නේපාලය වෙත ශ්‍රීලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

නේපාලය වෙත ශ්‍රීලංකන් ගුවන් ගමන් තාවකාලිකව නවතී

නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

නේපාලය තුළ මේ වනවිට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

ඊයේ (09) රාත්‍රී 10 සිට ක්‍රියාත්මක වන පරිදි නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව එරට හමුදාව පැවසීය.

අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බව ද නේපාල හමුදාව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.

සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව නේපාලයේ විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා ඊයේ විනාශ කර තිබුණි.

පුද්ගලයින් රැසකට මරු කැඳවූ නේපාල විරෝධතාවලින් අනතුරුව එරට අගමැති KP ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ පනවා ඇති ඇඳිරිනීතිය නොතකා සිදුකරන විරෝධතා අතරතුර අගමැති ඕලිගේ නිවස, ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා වනසා ඇති පසුබිමකය.

ඉන් අනතුරුව නේපාල පාර්ලිමේන්තු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස් එහි ගොඩනැලිවලට ගිනිතබා තිබුණු අතර, නේපාල ශ්‍රේෂ්ඨාධිකරණය ද විරෝධතාකරුවන් විසින් විනාශ කර තිබුණි.

එමෙන්ම නේපාල රජයේ ඇමතිවරුන්ගේ කාර්යාල පිහිටි සින්ග දර්බාර් ගොඩනැගිල්ලද ගිනි තබා ඇත.

එමෙන්ම එරට හිටපු අගමැතිවරයෙක් වන ෂේර් බහදූර් දෙව්බා සහ ඔහුගේ බිරිද වන එරට වත්මන් විදෙස් කටයුතු ඇමතිනිය විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ බවට දැක්වෙන දසුන් පෙලක් ද මෙලෙස සමාජ මාධ්‍ය වාර්තා කළේය.

පවතින තත්ත්වය හමුවේ නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල් ද ඉල්ලා අස්වුණි.

මීට සමගාමීව එරට ගුවන්තොටුපොළ ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ, සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.

මේ අතර නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට එළිමහනේ නොගොස් ගෘහස්ථව සිටිමින් ආරක්ෂාව සලසා ගන්නා ලෙස විදේශ අමාත්‍යාංශය දැනුම් දීමක් කරයි.

එමෙන්ම නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් පැය 24 පුරා සම්බන්ධ කරගැනීම සඳහා එමගින් දුරකථන අංකයක්ද ලබාදී තිබේ.

එම දුරකථන අංකය වන්නේ 00977 - 9851048653

 

Ada derana.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න