Image

ශ්‍රී ලංකා ජාතික රෝහලේ "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) ජනතා අයිතියට

ශ්‍රී ලංකා ජාතික රෝහලේ "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) ජනතා අයිතියට

ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර පූර්ණ ප්‍රතිසංස්කරණයකින් පසු පිහිටුවන ලද "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගිත්වයෙන් අද (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කළේ ය.

ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් (Neurology Services) මඟින් මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර, මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම වනු ඇත.

ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 99ක්

මෙම විවෘත කිරීමට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතාගේ ඡායාරූපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් නිරාවරණය කළ අතර, එම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස් මහතා ද එක්ව සිටීම විශේෂත්වය කි. මෙහි දී ස්නායු රෝග විද්‍යා ආයතනයේ අංක 62/63 වාට්ටු ද (Neurology unit ward 62/63) නිල වශයෙන් විවෘත කළ අතර ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීම ද සිදුවිය.

මෙම ඒකකයට ඇතුළත් වාට්ටු දෙකෙ හි රෝගී ඇඳන් 22 බැගින් පවතින අතර එම වාට්ටු කාන්තා හා පිරිමි වශයෙන් වෙන් කර ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ආයතනය 1982 වර්ෂයේ ආරම්භකර ඇති බවත්, මෙහි නවීකරණ කටයුතු දීර්ඝ කාලයක් ක්‍රියාත්මක නොවු තත්වයක පැවති බවත් සඳහන් කළේ ය. එම තත්වයන් සලකා බලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට කටයුතු කළ බව පැවසී ය. මෙහි පළමු මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 52ක් යෙදවීමටත්, බිම්මහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 22ක් වැයකළ බවත් සඳහන් කළ අමාත්‍යවරයා තුන්වන මහලේ නවීකරණ කටයුතු සදහා මිලියන 25ක් යෙදවූ බවත් සමස්තයක් ලෙස මේ සඳහා රුපියල් මිලියන 99ක් යෙදවූ බව ද පැවසීය.

එමෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි කළ අමාත්‍යවරයා සෞඛ්‍ය කාර්ය සහායකයන් 1900 ක් පමණ බඳවා ගැනීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකරන බව පැවසීය. මෙම බඳවා ගැනීමට අදාළ පුවත්පත් දැන්වීම අනුව 92000ක් පමණ අයදුම්පත් ලැබුණු බව ද සඳහන් කළේ ය. මීට ප්‍රථම මෙවන් බඳවා ගැනීම් සිදු කිරීම ඉතා පහසු කාර්යක් වු බව සිහිපත්කළ අමාත්‍යවරයා එදා දේශපාලඥයන්ගේ ලැයිස්තු මත එය පිරවූ බව ද සඳහන් කළේ ය. විවෘතව ආරාධනා කළ විට 92000ක් අයදුම් කළ බවත් ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් මත බදවා ගැනීම් සිදුකර මධ්‍යම රජයේ රෝහල් සදහා එම කාර්ය මණ්ඩලය යෙදවීමට කටයුතු කරන බව ද පැවසීය.

අයවැයෙන් සෞඛ්‍ය අංශය වෙනුවෙන් රුපියල් බිලියන 619ක්

මීට දින කිහිපයකට පෙර හෙද උපාධිධාරීන් 515කට පත්වීම් ලබා දීමට හැකිවූ බවත්, ලබන ඔක්තොම්බර් මාසයේ දී තවත් හෙද නිලධාරීන් 2600කට පත්වීම් ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය. එමෙන්ම අලුතින් ස්ථාපිතකරන සහ ප්‍රතිසංස්කරණය කර යථාවත් කරන ලද මෙවැනි ඒකක සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල ලබා දී ඒ අයගෙන් උපරිම දාකත්වය ලබා ගතයුතු බවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් සපයන ස්නායු රෝග පිළිබද ආයතනය බවට මෙම ආයතනය පත් වියයුතු බවත් අවධාරණය කළේ ය. රජයක් ලෙස කිසිසේත්ම සෞඛ්‍ය අංශයට මුදල් වෙන්කිරීමේ දී කිසිදු ආකාරයේ පැකිළීමකින් තොරව එය සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා මෙවර සම්මත කළ අයවැයෙන් රුපියල් බිලියන 619ක මුදලක් සෞඛ්‍ය අංශය වෙනුවෙන් වැයකරන බවත් සඳහන් කළේ ය.

මේ වසරේ දී නව ගොඩනැගිලි ඉදිකිරීම් සදහා රුපියල් බිලියන 19ක් ද , ගොඩනැගිලි අළුත්වැඩියා කටයුතු සඳහා රුපියල් බිලියන 9ක් ද, වශයෙන් රුපියල් බිලියන 28ක් වෙන්කර ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා නව උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 13.5ක් ද, තවත් රුපියල් බිලියන 8.5ක් උපකරණ අළුත්වැඩියාව සඳහා ද වශයෙන් රුපියල් බිලියන 22ක් ඒ වෙනුවෙන් වෙන්කර ඇති බව ද පැවසී ය.

සියල්ලේ ම අරමුණ ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක්

මෙම වසර තුළ රුපියල් මිලියන 754ක් වැයකර නවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර 05 ක් මෙරට රෝහල් පද්ධතිය එක් කරන බවත්, කැත්ලැබ් 16ක් ද ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා සෞඛ්‍ය අංශ්‍යයට අවශ්‍යවන උපකරණ කඩිනමින් ලබා දීඹට ක්‍රියා කරන බව ද පැවසීය. මේ සියල්ලේම අරමුණ ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබා දීම බව ද පැවසීය. ඒ සඳහා මනා සැලසුමක් සහිතව ක්‍රියාත්මක වන බවත්, 2029 වර්ෂය වනවිට සෞඛ්‍ය සේවාවේ වර්ධනය කෙබදු ද යන්න කිවහැකි ආකාරයට සෞඛ්‍ය සේවාව සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.

මෙම විවෘත කිරී‌මේ අවස්ථාවට: ස්නායු රෝග විද්‍යා ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී පීරිස්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්‍ය අර්ජුන තිළකරත්න, විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්වන විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්ම මහත්මීන් මෙන්ම එම ආයතනයේ සේවයේ නියුතු ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්,හෙද හෙදියන් සහ මීට පෙර එම ආයතනයේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් වෘත්තියන් පිරිසක්ද එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Neurology

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න