පුවත්

කවුරුත් කොළඹ ඇවිත් නෑ : SF මැතිද අද තනියම අරගලයේ !
අද (09) අවසන් සටන සඳහා කොළඹ වැටලීමට ජන සුනාමියක් පැමිණෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු අරගලයේ බව කියන පාර්ශ්ව කිහිපයක් විසින් අවස්ථා කිහිපයකදීම සිහිකැඳවීම් සිදුකළත් එය අසාර්ථකව ඇති බව වාර්තාකරුවන් පවසයි .
අවසන් සටන සිදුකරන දිනය ලෙස අද දිනය නම් කළත් මේ වන තුරු කොළඹ හෝ තදාසන්න ප්‍රදේශවල සැලකිය යුතු ජන පිරිසක් ඒකරාශි වී නොමැති බවත් වාර්තා වෙයි .
මේ අතර ගෝල්ෆේස් පිටිය කේන්ද්‍ර කරගත් අරගල පාර්ශ්ව කිහිපයක් ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ අද අරගලය සඳහා ජනතාව කොළඹ නාවොත් තමන්ද අරගලය අත්හැර දමන බවය.
එසේම මේ වන විට ගෝල්ෆේස් අරගල බිමෙන් පිටත්ව ගිය පාර්ශ්ව අරගලය පාවාදුන් පිරිසක් බවටත් ඔවුන් චෝදනා නැගීය.
කෙසේ වුවත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයේ විරෝධතාවක නිරත වූ නමුත් එයත් ඉතාම ඇල්මැරුණු ස්වභාවයක් ගෙන තිබූ බවත් වාර්තාකරුවන් පවසයි .
මේ අතර ජවිපෙ ප්‍රමුඛ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අද ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරන බවයි.
ඒ අනුව කොළඹ ප්‍රදේශයේ වෘත්තීය සමිති නියෝජිතයන් ගේ උද්ඝෝෂණයක් පමණක් පැවැත්වෙයි.
ජනතාව අරගලයට ආවේ : දේශපාලන පක්ෂවලට කඩේ යන්න නෙවෙයි !
ජනාධිපති මන්දිරය මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ පාර්ලිමේන්තුව යන අරගලකරුවන් ඉලක්ක වූ ස්ථාන ආශ්‍රිතව පොලිස් මාර්ග බාධක සහ පොලිස් කණ්ඩායම් ස්ථාන ගතකර තිබෙනු දකින්නට ලැබිණ .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ , නිර්පාක්ෂික සාමකාමී අරගලය එක් එක් දේශපාලන පක්ෂ වල බල දේශපාලන අරමුණු වෙනුවෙන් කළමනාකරණය කිරීමට යාම හමුවේ , දියාරුව ගොස් ඇති බවය.
ජනතාව පාරට බැස්සේ ඔවුන්ගේ අවම ජීවන තත්ත්වයත් අහෝසිවී යාමට එරෙහිව රාජපක්ෂ විරෝධයක් ලෙස මිස, කොහේවත් යන පක්ෂ වල බල අවශ්‍යතා වෙනුවෙන් නොවන බවත් ඔවුන් පවසයි .

ජනපති සමග සාකච්ඡාවට නොඑන බව ජවිපෙ කියයි
ජනාධිපතිවරයා සමග හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාවට සහභාගී නොවනබව ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති කාර්යාලය වෙත අද (08) පස්වරුවේ දැනුම් දී ඇත.
එහෙත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය හෙට දිනයේ ලිඛිතව ලබාදීමට කටයුතු කරනබව ද ජවිපෙ විසින් දැනුම් දී තිබේ.
ජවිපෙ මිට කලින් තීන්දු කොට තිබුණේ හෙට පැවැත්වෙන සාකච්ජාවට සහභාගි වීමටය.
සිදුකර ඇති ආරාධනයට අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (07) දිනයේ මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේය.
කෙසේවුවද සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා සිය පක්ෂය කිසිඳු ලෙසකින් සහාය ලබානොදෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා විවෘත ආරාධනයක් කරනු ලැබීය.
ඒ අනුව මේ වන විටත් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලු පක්ෂවලට හෙට (09) දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබුණි.

අගෝස්තු 09 රටම අරගල බිමක් ලෙස නිවේදනයක් !
හෙට (09) දිනය අරගලකරුවන් ගේ ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බව ‘අරගලයේ පරපුර’ සංවිධානය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ලෙස පෙනීසිටින නීතිඥ මනෝජ් නානායක්කාර කියා සිටියේ හෙට දිනයේ මුළු රටම අරගල භූමියක් වනු ඇති බවය.
ගාළු මුවදොර අරගල කරුවන් ගේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික්ක වශයෙන් විරෝධතා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කර ඇත .
මෙම විරෝධතා වල යෙදෙන ජනතාවට නීතිමය බාධාවක් මතු වූවොත් ඒ වෙනුවෙන් නීතිඥ ප්‍රජාව පෙනී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත .

ශිෂ්‍ය ක්‍රියාකාරී මංගල මද්දුමගේ අත්අඩංගුවට
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයුම් මණ්ඩල විධායක කමිටු සාමාජිකයෙකු වන මංගල මද්දුමගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැයි මස 19 වනදා පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවකට අදාළව ඔහු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මංගල මද්දුමගේ පැහැරගෙන ගිය බවට චෝදනා කළේය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් ත්‍රිරෝද රථයකින් පැමිණ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිටදී මෙම පැහැරගැනීම සිදුකළ බවයි.
එසේම මංගල මද්දුමගේ මහනුවර ගෝඨා ගෝ ගම ආරම්භයේදීත් ගෝල් ෆේස් ජන අරගලයේදීත් ප්‍රමුඛපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කළ බව පුබුදු ජයගොඩ පැවසිය.
මේ අතර පොලිසිය පවසන්නේ, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මංගල මද්දුමගේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවයි.
අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ජෝසප් ස්ටාලින්ට ඇප
අධිකරණ නියෝග කඩකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (08)නියෝග කළේය.
ලංකා බැංකු මාවතේ දී ඉකුත් මැයි 28 වැනි දා පැවති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවී මංමාවත් පනත උල්ලංඝනය කරමින් මහජන පීඩා ඇති කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කළැයි කොටුව පොලිසිය සැකකාර ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූනි.
ඒ අනුව අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඉකුත් (03) දාය.
අදාල උද්ඝෝෂණය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය කඩ කරමින් මෙම සැකකරු කටයුතු කර ඇතැයි කොටුව පොලිසිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉන්ධන කෝටාව : ත්‍රීරෝද රථ හිමියන්ට සුබ ආරංචිය
ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව QR කේතය ඔස්සේ නිකුත් කරන ඉන්ධන කෝටාව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බව විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් පවසන්නේ පූර්ණ කාලීනව ත්‍රී රෝද රථ කුළී සේවාවේ නිරතව සිටින පුද්ගලයින්ට ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගැනීමට සූදානමක් ඇති බවයි.
එහෙත් ඒ කුමන ප්‍රමාාණයකින්දැයි මෙතෙක් නිෂ්චිත ලෙස තීරණය වී නැති බවත් වාර්තා වෙයි .

රනිල්ගේ සර්ව පාක්ෂික පාලනයෙන් විපක්ෂයට සුනාමියක් !
කාටවත් මතකද රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තේ මොකටද කියලා . ඊළඟට ව්‍යවස්ථාවට අනුකූල ලෙස ජනාධිපති වුණ එක ඇත්ත . හැබැයි රනිල් ආවේ, මේ දරුණු ආර්ථික අර්බුදය සමනය කරන්න පුළුවන් කියලා .
හැබැයි මේ ටිකේ මීඩියා දිහා බැලුවාම පේන්න තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු කතා විතරයි වගේ . ආර්ථිකය හදන්න වැඩ පිළිවෙලක් යනවා තමයි හැබැයි ඒකට පබ්ලිසිටි නැති තරම්. කොටින්ම රාජ්‍ය මාධ්‍ය පවා උණ විකාරෙන් වගේ සර්ව පාක්ෂික පාලනය අස්සේ හිරවෙලා.
දේශපාලන ආරංචි මාර්ග කියන විදියට මේ දවස් වල ජනාධිපති රනිල් එක්ක සාකච්ඡාවට යන අයට වෙන්නේ , අර යකාගේ විලෙන් වතුර බොන්න ගිය අයට වුණා වගේ වැඩක්.
විල පැත්තට ගිය අඩිපාරවල් ගොඩක් තිබුණත්, ආයෙත් ආපු අඩි පාරවල් පේන්න නෑ . ඒ වගේ තමයි මේකත්, ජනාධිපති කාර්‍යාලය පැත්තට ගොඩක් අය සාකච්ඡාවට යනවා , හැබැයි ආයේ එන්නේ ටික දෙනයි. බහුතරයක් නවතින්න හිත හදාගෙන තමයි එන්නේ.
ලස්සනම වැඩේ වුණේ, සමගි ජනබලවේගය පක්ෂයට. කොච්චර ආරාධනා කළත් සජිත් රනිල් එක්ක සාකච්ඡාව ප්‍රතික්ෂේප කරමින් හිටියේ . සමහර විට වික්‍රමසිංහ ස්ටයිල් එක දන්න නිසා වෙන්න පුළුවන් .
හැබැයි අන්තිමට පක්ෂයේ පිරිසක් කඩාගෙන යන්න සූදානමක් ඇති බව තහවුරු වුණ ගමන් සජිත් පක්ෂය බේරගන්න වගේ සාකච්ඡාවට ගියා.
මාර වැඩක් වුණේ, මෙන්න රනිල් තෙල බෙදන්න ගත්තා . ඒ 1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්ත කතාවක් කියමින්. එහිදී මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළ බවත් එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් බවත් රනිල් කිව්වා.
ඇත්තටම සජබ සෙට් එකක් හිටියා ආණ්ඩුවට යන්නත් ඕන, හැබැයි ශක්තිමත් තර්කයක් නැතුව . ඒ කියන්නේ ආසයි බයයි සෙට් එකක් . දැන් ඉතිං හරිනේ, ජනාධිපති රනිල් කට්ටියගේ ඔලුව අතගාලා එවලා තියෙන්නේ " සර්ව පාක්ෂික ආණ්ඩුව " කියලා කියන එක අවුලක් වගේ නම් " සර්ව පාක්ෂික පාලනයක් " කියලා කියමු කියලා.
ඒ වගේම "මේ සියලු දෙනා මමත් එක්ක වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුලුවන්.'' කියලත් කියලා. කාලා එන්නකෝ, ඔන්න දැන් සජිත් සේරම දමලා ගහලා ගෙදර ගියත් සජබ නඩයක් එංගලන්තයේ 41 සිස්ටම් එකට හරි ආණ්ඩුවට සෙට් වෙන්නලු යන්නේ .
ඒ අස්සේ පසුගියදා සජිත් එක්ක රනිල්ගේ සාකච්ඡාවට ගිය මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා , ආයෙත් එයාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය , කියන දේශපාලන පක්ෂය හැටියට ආයෙත් ජනාධිපති රනිල් හම්බෙන්න දින දාගෙන . අගෝස්තු 10 ලු දිනය හම්බෙලා තියෙන්නේ .
ඒ වගේම තමයි ජනාධිපති රනිල් පහුගිය දවස් වල ඔය ආගමික නායකයන් හම්බෙන අවස්ථාවල ප්‍රසිද්ධියේ කිව්වා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා සඳහා එනවා , ඒත් ජවිපෙ එන්නේ නෑ කියනවා කියලා . ඔය විදියට ජවිපෙ තාප්පෙටම හේත්තු කරන්න යනකොට ඔන්න ජවිපෙත් ජනාධිපති රනිල් හමුවෙලා සාකච්ඡා කරන්න දිනයක් දාගෙනලු. කවුරුත් ප්‍රසිද්ධ නොකළට, දේශපාලන ආරංචි මාර්ග නම් කියන්නේ අගෝස්තු 09 , අඟහරුවාදා තමයි ජවිපෙ ජනාධිපති රනිල් හම්බෙන දවස කියලා .
ඒ වගේම තමයි , වී.විග්නේෂ්වරනුත්, එයාගේ පක්ෂය එක්ක වෙනම ගිහින් ජනාධිපති රනිල් හම්බෙන්නලු ඉන්නේ . ඒකත් ගොඩක් වෙලාවට බදාදා වෙයි කියලයි කියන්නේ .
ඒ වගේම පහුගියදා චම්පික රණවක ප්‍රමුඛ 43 සේනාංකයත් ජනාධිපති රනිල්ව හම්බුණා . එහිදී ඉදිරිපත් කළ යෝජනාවලටත් ජනාධිපති සුබවාදී ප්‍රතිචාරයක්ලු දැක්වූවේ.
දේශපාලන වාර්තාකරු

අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට: රසායනික පොහොර සූදානම් !
ඉදිරි සතියේ සිට අර්තාපල්, තේ සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට රසායනික පොහොර නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර සඳහන් කළේ, ඉදිරි මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති බවයි.
මේ අතර ඉතාම වැරදි සහගත තීන්දුවක් වූ 100%කාබනික වගාව සහ රසායනික පොහොර තහනම හේතුවෙන් උද්ගතව ඇති අස්වනු අඩුවීම සහ ආහාර අහේනිය වලක්වා ගැනීමට මහ කන්නය සාර්ථක කරගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බවත් වාර්තා වෙයි .
ඒ වෙනුවෙන් රසායනික පොහොර ආනයනය සහ සැපයුම විධිමත් ලෙස සිදුකිරීමට බලධාරීන් දැනුවත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් වාර්තා වෙයි .

අසීරුම අවස්ථාවේ ජනාධිපති නිවැරදි මාවතක - ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි
ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට මෙහෙයවීමට ජනපති සමත් වී තිබෙන බව ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි පවසති.
ඉතා අසීරු අවස්ථාවක රට භාර ගනිමින් නිවැරදි මාවතට රට මෙහෙයවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත් වී ඇති අතර ඉදිරි සියලු අභියෝග ජය ගැනීමට එතුමාට ආශිර්වාද කරන බවත් ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමි පවසති .
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) පස්වරුවේ කොට්ටාව, රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත ගොස් ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මේ බව පැවසුහ.
විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන සහ හිටපු අමාත්‍ය දයා ගමගේ හා අනෝමා ගමගේ විසින් පිළිගනු ලැබීය.
ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිතුමා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
අත්දැකීම් බහුල දේශපාලන නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඉතා අභියෝගකාරී අවස්ථාවක, බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ පරිදි ජනාධිපති ධූරයේ භාරධූර වගකීම භාරගත් බව සඳහන් කළ මහා නායක හිමියෝ රට මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමට එතුමාට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරන බව පැවසූහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පුද්ගලිකව කොතරම් පාඩු වුවද රට සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට තමාට සිදුවූ බවයි. රටක් ඉදිරියට ගෙනයාමට නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ අනුශාසනාවක් කරමින් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් සාමකාමී විරෝධතාවලට ඉඩදීම මෙන්ම නීති විරෝධි ක්‍රියා මැඩලීම රජයේ වගකීම බවයි.
මෙහිදී අදහස් දැක්වූ අනුනායක හිමිපාණන් වහන්සේ,
ඔබතුමා එදා සිටම මහා සංඝරත්නය සමග ඉතා සමීපව කටයුතු කළ නායකයෙක්. ඔබතුමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අප මහත් සතුටට පත් වෙනවා. දේශපාලනය පිළිබඳ හොඳ අවබෝධයක් සහ අත්දැකීම් සම්භාරයක් ඔබතුමාට තිබෙනවා. පසුගියදා ඔබතුමාගේ නිවස සහ පණ මෙන් රැකගත් පොත් පත් විනාශ කිරීම පිළිබඳ අප ඉතාමත් කණගාටුවට පත් වෙනවා.
පසුගිය කාලයේ ඇතැම් භික්ෂුන් වහන්සේ සහ ඇතැම් ආගමික නායකයින් ප්‍රමාණය ඉක්මවා දේශපාලනයේ නිරතවීම පිළිබඳ අපි කණගාටු වෙනවා. මහා සංඝරත්නය ලෙස අපට කළ හැක්කේ ඔබතුමන්ලාට උපදෙස් දීම පමණයි.
රජයත් ජනතාවත් අතර විශ්වාසය ගොඩනගා ගැනීමට නායකයන් කටයුතු කළ යුතුයි. එහෙත් පසුගිය කාලයේ එසේ සිදු නොවිම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදු වුණා.
අපේ රටේ තිබූ තත්ත්වය නිසා කිසිදු ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. නීතිය ක්‍රියාත්මක කිරීමට පාලකයා ලෙස ඔබතුමා බැඳී සිටිනවා. එය වරදක් නෙවේ. ඔබතුමා මේ රටේ සියලු ජනතාවට සාමකාමීව ජීවත්වීමට ඉඩ සලසුනු ඇතැයි අපි විශ්වාස කරනවා.

රනිල් - අනුර සාකච්ඡාවක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර හමුවක් ලබන අගහරුවාදා (09) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි .
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එදින පස්වරු 3:00 ට පමණ මෙම හමුව සිදුවීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීමකට අනුවදෙපාර්ශවය අතර මෙම හමුව සූදානම් වන බවත් වාර්තා වෙයි .
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවීම සහ රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
කෙසේ වුවත් පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පක්ෂය හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ , අර්බුදය සමනය කරන්න සර්ව පාක්ෂික පාලනයක් වෙනුවෙන් කැඳවූ සාකච්ඡා සඳහා පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආගමික නායකයන් හමුවේ සඳහන් කරනු ලැබිණ .

ජූලි මාසයේ ලිට්‍රෝ ගෑස් ලාභ ලබයි : පසුම්බියට දැනෙන මිල අඩුකිරීමක් සූදානම් !
ගෙවුණු ජූලි මාසයේදී තම සමාගම ලාභ ලබන සමාගමක් බවට පත්ව ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.
ලිට්‍රෝ සමාගම මෙවැනි ලාභයක් පෙන්නුම් කළේ වසර කිහිපයකට පසුව බවත් ඔහු පවසයි .
මේ අතර නව මිල සූත්‍රයට අනුව හෙට (8) මධ්‍යම රාත්‍රි සිට ලිට්ට්‍රෝ ගෑස් මිල අඩුකරන බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කර ඇත .
ඒ අනුව අදාළ මිල අඩුවීම ජනතාවට දැනෙන අගයකින් සිදුකිරීමට සමාගම අවධානය යොමුකර ඇති බවත් සභාපතිවරයා පවසා ඇත .

ආසියාව උණුසුම් කළ චීන නැව හම්බන්තොටට නොඑන ලකුණු !
ලංකාව කේන්ද්‍ර කරගනිමින් දේශපාලන අර්බුදයකට තුඩුදී ඇති චීනයේ 'යුආන්වැන් 5' පරීක්ෂණ නෞකාව සැලසුම් කර තිබූ පරිදි ලබන 11දා හම්බන්තොට වරායට නොපැමිණෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි .
අදාළ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට පසුගිය ජූනි මසදී නිල අවසරය ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය ලබා දී තිබිණ .
එහෙත් චීන මහජන විමුක්ති හමුදාවට අයත් සතුරු මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන අධීක්ෂණයට පහසුකම් ඇති 'යුආන්වැන් 5' නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ගැන ඉන්දියාව මෙරටට දැඩි විරෝධය පළ කළේය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ද තම විරෝධය දැනුම් දුන් බවත් වාර්තා විය.
කෙසේ හෝ දෙරට අතර හොඳ හිත රැකගෙන මෙම අර්බුදය විසදා ගැනීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යවරුන් කාම්බෝජයේදී මුණගැසී සාකච්ඡා කළ බවත් වාර්තා වෙයි .
එහිදී සිදු කළ කරුණු පැහැදිලි කිරීම් අනුව චීන යුද නැව හම්බන්තොට වරායට නොපැමිණෙනු ඇතැයි දැනගන්නට තිබේ.

එජාපය සමග එකතුවෙලා ගමනක් යමු : සජබ ඇතුලේ යෝජනාවක් !
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවතත් එකතු වී නව දේශපාලන ගමනක් යා යුතු යැයි පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත .
මේ ගැන තවමත් පක්ෂය තුළ ඇත්තේ සංවාදයක් පමණක් බව පැවසූ ලේකම්වරයා ඉක්මනින් මේ යෝජනාව ගැන තීන්දුවක් ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා දැනට යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවට සහභාගි විය යුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යෝජනා කර තිබේ.
ඒ අතර තවත් මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට පිටත සිට සහාය දීම වඩාත් යෝග්‍ය බව යැයිද මහලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ තම පක්ෂය නිල වශයෙන් සාකච්ඡා කරන බවද මහලේකම්වරයා වැඩිදුරටත් කී බව සඳහන් මේ පුවත දේශය පුවත්පත වාර්තා කර ඇත .

ජනාධිපතිගෙන් හදිසි නීතියේ සංශෝධනයක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ජුලී මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීති කිහිපයක් සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි .
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ නීති සංශෝධනය සිදුකර ඇත .
ඒ අනුව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365(අ) සහ 365(ආ) වගන්ති ඉවත් කර එම සංග්‍රහයේ 408 සහ 410සිට 420 දක්වා වගන්ති හදිසි නීතියට අදාළව ඇතුළත් කරනු ලැබ ඇත.
පසුගිය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සර්ව පාක්ෂික පාලකයක් වෙනුවෙන් සාකච්ඡා පැවැත්වූ දේශපාලන පක්ෂ සහ අරගලයේ පාර්ශ්ව කරුවන් හදිසි නීතිය යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් වලක්වන ලෙස ඉල්ලා සිටියේ ය.
ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එකී ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවක් මේ හරහා පෙන්නුම් කරන බවය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ජනපතිට සුභාශිංසන
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුභාශිංසන එක් කර තිබේ.
විශේෂ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජය ගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.
එසේ කිරීමේදී, මහජනතාව සමග අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ඇන්ටෝනියෝ ගුටරේස් පෙන්වා දුන් බවය.

ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිත දරුවන් 12 දෙනෙක් !
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසයි.
මෙම කාලය තුළ කොවිඩ් රෝගී දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව ඩෙංගු වැලඳුණු දරුවන්ගේද වැඩිවීමක් රට පුරා දක්නට ලැබෙන බව පැවසූ වෛද්‍ය විජේසූරිය, දරුවන් මේ රෝගයන්ට ගොදුරු වීම වළක්වා ගැනීමට මවුපියන් හැකි උපරිමයෙන් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
ඒ සදහා දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරා ගැනීම ඉතාමත් වැදගත් බවද ඔහු පවසා සිටී.

“අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ..” –මර්දනයට එරෙහිව නුගේගොඩ රැළියක්
පක්ෂ වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව සංවිධානය කළ විරෝධතා පා ගමන් කිහිපයක් අද (06) නුගේගොඩ අවට ප්‍රදේශවලින් ආරම්භ වී තිබේ.
"අරගලය ඉවර නෑ.. දිනන තුරු හැරෙන්නේ නැහැ.." යන තේමාවෙන්, මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ත පනතට හා පැහැරගැනීම්වලට එරෙහිව එක් විරෝධතා පා ගමනක් ආරම්භ වුණේ දෙල්කඳ ප්‍රදේශයෙනි.
කිරුළපන ප්‍රදේශයෙන් තවත් විරෝධතා පා ගමනක් ආරම්භ වූ අතර එම පිරිස නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමන් රංග පිඨයට එක්විය.

බඩ එපා කියලා අපෙන් රට ගත්තා : අන්තිමට රටයි බඩයි දෙකම නැති වුණා - රවී කරුණානායක
Page 295 of 464