රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීමට නම් නැවත වැට් බදු වැඩි කිරීමට සිදු වෙනවා

රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීමට නම් නැවත වැට් බදු වැඩි කිරීමට සිදු වෙනවා

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන  පැවසීය.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වන විට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්තද, බදු වැඩිකිරීමට ද සිදු වන බව පෙන්වා දුන් ඔහු රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් 2% ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවද සඳහන් කළේය.

එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් 3%කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම අවස්ථාවේ සිදු කළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද 18% ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් සඳහන් කළේය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් ද නොමැති බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා එසේ සිදු කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවද කියා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංගද මෙහිදී අදහස් දැක්වු අතර මෙම වසරේදී රාජ්‍ය සේවකයන්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම අසීරු කාර්යයක් වුවත් ලබන වසරේ අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව ද ඔහු පැවසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඔහු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න