනපදයද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද සිල්වාගේ නිදහසට විරෝධය පල කර ඇත.

ඒ බව  කොළඹ සිටින එක්සත් ජනපද තානාපතිනි අලානා ටෙප්ලිට්ස් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි. 

“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සිරකරුවන් කලින් නිදහස් කර යැවීම ගැන අපගේ ප්‍රසාදය හිමිවන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 දී අනුමත කරන ලද දඬුවමකට යටත් කොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර යැවීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙලයි,” යනුවෙන් එහි සඳහන් කර ඇත.

detrt

ශිරාල්ගේ රනිල් විරෝධය ඉවරයි : අපරාදේ අවුරුදු 10ක් !

සජිත් ප්‍රේමදාස වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගෙනදීමට පාගමන් ගිය, සජබ පිහිටුවීමටත් සැලකිය යුතු වැඩකොටසක් කළ නීතිඥ ශිරාල් ලක්තිලක තමන් දැන් රනිල් විරෝධියෙක් නොවන බව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත.
ඒ සිය  ෆේස්බුක් ගිනුමෙහි සටහනක් තබමින්ය.
එම සටහන පහත දැක්වෙයි.
මම දැන් රනිල් විරෝධී නැත !
මම දැන් රනිල් විරෝධී නැත!  
හැබැයි නැවත රනිල්ගේ ඔඩොක්කුවට යන්නේ ද නැත!
රනිල් හා එජාපය අවශ්‍යවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජයගැනීමටය!
අප විසින් රනිල් මහතා පාර්ලිමේන්තුවේ දී දැක්වු අදහස් පිලිබඳව ප්‍රසාදයෙන් කතා කිරීම පිලිබඳව ඇතමුන් කුපිතවී ඇති බවක් ඊට බුකියේ දැක්වු ප්‍රතිචාර තුලින් පෙනෙන්ට තිබේ.
මම අදටත් රනිල් සම්බන්දව විසම්මුතිකයෙකි. එසේම රනිල්ට පක්ෂව කතා කොට සජිත්ට විරුද්ධවිමට හෝ රනිල් හා සජිත් කොටවා චම්පිකට වාසියක් ලබා දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක්ද නැත.
එසේම ඇතමුන් කියන පරිදි අප විසින් මා මෛත්‍රී ජනාධිපති සමග කටයුතු කරන සමයේ මෛත්‍රී රනිල් කෙටවීමට කිසිදා කටයුතු කර නැත. පිරිමියකු හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන අදහස් දරන්නකු වන මම එවැනි කුඨ ක්‍රියාවල යෙදී නැත.
මා දේශපාලනයේ යෙදෙන්නේ ද අදහස් දක්වන්නේද වාසි තකා නොවේ. අනාගතයටත් එය එසේමය.
දේශපාලනය විචාරකයකු ලෙස අප සිදු කලේ රනිල් මහතා පාර්ලිමේන්තුවේදී සිදු කල කතාවේ හරය අගයීමට ලක් කිරිම පමනකි. 
මගේ විචාරනයට අනුව රනිල් මතු කලේ කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්න දෙකකි. එය වර්ථමාන දේශපාලනයේ හරයට සම්බන්ද වන ප්‍රකාෂ දෙකක් වන බව අපගේ හැඟීම වන්නේය. 
රනිල්ගේ ප්‍රකාෂයේ පලමු හරය ලෙස ඉදිරියට ගතහැක්කේ ඔහුගේ පහත ප්‍රකාෂයෙනි:
1. රට බංකොලොත්වෙන්න යනව නම් IMF එකත් එක්ක කතා කරන්න එහෙම නැතිනම් විකල්පය දක්වන්න.
සැබවින්ම ගත් කල රට බංකොලොත්විම තව මාස ගනනනාවක් පිලිබඳ ප්‍රශ්නයක් නම් ( අප එසේ සඳහන් කරන්නේ අතිශය කම්පාවෙන් යුතුවය) අප ඉන් මිදීමට ඇති මග පිලිබඳව වගකිව යුතු පුරවැසියන් ලෙස කතිකාවක් ඇති කරගතයුතුව තිබේ. අපට අනුව ඉන් මිදීමට අපට සොයා බැලිය යුතු ඇති මාර්ග 3ක් වන්නේය.
ඉන් පලමු වැන්න වන්නේ රනිල් කියන IMF මාර්ගයයි. දෙවැන්න චීන මාවතයි. තුන්වැන්න විසඳුමක් නොමැති අගාධයට අප රැගෙන යන මාවත වන්නේ සිම්බාබ්වේ මාවතයි. 
ඉදින් රනිල් හරියට හො වැරදියට පලමු වරට IMF එක සමග ගනුදෙනු කරන්නට යැයි කීම නිර්භීත සහ ප්‍රතිපත්තිමය අවංක භාවයක් ප්‍රකාෂ කිරීමක් යයි මම විශ්වාස කරමි. එසේ නම් රනිල්ට එසේ සැලියුට් කිරීම වරදක් යයි මම නොසිතමි.
රනිල් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද දෙවැනි කරුනද අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයට දැවැන්ත ලෙස වැදගත් වන්නකි. එනම්;
2. කොවිඩ් මර්ධන ක්‍රියාවලිය කාර්ය සාධන බලකායකින් මෙහෙයවන එක වැරදි වගේම අසාර්තක බවත් එය මෙහෙයවීමේ බලතල කැබිනට්ටුව අතට ගතයුතු බවයි. රනිල් අසන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියකු වන හමුදාපතිවරයා ඔහුට ඉහලින් ඇති අනෙක් අමාත්‍යංශ ප්‍රධානීන්ට අනදෙන්නෙ සහ අන ක්‍රියාත්මක කරන්නේ කෙලෙසටද යන්නයි
මෙම ප්‍රකාෂය අප සැලකිල්ලට ගතයුත්තේ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය තුල සිදුවු වරදක් හෝ අඩුපාඩුවක් ලෙස නොවේ. එය දැවැන්ත දේශපාලනික ප්‍රශ්නයක් ලෙසටය.
රනිල් අපට මතක් කර දෙන්නේ පසුගිය මාස 18 ක කාලය තුල කොවිඩ් මර්ධනය අරබයා කැබිනට්ටුවක් මගින් තීරන ගන්නා ප්‍රජාතානත්‍රික රජයක පාලනයක් අප රට තුල නොපැවති බවයි. (එම පාලනයේ දිගුවක් ලෙස මුදල් අමාත්‍යංශය මගින් ඔන්ලයින් ක්‍රමයට අරක්කු විකිනීම නවත්වනේ ද හමුදාපති තුමාය)
එසේම රනිල් අනතුරු අඟවන්නේ අනාගත අධිකාරීවදී සිවිල් මිලිටරි බලයක පෙරනිමිති දැන් දැන් පහල වෙමින් පවතින බවයි. 
ඒ සඳහා ඔහු උදාහරනයකට ගෙන එන්නේ ජාත්‍යන්තර ආයෝජන සමලුවේ කතිකයකු ලෙස හමුදාපතිවරයාගේ සහභාගීත්වයයි. 
සැබවින්ම අප ඉහතින් සඳහන් කල බංකොලොත්භාවයට විකල්පයක් ලෙස පවතින චීන මාවතේ ගමන් කිීම සඳහා හෝ විසඳුමක් නොමැති කරවටටක් එරුන සිම්බාබ්වේ මාවතේ ගමන් කිීමට වර්තමානජනාධිපතිවරයාට අවශ්‍ය අධිකාරීවාදී පාලන ක්‍රමය කොරෝනා මර්ධනය හා කලමනාකරනය මුවාවෙන් මේවනවිටත් ජනාධිපතිවරයා අත්හදා බලමින් බලමින් සිටින බව රනිල් අපට එය සිහිපත් කර සිටී.
රනිල් මහතා පාර්ලිමේන්තුව තුලදී ආයතන ප්‍රධානියකු වන හමුදාපති වරයාට අමාත්‍යංශ ලේකම් වරුන්ට අනදිය හැකිදැයි අසන්නේ මෙම සංකීර්න රාජ්‍ය පාලන උභතෝකෝටිකය ඉස්මතු කරදීමටය.
ඉදින් එසේ රටක ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය  අනතුරේ වැටෙමින් තිබෙන තත්වයක් පෙන්වාදීම පිලිබඳව රනිල්ට  සැලියුට් කිරීමක් වරදක් ලෙස මම නොදකමි.
මේ ප්‍රශ්න දෙකම වර්ථමාන විපක්ෂයට අහුනොවුනු නමුත් මතු කලයුතුව තිබු කේන්ද්‍රීය ප්‍රතිපත්තිය ප්‍රශ්න වන්නේ යයි මාගේ මතයයි. 
ඉතින් ඒ ගැන කතාකිරිම රනිල්ගෙ ඔඩොක්වට යාමක් නොවේ.  එසේම සජිත් විවේචනය කිරීමක් ද නොවේ. එය ඇත්ත ඇති සැටියෙන් දැකිමකි
අවාසනාවකට එදා රනිල් අසල කැරකුන ගොට්ටන් පිරිසක් මෙන්ම අද දවසේ සජිත් වටාත් ගොට්ටන් පිරිසක් සංවිධානය වී ඇති සෙයක් පෙනෙන්නේය. අද අපට අවලාද කියන රනිල් විරෝධී සජිත් වාදීන් එදා රනිල් ට එරෙහිව අප අරගල කරන කල හිටියේ තම වල්ගය දෙපැරැන්දේ දමාගෙනය.
අපහට කියන්නට තිබෙන්නේ අද ඔවුන් සජිත්වාදී බව පෙන්වීමට දැන් රනිල්ට එරෙහිව විපක්ෂය තුල පෙන්වන මාරානතික විරෝධය අපට කරුනු බොහෝමයක් නිසා අදාල නැති බවයි.
අපට දැන් රනිල් සමග බේරාගන්නට ගනුදෙනුවක් නොමැති බව කිවයුතුව තිබේ. 
රනිල්ට එරෙහිව ජනමතයක් ඇතිකොට සජිත්ව සමාජයයේ කරලියට ගෙනාවේ අපය. එය දස අව්රුද්දක ප්‍රතිපලයකි.
එසේම එය දැවැන්ත දේශපාලනික කැප කිරීම් හා සිරගත වීම් හරහා දිනාගත් ජයග්‍රහනයකි. 
නමුත් දැන් අපට අවශ්‍යව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කරවීමටය. සජිත් ජනාධිපති කිීම අපේ කාර්යක් නොවේ. එය ජනතාවගේ කාර්යකි.
ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කිරීමෙන් තොරව මීලඟ මැතිවරනයක් ගැන සිතීමෙන් පලක්වන්නේ නැත.
ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහනය කිරීමට සජිත් හා රනිල් නැවත එක්විය යුතුය. එනම් ලිබරල් කඳවුර එක කොඩියක් යටතට ගතයුතුය.
එවන් සන්දර්භයක් තුල මට රනිල් හා පසමිතුරු බවක් තවදුරටත් අවැසි නැත.
සංස්කාරක සටහන : ශිරාල්ගේ රනිල් විරෝධය ඉවරයි !
මෙහෙම සටහනක් තබන්න හිතුනේ නීතිඥ ශිරාල් ලක්තිලක තමන්ගේ සටහන ආරම්භයේ තබා තිබූ "මම දැන් රනිල් විරෝධී නෑ !" වචන නිසාය.
 ඒ වගේම ශිරාල් ගේ සටහනේ මෙන්න මේ උපුටා ගැනීම හැර අනිත් සියල්ලත් පැහැදිලිය. 
රනිල්ට එරෙහිව ජනමතයක් ඇතිකොට සජිත්ව සමාජයයේ කරලියට ගෙනාවේ අපය. එය දස අව්රුද්දක ප්‍රතිපලයකි.
එසේම එය දැවැන්ත දේශපාලනික කැප කිරීම් හා සිරගත වීම් හරහා දිනාගත් ජයග්‍රහනයකි. 
ශිරාල් ලක්තිලක මේ කියන්නේ මොකක්ද ? ශිරාල් ලක්තිලක මේ කියන්නේ සජිත් ප්‍රේමදාස ව මේ මොහොතේ විපක්ෂ නායක කිරීම හෝ පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ අපේක්ෂකයා කිරීම ජයග්‍රහණක් කියාද ? පැහැදිලි නැත.
අපට අනුව නම් වසර 10 ක් තිස්සේ සිදුව ඇත්තේ ශිරාල් ලක්තිලක ට රනිල් වික්‍රමසිංහ වෙනුවට විකල්පයක් සොයාගැනීමට නොහැකි වීමය.
ශිරාල් ලක්තිලක පළමුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අභ්‍යන්තර සටනක් දියත්කර සජිත් ප්‍රේමදාස ව පක්ෂ නායකත්වය ට ගෙන ඒමට උත්සාහ කළේය. ඒ සිවිල්  යුද්ධය කාලයේය.  මහින්ද ජනාධිපති හිටියේ රටේම අප්පච්චි වෙන්න ඔන්න මෙන්නය.
නමුත් සජිත්ව නායකයා කරන්න ලැබුණේ නැත. ඒ වැඩේ අවසන් වුනේ ශිරාල් එක්සත් ජාතික පක්ෂයෙන් එළියට යාමෙන්ය. ඒ ගිය ශිරාල් නැවතුණේ මෛත්‍රී ළඟය. මෛත්‍රී ව්‍යවස්ථා විරෝධී කුමණ්ත්‍රණ ආණ්ඩුව හැදූ අතර ශිරාල් හිටියේ ඒ දේශපාලන කුමන්ත්‍රණය මෙහෙයවූ ජනාධිපතිගේ උපදේශකයකු ලෙසය. එදාා ශිරාල් මෛත්‍රීගෙන් සමුගත්තේ නැත. ශිරාල් දිගටම මෛත්‍රී ළඟ සිටියේය.
යළිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වූ මෛත්‍රී පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ මහින්දගේ නායකත්වය පිළිගෙන දන ගැසුවේය. ශිරාල් මහින්ද ගේ නායකත්වය පිළිගෙන ගියේ නැත. ඒ ගෞරවය ශිරාල් ට හිමිය.
එහෙත් ශිරාල් කාලයක් දේශපාලන නායකත්වයේ තියාගෙන සිටි මෛත්‍රී, ශිරාල් ලක්තිලක ගේ සියළු දේශපාලන විශ්වාස සහ පෙනීසිටිම් වල ප්‍රතිවිරෝධය පිළිගෙන එහි ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය. ඔහු දැනුත් එතනය. ඒ කියන්නේ ශිරාල්ට එතන තවත් පෑහීමක් නැති බවය.
සජිත්ව එජාප  නායකයා කරන්න ගිහින් ශිරාල්ට පක්ෂයෙන් එළියට බහින්න සිදුවිය. ශිරාල් ගියාට සජිත් එළියට ආවේ නැත. එහෙත්  ශිරාල්ලා කෙසේ හෝ වෙහෙසී සජිත්ව ජනාධිපතිවරණයට ගෙනාවේය. ඒ රනිල් එන එක වලක්වමින්ය. ජනාධිපතිවරණයන් සජිත්ව කෙසේහෝ දිනවන්නත් ශිරාල්ලා උත්සාහ කළේය. 
සජිත් ජනාධිපතිවරණය පරාදය. (ඒ පරාජය සිදුවීමට බොහෝදුරට ඉඩතිබුවක් මිස සජිත්ගේ පෞද්ගලික අර්බුදයක් නොවේය. )
පසුව ශිරාල් ලක්තිලක සජිත් ප්‍රේමදාසව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරගෙන සමගි ජනබලවේගය හැදුවේය. සජිත් ප්‍රේමදාස මැතිවරණ පරාජයෙන් පසුව විපක්ෂ නායක විය. අඩුවකට දැන් සජිත්ට නැත්තේ ජනාධිපති ධූරයය.
එජාප ජන්ද පදනම උස්සා හැදූ පක්ෂයක නායකයා සජිත්ය. විපක්ෂ නයකත් සජිත්ය. හරි නම් ශිරාල් සතුටෙන් සූදානම් විය යුත්තේ සජිත් 2024 ජනාධිපති කරන්නය. එහෙත් දැන් සජිත් ළඟ ශිරාල් නැත. දැන් ශිරාල්ව  අපි දකින්නේ පාඨලී සමඟය.
වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ රනිල් තවමත් ඉස්සර රනිල්ම වීමය. ඔහුගේ දැක්මේ වැඩ කලාවේ , අදහස් වල විශේෂ වෙනසක් දකින්න නැත. සජිත්ගේද එසේමය. අදටත් අදහස් සහ වැඩ කලාව තුළ අපි දකින්නේ සිරිකොත ඉස්සරහා මහින්ද තාර දම්මවන විට හිටපු සජිත්ය. වෙනසකට ඇත්තේ ඔහු අද පක්ෂයක නායකයකු සහ විපක්ෂ නායක ලෙස සිටීමය. රනිල් තනි මන්ත්‍රීවරයකු ලෙස දුර්වලව ඇත. නමුත් අදහස් අතින්, දේශපාලන පරිණත බව තුළ, ඔහු සමඟ හැරෙන්නටවත් සජිත්ට නොහැක. ඒ බව තනියම පාර්ලිමේන්තු පැමිණි රනිල් එක කතාවෙන් ඔප්පු කර පෙන්වීය. 
කොහොම නමුත් ශිරාල්ට වසර 10 කට පසුව සජිත්ව එපා වී ඇත. තනි මන්ත්‍රීවරයකු ලෙස පැමිණි රනිල් සමස්ථ විපක්ෂයට පමණක් නොව මහින්දටත් අවශ්‍ය තරමට "ලයින් එක" දුන්නේය. ඒ දැක්කේද සිරිකොත ඉස්සරහා මහින්ද තාර දම්මවන  විට හිටපු රනිල්ය. දැන් ශිරාල්ගේ රනිල් විරෝධය ඉවරය. ඒ ඉවර වෙනකොට ශිරාල්ගේ අවුරුදු 10 අපතේ ගොස් ඇතුවා පමණක් නොව, දුර්වල විපක්ෂ නායකයෙකුද ලැබී ඇත. 
වැඩේ කියන්නේ ශිරාල් "සජිත් අප්සෙට්" බවත් "රනිල්ට විකල්පය සජිත් නොවන බව" තේරුම් ගන්න වසර 10ක් ගිය එකය. ශිරාල් "රන්දිව පුවත්පතට ලියු "රැල්ල" ලිපි පෙළ, එදා රන්දිව කතුවැකියකින් සහ වෙනම ලිපියකින් ඔබේ  "රැල්ල" විවේචනය කළා මතකද ? ඒ මාධ්‍යවේදියාම මේ වෙබ් පිටුවෙන් අද  කියන්නේ, "ශිරාල්, අපිට ඕන විදියට නායකයාව හදාගන්න බෑ. නමුත් වඩාත් ගැළපෙන නායකයා තෝරගන්න අපිට පුළුවන්. කාවහරි අරගෙන කොහොම හරි නායකයා කරන්න යනවට වඩා මොකුත් නොකර සිටීමත් මාර වැඩක් (සජිත්). අපිට පහසුවෙන් හසුරවන්න පුළුවන් නායකයෙක් ගැන හීන දකින්න පුළුවන්. නමුත් ඒ නියම නායකයෙක් නෙවෙයි (මෛත්‍රී). ගෙවුණු වසර 10 ජයග්‍රහණයක් වෙන්නේ මෙන්න මේ සරල දේ ඔයා හරියට කියවගත්තොත්!" 
 

දෙහිවල තෝර් ගේ ෂීනාටත් කොරෝනා....

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් – 19 ආසාදනයවූ “තෝර්” නැමැති සිංහයාගේ ධේනුවටද ‘‘ෂීනා‘‘ කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

මේ තත්වය යටතේ එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.

සිංහ ධේනුවට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන්නේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදීය.

සිංහ ධේනුවට කොවිඩ් ආසාදනයවී ඇතත් සත්වයාගේ තත්ත්වය අයහපත් නැතැයිද සාමාන්‍ය පරිදි ආහාර අනුභව කරමින් කාලය ගත කරන්නේ යැයිද දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රධානීහු පවසති.

දෙහිවල සත්වෝද්‍යානය මේ වනවිට වසා දමා තිබෙන අතර ඊට පිටතින් කිසිවකුත් ඇතුලුවීමද තහනම් කර ඇත.

යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත : භාරතගේ බිරිඳ තැබූ ෆේස්බුක් සටහන !

මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා නිදහස් කිරීම, ඝාතනය වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර ගේ විවේචනයට ලක්ව ඇත.
 
ඒ බව සඳහන් කරමින් සුමනා ප්‍රේමචන්ද්‍ර " ඝාතකයා නිදැල්ලේය. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!" මැයෙන් සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇත.
 
අදාළ සටහන පහත දැක්වෙයි.
 
ඝාතකයා නිදැල්ලේය. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!
 
‘නිදොස් කොට නිදහස් කිරීම‘ ආගමක් ද, ව්‍යවහාරය ද බවට පත් කොට ගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සොදුරු මිනිසාගේ ඝාතකයා විශේෂ ජනාධිපති සමාවකින් නිදහස් කර ඇත. 
 
අභියාචනාධිකරණයේ විනිසුරන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පස් දෙනෙකු ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොවන රටක් බිහිවී තිබේ.  
 
සතා සිව්පාවාගේ සිට ලක්දන සැමට සෙත සැදූ උතුම් පොහෝ දිනයක දී, හෘද සාක්ෂියක් ඇති සෑම මිනිසෙකුම වැරදිකරු යැයි හොදින්ම දන්නා ඝාතකයා නිදහස් කර ඇත. ‘එක රටක නීති රැසක් ඇති බව‘ ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඝාතකයා නිදහස් කර ඇත.
 
රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර් මුස්ලිම් හශිම් තිදෙනගේ ද සිරැරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත. 
 
ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.
නීතියක් තිබූ රටක අපරාධයකට දඩුවම් ලැබිණි. 
 
 නීතියක් නැති රටක,  දඩුවමට යුක්තිය ඉටුනොවී අපරාධකරුවන් නිදහස් ව ඇත!  
 
සුමනා ප්‍රේමචන්ද්‍ර

Screenshot 20210624 133711

 

දුමින්ද නිදහස් !

හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලැබීමෙන් පසු අද (24) නිදහස් වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට ඔහුව නිදහස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පුර්ණ කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය   සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය දුමින්ද සිල්වා ඇතුළු  කිහිප දෙනෙකු වැරදිකරුවන් වීමෙන් පසු 2016 සැප්තැම්බර් මාසයේදී මරණ දඬුවම් නියමකර  සිරගත කරන ලදී.

ඒ සම්බන්ධව අභියාචන සිදුකළත් එහිදි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැරදිකරු ලෙස තීන්දු විය.

ඝාතනය වන අවස්ථාව වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති කටයුතු සම්බන්ධව අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටි අතර දුමින්ද සිල්වා  සිටියේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී ලෙසය.

අද රාත්‍රී‍යේ සිට 25 අලුයම දක්වා යළිත් සංචරණ සීමා

අද (23) රාත්‍රී 10.00 සිට යළිත් රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 එලෙස පනවන සංචරණ සීමා එළඹෙන 25 වනදා එනම් සිකුරාදා අලුයම 4.00 දක්වා බලපැවැත්වෙන වේ.

අද (23) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,358 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 245,271 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දීර්ඝ කලක් රක්ෂිත බන්ධනාගාරවල සිටින තරුණ ජීවිතවලට ඇමති නාමල් සාධාරණයක් ඉල්ලයි

තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ  ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

නඩු නිමිත්තක්වත් නොමැතිව රක්ෂිත බන්ධනාගාරවල ඉතා දීර්ඝ කාලයක් ගත කරන පිරිස් සිටින බව කියාසිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ, නඩු තීන්දුවේ දඬුවමට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කළ පුද්ගලයන් සිටින බව අනාවරණය කළේය.

මේ පිරිස අතර විශාල සංඛ්‍යාවක් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ද සිටින බව සඳහන් කළ අමාත්‍යතුමා, මේ අයට යම් සාධාරණයක් ඉටු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් ගෙන ආ මෙම යෝජනාවට ආශිර්වාද කරමින් සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ප්‍රකාශ කළ අතර අකිල ඉලංකෙයි තමිල් ක්‍රොංගසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් ඊට වෙනස් මතයක් දරමින් කරුණු ඉදිරිපත් කළේය.

තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ගෙන ආ මෙම යෝජනාව දේශපාලන කෝණයෙන් බැලීමෙන් වළකින්නැයි ඉල්ලා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ, පොන්නම්බලම් මන්ත්‍රිවරයා ඇතුළු එම සන්ධානයේ මන්ත්‍රීවරුන් සහය දුන් පසුගිය ආණ්ඩු කාලයේදීවත් මෙවැනි සාධාරණයක් ඉටු කර ගැනීමට නොහැකිවුණ නිසා මේ සඳහා දැන් ලැබෙන විසඳුමකින් ඔවුන්ගේ දේශපාලනය අභියෝගයකට ලක්වනු ඇති බවට ඉඟි පළ කළේය.

තම පියාටත් උගන්වාගන්න බැරිවුණ පාඩමක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් අද විපක්ෂය එදා ඔවුන්ගේ ආණ්ඩු කාලය තුළ තමන්ට ඉගැන්වූ බව සිහිපත් කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ, ආණ්ඩුව කිසිවිටෙකත් ජනතා අසාධාරණයක් හමුවේ නිහඬව නොසිටින බවට විශ්වාසය පළ කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ  පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගරු කථානායකතුමනි,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විධියට රටේ තරුණ කොට්ඨාශයකට බලපාන සුවිශේෂී කාරණා කිහිපයක් පිළිබදව ඔබතුමාගේ ගරු අවධානයටත්, අධිකරණ ඇමතිතුමාගේ අවධානයටත් යොමු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ.

විශේෂයෙන්ම ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ සහ බන්ධනාගාර තුළ විශාල තරුණ පිරිසක් ඉන්නවා යම් යම් ප්‍රමාදවීම් නිසා ඇප ලබා ගැනීමට නොහැකි වූ සහ තමන්ගේ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ අය.

ඒ අතර අපි දන්නවා ගරු කථානායකතුමනි, වසර ගණනාවක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සැක පිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඉන්නවා.

ගරු කථානායකතුමනි,

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී අපිවත් රක්ෂිත බන්ධනාගාරගත කළා යම් කාල සීමාවක්.

මම විතරක් නොවෙයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමා, උදය ගම්මන්පිල අමාත්‍යතුමා, විමල් වීරවංශ අමාත්‍යාතුමා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමා ඇතුලු විශාල පිරිසක්.

ඒ වෙලාවේ අපි බන්ධනාගාරය තුළ තිබෙන තත්ත්වය දැක්කා. ඔබතුමාලාට පිං සිද්ධ වෙන්න.

මම හැමදාම කියනවා අපේ තාත්තාටත් එතුමාට මට උගන්නන්න බැරි වෙච්ච පාඩමක් මෙතුමලා මට ඉගැන්නුවා.

ඒ තමයි මේ රටේ රක්ෂිත බන්ධනාගාරගතවන ජනතාව විඳින දුක ප්‍රායෝගික අත්දැකීමක් ඔබතුමාලා මට ලබා දුන්නා. ඉතිං මේ රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නවා ගරු කථානායකතුමනි, නඩු නිමිත්තක්වත් නැති අය.

ඒ අතර විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ සැක පිට විශාල ප්‍රමාණයක් ඉන්නවා. දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව නඩු විභාගවලින් අනතුරුව දඩුවම් විඳින සංඛ්‍යාව 35 යි.

හැබැයි මේ 35 දෙනාගෙන් බහුතරයක් තමන්ට ලැබිලා තිබෙන දඬුවමට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉදලා තිබෙනවා.

ඒ කියන්නේ තමන්ට ලැබිලා තිබෙන නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාල සීමාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා තිබෙනවා.

ඒ එක්කම දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටිමින් දැනට මහාධිකරණවල චෝදනා ගොනු කර තිබෙන නඩු 38 ක් තිබෙනවා.

ඒ කියන්නේ අවුරුදු 20 කට වැඩි කාලයක් මේ නඩු අහනවා. හැබැයි ඒ අය තවමත් රක්ෂිත බන්ධනාගාරගත කොට තමයි මේ නඩු අහන්නේ. ගරු කථානායකතුමනි,

ඒ වගේම කිසිම නඩුවක් නොදාපු 13 දෙනෙකුත් ඉන්නවා. ඒ අතර පැමිණිලි කටයුතු, විභාග කටයුතු අවසන් කරලා අධි චෝදනා දාන්නෙ නැතිව 116 දෙනෙක් ඉන්නවා.

ඉතිං මේ අනුව බලනකොට ගරු කථානායකතුමනි, විශාල තරුණ පිරිසකගේ ජීවිත වල නොයෙක් වැරදි ඉතිහාසයක් තිබෙනවා වෙන්න පුළුවන්, සමහරු නොදැනුවත් කමින් වෙන්න පුලුවන්, සමහරු දැනුවත්ව වෙන්න පුලුවන්. හැබැයි වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නවා.

එක්කෝ මේ අයට සාධාරණව නඩු අහන්න ඕනේ. නඩු අහලා දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අධි චෝදනා දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ 12,000 කට වැඩි පිරිසක් පුනුරුත්ථාපනය කරලා සමාජගත කළා.

ඒ අතර ගරු කථානායකතුමනි, 3500 කට අපි සිවිල් ආරක්ෂක බලකායේ රජයේ රැකියා දුන්නා. හැබැයි ඒ ඒ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ අවසාන කාලයේ සටන් බිමේ හිටපු අය.

හැබැයි මේ තියෙන බොහෝ පිරිස් අපිට බන්ධනාගාරයේ දී හමු වුනාම ඒ අයත් එක්ක කතා කරනකොට සමහරුන් රක්ෂිත බන්ධනාගාරගත වෙච්ච කාල සීමාව මගේ වයසටත් වැඩී. මේක තමා ඇත්ත කතාව.

හැබැයි අද වෙනකල් චෝදනා ගොනු කර ගන්න අපොහොසත් වෙලා තිබෙනවා. ඒ හින්දා ගරු කථානායකතුමනි, මම කාරුණිකව ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ අයට යම් සාධාරණයක් වෙන්න ඕනේ.

එක්කෝ මේ අයගේ නඩු අහලා අවසන් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ අය පුනුරුත්ථාපනය කරන්න ඕනේ. 12,000 ක් පුනුරුත්ථාපනය කරන්න පුළුවන් වුණා.

මම ඔබතුමාගේ අවධානයට එක කතාවක් කියන්නම්. බන්ධනාගාරයේදී හමුවුණ එක්තරා පුද්ගලයෙක්ගේ සිදුවීමක්.

ලංකාවේ ප්‍රභූ ඝාතනයකට සැක පිට ගෙනැල්ලා ඔහු වැරදිකාරයා වෙලා තිබෙනවා. ඔහුගේ කතාව අහනකොට ගරු කථානායකතුමනි, ඔහු කරපු වැරැද්ද තමයි ගහක අත්තක් කපපු එක. ගහේ අත්ත කපපු එක.

දැන් ගහේ අත්ත කපපු කෙනා වැරදිකාරයා වෙලා හිරේ ඉන්නවා. ප්‍රධාන සැකකාරයා සමාව අරගෙන ගෙදර ගිහිල්ලා තිබෙනවා. එතකොට ගහේ අත්ත කපපු කෙනා ඇතුලේ. වැඩේ කරපු කෙනා එළියෙ.

මේ නිසා මම ගෞරවයෙන් ඉල්ලන්නේ, ගරු අධිකරණ අමාත්‍යතුමා ඉන්නවා 12,500 ක් පුනුරුත්ථාපනය කරලා 3500ක් අපිට සිවිල් ආරක්ෂක බලකායට ගන්න පුලුවන් නම් මේ ඉන්න අයගේ නඩු ගොනු දිහා ගරු අමාත්‍යතුමනි, සානුකම්පිතව බලන්න.

අපි දන්නවා ඒ දාලා තියෙන චෝදනාවලට අනුකූලව අධිකරණයට ඇප දෙන්න බැහැ. එහෙමනම් නීතිපතිවරයාට යන්න ඕනේ. නීතිපතිවරයා මාර්ගයෙන් හරි , වෙනත් මාර්ගයකින් හරි, පුනුරුත්ථාපනය කරන ක්‍රමවේදයකට හරි ගරු අමාත්‍යතුමනි, මේ අයට සාධාරණයක් කරලා දෙන්න කියන කාරුණික ඉල්ලීම මම කරනවා.

අපේ ආණ්ඩුව කිසි දවසක ජනතාවට අසාධාරණයක් වෙන තැනක නිහඬව ඉන්නේ නෑ කියන එකත් මතක් කරන්න ඕනේ යැයි අමාත්‍යතුමා පැවසීය.

රනිල් ඉල්ලපු විවාදයට : සජබ මන්ත්‍රීලාත් ඔලුව වනයි !

ලැබුණු ජනවරම හරියාකාරව යොදවන්නේ නැතිව රට හමුදාකරණයට ගෙන යමින් ඇති බවත්  පාර්ලිමේන්තු බලතල ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බවත් හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ බව සඳහන් කළේය.
 
මෙම විවාදය ඉල්ලු අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමා වටා සිටි සමගි ජනබලවේගය මන්ත්‍රී පිරිසේ අදහසද ඒ සම්බන්ධව විමසූ අතර එය ඔවුන් අනුමත කරන බව හිසෙන් සංඥා කරනු දක්නට ලැබිණ.
 
අද වන විට ප්‍රශ්න ගණනාවක් එකට එකතු වී ඇති බවත් ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා ක්‍රියාත්මක කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 
තවදුරටත් පාර්ලිමේන්තුව ඇමතු හිටපු අග්‍රාමාත්‍යවරයා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන්නේය.
 
මිලිටරිකරණයෙන් රට පාලනය කිරීම වැරදි සහගත බවද ඔහු එහිදී අවදාරණය කර සිටියේය.

"මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ.
 
ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න.
 
ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ.
 
ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න." "ආයෝජන මණ්ඩල හමුවට මුදල් ඇමති හරි රාජ්‍ය මුදල් අමාත්‍ය හරි යන්න තිබුණා. ඒකට හමුදාපති ගිහින් කතා කරලා, හිටපු අයත් නැගිටලා ගිහින්."
 
එකම විකල්පය : IMF සමඟ ගනුදෙනුවට යන්න !

රට මේ වන විට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම මාර්ගය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සමඟ ගනුදෙනු කිරීම බවත් ඔහු පැවසීය. 

 අතීතය ගැන කථා කිරීමෙන් රට පත්ව සිටින තත්ත්වයෙන් ගොඩ ආ නොහැකි බව ද සඳහන් කර සිටි එජාප නායකයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට රජය අකමැති නම් එයට ඇති විකල්පය කුමක් දැයි හෙළි කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ආණ්ඩුව කළ එකම දෙය ලොකු මිනිහාට බදු සහනය දී පොඩි මිනිහාට බඩගින්න දීම යැයි ද  හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
 

 

බැසිල් ඇවිත් !

සිය නිවස බලා පිටත්ව ගොස්සිටි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (23) මෙරටට පැමිණෙනු ඇති බවත් ඔහු ඒ සඳහා ඊයේ ඇමරිකාවෙන් පිටත්ව ඇති බවත් දැනගන්නට ඇත.

නැව් ගිලුණත් යට නොගිය බැසිල් රෝහණ !  
 
බැසිල් රාජපක්ෂ මෙරටින් පිටත්ව ඇමරිකාවේ සිය නිවස බලාගොස් මාසයක් පමණ වන අතර ඒ කාලය තුළත් පුවත් මවන්නෙකු විය. බැසිල් ගෙදර ගියේ වැඩි සද්දයක් බද්දයක් නැතිවය. දේශපාලන ආරංචිමාර්ග අනුව බැසිල්ගේ ගමන දන සිටියේ කිහිපදෙනෙකු පමණය.  පිටත්ව ගිය පසුව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් මාධ්‍යවෙත කියා තිබුණේ බැසිල් ගියේ සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගන්නට කියාය. නමුත් ඇමති නාමල් කිව්වේ බාප්පිට ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ කියාය. කොහොමින් කොහොම හරි ගිය දවසේ සිට ලංකා දේශපාලනයේ මාතෘකාවෙන් කොටසක් බැසිල් සතුවිය.
 
චන්දිමාල්ගේ උපන්දින සාදයේ සිට බස් හරව හරවා  පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනයට ගිය නාටකය ආවත්, වරාය ඇමති රෝහිතගේ හැකියාව තහවුරු කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා බටහිර මුහුද වැනසී - ධීවර කර්මාන්තයම අර්බුදයට ගියත් බැසිල් ගැන කතාව යටගියේ නැත.
 
කොයි දේටත් මුල්තැන හිටි බැසිල් රෝහණ !
 
සමහර විට ඒ කොවිඩ් මර්දන කටයුත්තේ මුල් වගකීම මෙන්ම ජනාධිපති කාර්ය සාධක බලකා කිහිපයක මුල්තැන බැසිල් සිටි නිසා වන්නට පුළුවන. කොහොමටත් බැසිල් ගෙදර ගියේ කොරෝනා තුන්වෙනි රැල්ල දරුණු ලෙස මෙරට තුළ මතුවෙන මොහොතේය. කොරෝනා මර්දන කටයුතු මුළුමනින්ම අවුල් කරගෙන තිබූ අතර එන්නත්කරණ වැඩසටහනත් පටන්ගත් තැනම අනාගෙන තිබිණ. අදටත් දෙවන මාත්‍රාව  ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 6 ක පමණ හිඟයක් පවතී. ඒ ගැන සුබ බලාපොරොත්තු දනවන පුවතක් ජපානය ඇසුරෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා නිවේදනය වූවත් ජපන් තානාපති කාර්යාලය කිව්වේ එවැන්නක් ගැන දැනුවත් නොමැති බවය. මාසයක් වසාගෙන හිටි රට විවෘත කරපු දවස වූ ජුනි 21  පමණක් කොරෝනා මරණ 71ක් වාර්තා කර තිබිණ. එන්නත්කරන වැඩ සටහන ගැන මොන කතාද ? දැන් කොරෝනා සංඛ්‍යා දත්ත ගැනත් කුමන්ත්‍රණ චෝදනා නැගෙමින් ඇත. වසංගත රෝග ඒකකයේ ප්‍රධානීන් රට හමුවේ ප්‍රසිද්ධියේ කුමන්ත්‍රණකරුවන් ලෙස චෝදනා ලබමින් ඇත. හෙට කවුරු කුමන්ත්‍රණ චෝදනා ලබනු ඇත්දැයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩනයෙන්ය.
 
ආර්ථිකේ හතේ හතනේ   බැසිල් රෝහණ !  
 
ගොවියන්ට පොහොර නැත. පොහොර නැති නිසා අස්වනු වෙනදා තරම්වත් විශ්වාස නැත. කාබනික යන නම ඇසුණු විට දැන් ගොවියන් අමතන්නේ කුනුහරපෙන්ය. කාබනික වැඩෙත් ප්‍රධානියා කර තිබුණේ බැසිල්ය. එහෙත් බැසිල් ගෙදර ගියේ ඊට පසුදාය. ධීවරයන්ට නැවේ ගින්න නිසා පමණක් නොව ඉන්ධන මිල ඉහළ යාමත් නිසා කබලෙන් ලිපට වැටී ඇත. ඉන්ධන මිලේ ඉතිහාසගත වැඩිවීම නිසා ආහාර ද්‍රව්‍ය පමණක් නොව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ඉහළ යන තත්ත්වයක් උද්ගතව ඇත. පාසල් විවෘත කරගන්නට වැඩපිළිවෙලක් නැතුව පමණක් නොව දරුවන්ට online ඉගෙන ගන්නත් data ප්‍රශ්නය. විශ්ව විද්‍යාල ප්‍රජාව පාරට බැස උද්ඝෝෂණයේය. පොලිසිය ඔවුන් සමඟ පඹයන් උස්සන සෙල්ලමේය. 
 
ඒ මදිවට යුරෝපා පාර්ලිමේන්තුව ලංකාව සම්බන්ධව යෝජනාවක් සම්මත කර ඇත. ඒ කියපු විදියට වෙනස් වුණේ නැත්නම් GSP + සහනය නැතිවීම අංක එකය. ඉතුරුවා පසුවටය. එසේම යුරෝපා පාර්ලිමේන්තුවෙන් පමණක් නොව  ජිනීවා මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය කමිටුව  වෙතින් නිවේදන පැමිණ ඇත්තේ හිරේ දාගත් ශානිගෙ සිට හිජාස් ඇතුළු පිරිස ගැන අවවාදාත්මක නිවේදන නිකුත් වෙමින් ඇත.
 
අම්මා මුත්තා කාලේ වැවක් හාරන විට චීන තොරන් ගසා චීන කතා අසා නැති නමුත් මුලින්ම එය අහන්න හම්බන්තොට ඇස්කන් පිංකර තිබිණ. ඒ අස්සේ වැව හාරන්න පැමිණි චීන ජාතිකයන්ගේ ඇඳුම් චීන හමුදා ඇඳුමට සමාන බවට මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත. ඒ සමඟ ඉන්දියාව කියන්නේ කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවය,එනිසා ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා, සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට ‌‌,ප්‍රේඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බවය. ඒ කියන්නේ ජාතික ආරක්ෂාව පමණක් නොව ස්වෛරීත්වය පවා අවධානමේ තත්වයක් කියා දේශපාලන විචාරකයන් අනතුරු අඟවමින් ඇත.
 
රටේ විදෙස් සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 3ක් වැනි කාලයකටය. එදාවේල රට දුවවමින් සිටින්නේ  බංගලිදේශයෙන් පවා අතමාරුවට සල්ලි ඉල්ලාගෙනය. පසුගිය වසර 9ක පමණ කාලය තුළ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය පසුගිය වසර 1 1/2 ක කාලය තුළ අච්චු ගසා ඇත. රටේ උද්ධමනය ඉහළ යාම ඒ හමුවේ අනිවාර්යය. රාජ්‍ය ආදායම් පවා මුළුමනින්ම බිඳගෙන ඇත.  රටේ ආර්ථිකය හොම්බෙන් යන්න පටන් ගෙන ඇති අතර දැන් පැමිණ ඇත්තේ ජනතාවට එය දැනෙන්න ගන්නා කාලයයි. 
  
නොකියා මාරු වෙලා ගියෙත් බැසිල් රෝහණ !
 
බැලූ බැල්මට සියල්ල අනාගෙන ඇත. වැඩිම ජනප්‍රසාදයක් සහිතව බලයගත් ආණ්ඩුව ඉක්මනින්ම අප්‍රසාදයට පත්වූ ආණ්ඩුව බවට පත්ව ඇත. ඔය අස්සේ බැසිල් චෝදනා ලබන්න ගත්තේ, සියලු තනතුරු බදාගෙන අමාරුම වෙලාවේ රට පැන්නා කියාය. ආණ්ඩුවේම තවත් අය කිව්වේ ඒ බැසිල්ගේ හැටි ප්‍රශ්නය බරපතළ නම් බැසිල් මාරුවෙන බවය. ඔවුන් උදාහරණයට ගත්තේ 2015 පරාජය අවස්ථාවේ අයියලා පවුල් පිටින් ලංකාවේ තනිකර බැසිල් ඇමරිකාවට යාමය.
 
නමුත් ප්‍රශ්න ඉස්සරහා බැසිල් මාරුවෙන කතා පස්සට ගියේ ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධව ගම්මන්පිළ වගකිව යුතු බවට පොදුජන පෙරමුණ ඇතුලෙන් චෝදනා කිරීමත් සමඟය. බැසිල්ගේ ප්‍රධාන ගෝලයකු වන පොදුජන පෙරමුණ ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කර කිව්වේ ගම්මන්පිළ ඉල්ලා අස්විය යුතු බවය. එපමණක් නොව ආණ්ඩුව වෙනයි, පක්ෂය වෙනයි කියන තැනටද බැසිල් පිල ගියේය. 
 
"තෙල් මිල වැඩි කිරීම වැරදියි. දුන්න වැඩේ හරියට නොකළ නිසා ගම්මන්පිල ඉල්ලා අස්වෙන්නම ඕන. ආණ්ඩුව තෙල් මිල වැඩි කලාට පක්ෂයක් හැටියට පොදුජන පෙරමුණ ඒ වැඩේට විරුද්ධයි" ඒ බැසිල් පිලේ ස්ථාවරය විය.
 
" බැසිල් හිටියා නම් ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නේ නෑ" , " ආර්ථික ප්‍රශ්නයට විසඳුම තියෙන්නේ බැසිල් ළඟ" කියන කතා ඇසෙන්න ගත්තේද ඒ පසුබිමේය. ආණ්ඩුවේ සිටින බැසිල්ගේ ගෝලයන් දැන් වෙන කිසිවක් කියන්නේ නැත. ඊට වඩා දෙයක් ඔවුන් කරනවා නම් ඒ ආණ්ඩුවේ සිටින බැසිල් විරෝධී පාර්ශව වලට පහරදීමය. බැසිල්ගේ ප්‍රධාන පෙළේ ගෝලයකු වන රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ලිව්වේ මෙවර වදය කැඩෙන තුරු ගල්ගහන බවය. විමල් - ගම්මන්පිල පාර්ශවයට අද ගහන්නේ රාජ්‍ය ආයතන සභාපතිලාය. ආණ්ඩුවේ සිටින ජනතා නියෝජිතයන් කියන ගෞරවයත් ඔවුන්ට අහිමි කරන්න තරම් බැසිල්ගේ ගෝලයන් ඉස්සරහට ගොස් ඇත.
 
මුදල් ඇමති වෙලා එන්න බැසිල් රෝහණ !
 
ඊට නමක් ලෙස ලැබී ඇත්තේ බැසිල් සුළඟය. කතාවේ හැටියට නම් බැසිල් සුළඟ එන්න යන්නේ මහින්ද සුළගේ නිර්මාතෘන් පවා සුනුවිසුණු කරගෙනය.  
 
විමල් වීරවංශ ඇමති එප්පාවල පොස්පේට් සමාගම තම විෂයෙන් ගැලෙව්වේ කවුද කොහොමද යන්න දැන සිටියත් තවමත් කම්පනයෙන්ය. දේශපාලන ආරංචිමාර්ග කියන්නේ  ගම්මන්පිළ ඉන්ධන මිල යළිත් පහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලත් ජනාධිපති එය පැත්තකට කර ඇති බවය. ඒ කියන්නේ ඉන්ධන මිල අඩු කිරීමේ අවස්ථාව ගම්මන්පිල ඇමතිට දීමට ජනාධිපති තීන්දුකර නොමැති බවද ? "ඉන්ධන මිල අඩු කිරීමේ වීරයා" , "ජනතාවට සහන දෙන සූරයා" ලෙස බැසිල්ට අවස්ථාව සලසා ඇති බවද ? මේ ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ, ලංකාවට ඇවිත් මුදල් ඇමති ලෙස වගකීම් අරගෙන විධිමත් ලෙස ආණ්ඩුවේ වැඩටික කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ආරාධනා කර ඇති බවය. 
 
විමල් - ගම්මන්පිල - වාසු ඇතුළු බැසිල් විරෝධී පාර්ශව සමඟ වන බැසිල් පාර්ශවයේ  අවුල ගැන කියනවා නම්, දැන් කාටවත් exit නැති තැනකට පත්ව ඇත. ඒ කියන්නේ එක්කෝ දෙගොල්ලන්ගෙන් කවුරුන් හෝ යටත් විය යුතුය. නැත්නම් වෙන්විය යුතුය.
 
මේ සියල්ල ගැන දැනගන්න, බලාගන්න ලැබෙන්නේ බැසිල් ආවට පස්සෙය. 

ඉන්ධන මිළ අඩු නොකරන්නේ නම් වැඩකරන ජනතාව ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් - ලාල්කාන්ත

කොවිඩ් වසංගතය මරදනය කිරීමට අසමත් වීම ඇතුළුව අණ්ඩුව අනුගමනය කරන වැරදි ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ගත් හේතුවෙන් වැඩකරන ජනතාව ඉමහත් පීඩාවට පත්ව ඇති බවත් එවැනි තත්වයක් තුළ ඉන්ධන මිල ඉහළ දැමීම රාජ්‍ය පෞද්ගලික, වතු ඇතුළු ක්‍ෂේත්‍රවල වැඩකරන ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත අගමැති, මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

මෙවැනි විටෙක වැඩකරන ජනතාවට සහන සැපයීමට ආණ්ඩුව අසමත් වන්නේ නම් ඔවුන්ට ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් එබැවින් එවැනි වටපිටාවක් නිර්මාණය වීමට කලින් සියලු ජනතාවට බලපාන ඉන්ධන මිල පහළ හෙලීමට කටයුතු කරන ලෙසත් මෙම ලිපිය මගින් ඔහු දැනුම්දී ඇත.

එම ලිපිය වැඩිදුරටත් මෙසේය.

කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා ඔබගේ ආණ්ඩුව මේ දක්වාම අසමත් වීමත් ඒ වෙනුවෙන් අනුගමනය කරන ලද අදූරදර්ෂී ක්‍රියාමාර්ගත් මෙන්ම ඔබ අණ්ඩුව අනුගමනය කරන වැරදි ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ගත් හේතුවෙන් මේ වන විට රටතුල අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ඇතුළුව සියල්ලෙහිම මිළ සීඝ්‍ර ලෙස ඉහල දැමීමක් සිදුකර ඇත. පසුගිය කාල වකවානුව පුරාම අඛණ්ඩව සිදුවන මේ ක්‍රියාවලිය නිසා ජනතාව තුල ගොඩනැගී වර්ධනය වන්නේ බලවත් ආර්ථික පීඩනයක් හා අසහනයකි. මෙම තත්වයේ දී භාණ්ඩ හා සේවා සපයන්නන් විසින් ද තම තමන්ගේ හැකියාවන්ට අනුව මිළ ඉහල දමමින් සිටී. එසේ තම කාර්යයට අනුව, ලබා දෙන සේවාවට අනුව, වටිනාකම් ඉහල දමා ගත නොහැකි පිරිස වන රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රයන්හි වැඩකරන ජනතාව වට ගණනාවකින් පීඩාවට පවත්වන කොට්ඨාශයන් බවට පත්ව ඇත.

ඔබ ආණ්ඩුව අත්තනෝමතික ලෙස ඉන්ධන මිළ වැඩි කරන්නේ මෙවැනි පීඩාකාරී තත්වයකට වැඩ කරන ජනතාව මුහුණ දී සිටින අවස්ථාවකදීය. එය ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණයේ අනිටු ප්‍රතිඵල ජනතාව මත පැටවීමකි. එමගින් තව තවත් වට ගණනාවකින් ඉහල යන ජීවන වියදම හමුවේ තම ජීවිතය ගැටගසා ගැනීමේ අර්බුදයට මුහුණ දීමට නොහැකිව කබලෙන් ලිපට වැටීමේ තත්වයකට වැඩකරන ජනතාව පත්ව ඇත.

මෙම අතිශය පීඩාකාරී තත්වය යම් පමණකින් හෝ සමනය කර ගැනීමට නම් ආණ්ඩුව ජනතාව මත අලුතින් බර පැටවූ ඉන්ධන මිළ වැඩි කිරිම වහාම ඉවත් කරගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් තව දුරටත් මෙම දැවැන්ත ජීවන බර දරා සිටීමට වැඩකරන ජනතාවට නොහැකිවා මෙන්ම ඒ සඳහා අප එකඟවන්නේ ද නැත. වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කළ යුතුය යන්න අපගේ පිළිගැනීමයි. එය වැඩකරන ජනතාවගේ අයිතියක් ලෙස ද අපි සලකන්නෙමු.

එබැවින් පළමු ක්‍රියාමාර්ගය ලෙස ආණ්ඩුව වැඩිකළ ඉන්ධන මිළ අඩු කළ යුතුය. එසේ කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් වහාම වැඩි වන ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීමකට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නොඑසේනම්, එය දිනා ගැනීම වෙනුවෙන් අරගල මාවත තෝරා ගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි පසුබට නොවෙමු. අනෙකුත් වෘත්තීය සමිති සමගින් වැඩකරන පන්තිය ඒකරාශි කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට අපට සිදුවන බවද අවධාරනය කරන අතර, එමගින් ජනතාවගේ දෛනික කටයුතු වලට සිදුවන බාධාවන්හි පූර්ණ වගකීම ජනතාව වෙත බර පැටවූ ආණ්ඩුව විසින් භාරගත යුතු බව අපි අවධාරණය කරමු. එම නිසා එවැනි තත්වයකට රට පත්නොකර වැඩිකළ ඉන්ධන මිළ අඩු කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ කිරීමට ආණ්ඩුවට බලකරන අප එය ඉටුනොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමර්ග වලට අවතීර්ණ වන බවද අවධාරණය කරමු.

ස්තුතියි,

මීට විශ්වාසී

කේ.ඩී. ලාල්කාන්ත

 

Page 382 of 386