V2025

පුවත්

තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

වැඩතහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එරෙහි චෝදනා විමර්ශනය සිදුකිරීම සඳහා වන ත්‍රිපුද්ගල කමිටුව පත්කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල, පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරු නම්කර තිබේ.

ඒ අනුව එම කමිටුව අද (23) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදුකර ඇත.

මෙම කමිටුව එළැඹෙන 25වනදා නැවත රැස්වීමට නියමිතව තිබේ.

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේල අඛණ්ඩව ඉදිරියටත්

මෙරට දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට, ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමන්ත කුමානායක  සඳහන් කරයි.

ලේකම්වරයා මේ බව සඳහන් කළේ, අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයි.

ලෝක ආහාර වැඩසටහනේ ආධාරමත ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන් රක්තහීනතාව අඩු කිරීමටයි.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු,රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් පිරිසක් එකව සිටියහ.

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (22) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ, බන්ධනාගාරයේ සිටි රැඳවියන් තිදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට යාමේදී මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා ඇත.

ඒ අනුව හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

වාර්තාවන පරිදි බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.

වෙඩි වැදීමකින් ඩෑන් ප්‍රියසාද් මරුට...

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරයි.

කොරියාවෙන් අමුත්තෙක් කොළඹ වරායට.....

කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන ‘Kang Gam Chan’ නෞකාව නිල සංචාරයක නිරත වෙමින් අද (අප්‍රේල් 22) දින කොළඹ වරායට සේන්දු විය.

අද උදෑසන එම නෞකාවේ පැවති මෙම උත්සවයට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි අතිගරු මියන් ලී මැතිනිය ද සහභාගී විය.

නියෝජ්‍ය අමාත්‍යවරයා නෞකාවේ කපිතාන්වරයා සහ කොරියානු තානාපතිවරිය සමඟ නෞකාව නැරඹීමට එක් වූ අතර, අනතුරුව පැවති සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම නෞකා සංචාරය දෙරට අතර දීර්ඝ කාලීනව පවත්නා හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් ලෙස සටහන් වන බවත්, එය නාවික සහයෝගීතාවයේ ශක්තිය පමණක් නොව සමුද්‍රීය ආරක්‍ෂාව සහ කලාපීය ස්ථාවරත්වය සඳහා දෙරටේ පොදු දැක්ම ද පිළිබිඹු කරන බවත්, සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය සඳහා කොරියාවේ දායකත්වය ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය කුසලතා සහ භාෂා ප්‍රවීණතාවයන් වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ජනරජය විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඔහු මෙම අවස්ථාවේ අගය කළේය.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන දිගුකාලීන සබඳතා අගය කරන බවත්, සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්, කොරියානු තානාපතිනිය පැවසීය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ කොරියානු තානාපති කාර්යාල නිලධාරීන් ද, සහභාගී වූහ.

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ලබන 26 වැනිදා සිදුකිරීමට තීරණය කළ බව වතිකානය නිවේදනය කර තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය ශාන්ත පීතර බැසිලිකාව ඉදිරිපිට එළිමහනේ සිදු කෙරේ.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ මහතා දේව මෙහෙය මෙහෙයවනු ඇත.

සාමාන්‍යයෙන් පාප් වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදුකෙරුණත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පළකළ අභිමතය පරිදි උන් වහන්ගේ අවමංගල කටයුතු වඩාත් සරලව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ආහාර සුරක්ෂිතතා කමිටුව 06වන වරටත් රැස්වේ

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) රැස් විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන ෙද අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පාප්වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දමයි

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබේ.

පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ අද රාත්‍රියේදී නිවා දැමීමට තීරණය කළ බවය.

මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ආර්ජන්ටිනාවේ දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලතින් අමෙරිකාවෙන් පැමිණි පළමු පාප් වහන්සේ ලෙසද සැලකේ.

එමෙන්ම බ්‍රසීලය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඔස්ට්‍රියාවේ එරට දේශීය වේලාවෙන් පස්වරු 5.00ට රට පුරා දේවස්ථානවල සීනු නාද කර ඇති අතර එම දේවස්ථාන සියල්ලගේම කළු කොඩි ද ඔසවා තිබේ.

තවද ස්පාඥඤයේ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රංශයේ පැරිසියේ නොට්‍රේ ඩෙම් ආසන දෙව් මැදුරේ සීනු අද දින 88 වතාවක් නාද වී තිබේ.

හිටපු ජනපති රනිල්, අල්ලස් කොමිසමෙන් කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ලබන 25 වැනිදා පෙනී සිටින්නැයි නැවත දැනුම්දීමක් කර තිබේ.

ඒ, දූෂණ විරෝධී පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

පසුගිය 17 වැනිදා අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයාට පෙනී සිටින ලෙස දැනුම්දීමක් කළද එම දිනයේ රනිල් වික්‍රමසිංහ  කොළඹ නොමැති බව දන්වමින් කොමිසම හමුවට පැමිණියේ නැත.

එදින නොපැමිණිමට ඉදිරිපත් කර ඇති හේතුව සාධාරණ දැයි පරීක්ෂණයට යටත්ව නව දිනය ලබා දුන් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශ කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ  අද ප්‍රකාශ කළේ සිය නීතිඥවරයා විදේශගතව සිටින බැවින් ඔහු ආපසු පැමිණීමෙන් පසුව දිනයක් ලබා ගන්නා බවයි.

දේශබන්දුට යළි නොතීසි

මේ වන විට වැඩ තහනමට ලක් වී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව යළිත් වරක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමට නියෝග කර තිබෙයි.

ඒ අනුව ඔහුට 25වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා අද (21) නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් අධිකරණ නියෝග නොතකමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාහනයකින් පිටව යාම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කරුණු දැක්වීමට නියමිත බැවින් දේශබන්දු තෙන්නකෝන් හට අධිකරණයේ පෙනි සිටින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අද ඉල්ලීම් කර තිබෙන බව වාර්තා වෙයි.

හිටපු ජනපතිගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

ඒ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව සිදුවන විමර්ශන සඳහා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමක් අනුවයි.

එම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 07 වැනිදා ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි‍යේ ය.

ඒ අනුව පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගියේය.

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙයි.

ඒ ඔවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝග ලබා දී ඇත.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළවයි මෙම පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙයි'

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

88 හැවිරිදි පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන් වහන්සේගේ නිවසේදීය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන් වහන්සේ එක්වුණි.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප් වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

පාස්කු සඳුදා පෙ.ව. 9:45 ට, අපෝස්තලික මණ්ඩලයේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල්, කාසා සැන්ටා මාර්ටා හිදී මේ බව නිවේදනය කළේය.

“ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පියතුමාගේ අභාවය පිළිබඳව මම දැඩි ශෝකයෙන් ප්‍රකාශ කළ යුතුයි.

අද උදෑසන 7:35 ට රෝමයේ රදගුරු ෆ්‍රැන්සිස් පියතුමාගේ නිවසට ආපසු ගියේය. ඔහුගේ මුළු ජීවිතයම ස්වාමින් වහන්සේට සහ උන්වහන්සේගේ පල්ලියට සේවය කිරීම සඳහා කැප කරන ලදී. ශුභාරංචියේ වටිනාකම් විශ්වාසවන්තව, ධෛර්යයෙන් සහ විශ්වීය ප්‍රේමයෙන්, විශේෂයෙන් දුප්පත්ම සහ වඩාත්ම ආන්තික වූවන්ට පක්ෂව ජීවත් වීමට ඔහු අපට ඉගැන්වීය. ජේසුස් ස්වාමීන් වහන්සේගේ සැබෑ ගෝලයෙකු ලෙස ඔහුගේ ආදර්ශයට ඉමහත් කෘතඥතාවයෙන් යුතුව, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආත්මය ඒකීය හා ත්‍රිත්ව දෙවියන් වහන්සේගේ අසීමිත දයානුකම්පිත ප්‍රේමයට අපි භාර දෙමු.

පාසල් අතර විෂමතාවය අවසන් කරනවා – අගමැති

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විෂමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඇය එසේ පැවසීය .

කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව අගමැතිනිය ප්‍රකාශ කළාය.

එමෙන්ම පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය .

මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

හෙටත් උෂ්ණත්වය ඉහළට : ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.......

හෙට (21) දිනයේ මධ්‍යම පළාතේ සහ කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු සියළුම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර හා මොණරාගල යන දිස්‍ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45 ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි.

මෙම තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම ආදිය සිදුකළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී සිටියි.

තවද, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුයි.

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් පළඳින ලෙසත් අධික වෙහෙසෙකර කටයුතු සීමා කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 011-7446491 යන දුරකථන අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව CIDයට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

වැඩිදුර පරීක්ෂණ සඳහා එලෙස අදාළ වාර්තාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ය.

2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර, නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ, 2019 වසරේ සැප්තැම්බර් 22 වැනිදායි.

ඒ, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කොමිසමට සාමාජිකයින් හය දෙනෙකු ඇතුළත්විය.

එහි අවසන් වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දුන්නේ, 2021 වසරේ පෙබරවාරී පළමු වැනිදායි.

එහෙත්, එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් කෙරුණේ නැත.

ඒ අනුව ඉදිරියේදී අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව ද, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ය.

මෙරට ප්‍රධාන පෙළේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී හෙටට (21) වසර 6 කි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම, ශැන්ග්‍රිලා, කින්ස්බරි හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට එලෙස බෝම්බ ප්‍රහාර එල්ල විය.

මරාගෙන මැරෙන තවත් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවුයේ දෙමටගොඩ සහ දෙහිවලදීයී.

ඉන්, අහිමි වූ ජීවිත සංඛ්‍යාව, 272 කි.

තවත් 500 කට ආසන්න පිරිසකට එහිදී තුවාල සිදුවිය.

ජනාධිපති අනුරගෙන් සහතිකයක්

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරුණා බවත් ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

එසේම, මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කර හෙට (21) උදෑසන 8.45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්නැයි ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දී සිටියි.

මහනුවරට එන සැදැහවතුන්ට සහන රැසක්......

මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන පුළුල් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත  පවසයි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඔහු  සඳහන් කළේය.

දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කරන කළේ සැදැහැවතුන්ට සහන සැලසීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

ඒ අනුව නගරයට පැමිණෙන සියලු සැදැහැවතුන්ට ආහාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගන්නා බවත් ඔහු පැවසීය.

සහල්, පොල් ඇතුලුව ලබා ගන්නා වියළි සලාක ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සකස් කොට දන්සැල් ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මේ වන විට විශාල ජනකායක් දළදා වන්දනාව සඳහා මහනුවරට ඇදී එමින් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා, ඔවුන්ට පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් කුසගින්නේ නොතැබීම තමන් හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතු වගකීමක් වන බව ද සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අමතර පහසුකම් හිමිවන බවත් දානපතියන් ඇතුලු විවිධ පාර්ශව උපකාර කිරීමට ඉදිරිපත්වී සිටින බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත තවදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජංගම වැසිකිළි පද්ධති කිහිපයක් ස්ථාපිත කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ලලිත් ඇටම්පාවල සහ නිලූකා බුලත්ගේ, මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ, මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් මේනක හේරත් මහතා ඇතලුව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් හෙළිකිරීමට තවත් කාලයක් ගතවෙනවා - ජනපති

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල මහ මොළකරුවන් අප්‍රේල් 21 වන දා විට හෙළිදරව් කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මින් පෙර ප්‍රකාශ කළ ද ඒ සඳහා තවත් කාලයක් ගත වන බව බදුල්ලේ දී ඊයේ (19 ) පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින් ඔහු පවසා තිබේ.

 රටම බලා ඉන්නා ඉතා වැදගත් පරීක්‍ෂණයක විමර්ශන දියත් වෙමින් ඇති නමුත් එහි ඉදිරි පියවර ඉතාම සූක්ෂම සහ ප්‍රවේශම් සහගතව සිදුකළ යුතුව ඇති බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.

එනිසා සමහර තොරතුරු ජනතාවට දැම්ම දැන ගැනීමට නොහැකි වනු ඇති බවත් විමර්ශන ඉතා හොඳින් සිදුකරමින් යන බවත් ජනාධිපතිවරයා කීය.

එහි දී තව දුරටත් අදහස් පළ කළ ජනාධිපති වරයා මෙසේ ද පැවසිය.

”ඉතාමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා. හැබැයි විමර්ශනයේ ඉදිරි පියවර ඉතාමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතුව තිබෙනවා. ඒ නිසා සමහර ඒවා ඕගොල්ලන්ට දැම්ම දැනගන්න ලැබෙන්නේ නැති වේවි. විමර්ශන අපි ඉතා හොඳින් කරමින් යනවා. මට ඒ සහතිකේ දෙන්න පුළුවන්. කට ඇරපු නැති අය කට අරින්න පටන් අරගෙන තිබෙනවා. සාක්ෂි දෙන්න බයේ හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. සම්බන්ධ නෑ කියපු අය සම්බන්ධතා එළිදරව් වෙමින් තිබෙනවා. එනිසා විමර්ශන යහපත් අතට ක්‍රියාත්මක වී තිබෙනවා.

අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට එහි සාධාරණය ඉටු කරන්න කටයුතු කරන බව සහතික කරනවා. ටිකක් ප්‍රමාද වෙයි. අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගන්න අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරුවකු බවට පත් කිරීම සදහා හොද සාක්‍ෂි සටහන් තියෙන්න ඕන. එනිසා යම් කාලයක් ගන්නවා හැබැයි කොයි කාලෙ ගියත් සාධාරනේ ඉටු කරන්න අපේ ආණ්ඩුව බැදිලා ඉන්න බව තමුන්නාන්සෙලට සහතික කරනවා”

Page 15 of 474