සන්නස්ගල නිදහස්

සන්නස්ගල නිදහස්

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල ට එරෙහිව කඳාන පොලිසිය කළ චෝදනා ප්‍රතික්‍ෂෙප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් උපුල් ශාන්ත සන්නස්ගල මුදාහැරීමට ඊයේ (24) නියම කළේය.

තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම් දීමක් සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා, වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලිසියෙන් ප්‍රශ්න කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්ගල අධිකරණයේ පෙනී සිටයේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කඳාන පොලිසියේ නිලධාරීහු පසුව ලබාදෙන බව පවසා ගත් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ආපසු ලබානොදී වංචා කිරීම, විශ්වාෂය කඩ කිරීම සහ එම මුදල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම යටතේ කෙටුම්පත් කළ චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළහ.

විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය කියවා දෙන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ඒ අවස්ථාවේදී කරුණු දක්වමින් මෙම සිද්ධියට පාදක මුදල් තම සේවාදායකයා විසින් ‘මාර්ග ගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියේ පැමිණිලිකරු මේ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටින බව පැවසු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න, අවශ්‍ය නම් මෙම මුදල් ලැබුණාද? කියා ඔහුගෙන් සැක හැර දැනගැනීමට හැකියාව ඇතයිද කීය.

ඒ අවස්ථාවේදී සිද්ධියේ පැමිණිලිකරු වන ගනේමුල්ල පොල්පිතිමුකලාන ප්‍රදේශයේ පදිංචි නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා අධිකරණය හමුවට කැඳවු මහෙස්ත්‍රාත්වරයා නඩුවට පාදක වු මුදල් සැකකරු විසින් තමන්ට ගෙව්වාද? යනුවෙන් ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්ණයට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් සිද්ධියේ පැමිණිලිකාර නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා නඩු කීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පොලිසිය දැනුම් නොදීම නිසා පසුගිය දිනයේ අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වු බවත් කීය.

මෙම නඩුව අවසන් කර දෙන්නැයි ගල්වලආරච්චි නමැත්තා අධිකරණයෙන් ඉල්ලමක්ද කළේය.

(lankadeepa.lk -මනෝප්‍රිය ගුණසේකර)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න