V2025

පුවත්

දේශපාලන පක්ෂ සුනාමියක් : සති 2 න් අලුත් ආණ්ඩුවක් !

පක්ෂ මාරු රැසක් සමඟ සති දෙකක් ඉක්මයන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට වත්මන් පාර්ලිමේන්තුව තුළ පක්ෂ සහ කණ්ඩායම් 18න් 14 ක් අදාළ සර්ව පාක්ෂික ආණ්ඩුව වෙත සම්බන්ධ කරගන්නට ජනාධිපති සැලසුම් කර ඇත .

ඒ ජනාධිපතිවරණය අවස්ථාවේ ඔහුට සහය දැක්වූ පාර්ශ්ව බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන්නේ ද පොදුජන පෙරමුණ වන අතර එහි මන්ත්‍රීවරුන් 101 ක් ජනාධිපතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ වෙත ජන්දය ලබාදී ඇත.

එබැවින් පිහිටුවීමට යන නව ආණ්ඩුවේ ද ප්‍රධාන පාර්ශ්වය වන්නේ පොදුජන පෙරමුණ වන අතර අමාත්‍ය මණ්ඩලයේ වැඩි කොටසක් ඔවුන්ට හිමිවනු ඇත.

ඊට අමතරව සමගි ජනබලවේගය පක්ෂයේ පිරිසක් , ශ්‍රීලනිපයේ පිරිසක් , ඊපීඩීපිය, එජාපය , ලංකා කම්කරු කොන්ග්‍රසය ,විග්නේෂ්වරන් කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානයේ පිරිසක්, අතාවුල්ලා මන්ත්‍රීවරයාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පිරිසක්, රිෂාඩ් බදියුදීන් ගේ පිරිසක් , ස්වාධීන මන්ත්‍රීන් කණ්ඩායමේ (පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසගෙන්) කොටසක් ද නව රජය සඳහා සහය පළ කරමින් තනතුරු භාරගන්නා බව දැනගන්නට ඇත.

එසේම එම ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යංශ 30 කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 30-35 ත් අතර ප්‍රමාණයක් ගනු ඇති බවත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි .

ශ්‍රීලනිපයේ ගෝරියක් : දයාසිරි සභාපති වෙන්න සැළැසුමක් !

තමන්ට ඉහළින් සිටින ජ්‍යෙෂ්ඨයන් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වීමේ උත්සාහයක එහි මහ ලේකම් දයාසිරි ජයසේකර නිරතව සිටින බවට එම පපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් චෝදනා කරයි.

ඔවුන් මෙසේ චෝදනා කර සිටින්නේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර එල්ල කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින් ය.

මාධ්‍ය වෙත ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ශ්‍රීලනිප මහ ලේකම් පවසා ඇත්තේ පක්ෂයේ සියලු දෙනාට එකම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය.

ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට මීට පෙර පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබියදී නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධූර දෙකක් භාරගනු ලැබු අතර මහින්ද අමරවීර වත්මන් ආණ්ඩුවේ ද අමාත්‍ය ධූරයක ඉකුත්දා දිවුරුම් දීම ශ්‍රීලනිප මහ ලේකම් ගේ චෝදනාවට හේතු වී ඇත.

පක්ෂය කලින් ගත් තීන්දුව තවදුරටත් බලාත්මක බවත්, එලෙස අමාත්‍ය ධූර භාරගැනීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීන්දුව ගත යුත්තේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව පක්ෂ මහලේකම්වරයා සඳහන් කර ඇත .

කෙසේ වුවත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ පක්ෂයේ තමන්ට ඉහළින් සිටින ජ්‍යෙෂ්ඨයන් ඉවත්කර අනතුරුව වත්මන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන ද විවේචනය තුළින්ම ඉවත් කිරීම මහ ලේකම් ගේ උපක්‍රමය වියහැකි බවයි.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ශ්‍රීලනිප මහ ලේකම් ලෙස කටයුතු කරන වකවානුවේ දී ඔහුට මහ ලේකම් ධූරය හිසරදයක් වන තරමට දයාසිරි ජයසේකර විසින් ප්‍රසිද්ධියේ විවේචනය කළ බවත් අවසානයේ මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා දුමින්ද දිසානායක පක්ෂයේ ප්‍රධාන සංවිධායක කර දයාසිරි ජයසේකර මහ ලේකම් කරමින් විවේචනය අවසන් කරවූ බවත් ඔවුන් සිහිපත් කරයි.

එසේම ඉදිරියට හදන්න නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුව තුළත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කළ ශ්‍රීලනිප සාමාජිකයන් වගකීම් භාරගන්න සූදානමක් ඇති අතර , දයාසිරි කියන ආකාරයට මන්ත්‍රීවරුන් ඉවත් කළහොත් පක්ෂයේ ඉතුරු වන්නේ මෛත්‍රීපාල සහ දයාසිරි පමණක් විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි .

ගෝල්ෆේස් මෙහෙයුම : පාර්ලිමේන්තු විවාදයට දින දෙයි !

අරගලකරුවන් කොළඹ ගෝල්ෆේස්" ගෝඨා ගෝ ගම" අරගල භූමියෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ විවාදයක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉල්ලා සිටි අතර ඊට ආණ්ඩුව පාර්ශ්වය දින ලබාදීමට කටයුතු කර ඇත .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පවසා ඇත්තේ එළැඹෙන (27) අදාළ විවාදය පැවැත්වීමට සූදානම් බව ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අග්‍රාමාත්‍යවරයා වෙතින් ඉල්ලා තිබුණේ අදාළ විවාදය හෙට (25) ලබාදෙන ලෙස ය.

එහෙත් අග්‍රාමාත්‍යවරයා දැක්වූ ප්‍රතිචාරයේ සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව (25) රැස් කිරීම සහ මන්ත්‍රීවරුන් කැඳවීම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ප්‍රායෝගික වශයෙන් දුෂ්කර හෙයින් හදිසි නීති ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව 27 රැස්වන අවස්ථාවේදී එම කාරණයද විවාදයට ගැනීමට රජය අදහස් කර ඇති බවය.

පාර්ලිමේන්තුව අනිද්දා දිනයේ රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කළේ හදිසි නීතිය පිළිබඳ ගැසට් නිවේදනය සම්මත කිරීම සඳහා පමණය.

අරගලයෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක් !

ගෝල්ෆේස් අරගලකරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අරගලකරුවන් විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මාධ්‍යවේදීන්ට සහ නීතීඥවරුන් පිරිසකට පහර දීම පිළිබඳව ය.

ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා හමුදාව සහ පොලීසිය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර එම ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමේ දී මෙම ගැටුම්කාරී තත්වය ඇති විය.

රජයේ සේවකයන් තව මාසයක් නිවසේ සිට රාජකාරී

රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ‍සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.

image 7d7b052510

 

කොරෝනා යළිත් හිස ඔසවයි

කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවට දැනුම් දෙන්නේ සෞඛ්‍ය රෙගුලාසී නිසි පරිදි අනුගමනය කරන ලෙසය.

මේ අතර ඊයේ කොරෝනා ආසාදිතයින් 72 ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කළේ ය.

ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හතර දහස් අටසිය හතලිස් හතරක් දක්වා ඉහළ යනු ඇත.

කොරෝනා ආසාදිතව සිටි 60 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (23) සඳහන් කළේ ය.

මේ අතර සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත ෆයිසර් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දිර්ඝ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශයට අනුව ෆයිසර් කොවිඩ් එන්නතේ කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව, සෙල්සියස් අංශක 90 – 60 දක්වා උෂ්ණත්වයක ගබඩාකර තිබූ එන්නත් කල් ඉකුත්වීමේ කාලය මාස 9 සිට 12 දක්වා දීර්ඝ වනු ඇත.

QR කේතයට ඉන්ධන දෙන නියමු ව්‍යාපෘතිය : දීප ව්‍යාප්ත ඉන්ධන හල් මෙන්න !

QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (23)සිට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 25 ක ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යාංශය පවසයි .

පසුගිය 21 වනදා සිට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය සිදුකෙරුණේ කොළඹ තෝරාගත් පිරවුම්හල් කිහිපයකදී පමණය.

එහෙත් ලබන සඳුදා සිට QR කේතය මත පදනම්ව දිවයින පුරා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බැවින් මෙලෙස අද දිනයේ නියමු ව්‍යාපෘතිය සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මකවන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කෙරෙන නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඉන්ධන හල් ලැයිස්තුව මේ වන විට ප්‍රසිද්ධ කර ඇත .

අදාළ ඉන්ධන හල් ලැයිස්තුව පහත දැක්වෙයි .QR

 

 

ධම්මිකගේ පුරප්පාඩුවට : බැසිල්ගේ ගෝලයන් 03ක් පොර කති !

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තුන් කොන් සටනක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි .

ඒ තිදෙනාම පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ ගේ ඉදිරි පෙළ ගෝලයන් බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

වාර්තා වන ආකාරයට , රේනුක පෙරේරා , විලී ගමගේ , සිරිපාල අමරසිංහ යන තිදෙනා මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සීතල යුද්ධයක් අරඹා ඇත.

මහින්ද කැමති ධම්මිකට : ජනාධිපති වෘත්තීයවේදියකු ඉල්ලලා !

කෙසේ වුවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ කැමැත්ත ධම්මික පෙරේරා තවදුරටත් මන්ත්‍රී ධූරයේ තබාගැනීම බවත් වාර්තා වෙයි .

ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් කර ඇති බවත් , එහිදී ධම්මික පෙරේරා වෙනුවෙන් සුදුසු අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි .

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ ධම්මික පෙරේරා ගේ රැඳී සිටීම තමන්ට ගැටලුවක් නොවන නමුත් ඔහු ඉල්ලා අස්වෙයි නම් ඊට වැදගත් වෘත්තීයවේදියකු නම් කිරීමට කටයුතු කරන ලෙසය.

අරලියගහ මන්දිරය තාමත් භාවිතයට ගන්න අමාරු මට්ටමක : මන්දිරවල භාණ්ඩ රැසක් අතුරුදහන් !

අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .

සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පවසා ඇති අග්‍රාමාත්‍යවරයා රජය කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද සඳහන් කර තිබේ.

ස්ථිරසාර රජයක් නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත .

මන්දිරවල භාණ්ඩ අතුරුදහන් !

මේ අතර ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන අරගලකරුවන් අත්පත් කරගැනීම සමග හොරු විසින් ඒවායේ තිබූ පෞරාණික වටිනාකම් ඇති භාණ්ඩ ඇතුළු විශේෂිත භාණ්ඩ 1000 කට ආසන්න සංඛ්‍යාවක් සොරාගෙන ඇති බවත් වාර්තා වෙයි .

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එකී භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ විමර්ශන අරඹා ඇති බවය.

ඇතැම් පුද්ගලයන් මේ ස්ථානවල පෞරාණික භාණ්ඩවල යම් යම් කොටස් සඟවාගෙන රැගෙන ගොස් ඇති බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු අනාවරණයවී ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර ජනාධිපති මන්දිරය පෞරාණික ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණද එහි පුරාවස්තු පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත වාර්තාගත තොරතුරු කිසිවක් නැති බවත් වාර්තා වෙයි .

මේ අතර අරගලයට මුවාවී රජයේ ස්ථාන අත්පත් කරගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය දැනටමත් තීරණය කර ඇති බවත් වාර්තා වෙයි .

 

සර්ව පාක්ෂික වෙනුවට සර්ව නියෝජිතයන් : සති දෙකක් තුළ ස්ථිර කැබිනට් මණ්ඩලයක් !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ පක්ෂ කිහිපයක් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

පොදුජන පෙරමුණ එහි ප්‍රධාන පක්ෂය ලෙස නියෝජනය වනු ඇති බවත් ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ජනාධිපති ධූරය ලබාගන්නට සහය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , සමගි ජනබලවේගය පක්ෂය, මුස්ලීම් පක්ෂ නියෝජිතයන් , දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් මනෝ ගනේෂන් සහ දිගම්බරන් , ඇතුළු පිරිසක් එහිදී අමාත්‍ය ධූර ලබනු ඇති බවත් වාර්තා වෙයි .

එසේම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල වෙතත් ජනාධිපති විසින් පෞද්ගලිකව ආණ්ඩුවේ පාර්ශ්ව වීමට ආරාධනා කිරීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි . එකී ආරාධනය පොදුවේ පක්ෂ වලට සිදුවනු ඇති බවත් , එහිදී පක්ෂ නායකයන් එකඟතාව පළනොකලහොත් නියෝජිතයන් මට්ටමෙන් ආණ්ඩුවේ තනතුරු ලබාදීමට සූදානමක් ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි .

නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් සමන් වනු ඇති අතර,එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් වාර්තා වෙයි .

එහිදී අග්‍රාමාත්‍ය ධූරය වෙනස් නොවනු ඇති බවත් අග්‍රාමාත්‍ය ලෙස දිනේෂ් ගුණවර්ධන දිගටම කටයුතු කරනු ඇති බවත් වාර්තා වෙයි . කෙසේ වුවත් නව ආණ්ඩුව පිහිටුවීමේ දී වත්මන් අමාත්‍යවරුන් ගේ විෂය පථ වෙනස් වීමට නියමිතව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් සඳහා ලංගමයෙන් තෙල්

ලබන සදුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී. 

ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ  නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව අද (23) පස්වරු 3.00 සිට දිවයින පුරා පිහිටි සියලුම ලංගම ඩිපෝ මගින් ඉන්ධන සැපයෙනු ඇති.

357c8390 ed4a 45dc a470 f9c09c780601

ගැසට් කළ බිම අරගලයට : මන්දිර කැඩූ 100ක් හඳුනාගෙන !

ගෝල්ෆේස් හී විරෝධතා පැවැත්වීමට වෙන්කර ඇති භූමිය තුළ අරගලකරුවන්ට ඔවුන්ට කැමති කාලයක් රැදී සිටීමට ඉඩ දීමට ආරක්ෂක බලධාරීන්ගේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි .

ඒ උද්ඝෝෂණ පැවැත්වීමට වෙන්කර ඇති කොටස ගැසට් පත්‍රයකින් ප්‍රකාශයටපත්කර ඇති ස්ථානයක් වන නිසාය .

ඒ අනුව ආරක්ෂක බලධාරීන්ගේ අදහස වී තිබෙන්නේ වෙන්කර ඇති ස්ථානයේ කොපමණ කාලයක් සිටියත් කිසිම ගැටළුවක් නොමැති බවය.

එහෙත් එම ස්ථානයට අදාළ නොවන ස්ථානවල ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පියවර ගැනීමට ආරක්ෂක අංශ වලට සිදුවිය හැකි බවත් ඔවුන් පවසයි .

මන්දිරවල යකානැටූ 100ක් ගැන හොයාගෙන !

මේ අතර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට හානි වන ආකාරයෙන් කටයුතු කළ සහ එම ස්ථානවල තිබුණු වටිනා කියන භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ඡායාරූප හා වීඩියෝ මඟින් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇති බවය .

එම පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට අවශ්‍ය බුද්ධි අංශ සහය ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි . ආරම්භ වී තිබේ.

එම විමර්ශන කටයුතු අවසන් වූ වහාම ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ඇති බවත් වාර්තා වෙයි.

 

එජාපයෙන් වජිර පාර්ලිමේන්තුවට !

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහායි.

පසුගිය සමයේ පක්ෂයේ උන්නතිය වෙනුවෙන් මෙන්ම අර්බුදය සමනය කරන්න නම් රනිල් වික්‍රමසිංහ රටේ ඉහළ නායකත්වයට ගෙනා යුතු බව ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අයෙකු ලෙස එජාප පාක්ෂිකයින් වජිර අබේවර්ධන හඳුන්වයි.

එසේම පසුගියදා පැවති ජනාධිපතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මන්ත්‍රී ජන්ද සකස් කිරීමට සැලකිය යුතු මෙහෙයක් වජිර අබේවර්ධන ගේ කොළඹ නිවසේ සිට දියත් වූ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මෙහෙයුම කළේ ජනාධිපති කාර්‍යාලය නිදහස් කරගන්න !

ජනාධිපති ලේකම් කාර්යාලය නිදහස් කර ගැනීමේ මෙහෙයුම ආරක්ෂක අංශවලට දියත් කිරීමට සිදුවන්නේ අරගලකරුවන් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් සාමකාමී ලෙස ඉවත් නොවීම හේතුවෙන් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වන නිවේදනයක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් අද (22) නිකුත්කර ඇත.

අදාළ නිවේදනය තුළ රාජකාරි සඳහා ගිය නිලධාරීන් වෙත අපහාස , පරිභව කිරීම , හදිසි නීති තත්ත්වය , ජනාධිපති කාර්‍යාලයේ වැදගත්කම , එහි ලියකියවිලි වල ආරක්ෂාව , එය අත්පත් කරගැනීම නීති විරෝධී බව ඇතුළු කරුණු රැසක් ආරක්ෂක අංශ පාර්ශ්වයෙන් සඳහන් කර ඇත .

අදාළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි .

police p

අත්අඩංගුවට පත්වූ බෝපගේ ඇතුළු 09 : ඇප මත නිදහස් !

ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවීමෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් 09 දෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර අද (22) නියෝග කළේය.

ඒ එක් අයෙකුට රුපියල් 10,000/=ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මතය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවා ඉදිරි දිනයේදී සැකකරුවන්ගේ ඇප අධිකරණයට තැන්පත් කිරීමට නියම කල අධිකරණය, ඔවුන් පුද්ගලික ඇප මත මුදා මැරීමට ද මෙහිදී නියම කළේය.

මෙම සැකකරුවන් නවදෙනා අතර සිටි සැකකරුවන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර ඔවුන් දෙදෙනාටද අධිකරණයෙන් ඇප නියම විණි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටිම, පොදු දේපළ වලට හානි කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, රාජ්‍ය නිලධාරියෙකුගේ අණට අවනත නොවීම සහ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

රනිල්ට ජනාධිපති වෙන්න: පාර හදපු අරගලයට පහරදීම වැරදියි - පාඨලී !

අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් තනි මන්ත්‍රී කෙනෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට හැකිවූ බවත් එම අරගලකරුවන්ටම මේ ආකාරයට මිලේච්ඡ හමුදා හා පොලිස් ප්‍රහාරය එල්ල කිරීම තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව පවසා සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

වගකීම ආණ්ඩුව ගන්න ඕන !

“මෙහි වගකීම අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා එක දවසින් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට, ලිබරල් නායකයෙක් හැටියට අවුරුදු හතළිස් පහක ඉතිහාසයේ තිබුණු පිළිගැනීම එක දවසෙන් නැති කරගෙන, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් සියලුදෙනාම තරහ කරගෙන, ඉමහත් අපකීර්තියට පත්වීමක් තමයි මේ සිද්ධ වුණේ.

මේ සිදුවීම සහ මැයි හයවෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙනාපු රාජපක්ෂ පවුලේ ඒ මැරවරයින් එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැහැ. ඒ දෙකම එක ම සිදුවීමක්.

ඇත්තටම මේ මොහොතේ ඇයි මේ අරගලය මතුවුනේ? රනිල් වික්‍රමසිංහ මහතා මතක තබා ගත යුතුයි ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජනාධිපති ධූරය දක්වා එතුමා පැමිණියේ. මේ අරගලකරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීම නිසයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ තුන් කට්ටුව බලෙන් පහ කරලා දාලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කරපු නිසයි.

අරගලකරුවන් අතරත් පොඩි පොඩි ප්‍රශ්න : ප්‍රචණ්ඩ ලක්ෂණ තියෙන්න ඇති !

අරගලකරුවන් අතර පොඩි පොඩි ප්‍රශ්න, ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණ තියෙන්න ඇති. නමුත් මේ මාස හයක පමණ කාලයක් ලංකාවේ මිනිස්සු පෙලෙන ප්‍රශ්න, කිරිපිටි නැතුව අඬන දරුවෝ එක්ක දුක් වේදනා විඳින අම්මාවරු ඉස්පිරිතාලෙට ගියහම, ඒ වගේම බෙහෙත් ශාලාවට ගියහම, බෙහෙත් නැතුව දුක් විඳින මිනිස්සු, පෙට්‍රල් ටික නැතුව, ඩීසල් ටික නැතුව, භූමිතෙල් ටික නැතුව, දුක් විඳින, මේ රටේ සාමාන්‍ය ජනතාව ආදායම් අහිමි වෙච්ච ගොවියෝ, ධීවරයෝ ඇතුළු මේ රටේ දුක් විඳින ජනතාව මේ සෑම කෙනෙක්ගෙම වේදනාව, වෛරය අද උඩු දුවලා තියෙන අවස්ථාවක සහ ඔවුන්ට තමන්ගේ අනුකම්පාව, සහකම්පනය අනිවාර්යෙන්ම පෙන්විය යුතු මොහොතක මේ පෙන්නලා තියෙන දුෂ්ටත්වය, මේ පෙන්නලා තියෙන අසීලාචාරත්වය ඉතාමත්ම පිළිකුල් සහගතයි.

ඒ වගේම මේ රට පක්ෂ අතර එකමුතුවක් ඇති කරගෙන, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන, ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් පුළුල් කරගෙන, ලෝකයේ ආධාර දෙන ආයතන වලට අත දිගු කරන්න ගිය ඒ සෑම දෙයක්ම මේ වනවිට කෝපයෙන්, ඒ වගේම අපකීර්තිමත් ආකාරයට තරහ කර ගැනීමක් බවට පත්වෙලා. මේය කිසිසේත්ම රටට උචිත තත්වයක් නෙවෙයි.

අරගලකරුවන් භූමියෙන් බැස යමින් හිටියේ !

ඒ වගේම මේ සාමකාමී අරගලකරුවන් ඇත්තටම ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ගේ හිටපු ඇතැම් කොටස් මොන පුරාජේරු කතා කිව්වත් බහුතර ජනතාව ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ව සාමකාමී සාකච්ඡා මාර්ගයකින් ඉවත් කර ගැනීමට ඕනෑවටත් වඩා ඉඩ තිබුණා. එහෙම තිබියදී ඔවුන්ට එලව, පහර දෙන්න ආරක්ෂක අංශ යොමු කිරීම මගින් තුවක්කු බලය පාවිච්චි කිරීම මගින් පෙන්නලා තියෙන්නේ අවසානයේ මහජනයාව මේ ආකාරයටම මේ අන්තවාදී කල්ලිවලට තටු දෙන්නද? ආයුධ සන්නද්ධ විප්ලවයක් ගැන සිහින දකින බලවේග වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට තටු දෙන්නද කියන එක අපි මතක තබාගත යුතුයි. මේ රටේ මෙවැනිම ආකාරයේ මර්ධනයන් දියත් කරපු අවස්ථාවල, උතුරෙත්, ඒ වගේම දකුණෙත් මේ හැම තැනකම අපි දැකපු දේ තමයි, ආයුධ අතට අරගත්ත ප්‍රතිවිරෝධතාකරුවන් ඇවිල්ලා තිබිච්ච තත්වෙ තවත් නරක් කරගෙන තවත් බිහිසුණු අගාධයකට ගමන් කරලා දහස් ගණන් ඝාතනය වෙලා ඒ වගේම දස දහස් ගණන් විදේශගත වෙලා ඒ වගේම මුළුමනින්ම පරම්පරා ගානක ජීවිත අඳුරේ තැබීම. ඒ නිසා අද අඳුරු දිනයක් ඒ අඳුරු දිනයේ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කිරීමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියලුම දෙනාට කොන්දේසි විරහිතව එකට එකතු වෙන්නෙයි කියලා අපි ඉල්ලා හිටිනවා.

දූෂිත පවුල සහ ඔවුන්ට සහය දුන් නිලධාරීන් අධිකරණය හමුවට ගේන්න !

ඒ වගේම රාජපක්ෂ තමන්ට කරගන්න බැරි වෙච්ච මේ දුෂ්ට මර්ධනය තමන් විසින් බලයට කැඳවා ගත්ත ජනාධිපතිවරයා ලවා කර ගැනීම ගැන අපි කම්පා වෙනවා. ඒ වගේම අධිෂ්ඨානය තවදුරටත් ධෛර්යමත් වෙනවා. අද ඇත්තටම කළ යුත්තේ කුමක්ද? මේ අරගලකරුවන්ට හමුදාව යොදා පහර දීම හෝ නඩු පැවරීම නෙවෙයි. මේ රට බංකොලොත් භාවයට පත් කරන ලද ඒ පාලක දේශපාලන පවුල, ඒ වගේම ඔවුන්ට සහය දීපු මහා භාණ්ඩාගාරයේ ඒ හිටපු ලේකම්වරු, ඒ වගේම මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ඇතුළු පිරිස මේ පිරිස අධිකරණය ඉදිරියට ගෙන ඒමයි. මේ යුක්තියෙන් ඉටුකරලීමට මේ පිරිසට නඩු පැවරීමයි සිදුකළ යුතුව තිබුණේ. විශේෂයෙන්ම අරමුල්‍ය පනත යටතේ මොනිටරි ලෝ ඇප් එක යටතේ වහාම මුදල් අමාත්‍යංශයේ, ඒ වගේම මුදල් මණ්ඩලයේ, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස් වලටයි නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණේ. ඒ වගේම, අර පිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් එක, ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාමයි ගෙනාවේ. ඒ අනුව ණය කළමනාකරණය නොකිරීමේ වරදට භාණ්ඩාගාර ලේකම්වරු, මුදල් අමාත්‍යංශ ලේකම්වරු හා නිලධාරීන් අධිකරණය ඉදිරියට යුක්තිය ඉදිරියට පැමිණවීමයි කළ යුතුව තිබුණේ.

කොල්ලකාපු සල්ලි ගේන්න !

රටට වැඩි මිලට ගත්ත බැඳුම්කර මේ ජූලි විසිපස් වැනිදා මහින්ද රාජපක්ෂ ගත්ත මිලියන දාහක ඩොලර් බිලියනයක බැඳුම්කරය එනවා. ඒ බැඳුම්කරවලින් කොල්ලකාපු බිලියන හතකට අධික මුදල විදේශවල සඟවා තිබෙනවා. රට ඇතුලේ සඟවා තිබෙනවා. ඒ පව්කාර සල්ලි අරගෙන මේ රටේ ජනතාව සුඛිත මුදිත කිරීමයි සිදුකළ යුතුව තිබුණේ. නමුත් මේ වෙනුවෙන් හඬ නැගූ පිරිස් වලට, මේ ආකාරයට සැලකීම මගින් බිය වද්දන්න ඉන්නවා නම් ඒක ලොකු වැරදීමක් කියන එක විතරක් අපි මේ අවස්ථාවේ අවධාරණය කරනවා. නැවතත් අපි අවධාරණය කරනවා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලට, සියලුම වෘත්තීයවේදීන්ට, සියලුම ආගමික නායකයින්ට අත්වැල් බැඳගන්න කියලා මේ රටේ ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙන යාමට.”

– Midea unit

ගෑස් නැවක් ඇවිත් : මේ මාසයේ තවත් නැව් 07 ක් එයි !

මේ වන විට ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගාවී ඇති බව ලිට්ට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් සඳහන් කළේ මේවනවිට එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින බවයි.

එම පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බව පැවසූ ඔහු මෙම මාසය තුළ මෙරටට තවත් ගෑස් නැව් හතක් ළගාවීමට නියමිත බවත් පැවසීය .

ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ සූදානම් : අගමැති දිනේෂ් !

මිත්‍ර රටවල් සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි .

අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව අද (22) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මෙසේ සඳහන් කර ඇත .

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර සිටියේ ය.

අග්‍රාමාත්‍ය ධුරයේ වගකීම් ජනාධිපතිවරයා විසින් අද මට පවරනු ලැබුවා. අපේ අත්දැකීම් සම්භාරය එක් කර අපේ මාතෘ භූමියේ ජනතාවගේ ප්‍රාර්ථනාවක් ඉටු කිරීමට කැපවීමෙන් ස්ථිර වැඩ පිළිවෙලක් අනුව වැඩ කරනවා. අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු ඉතිරි සති කිහිපය තුළ අය වැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

අපේ වැඩ සටහන පැහැදිළිව සකස් කර ගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේදී ඕනෑම කොටසකගේ වේදනාව වෙනුවෙන් සාකච්ඡා කරන්න අප කැප වී සිටිනවා. අවිහිංසාවාදීව අත්වැල් බැඳගෙන මාතෘ භූමියේ සියළු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පාර්ලිමේන්තුවේ එකඟතාවය ඇති කර ගැනීමේ පසුබිම සකස් වී තිබෙනවා.

අපේ අර්බුදවලින් ප්‍රධාන වන්නේ ආර්ථික අර්බුදයයි.

අද කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් පසු අපේ මිත්‍ර රටවල්වල සහ විදේශ ආයතනවලින් ආධාර ලබා ගෙන ආර්ථිකය යළි ශක්තිමත් කළ හැකි වැඩපිලිවෙලක් සකස් කෙරෙනවා. අප ඉදිරියට ගමන් කරන්නේ මහජන සිතුම් පැතුම් සමගයි. දෙවන ලෝක සංග්‍රාමයේදීත් රුසියාව එක පැත්තකත් අමෙරිකාව තව පැත්තකත් බ්‍රිතාන්‍ය තව පැත්තක් මතවාදීව සිටියා. ලෝකය රැක ගැනීම සඳහා පැසිස්ට්වාදය පරාජය කිරීමට ඒ රාජ්‍ය නායකයින් අත්වැල් බැඳ ගත්තා.

විවිධ මත තිබුණත් රටේ ප්‍රධාන ප්‍රශ්න හමුවේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවාරයාත් මාත් අතර සුහදතාවය තිබෙනවා. විවිධ දේශපාලන මත තිබුණත් අප අතර කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මිස වෛරී පුද්ගලයින් වුයේ නැහැ. ජනාධිපතිවරයා අත්දැකීම් බහුල පුද්ගලයෙක්. සය වරක් අගමැති ධුරය දැරූ අයෙක්.

Page 300 of 464