V2025

පුවත්

2024 අයවැය නොවැම්බර් 13 දා

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ  එය සභාගත කිරීමට නියමිතයි.

විසර්ජන කෙටුම්පත තෙවැනි කියවීම සඳහා ජන්ද විමසීම දෙසැම්බර් 13 වනදා පැවැත්වෙන බවද සඳහන් වෙයි.

දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙන බව ද  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි.

 දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 21 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිත බවද සදහන් වෙයි.

මහින්ද නැති කළ ෆීල්ඩ් මාර්ෂල් තනතුර මෛත්‍රී දුන්න හැටි ෆොනී හෙළිකරයි !

තමන් ෆීල්ඩ් මාෂල් තනතුර ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ළඟ වැඳ වැටුණේ නැති බවත් තමන් 2015 ජනාධිපතිවරණ මෙහෙයුමේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීම සඳහා ජනරැලි සියයක  කතා කළ අතර මෛත්‍රීපාල සිරිසෙන සිදු කළේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් පමණක් බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ වැලිඔය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.

තමනට හා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සාධාරණය ඉටු කරන්නේ ඇයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 මැතිවරණ ප්‍රකාශයේ පොරොන්දු වී තිබූ බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

අධ්‍යාපනයට කරන්න යන රැඩිකල් වෙනසක් ගැන ජනාධිපති කියයි !

එඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන් රාජසිංහ රජතුමා ඉතිහාසයෙන් අමතක කර තිබෙන බවත්, සටන් දිනු අය පසෙකලා සටන් පැරදුණ අය වීරයන් කළ ඉතිහාසය පිළිබඳ යළි සිතා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවති “සීතාවක - සිසු ඇරුණලු” වැඩසටහනට එක්වෙමිනි.
මෙම සියලූ පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය මගින් ලබා දී තිබීම ද විශේෂත්වයකි.

පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම සංකේතවත් කරමින් සිසු දරු දැරියන් කිහිප දෙනෙකු වෙත පාසල් උපකරණ පිළිගැන්විම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවත් සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගරයක් ඉදිකිරීමට තමන් අදහස් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

සීතාවක රාජධානිය සහ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කරුණු ලියා එවන ලෙස මෙහිදී ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා එහි හොඳම නිර්මාණයට තිළිණයක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය .

පාසල් සිසුන් දොළොස් දහසකට පමණ පාසල් උපකරණ සහ නිල ඇඳුම් කට්ටල ලබාදීම අද සිදු කරනවා. මෙම ආධාර අගමැතිතුමා චීනයේ සිදු කළ සංචාරයේ ප්‍රතිඵලයක් බව කිවයුතුයි. හංවැල්ල අවිස්සාවේල්ල කියන්නේ බස්නාහිර පළාතේ දියුණු අධ්‍යාපන ක්‍රමයක් පවතින ප්‍රදේශයක්. ඒ සඳහා අගමැතිවරයා විශාල කැපවීමක් සිදු කරනවා.

පසුගිය වසරේ රට මුහුණ දී තිබූ ආර්ථික අභියෝගය නිසා අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන්කිරීමට ආණ්ඩුවක් හැටියට අප සැලසුම් කර තිබෙනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳව කතා කිරීමේ දී පාසල් අධ්‍යාපන ක්‍රමයත්, ටියුෂන් අධ්‍යාපන ක්‍රමයත් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී රජය වියදම් කරන මුදල වගේම මුදලක් දෙමාපියන්ට ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් වෙනවා. මේ පිළිබඳ සොයා බලා නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී අධ්‍යාපනඥයින්ගේ සහ සිසුන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කරනවා.

ඒ වගේම දරුවන්ට අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුය. වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කරමින් ශ්‍රී ලංකාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුත් පුරවැසියෙකු නිර්මාණය කිරිමට අපට හැකියාව තිබෙනවා.

ඕස්ට්‍රේලියාව වැනි රටවල් තමන්ගේ රටේ අනාගත පුරවැසියන් නිර්මාණය කරන්නේ රටේ දියුණුවට දායක වන ආකාරයටයි.

අද මෙතන රාජසිංහ රජතුමා ගැන කවි පෙළක් කියවුණා. රාජසිංහ රජතුමා එදා නොසිටියා නම් අද ශ්‍රී ලංකාව මොසැම්බික් රාජ්‍යයක් හෝ ඇංගෝලාවක් බවට පත්වෙලා. රාජසිංහ රජතුමා තමයි දකුණු ආසියාවේම පෘතුගීසින් පරාජයට පත් කළ එකම රජතුමා.

එසේ නම් සීතාවක රාජධානිය නිසා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වුණා. ඉදිරි පරම්පරාවටත් එම දැනුම ලබා දීමට සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ඉදි කිරීමට මම අදහස් කර තිබෙනවා.

සීතාවක රාජධානිය පිළිබඳ ජනප්‍රවාදයේ බොහෝ කතා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මුල්ලේරියාව සටන පැවති ස්ථානයේ සහ දන්තුරේ සටන පැවති ස්ථානයේ ස්මාරක ඉදිකිරීමට ද මම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උපදෙස් දී තිබෙනවා. මේ පිළිබඳව පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

අප මෙම ඉතිහාසය අමතක නොකළ යුතුයි. ඒ වගේම මෙරට ශ්‍රේෂ්ඨ රජවරුන් රට වෙනුවෙන් ඉටුකළ සේවය අමතක නොකළ යුතුයි. රාජසිංහ රජතුමාගෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් නිසා රාජසිංහ රජතුමාව නොසළකා හැර තිබෙනවා.අප මෙම ඉතිහාසය ගැන සිතන්නේ නැහැ. සටන් පැරදුන අය වීරයෝ කරනවා. සටන් දිනූ අය පසෙකට දමනවා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි කියා මම සිතනවා.

විශේෂයෙන්ම සීතාවක පුරාවිද්‍යා වටිනාකම් පිළිබිඹු කිරීමේ වැඩකටයුතු ආරම්භ කරන ලෙස මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. මොකද තව වසර කිහිපයක් යන විට මෙය නගරයක් බවට පත් වෙනවා. කෝට්ටේ නගරයට වූ දේ සීතාවකටත් සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඊට පෙර අප මෙම වැඩකටයුතු ආරම්භ කළයුතුයි.

අනාගතය ගොඩනඟන අතරම අතීතය පිළිබඳව ද අප අවබෝධයක් ලබාගත යුතුයි. මේ සීතාවක සියලු පාසල්වල දරුවන්ට මම ආරාධනා කරනවා සීතාවක රාජධානිය සහ සිතාවක ඉතිහාසය පිළිබඳ කරුණු ලියා අපට එවන ලෙස. ඒ අතරින් හොඳම නිර්මාණය යොමුකළ පාසලට තිළිණයක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට ඇප

තරග පාවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට අද (සැප්. 25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර ඇත.

ඊට අමතරව සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බැවින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇතැයි සඳහන් ය.

ජනාධිපතිගේ ඇමරිකානු සංචාරය ඉතා ඵලදායි - රුවන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන  පැවසීය.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී අවස්ථාව ලැබුණු බව ද රුවන් විජයවර්ධන පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන  මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන  මෙසේද පැවසීය.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ තේමාව වූයේ ‘දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධන ඉලක්ක’ යන්නයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සඳහා සහභාගි වීමෙන් අනතුරුව සැසිවාරයට එක්ව සිටී රාජ්‍ය නායකයන් රැසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. සාර්ථකව පැවති එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙහිදී ලෝක බැංකු සභාපති අජය බංගා මහතා සමඟ පැවති හමුවේ දී වත්මන් රජය ගෙන යන ආර්ථික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කෙරුණා. එසේම දේශගුණික විපර්යාස අවම කර ගැනිමේ වැඩසටහන්වල මෙන්ම රජයේ සංවර්ධන වැඩසටහන්වලටත් ඉදිරියේදී ආධාර ලබාදෙන බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ වසර අවසන් වීමට පෙර එතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට එකඟ වූ අතර ඒ තුළින් මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමි වෙනවා. ඒ වගේම මෙරට සංවර්ධන වැඩසටහන්වලටත් ආධාර උපකාර ලබා දෙන බව එතුමා ප්‍රකාශ කළා.

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු - පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. දූපත් රාජ්‍යවල අනන්‍යතාව ආරක්ෂා කිරීමට කලාපීය රටවල් එකතු විය යුතු බව ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙම සංචාරය පිටිවහලක් වූ බව කිවයුතුයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී මෙන්ම තිරසර සංවර්ධනය ඉලක්ක කරා ගමන් කිරීමේ දී දියුණු රටවල දායකත්වයේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.

ලෝක උද්ධමනය, ආහාර, බලශක්ති අනාරක්ෂිතභාවය සම්බන්ධයෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කරුණු පැහැදිලි කළා. 2030 වන විට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. ඒ වගේම වන ඝනත්වය 32%ක් දක්වා ඉහළ නංවා ගැනීමටත්, හරිතාගාර වායු විමෝචනය 14.5%කින් අඩු කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. 2050 වසර වන විට ශුන්‍ය විමෝචනයට ළඟා වීමටත් සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් හමුවේ පැහැදිලි කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය රටට ඉතා වැදගත් සංචාරයක් බව කිවයුතුයි. ඒ වගේම එතුමා රාජ්‍ය නායකයන් ඇතුළු සෙසු නියෝජිතයන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා ඉතා ඵලාදායී සාකච්ඡා බවට පත් වුණා.

දයාසිරිට එන්න පුළුවන් හැබැයි තනතුරු බෑ : මෛත්‍රී ප්‍රසිද්ධියේ කියයි !

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාව ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය හෝ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

"දයාසිරි කැමතිනම් ප්‍රශ්නයක් නෑ. එයාට ඕනම වෙලාවක එන්න පුළුවන්" යැයිද ඔහු එහිදී පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් මෙන්ම අනු සංවිධාන නියෝජිතයන් සමග කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවති සාකච්ඡාවකදීය.

දයාසිරි ජයසේකර පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට දීර්ඝව කරුණු පැහැදිලි කළේය.

ලබන වසර මැතිවරණ වර්ෂයක් බවත් මැතිවරණයක් හෝ දෙකක් පැමිණිය හැකි හෙයින් කල් තියා ඒවාට සූදානම් වන්නැයි ඉල්ලා සිටින බවත් පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක සහ ශාන් විජයලාල් ද සිල්වා ද සහභාගිවූහ.

හිටපු පොලිස් ලොක්කෙක් : අවුරුදු 5කට ඇතුලේ !

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ට රත්නපුර මහාධිකරණය විසින් වසර 5ක සිර දඬුවම් නියම කර ඇත.

රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් මෙම දඬුවම ලබාදෙමින් රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකරුට වැඩිදුරටත් නියෝග කර ඇත.

2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කහවත්ත පොලීසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රී ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

කාන්තා ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කමක් අබියස !

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.

ඒ චීනයේ හැන්ග්ෂුහිදී අද (24) පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථාන කණ්ඩායම පරදා කඩුලු 06ක ජයක් හිමිකරගැනීමට ඔවුන් සමත්වීමත් සමගය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 75ක් පමණය.

පන්දු යැවීමේ දී උදේෂිකා ප්‍රබෝධිනී කඩුලු 3ක් සහ කවීෂා දිල්හාරි කඩුලු 2ක් බිඳහෙළීය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 76ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණි.

ඒ අනුව හෙට (25) පැවැත්වෙන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව, ඉන්දීය කාන්තා කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

ජනාධිපතිගේ ඊළඟ සංචාරය ජර්මනියට !

සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යාමට නියමිත ය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයා එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමටද නියමිත බවත් වාර්තා වෙයි.

බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියකි.

ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ගැසට් කළ පනත් කෙටුම්පත් දෙකකට නීතිඥ සංගමයේ විරෝධය !

මේ වන විට ගැසට් හරහා ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට දැනුම් දීමට තීරණය කර තිබේ.

අදාළ පනත් දෙක, මානව නිදහසට හා ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආදිපත්‍යයට දැඩි සේ බලපාන බව ද එම සංගමය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ක්ෂේත්‍රයට අදාළ පාර්ශවයන්ගේ කිසිඳු අදහස් විමසීමකින් තොරව, මෙම පනත් කෙට්මුපත් කර ඇති බවත් මෙලෙස සමාජයට බලෑම් එල්ල කළහැකි පනත් හදුන්වාදීමට පෙර අදාළ පාර්ශව සමග හරවත් සංවාදයක් ඇති කරගැනීම වැදගත් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවත් රජය පවසන්නේ මෙකී පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහ පාර්ලිමේන්තුවේදී අධීක්ෂණයට ලක්වෙන බැවින් ව්‍යවස්ථා විරෝධී ලෙස සම්මත කිරීමේ කිසිම සූදානමක් නැති බවය.

ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ගැන ජූලි චංග් ගෙන් අවවාදාත්මක ප්‍රකාශයක් !

ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් ප්‍රකාශ කරයි.

සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදු විය හැකි බව ඇය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය මේ බව අවධාරණය කර සිටියේ ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ ඊයේ (22) පැවති උත්සවයකට සහභාගී වෙමිනි .

මෙම උත්සවය අධිකරණ අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබිණ.

ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම පිළිබඳව මෙන්ම නව්‍යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්‍රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් ජූලී චන්ග් එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

එක්ස්ප්‍රස් පර්ල් හානියට අදාළ අතුරු දීමනාව භාණ්ඩාගාරයට

එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරට අදාළ අතුරු ගෙවීම් මෙරටට ලැබී ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ යටතේ ඩොලර් 878,650යි සත 53ක් මහා භාණ්ඩාගාර ගිණුමට තැන්පත් කර ඇති බවයි.

ඉතිරි රුපියල් මිලියන 16 ඉදිරියේදී ලැබීමට නියමිතයි.

එම මුදල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වියදම් වෙනුවෙන් ලැබී තිබේ.

නෞකා සමාගමේ රක්ෂණ සමාගම සමග පසුගියදා ඇති කරගත් එකඟතාවකට අනුව එම අතුරු ගෙවීම් හිමිවිය.

මේ අතර ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන්ද වන්දි මුදලක් ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන්ද අදාළ රක්ෂණ සමාගම සලකා බලමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනපති යළි දිවයිනට

කියුබාවේ සහ අමෙරිකාවේ නිල සංචාරය නිමකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ තිබේ.

අද උදෑසන 08.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

ජනාධිපතිවරයා සැප්තැම්බර් මස 15 සහ 16 යන දෙදින කියුබාවේ හවානා නුවර පැවති ජී- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ අතර අනතුරුව අමෙරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වුණි.

ජනාධිපති රනිල් ආව ගමන් අත්සන් කරන ගිවිසුම මෙන්න !

IMF සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිත අතර එහි දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙන්නේ මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව බව වාර්තා වෙයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා මේ දිනවල කොළඹදී පැවැත්වෙන අතර එහි ජනාධිපති නියෝජිත ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙම සාකච්ඡා වලට සහභාගී වෙයි.

මෙම සාකච්ඡා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වයන් ගැන සතුට පළ කර ඇති නමුත් යම් යම් ක්ෂේත්‍ර වල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි .

විශේෂයෙන් රාජ්‍ය ආදයම් ඉහල නැංවීමේ ඉලක්කය එලෙසින්ම සම්පූර්ණ කරගෙන නොමැති බව අයි.එම්.එෆ් නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.

මෙහිදි සාගල රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙල ගැන සම්පූර්ණ වගකීම රජය විසින් ක්‍රියාත්මක කරන බවත් ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය.

එසේම දෙපාර්ශවය හොඳ අවබෝධයකින් මෙම කටයුතු කරගෙන යා යුතු බව ද රත්නායක මහතා පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි .

රටට සපුරා ගැනීම සඳහා ඉලක්ක දෙන විට ප්‍රායෝගික විය යුතු බව පෙන්වා දී ඇති සාගල රත්නායක මහතා බදු අය කරද්දී ප්‍රායෝගික විය යුතු බවද පෙන්වා දී ඇත.

ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ මත්පැන් මත බදු වැඩි කරද්දී අලෙවිය අඩුවී නීති විරෝධි මත්පැන් වෙත ජනතාව යොමුවී ඇති බවත් එසේම ආදායම් අඩුවීමට ආනයන සීමාව හේතුවක් බව ද රත්නායක මහතා කියා තිබේ.

ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව පෙන්වා දී ඇති සාගල රත්නායක මහතා රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ.

මෙහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවයි.

සුපිරී වෙළඳ සැලේ සුපිරී ප්‍රහාරය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !

හංවැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකදී ඊයෙ (22) තරුණියක අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය පිළිබඳව අද (22) අසේල සම්පත් ප්‍රමුඛ සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත .

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල සම්පත් පවසන්නේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳව වහාම ආරම්භ කළ යුතු බවයි .

එසේම සමාජ මාධ්‍යයක ඇතැම් දේවල් පළ කර වහාම අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලංකා පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ ක්‍රියාත්මක නොවීම පිළිබඳ දැඩි සැකයක් මතුවන බවත් ඔහු පවසයි .

මන්ද සුපිරි වෙළෙඳ සැල තුළ දී තරුණියකට අමානුෂිකව පහර දීමේ සිද්ධිය සමාජ මාධ්‍යවල පළ වී පැය 24කට ආසන්න කාලයක් ගතවී තිබුණද කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ ඕනෑම නීති කඩකිරීමක් පිළිබඳ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් නිකුත්කර ඇති බවය. පොලිසියේ රාජකාරි සඳහා ඇඟිලි ගැසීම අමාත්‍යංශය කිසිවිටෙකත් සිදුනොකරන නමුත් යුක්තිය ඉටුනොවීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ඒ වෙනුවෙන් වන විකල්ප ක්‍රියාමාර්ග ද හඳුන්වා දී ඇති බවත් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

මේ අතර කාගීල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළඳසැල් ජාලය සිදුවීම සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල සිද්ධිය පිළිබඳ කනගාටුව පළ කරන බවත් එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් ය.

නඩු ඉල්ලා අස්කරගෙන අල්ලස වාර්තා තියලා !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය වසරේ පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

කෙසේ වෙතත් මින් යළි නඩු පවරා ඇත්තේ විස්සක් පමණක් බවද එම කාර්යාලය සඳහන් කරයි.

ජාතික විගණන කාර්‍යාලය නිකුත්කළ වාර්තාවක මේ බව සඳහන් අතර අල්ලස් කොමිසම පැවරූ නඩු 18 ක චූදිතයන් 2021 වර්ෂයේදී නිවැරැදිකරුවන්වී තිබූ බවත් වැරදිකරුවන්වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණක් බවත් දැක්වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2021 වර්ෂයේදී නඩු 69 ක් අවසන් කර තිබූ නමුත් ඉන් නඩු හතළිහක් පසුව ඉල්ලා අස් කරගෙන තිබිණැයි කියන විගණන කාර්යාලය එය මුළු නඩු සංඛ්‍යාවෙන් සියයට පනස් අටක ප්‍රතිශතයක් බවද ප්‍රකාශ කළේය.

මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් පැවතුණු බවත් ඉන් ලිපිගොනු 489 ක් වසර පහකට වැඩි කාලයකට අයත්වූ ඒවා බවත් වාර්තාවේ දැක්වේ.

අවසන් නොකළ ලිපිගොනු926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31 දින තෙක්ම පැවතුණු නමුත් ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බවද විගණන කාර්‍යාලය පවසයි .

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කර අවුරුදු 3 1/2ක් පමණ ගත වී ඇතත් එහි සඳහන් කාර්යයන් 27 න් ක්‍රියාත්මක කර ඇත්තේ කාර්යයන් 11 පමණක් බවද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත .

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 36ක්ද තෘතීක මට්ටමේ පුරප්පාඩු 203ක්ද ද්විතීක මට්ටමේ පුරප්පාඩු එකසිය පනස් අටක්ද ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු පනස් හයක්ද විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15 ක්ද පසුගිය වසරේදී පැවති බව විගණන කාර්යාලය සඳහන් කර සිටියි.

වාහන හැර සෙසු ආනයන සීමා ලබන මාසයේ ඉවතට !

වාහන හැර අනෙකුත් සියලු ම භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ඒ තුළ මිල ස්ථාවරත්වයට විශාල පිටුවහලක් ලැබෙනු ඇති බව ය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

දැනට එච්.එස්. කේත 600කට අදාළ භාණ්ඩ සඳහා ආනයනය සීමා පවත්වා ගෙන යන බව ත් ඒ අතරින් වාහන සඳහා අදාළ වන එච්.එස්. කේත 270කට ආසන්න ගණන හැර අනෙකුත් සියලු ම ආනයනය සීමා නිදහස් කිරීමේ හැකියාව ඇති බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නීපා හඳුනාගන්නා පරීක්ෂණ කට්ටල දින කිහිපයක් තුළ ලංකාවට !

ඉන්දියාව ඇතුලු රටවල් කිහිපයකින් වාර්තාවී ඇති 'නිපා' නමින් හැඳින්වෙන වෛරසය හඳුනා ගැනීමේ විශේෂිත පරික්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඕනෑම අවදානම් තත්ත්වයකට මුහුණදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය සහිත නිපා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය විශේෂිත පරීක්ෂණ කට්ටල ඇණවුම් කර ඇති අතර ඒවා දින කිහිපයකින් මෙරටට ලැබීමට නියමිත බව සඳහන් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ අදාළ වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛරස් විද්‍යා විශේෂඥ වෛද්‍ය ජානකි අබේනායක සඳහන් කළේ නිපා වෛරසය ආසාදිත රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් හෝ එන්නතක් ගෝලීයව මෙතෙක් නිෂ්පාදනයවී නොමැති බවය.

කෙසේවෙතත් නිපා වෛරසය පැතිරීම ඉතා අඩුවේගයක් පෙන්නුම් කරන බැවින් එය රටවල් අතර පැතිරීමේ අවදානමක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේය.

Page 154 of 464