පුවත්

මෛත්‍රීට හා දයාසිරිට අතුරු තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර යන අයට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (01) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින්ය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති තනතුරෙන් හා සෙසු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මීට පෙර තීරණය කර තිබුණි.
එම තීරණය අභියෝගයට ලක් කරමින් කොළඹ පළාත්බද අභියාචනාධිකරණය වෙත නිමල් සිරිපාල ද සිල්වා විසින් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනයට අවසර ලබා දෙමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

භූමිතෙල් මිල පහළට
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල ගණන් පහළ දමා තිබේ.
ඒ අනුව, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 305ක් දක්වා පහළ ගොස් ඇත.
එසේ ම, ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 134කින් අඩුකර තිබේ.
ඒ අනුව, රුපියල් 464ක්ව තිබුණු එම භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330 දක්වා පහළ දමා ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවන බව ය.

රුපියලේ අගය ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ එහි ගැනුම් මිල රුපියල් 352යි ශත 72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 362යි ශත 95ක් ලෙසත් සඳහන් වූ බවය.
මීට අමතරව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල සටහන් වුණේ, රුපියල් 439 යි සත 43ක් ලෙසයි.
යුරෝ එකක විකිණුම් මිල රුපියල් 391 යි සත 32 ක් ලෙස දැක්විණි.
ඒ අනුව 2022 මැයි මස 4 වනදාට පසුව ඩොලරයක් සඳහා ලැබුණු අවම රුපියලේ අගය මෙය ලෙස දැක්වෙයි.

ක්‍රිකට් නිලවරණය මැයි 20 වැනිදා
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ආයතනය පවසයි.
එහිදී 2023 - 2025 කාලසීමාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත් කරගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුව ඊයේ (27) නාමයෝජනා භාරගත් බවයි.
පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී ක්‍රිකට් නිලවරණ කමිටුව සඳහා සාමාජිකයින් පත්කරනු ලැබූ බව එම නිවේදනයේ දැක්වෙයි.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුනිල් සිරිසේන මෙම ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවට ඇතුළත්ය.
ඒ අනුව ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා භාර ගැනීමට ඊයේ පෙරවරු 9.30ට ආරම්භ වී පස්වරු 3.30ට අවසන් කෙරුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වලට බලපැවැත්වෙන පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කර ඇති නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) නිකුත් කළ අතුරු නියෝගයක් නිකුත් කළේය.

විශේෂිත නවීන ළමා රෝහලක් හා පිළිකා රෝහලක් හැදීමට ජනපතිගෙන් උපදෙස්
වෛද්‍ය පර්යේෂණ පිළිබඳ නවීන රසායනාගාරයක් පිහිටුවීමේ හැකියාව අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ බව දැනුම්දී ඇත.
මේ අතර පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.
යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සුදුසු ස්ථානයක මෙම රෝහල් ස්ථාපිත කිරීමට නියමිතය.
මීට අදාළව ද ජනාධිපති ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

පුරන් කුඹුරු අක්කර 12,500 ක් යළි වගා කිරීමට සැලසුම්......
ඉදිරි මහ කන්නයේදී පුරන් කුඹුරු අක්කර 12,500 ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේවනවිට නැවත වගා කළ හැකි එහෙත් වසර 05 කට ආසන්න කාලයක් වගා නොකර අතහැර දමා ඇති පුරන් කුඹුරු අක්කර 47,000 ක් පමණ රටතුළ පවතින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.
තවත් අක්කර 50,000 ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවන වගා කිරීම සඳහා යොදා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවත්, වගා කළ හැකි පුරන් කුඹුරු අක්කර 47,000 ම වසරින් වසර රජයේ මුදල් යොදා ගනිමින් යළි වගා කිරීමට ඉලක්ක කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.
දැනට වගා කළ හැකි එහෙත් අතහැර දමන ලද පුරන් කුඹූරු වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වැඩිදුරටත් සදහන් වේ.

බැඳුම්කර නඩු දෙකෙන්ම රවී කරුණානායක නිදහස්
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රජයේ මුදල් සාපරාදි සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමති රවී කරුණානායකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ දෙකක් හමුවේ ගොනු කළ නඩු දෙක පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දූ කරමින් අභියාචනාධිකරණය විසින් අද(28) නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කළේය.
රවි කරුණානායක විසින් මහාධිකරණ නඩු දෙක අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීරණය ලබා දුන්නේය.
2016 වසරේ මාර්තු මස 29 වනදා සහ 31 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 50 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 23ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබිණි.
තමන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කොට එම නඩු වලින් තමන්ව ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා රවි කරුණානායක විසින් මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අදාළ නඩු දෙක විභාග කළ ත්‍රි පුද්ගල මහාධිකරණය පොදු දේපල දේපළ පනත යටතේ පවත්වාගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් වූ අධි චෝදනා 13ක් නිදහස් කිරීමට 2022 මාර්තු 4 වැනි දින නියෝග කළේය.
ඉන් අනතුරුව හිටපු මුදල් ඇමතිවරයා තමන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බව තීන්දු කොට එම නඩු වලින් තමන්ව ඉවත් කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය.
එම පෙත්සම් දීර්ඝ ලෙස විභාග කල අභියාචනාධිකරණය රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බව තීරණය කරමින් නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
2016 වසරේ මාර්තු මස 29 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36.8 98 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අදාල සමාගම අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පොලිසිය ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත ඇතුළු අධිචෝදනා 32 යටතේ මෙම නඩුව ගොනු කර තිබිණ.
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර හා ගාර්ධි පුංචිහේවා විත්තිකරුවන් විදෙස් ගතව ඇති බැවින් ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරින.
දෙවන මහ බැංකුව බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව නඩු පවරා තිබිණි.

රාජ්‍ය සේවකයන්ට දායකත්ව විශ්‍රාම අරමුදලක්
රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙයි
මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.
විශ්‍රාමිකයා රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම මෙම අරමුදලේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.
2016 සිට රාජ්‍ය සේවයට බැඳුණු රාජ්‍ය සේවකයින් සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදි රාජ්‍ය සේවයට බඳවා ගන්නා සියළුම රාජ්‍ය සේවකයින් මෙම දායක විශ්‍රාම වැටුපට යටත් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවකයෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුගේ වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12%ක් මාසිකව යෝජිත අරමුදලට බැර කළ යුතු වේ.
මෙම යෝජිත විශ්‍රම අරමුදල කළමනාකරණය කිරීම පිණිස කළමනාකරණ මණ්ඩලය මගින් පාලනය වන ස්වාධීන ආයතනයක් පිහිට වනු ලබන අතර අරමුදල කළමනාකරණය සඳහා විශේෂ සුදුසුකම් සහිත කළමනාකරුවෙකු පත් කරනු ලැබේ.

ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබයි
වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ .
මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.
රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා ඇත.

"විරෝධය කොළඹට" විරෝධයේදී තුවාල ලැබූ පුද්ගලයෙක් මියයයි
ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති "විරෝධය කොළඹට" විරෝධතා පෙළපාලියට පොලිසිය විසින් එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද පෙරවරුවේ මියගොස් තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙක් බව යි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි ජනපති හමු වෙයි
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් මුහම්මඩ් අම්ජාඩ් ඛාන් නිආසි (Muhammad Amjad Khan Niazi) අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර සමුද්‍රීය කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර නාවික කටයුතු වඩාත් පුළුල්ව ඉදිරියට ගෙන යෑම පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරිණි.
මෙම හමුව සංකේතවත් කරමින් පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
පාකිස්ථානු මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධානින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වරාය නගරයේ නව නීති ප‍්‍රවර්ධනයට කමිටුවක් පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනාවක්
අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගන්නා ලෙසත්, වරාය නගරයේ නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරුණ නීතිඥවරුන්ට යෝජනා කළේය.
අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නව වරාය නගරය සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවති කොළඹ රාජකීය විද්‍යාලයීය නීතිඥ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
තමා රාජකීය විද්‍යාලයීය සිසුවෙකු ලෙස ගත කළ කාලය සහ සිය චරිතය හා වගකීම් සහගත බව හැඬගස්වා ගැනීමට විද්‍යාලයෙන් ලැබුණු දායකත්වය ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම වෙනුවෙන් ජනප්‍රිය නොවූ දැඩි තීන්දු ගැනීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ සිය කැපවීම පැහැදිළි කරමින් සඳහන් කළේ අභියෝගවලට මුහුණදීමේ ආත්මශක්තිය තමා රාජකීය සිසුවෙකු ලෙස ප්‍රගුණ කරන ලද්දක් බවයි.
මෙරට නීති ක්ෂේත්‍රය වෙනුවෙන් රාජකීය විද්‍යාලය ඉටුකර ඇති කාර්යභාරය මෙහිදි ඇඟයීමට ලක් කළ ජනාධිපතිවරයා ඉදිරියේදී මතුවිය හැකි නව නීති ක්ෂේත්‍ර පිළිබඳව ද තරුණ නීතිඥවරුන්ව දැනුවත් කළේය.
වරාය නගරය මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අදාළ නීතිමය ක්ෂේත්‍රවල මූලික ආරම්භයක් ලබා ගැනීමට එහිදී තරුණ නීතීඥයින් දිරිමත් කළ ජනාධිපතිවරයා වගකීම් සහ නායකත්ව භූමිකාවන්හි වැදගත්කම ද අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවේ පිළිගැනීමේ කථාව රාජකීය විද්‍යලයීය නීතීඥ සංගමයේ සභාපති රොහාන් සහබන්දු මහතා විසින් සිදු කළ අතර එහි ලේකම් ධූරයෙන් නික්ම යන හර්ෂණ මාත්‍රආරච්චි මහතා විසින් පසුගිය වසරේ වාර්තාව සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
රොහාන් සහබන්දු රාජකීය විද්‍යාලයේ නීතීඥ සංගමයේ සභාපති ලෙස නැවත තේරී පත් වූ අතර නව ලේකම්වරයා ලෙස තේරී පත් වූ ලසිත කණුවනආරච්චි ස්තුති කතාව සිදු කළේය.
නීතිපති සංජය රාජරත්නම්, රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්. එම්. රත්නායක යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

"විරෝධය කොළඹට" ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
මැතිවරණය කල්දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව "විරෝධය කොළඹට" යන මැයෙන් ජාතික ජන බලවේගය මේ වනවිට කොළඹදී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.
එහිදී පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබු පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් විරෝධතා පාගමනක් ආරම්භ කරනු ලැබීය.
කොළඹ ඉබ්බන්වල මංසන්ධියේ දී පොලීසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා මෙලෙස කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ජී 20න් ලංකාවට සහනයක්....
ඒ, ඉන්දියාවේ සභාපතිත්වයෙන් ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැති ජී 20 රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හා මහ බැංකු ප්‍රධානීන්ගේ හමුවේදීයි.
එම හමුව ඉකුත් සිකුරාදා සහ ඊයේ පවත්වා ඇති අතර, එහිදී අඩු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට ඔවුන් මුහුණ පා සිටින ණය ගැටළුවලට මුහුණදීම සඳහා යෝජිත නියාමන රාමුවක් යටතේ සහය ලබාදීමට ජී 20 රටවල් එකගත්වය පළ කර ඇතැයි ද වාර්තා වේ.
එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් පැවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සාමාජික රටවල් පොදු එකගතාවකට පැමිණි බවයි.
අවදානමට ලක්විය හැකි රටවල් ණය අර්බුදයෙන් මිදීම සඳහා ජී20 රටවල සහය අපේක්ෂා කරන බවත් ඇය මෙහිදී පවසා ඇත.
ඒ අනුව ඝානාව, ශ්‍රී ලංකාව, සැම්බියාව සහ ඉතියෝපියාව යන රටවල්වලට ජී 20 සාකච්ඡාවලින් ප්‍රතිලාභ ලැබෙනු ඇති බව සඳහන්. තවද, ශ්‍රී ලංකාවේ ණය තත්ත්වය සඳහා කඩිනම් විසඳුමකට පැමිණීමට අපේක්ෂා කරන බව ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අඛණ්ඩව විදුලිය දෙන්න සාකච්ඡා......
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබුණහොත් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට, අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු පසයාගැනීම සහ විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන්, පාලන අධිකාරිය අතර එම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍යවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වී. චානක, එම අමාත්‍යංශයේ අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවනට සහභාගි වූහ.

අනුර ඇතුළු 26කට අධිකරණයෙන් තහනම් නියෝගයක්..
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට, අද (26) පස්වරු 1.00 සිට රාත්‍රී 8.00 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍රදේශ රැසකට ඇතුළුවීම වළක්වමින්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, කොටුව, කොම්පඤ්ඤ වීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ ඉල්ලීමකට අනුවයි.
ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව හේතුවෙන් ඇති විය හැකි මහජන පීඩාව සැළකිල්ලට ගෙන පොලීසිය එම ඉල්ලීම කර තිබුණි.
අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී. ලාල්කාන්ත ඇතුළු දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නායකයින් 26 දෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත.
එම නියෝගයට අනුව අදාළ මාර්ගවලට ඇතුළුවීම තහනම් වන අතර, දේපොළ හානි මෙන්ම ජනතාව ප්‍රකෝප කරන ප්‍රචණ්ඩකාරී සිදුවීම් නොකළ යුතුයි.
ජාතික ජන බලවේගය ඇතුළු වෘත්තීය සමිති අද පස්වරුවේ විහාර මහාදේවී උද්‍යානයේදී අදාළ විරෝධතාව සංවිධානය කර තිබුණේ විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කිරීමක් වශයෙනි.

කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් ස්ථානාධිපති ඇතුළු 04 ක් අත්අඩංගුවට
කටුනායක ගුවන් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ස්ථානාධිපති, සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සැකකරු පුද්ගල ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ද පනවා තිබී ඇත.
පොලීසිය සඳහන් කළේ, ව්‍යාජ නමකින් විදෙස්ගතවීමට උත්සහ කිරීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ප්‍රශ්න කිරීම් අතරතුරදී පළාගිය කළුතර පදිංචි සැකකරුගේ වයස අවුරුදු 28 කි.

සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබා දෙනවා - ජනපති
ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන් හිදී හමුදා සාමාජිකයින් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්‍යය ව්‍යසනයන් හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ ලබාගැනීමට නියමිත බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (24) පස්වරුවේ කටුනායක ඊගල්ස් ලැගූන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ (SLCMM) 6 වැනි වාර්ෂික අධ්‍යයන සැසියේ සමාරම්භක අවස්ථාව අමතමිනි.
“අර්බුදකාරී කාලවලදී හමුදා වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය” යන තේමාව යටතේ මෙම අධ්‍යයන සැසිය සංවිධානය කර තිබුණි.
යුද, නාවික සහ ගුවන් හමුදාවේ වෛද්‍ය බළකාය උතුරු නැගෙනහිර යුදමය තත්ත්වයේදී සැබවින්ම හමුදා වෛද්‍ය විද්‍යාව අත්විඳි බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙම කලාපයේ ඇති හොඳම වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් සිටින අතර අඩු ආදායම්ලාභීන්ට පෞද්ගලික රෝහල් සේවාව ලබාගත හැකි වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
රජයේ රෝහල් සඳහා ගෙවන වාට්ටු හඳුන්වා දීමටත් පෞද්ගලික රෝහල් සඳහා ගෙවීම් නොකළ යුතු වාට්ටු හඳුන්වා දීමටත් ඇති හැකියාව පිළිබඳව මේ දිනවල අධ්‍යනය කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
යුද්ධයට මුහුණ දෙන අතරම 2004 සුනාමි ව්‍යසනයේදීත්, ගංවතුර සමයේදීත්, කොවිඩ් -19 සමයේදීත් හමුදා වෛද්‍ය බලකාය ඉටු කළ සේවය තුළින් ඔවුන්ට හමුදා මෙන්ම සිවිල් ක්ෂේත්‍රයෙහිත් අත්දැකීම් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.
මෙරට හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කර ඇති ප්‍රශංසනීය මෙහෙවර අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා, 2016 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනය මේ වන විට පූර්ණ වෛද්‍ය සංවිධානයක් දක්වා වර්ධනය වී ඇති බවද පැවසීය.
මෙරට හමුදා වෛද්‍ය විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිවරුන් සහ වත්මන් සභාපතිවරයාගේ දායකත්වය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇඟයීමට ලක් විය.
Page 228 of 474