V2025

පුවත්

ආදායම් බදු සහ විසර්ජන පනතත් සංශෝධනයට !

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කිරීමට සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේ දී ආරාධනා කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එම සාකච්ඡාවලින් අනතුරුව විකල්ප අදහස් ඇත්නම් ඒවා පිළිබඳවද සලකා බැලීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙසේද පැවසීය.

"මේකත් එක්ක සම්බන්ධ වෙන සියලුම විශ්‍රාමික අරමුදල්වලට මේ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනාවක් කරන්න. එහිදී අදහස් හුවමාරු කරගන්න, ඔවුන්ගේ දත්ත බෙදාගැනීම තමා විශේෂයෙන්ම කෙරෙන්නේ. ඒ අතරවාරයෙන් පසුව ඔවුන්ට අවස්ථාව සලසා දෙනවා මේ පිළිබඳ අවශ්‍ය තීරණය ගන්න. මේකට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා දේශීය ආදායම් පනත සංශෝධනය කරන්න වෙනවා. ඒ වගේම අපේ විසර්ජන පනත සංශෝධනය කරන්න වෙනවා මේ වැඩවලට සමගාමීව. ඉන් අනතුරුව ඔවුන්ගේ තීරණය දැනුම්දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න."

වෘත්තීය සමිති නායකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම මඟහැරලා !

ලබාදී තිබූ කාලසීමාව තුළ කිසිදු වෘත්තීය සමිති නායකයෙකු හෝ නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බව කම්කරු අමාත්‍යංශය පවසයි.

මාධ්‍ය සිදුකල විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ.විමලවීර පවසා ඇත්තේ 2,000ක් පමණ වන වෘත්තීය සමිති නියෝජිතයින් කිසිවෙකු හෝ මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවය.

වත්කම් බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් ඇතුළු නිලධාරීන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බව සඳහන්ය.

ඒ සම්බන්ධයෙන් තමා විසින් අදාළ පාර්ශව වෙත දැනුම් දී දුන්න ද මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති බව පවසන අමාත්‍යංශ ලේකම් ආර්.පී.ඒ.විමලවීර කෙසේවෙතත් අදාළ පනතට අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් තමාට නොමැති බව ද සඳහන් කළේය.

ජී.එල් ගේ කඳ නිදහසේ වුනාට හදවත රාජපක්ෂවරුන් ළඟ !

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවට අදාළ (01) පාර්ලිමේන්තුවේ පැවති ජන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපී පෙණන චරිත කීපයක් පාර්ලිමේන්තු සභා ගර්භයේදී නොසිටි බවත් ඒ එම යෝජනාව ඔවුන්ගේ අනන්‍යතාවයට සහ හෘදසාක්‍ෂියට නොගැපෙන බව ඒ ප්‍රධාන මන්ත්‍රීවරු විශ්වාස කළ නිසා බව සිතිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්ය.

මෙම නොපැමිණීම හමුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට එම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොලැබුණු බව පැහැදිළි වූ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම දක්වාම ප්‍රයෝගයක් මෙන්ම රැවටීමක් බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

රුපියල් මිලියන ට්‍රිලියනයක දැවැන්ත මුදල හිමිකකම් කියන සේවක අර්ථ සාධක අරමුදලේ ඉරණම මෙහිදී තමන් ඇතුළු විපක්‍ෂයේ ප්‍රධාන ගැටලුව වූ බවත් සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු ප්‍රශ්නයක් නොවන්නේ යැයි රජය දිගින් දිගටම පැවසුව ද එය අසත්‍යයක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. බවත් ඒ මහතා කීය.

එසේම පැවති ඡන්ද විමසීමේදී දෝෂ කීපයක්ම දැකිය හැකි වූ බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයකු මෙසේ පැවසීය. ෙ

" ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා කියන විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව දවසේ පාර්ලිමේන්තුව වෙත නොපැමිණ සිටි පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කියන්නේ හෘද සාක්ෂියට අනුව තීන්දු තීරණ ගන්න පිරිසක්. එහෙනම් ඒ ගැන සහතිකයක් තමයි ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා මේ දෙන්නේ. දැන් කවුද මේ යෝජනාවට ජන්දය නොදී ඇඟ බේරාගත් පිරිස. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු දැඩි රාජපක්ෂවාදී පිරිසක්. දැන් තමයි ජී.එල්. පීරිස් මන්ත්‍රීගේ බළලා එලියට පැන්නේ. අපරාදේ නේද ඒ හෘද සාක්ෂියට අනුව තීන්දු තීරණ ගන්න පිරිස දාලා අරගලය අස්සේ, නිදහස සභාවක් පිහිටුවාගෙන මාරු වුණේ.

ඇත්තටම බොරුවට කයිවාරු නොගහා දැන්වත් ගිහින් ඒ හෘද සාක්ෂියට ශක්තියක් දෙන්න තියෙන්නේ. වැඳගෙන ගියොත් මහින්ද මහත්තයා වුණත් සමාව දෙයි. මේ තමයි ඔය රාජපක්ෂ නැව ගිලෙන මොහොතේ එළියට පැනපු ගොඩක් මීයන්ගේ ස්වභාවය. ඔවුන්ට මේ රට හදන්න , අර්බුදය ඇති නොවෙන්න සිස්ටම් හදන්න උවමනාවක් නෑ. ඔවුන්ට අවශ්‍ය බලය පමණයි. ඒ හැර වෙන කිසිම දෙයක් නෑ. දේශපාලන ඉතිහාසයේ කරපු දෙයක් තියෙනවද බලන්න. කයිවාරු විතරයි.

දේශීය ණය කළමනාකරණය හරි, EPF /ETF ගැන හරි , රටේ ආර්ථික අර්බුදය ගැන ඔවුන්ට කැක්කුමක් නෑ. එහෙනම් අර්බුදය උග්‍රවෙන වැරදි තීන්දු තීරණ ගත්ත වෙලාවේ එළියට බැහැලා එන්න තිබුණා. ඒ මොකුත් නොකර ඉඳලා අන්තිම මොහොතේ පැන්නා. දැන් ඔවුන්ට අවශ්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති මේ රට ගොඩගන්න කරන වැඩපිළිවෙල අර්බුදයට යවලා , ඔවුන්ට කිට්ටු වෙන්න පුළුවන් පාර්ශවයක් හරහා බලයට එන්නයි. ඒ හරහා වරප්‍රසාද භුක්ති විඳින්නයි. ඒ හැර වෙන කිසිම දෙයක් ඔතන නෑ.

ජුලි 01 වෙනිදා නාමල් පාර්ලිමේන්තුව මඟ හැරියද ?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය (01) දින පැවති අතර එයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගීව සිටියේ නැත.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රටක් ගොඩනැඟීමට ගන්නා වූ තීන්දු තීරණ ජනතාවාදී විය යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මන්ත්‍රීවරයා මෙසේද පවසා ඇත.

"මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ. ඒ ගන්න තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පරිවර්තනය කිරීම තමා ආදරණීය අම්මේ, තාත්තේ පොදුජන පෙරමුණේ වගකීම. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරාට කමක් නෑ. එය සාධාරණ විය යුතුයි. එක්තරා කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නත් තවත් කණ්ඩායමකට එහෙම නොවෙන්නත් හේතු දක්වන්න ඕනේ. ඒ හේතුව පාර්ලිමේන්තුව නියෝජනය කරන අපිට කියලා වැඩක් නෑ. ඒක මේ රටට කියන්න. මොකද අපි රටක් විදියට තීරණාත්මක තීන්දු තීරණ ගන්න කාලසීමාවක්. අපි දැක්කා ඊයේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම ඊයේ දවල් වෙනකල් මේකට සහයෝගය දෙනවා කියලා අන්තිමට විරුද්ධ වුණා. මම දන්නේ නෑ ඇයි කියලා. හැමදාම වගේ අවසාන මොහොතේ විරුද්ධ වුණා. ඒක ඒ අයගේ දේශපාලන චරිතේ. අපිට වගකීමක් තියෙනවා මේ රට ස්ථාවර කරන්න. අපිට වගකීමක් තියෙනවා මේ රට ශක්තිමත් කරන්න."

  • මුලාශ්‍රය ada derana

මුදල් අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරි දින දෙක තුළ ප්‍රසිද්ධියට පත්කරන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ, හෙට (03) හෝ අනිද්දා (04) යන දෙදින තුළ අදාළ වැඩසටහන ජනතාව සඳහා එළිදැක්වීමට කටයුතු කරන බවය.

එමෙන්ම එම වැඩසටහන සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු පාර්ශවයන් වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (01) දිනය පුරා පැවැත්වු අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දි එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 62කි.

ඒ අනුව ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්දයෙන් සම්මත වු බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් ඊයේ දිනයේ ලිඛිතව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත දැනුම් දී තිබුණි.

අමෙරිකාවෙන් දෙන සරසවිය කොත්මලේ ඉදිකිරීමට සැලසුම් කෙරේ

දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් තෝරා ගෙන තිබේ.

මෙම ඉඩමට තවත් අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයක් එක්කර ගැනීමට ද නියමිත ය.

ඉඩම වෙන්කර ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් උදවු කිරීමට සූදානම් බවට ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

ඒ අනුව, මෙම ඉඩම පිළිබඳ සොයා බැලීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන ඇතුළු කණ්ඩායමක් පසුගිය දා කොත්මලේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිතරව තිබේ.

නේවාසිකාගාර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ඉදිරියේදී මෙහි ඉදිවීමට නියමිත බව විජයවර්ධන  පැවසීය.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙම විශ්වවිද්‍යාලය ඉදිකිරීමට අදාළව ව්‍යාපෘති වාර්තාවක් සකස් කළ බව ත්, ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත එය ඉදිරිපත් කරන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා සඳහන් කළේ ය.

අමෙරිකානු විශ්වවිද්‍යාලවල සහාය මෙම විශ්වවිද්‍යාලයට ලබා දෙන බවට තනාපති කාර්යාලය පොරොන්දු වූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ සමඟ එක්වන්න - ජනාධිපති

ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පමණක් නොව අනාගතයේදී වඩා තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කිරීමට ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.

මෙම වැඩපිළිවෙළ හරහා ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි පැවසූ ජනාධිපතිවරයා රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 29දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහා සභා රැස්වීම අමතමිනි.

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ලබන සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවට බංකොලොත් භාවයෙන් මිදීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, වෙනත් ජාතියක වේවා බංකොලොත් යැයි කියන්න කිසිවෙක් කැමති නැහැ. පුද්ගලයන් වශයෙන් ඔබ එයට අකමැති නම් ඔබට සාමුහිකව මෙම ලේබලය අලවා ගැනීමට අවශ්‍ය නොවන බව මම දන්නවා. ඒ නිසා මෙම බංකොලොත්භාවය යන ලේබලය ඉවත් කර ගැනීමට අප සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතුයි.

පසුගිය නොවැම්බර් මාසයේ දී අප “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ඉදිරිපත් කළා. දැන් එය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍යයි. එම සම්පත්වලින් අඩක් රාජ්‍ය අංශයෙන් ද අනෙක් කොටස පෞද්ගලික ආයෝජනවලින් ද සපුරා ගැනීම අපේ අපේක්ෂාවයි. එසේ නම් අප මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. අප මෙයින් ඉවත් වුවහොත් ලෝක බැංකුවෙන් අපට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක් අහිමි වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දෙවන සමාලෝචනය ද අසාර්ථක වේවි.

ඒ වගේම ප්‍රංශයේ පැරිස් නුවර පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. ණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. රටවල් ණය බරින් පීඩා විඳින විට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා.

මෙම සමුළුට අපට ආරාධනා කරනු ලැබුවේ මෙම ක්ෂේත්‍රය තුළ අප මෙතෙක් අත්කරගෙන තිබෙන සාර්ථකත්වය සහ ඒ සඳහා ලබාදී ඇති දායක්තවය නිසයි. එසේම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය සහ දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමේ ක්ෂේත්‍රයේ වඩා ක්‍රියාකරී භූමිකාවක් ඉටු කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවට වර්ධන න්‍යාය පත්‍රයක් තිබෙන අතර ඒ සඳහා අප ප්‍රථමයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි. මම ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කළා. එසේම මේ වන විට අප බැංකුකරුවන්, වාණිජ මණ්ඩල නියෝජිතයන් වගේම වෘත්තීය සමිති හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය ආර්ථික අභියෝගය හමුවේ අප සියලුදෙනා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. දැන් අප වර්ධන න්‍යාය පත්‍රයක් සමඟ ඉදිරියට යා යුතුයි. රටේ ආර්ථිකය පුළුල් කරන විට සාධාරණත්වය ද තිබිය යුතුයි. කිහිප දෙනෙකුට ධනවත් වීමට නොහැකි අතර අනෙක් අයට අඩු ආදායම්ලාභී හෝ මධ්‍ය අදායාම්ලාභීන් ලෙස සිටිය නොහැකියි. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ පසු, අපගේ සමාජ වගකීම කුමක්ද කියා සාකච්ඡා කරන ලෙස මම වාණිජ මණ්ඩල, වෘත්තිකයින්, වෘත්තීය සමිති, ගොවි ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. සියලුදෙනා මෙයට දායකකරගත යුතුයි. සියලුදෙනාට මෙහි ප්‍රතිලාභ ලැබිය යුතුයි.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන පිළිබඳ ඔබගේ සාමාජිකයන් දැනුවත් කරන ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් බිය වීමට කිසිදු දෙයක් නැති බවත් මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන කොටසක් බවත් ජනතාවට අවබෝධ කර දිය යුතුයි. රටේ මෙම තීරණාත්මක අවධිය පසුකර අප ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලංකාවට වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට පමණක් නොව, වඩා තරගකාරී ආර්ථිකයක් සඳහා යොමුවීමටත් මෙමගින් හැකියාව ලැබෙනවා.

තවද අග්නිදිග සහ නැගෙනහිර ආසියානු වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුළත් කරන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය වන RCEP හා සම්බන්ධවීමට ඉදිරි මාසයේ දී අප අයදුම්පතක් යොමු කරනවා. ඒ වගේම නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කිරීම පිළිබඳ අප ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. පසුව යුරෝපා සංගමය සමඟ අපේ වෙළෙඳ ගිවිසුම් පුළුල් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා. අපි තරගකාරි ආර්ථිකයක් බවට පත්විය යුතු අතර මේ එහි ආරම්භය බව කිවයුතුයි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සාමාජික සාමාජිකාවන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20230701 WA0019

තරුණ පොහොට්ටු අලුත් ගමනක් යන්න සූදානමක !

ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද දැනගන්නට තිබේ.

එම පිරිස පසු ගිය මාස කීපයේ වරින්වර රැස්වී එම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.

Lankadeepa 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉහළින්ම සම්මතයි !

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව අද (01) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 60කින් සංශෝධන සහිතව සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 62ක් පමණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය,දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යෝජනාව පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අතර ඊට අදාළ විවාදය පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පැවැත්විණ.

මේ අතර අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන් බවට චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධයක නිරතවීම හේතුවෙන් සභාවේ උණුසුම් තත්වයක්ද ඇති වූ නමුත් ඡන්ද විමසීම පැවැත්වීමට කතානායකවරයා කටයුතු කළේය.

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් වූ මුහුදේ, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 10ක් අභ්‍යන්තරයේ අද (01) භූ කම්පනයක් සිදු වී තිබේ.

එය රිච්ටර් මාපක ඒකක 5.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

එය කොළඹ සිට 1260ක දුරකින් එය සිදුව ඇත්තේ පස්වරු 12.59 ට පමණි.

මෙම කම්පන තත්ත්වය කළුතර, පානදුර, බම්බලපිටිය සහ කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට සුළු වශයෙන් දැනී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය පැවසුවේ එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් ගැන වාර්තා වී නොමැති බවයි.

දුම්වැටි මිලත් ඉහළට.........

අද (01) දිනයේ සිට ක්‍රියාත්මකවන පරිදි දුම්වැටියේ මිල ඉහළ දමා තිබේ.

සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසයි.

ඒ අනුව, කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු. 5/-, රු. 15/-, රු. 20/-, සහ රු. 25/ ක් ලෙස ඉහළ දමා තිබේ.

ඉන්ධන මිල සංශෝධනය වෙයි

ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 328 කි.

ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 346 ක් වෙයි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 02කින් පහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 308කි.

භූමිතෙල් ලීටරයක මිලක රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236 කි.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 3 දෙනෙකු සහ තානාපතිවරුන් 7 දෙනෙකු මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (ජූනි 30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාර දී තිබේ.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරුන් ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව සඳහා නව තානාපතිවරුන් මෙලෙස පත්ව ඇත.

අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ.

ආචාර්ය රොජර් ගෝපෝල් – ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජයේ මහ කොමසාරිස්

එලිජියො ඇල්බර්ටො සලස් ඩි ලියොන් – පැනමා ජනරජයේ තානාපති

ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් – බෙල්ජියම් රාජධානියේ තානාපති

මහාචාර්ය ජොයිස් කේ. කිකාෆුන්ඩා – උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්

දිමිත්‍රියස් ලොනව් – හෙලනික් ජනරජයේ තානාපති

ආචාර්ය බාසාම් අල්-කතිබ් – සිරියානු අරාබි ජනරජයේ තානාපති

ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් – පේරු ජනරජයේ තානාපති

ලී මියොන් මහත්මිය – කොරියානු ජනරජයේ තානාපති

ඉස්ට්වාන් සැබො – හංගේරියාවේ තානාපති

ලලාටියානා ඇකෝචේ – සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්

විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

විදුලි ගාස්තු පහළට

අද  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව,ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ.

ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65කින් ගාස්තු පහළ යන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා ත්, ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා ත් පහළ යනු ඇත.

මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරෙන අතර ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙනු ඇත.

මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 පහළ දැමීමට ද තීරණය කර තිබේ.

ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩු වීමක් ද, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින් ද (රුපියල් 30 සිට 10 දක්වා පහළට).

එමෙන් ම, ආගමික ස්ථාන සදහා කඩිනමින් සූර්ය බල පද්ධති ස්ථාපනය කරන ලෙස ද ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි පනවා ඇත.

හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්, කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්, වාණිජ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 5කින් ද, රජයේ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 1කින් අඩු පහළ දමන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසීය.

අසාධාරණයක් නොවෙන්න අස්වැසුම දෙන්න - ජනපති උපදෙස්

අස්වැසුම” සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන සඳහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අයදුම්පත්‍ර මිලියන 3.7ක් ලැබී ඇති අතර, සිදු කළ සමීක්ෂණයෙන් පසුව අයදුම්පත් මිලියන 3.3ක් තෝරාගෙන ඇත.

මේ අතරින් අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූවන් ලෙස අභියාචනා සහ විරෝධතා දැක්වීම්වලට යටත්ව මිලියන 02ක නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමෙන් අනතුරුව සුදුස්සන් තෝරා ගැනීම සිදු කරන ලදී.

අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ප්‍රතිලාභ ලැබිය යුතු නමුත්, මේ වන විට ප්‍රසිද්ධ කර ඇති ලේඛනයේ නම සඳහන් නොවූවන්ට අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ජූලි 10 වනදා දක්වා අවස්ථාව ලබා දී ඇත.

එසේම සමාජ සුබසාධක ප්‍රතිලාභ නොලැබිය යුතු පාර්ශ්වයන්ගේ විස්තර මේ වන විට ප්‍රසිද්ධ කර ඇති නාම ලේඛනයේ සඳහන් නම්, ඒ සම්බන්ධව නිර්නාමිකව හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත. එහිදී අභියාචනා ඉදිරිපත් කිරීම මෙන්ම විරෝධතා දැක්වීම ලිඛිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදීමට හැකියාව ඇත. ඒ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර තිබේ.

එසේම කිසිවෙකුට අසාධාරණයක් නොවන ලෙස සහ කිසිවෙකු අත් නොහැරෙන ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන අතර රජය විසින් නිකුත් කර ඇති නිර්නායක මත කටයුතු කරන ලෙස ද සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් නිකුත් කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මහජන ආධාර වැඩසටහන් වන වැඩිහිටි දීමනා ලබන 456,806ක්, වකුගඩු රෝගී දීමනා ලබන 19,496ක්, ආබාධිත දීමනා ලබන 46,857ක් ලෙස 523,159ක් සඳහා දීමනා ගෙවීමට අදාළ නාම ලේඛනය එළැඹෙන සතිය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූවන් සඳහා මෙන්ම මෙම වැඩසටහනට අලුතින් සම්බන්ධ වීමට අදහස් කරන අයට වාර්ෂිකව අවස්ථාව සලසා දෙනු ලැබේ.

කොමිෂන් සභා දෙකකට සාමාජිකයන් පත්කෙරේ !

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක සඳහන් ආකාරයට අදාල ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ තිබේ.

ඒ අනුව මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය  පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක  පත් කර තිබෙන අතර, එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන  සෙසු සාමාජිකයෝ වෙති.

ලක්ෂ 90 වක ශල්‍ය උපකරණ රෝහල් සිවිලිමේ !

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමේ සඟවා තිබියදී රුපියල් මිලියන 09ක් පමණ වටිනා ශල්‍ය උපකරණ තොගයක් හමුවී ඇත.

ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමට සෞඛ්‍ය අංශ බලධාරීන් කැඳවා තිබු අතර එහිදී මේ බව අනාවරණය කර සිටියේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට පැවසුවද එය ඉටුවී නොමැති බවද ඔහු සඳහන් කළ අතර එබැවින් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී එම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු හෙළිකර ගැනීමට කටයුතු කරන ලෙස ද දැනුම්දී තිබේ.

නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ වෙත භාර දුන්නේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයායි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බිහි වු පළමු ගුවන් හමුදාපතිවරයා ලෙසද සැලකේ.

වර්ෂ 1988 දී ශිෂ්‍යභටයෙකු ලෙස කොතලාවල ආරක්ෂක විද්‍යාලයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු අනුරාධපුර කඳවුරු අංක 01 පියාසර පුහුණුව ලබා ගනිමින් 33වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යභටයා ලෙස පත්වුණි.

අනතුරුව දේශීය මෙන්ම විදේශීය පුහුණුවද ලබා ගනිමින් පියාසර නිලධාරියෙකු ලෙස ඔහු විශිෂ්ට දස්කම් දක්වා තිබේ.

ගුවන් හමුදාපති ධුරයට පත්වීමට ප්‍රථම ඔහු අවසන් වරට ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළේය.

Page 186 of 474