පුවත්

ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට
වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව පැවසූහ.
ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කර ඇත.
මේ අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව ද සද්ධාතිස්ස හිමියන් පැවසා ඇත.
"උන්වහන්සේ ඇත්තටම අපිට වැරදි නෑ. නමුත් අපි දන්නේ නෑ සමාජයට කොහොමද කියලා. අපි නීතියට ගරු කරන නිසා නීතියෙන් දෙන ඕනෑම දෙයක් අපි භාරගන්නවා."

HIV ආසාදිතයන් 14%කින් ඉහළට
2023 වර්ෂයට සාපේක්ෂව මේ වසර තුළ මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීම 14%කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසයි.
ඊයේ (මාර්තු 28) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළා ය.
ඇය සඳහන් කළේ, HIV ආසාදනය යනු පහසුවෙන් වළක්වාගත හැකි රෝගයක් බව ත් මෙම වයිරසය යම් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළත් වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා වසර 8 ත් 10ත් අතර කාලයක් ගත වන බව ත් ය.
ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස් මෙම රෝගයට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ඇය තවදුරට ත් සඳහන් කළා ය.
ඇය සඳහන් කළේ, මෙම රෝගය ආසාදනය වන්නේ, HIV ආසාදිතයෙකු සමග අනාරක්ෂිත ලිංගික ආශ්‍රයක් පැවැත්වීම තුළින් බව ත් නිවැරදි ලෙස උපත් පාලන කොපු භාවිත කිරීම තුළින් රෝග ආසාදනය වළක්වා ගැනීමට හැකි බව ත් ය.
වැඩි අවදානම් කණ්ඩායම්වල යෙදෙන පුද්ගලයන් සඳහා ප්රේප් (PrEP) ඖෂධ භාවිත කිරීම තුළින් HIV අවදානම අවම කර ගැනීමට හැකියාව පවතින අතර HIV සහ වෙනත් ලිංගාශ්‍රිත රෝග සඳහා රජය මගින් සායන 41ක් දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක ම පවත්වන බව වෛද්‍යවරිය සඳහන් කළා ය.
මෙම සායන සඳහා යන ඕනෑ ම පුද්ගලයෙකුගේ රහස්‍යභාව ආරක්ෂා කරන අතර KNOW4SURE.lk වෙබ් අඩවිය භාවිත කර HIV සහ වෙනත් ලිංගාශ්‍රිත රෝග සායනයකට සහභාගී විමට හැකියාව පවතී.
මෙම වෙබ් අඩවිය ලිංගාශ්‍රිත රෝග පිළිබඳව ස්වයං පරික්ෂණ කට්ටලයක් නිවසට ම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අහෝසියි
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කිරීමට සිදුකළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා තීරු බද්ද හා බැඳුණු නව බද්දක් හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කළේය.
අද (29) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කළ අවස්ථාවලදී රටේ භාණ්ඩවල මිල ගණන් නඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාගේ පැත්තට යොමුවීම වැනි කරුණු මෙම බද්ද අහෝසි කිරීමට හේතුවූ බව ඔහු කීවේය.
නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන දියුණු රටවල මෙන් තීරු බදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වැඩ පෙන්නූ ජාතික පාපන්දු කණ්ඩායම ජනපති හමු වෙයි : 24 ජර්සිය ජනාධිපතිට !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
කොළඹ තුරඟ තරග පිටියේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියේ භූතානයට එරෙහි තරගයේදී වසර 11කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වූ අතර එම ජයග්‍රහණය අගය කළ ජනාධිපතිවරයා ඔවුන්ට සුබපැතුම් පිරිනැමීය.
ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය (SAFF) ජයග්‍රහණය කිරීම සඳහා මෙහිදී පාපන්දු කණ්ඩායම දිරිමත් කළ ජනාධිපතිවරයා පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවට ද පොරොන්දු විය.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයක් සිදුව තිබෙන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) මේ වන විට ලෝකයේ විවිධ රටවල වෘත්තීය තරගාවලි සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ද සහිතව ශක්තිමත් ජාතික කණ්ඩායමක් ගොඩනඟා තිබේ.
මෙහිදී ක්‍රීඩකයන් සමඟ සුහද කථාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

DLB ජනාධිපති අරමුදලට හොඳටම සළකලා !
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.
මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා තිබේ. ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රු. 5,193,833,721 අගයක් බවට පත්ව ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ අභියෝගාත්මක කාලවකවානුව තුළ රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයක් තුළ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවයි.
මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වාදීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව පැවසීය.

මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් !
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පැවසීය.
පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය සමනය කර ගනිමින් මේ වන විට අප රටක් ලෙස සැලකිය යුතු ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙනවා.
ජනවාරි, පෙබරවාරි මාස දෙක තුළ පමණක් සංචාරකයන් ලක්ෂ 05ක් පමණ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ වගේම අප රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා. මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙනවා.
ඒ වගේම ඇඟලුම් හා පේෂකර්මාන්ත ආයතනය විසින් ළමුන් 500කට ආසන්න ප්‍රමාණයකට ඩිප්ලෝමා පාඨමාලා සහතික පත්‍ර ලබා දී තිබෙනවා. IDB ආයතනය සමඟ ඒකාබද්ධව පාසැල් ව්‍යවසායක කව නිර්මාණය කර දරුවන් ඇගයිමට ලක් කිරීමට ද අපට හැකියාව ලැබුණා. පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද කිව යුතුයි. එමඟින් නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිය හැකියි.
දිළිඳු පවුල් ලක්ෂ 24ක් වෙනුවෙන් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථකව සිදුකරමින් සිටිනවා. පළමු වන වසරේ සිට පහ වසර දක්වා පාසැල් ළමුන් ලක්ෂ 17කගේ පෝෂණ අවශ්‍යතාව සැපිරීමේ අරමුණින් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ද මේ වන විට ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
තව ද මැටි, පිත්තල සහ වේවැල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාලිය, කැනඩාව මෙන්ම ජර්මනිය ඇතුළු රටවල් වෙත මෙරට නිෂ්පාදන අපනයනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ආසියානු සංවර්ධන අරමුදල සමඟ එක්ව සහනදායී පොලී අනුපාතයකට ණය ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා.
ඒ වගේම වේවැල් ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ ගැටලු නිර්මාණය වී තිබුණා. අප විසින් ඒ සම්බන්ධයෙන් වනජීවි හා වන සංරක්ෂණ අමත්‍යාංශය සමඟ සාකච්ඡා කර වේවැල් 500ක් දක්වා ප්‍රවාහන කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. තවද මැටි ප්‍රවාහන කිරීමේ දී කියුබ් 05ක උපරිමයක් සඳහා අවසර ලබාදීමට ජාතික ශිල්ප සභාව සමඟ සාකච්ඡා කර අවස්ථාව සලසා දී තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා අපචාර සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් !
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතී.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් ( Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලැබේ.
මෙම මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයෙකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරුවන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබදච වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත ලබාදීම සිදු කරයි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර 011 - 2 778911 දිගු අංක (269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ www.childprotection.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාකරීව කටයුතු කරන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.
ඉන් අනතුරුව ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකටද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
එම කමිටු වාර්තාව 2023 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර බහු පාර්ශවකරුවන් සමඟ පුළුල් උපදේශන ඔස්සේ සකස් කරන ලද එම වාර්තාවේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කටයුතු කරන විවිධ වූ ආයතන සඳහා නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පළමු පියවර ලෙස කමිටුව විසින් අදාළ අංශ සහ ආයතන ඉලක්ක කරගත් කෙටිකාලීන නිර්දේශ කිහිපයකට ප්‍රමුඛත්වය දී ඇති බවත්, එය මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමටත් එම ගැටලුවල බරපතලකම අනුව ඒවාට ප්‍රමුඛත්වය ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බවයි.
පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.
අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බවත්, ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ද, නීතිපති සංජය රාජරත්නම්, සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සහ ළමා ආරක්ෂණයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

දන්න දේ කියන්න සිරිසේනව අධිකරණයට කැඳවයි !
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු පිළිබඳව ප්‍රකාශයක් සිදුකිරීමට ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (28) නියම කළාය.
මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා තිබිණ.

බරපතළ වැඩ සහිතව අවුරුදු 4කට හිරේ යන ඥානසාර හිමි වෙනුවෙන් අභියාචනයක් !
ගලගොඩඅත්තේ ඥානසාර හිමි සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසයි .
කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් 2016 වසරේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළ බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබුණි.
ඒ, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවලට අනුව ය.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා උන්වහන්සේට එරෙහිව චෝදනා 2ක් යටතේ අධිචෝදනා ගොනු කළේය.
නඩුව අද (28) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන උන්වහන්සේ අදාළ ප්‍රකාශය සිදුකළ බවයි.
මෙම ප්‍රශ්නගත ප්‍රකාශය විත්තිකරු විසින් අහම්බයකින් සිදුකළේ යැයි කිව නොහැකි බවත්, එය සිතාමතාම සිදුකර ඇති ආකාරයක් නඩු විභාගයේදී පැහැදිලි වූ බවත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බවත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එහිදී සඳහන් කළේය.
එමෙන්ම ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකාර භික්ෂූන් වහන්සේ එම වගකීම පැහැර හැර ඇති බව ද විනිසුරුවරයා සඳහන් කර තිබුණි.
ඒ අනුව විත්තිකාර භික්ෂූන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට සනාථ වී ඇති බව පැවසූ විනිසුරුවරයා එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු බවට තීන්දු කළේය.
එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සඳහන් කළේ, එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවයි.
එම නියෝගය පරිදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කෙරුණි.
ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද විනිසුරුවරයා නියම කළේය.
එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ, එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන ලෙස ය.
මෙම දඬුවම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන්නේ නම් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවද දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තිකරු ඇමතූ විනිසුරුවරයා කියා සිටියේය.
ඉන් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

ජෝන් ද සිල්වා සහ කලා භවන යළි විවෘත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
වසර 13ක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ.
කෙසේ හෝ සියලු පාර්ශ්ව සමඟ එකගත්වයක් ඇතිකරගෙන මේ වසර අවසානයට පෙර කලා භවන විවෘත කරලීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුනි. ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට රජය සූදානම් බවද එතුමා අවධාරණය කළේය.
අද කොළඹ නගරයට අවශ්‍යව ඇත්තේ නාට්‍යකරුවන්ට දරාගත හැකි මිලකට ලබා ගත හැකි උසස් ප්‍රමිතිගත නාට්‍ය ශාලා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජෝන් ද සිල්වා රඟහල ඉදිකිරීමෙන් පසු එවැනි මුදලකට නාට්‍යකරුවන්ට ලබා දිය හැකිවේදැයි විමසුවේය.
මේ ඉදිකිරීම් සහ පවත්වාගෙන යෑම් සම්බන්ධයෙන් නාට්‍යකරුවන් සමග සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹීම වඩාත් සුදුසු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
නෙළුම් පොකුණ, කලාභවන, ජෝන් ද සිල්වා සමරු රඟහල, කෞතුකාගාරය සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වීය. ශ්‍රී ලංකාවේ කෞතුකාගාර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යය සඳහා උපදේශකත්වය ලබා ගත හැකි සුදුසු රටක් නම් කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාණපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් යසින්තා ගුණවර්ධන, මෙම ගොඩනැගිලි සැලසුම් කළ මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී කණ්ඩායම සහ ජාතික කලා භවන ප්‍රතිසංස්කරණ භාරව ක්‍රියා කරන නාවික හමුදා නිලධාරීහු රජය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.
කලාකරුවන් නියෝජනය කරමින් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, පරාක්‍රම නිරිඇල්ල, මෙහොමඩ් සෆීර් සහ සමන් අතාවුදහෙට්ටි යන ද මෙහිදී අදහස් දැක්වූහ.

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පස්වරු 1.30සිට රාත්‍රී 11.30දක්වා වලංගු වන පරිදි ඇම්බර් වර්ණයෙන් යුතුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.
මේ හේතුවෙන් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
ඊට අදාළ නිවේදනය පහතින්,

මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට
පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ.
ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ (26 වැනිදා) සවස ලැබීමෙන් අනතුරුවය.
අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 22 වැනිදා ප්‍රකාශ කළේ ය.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මුල්කරගනිමින් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව පෙරේදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ගොනු කළේ ය.
මගෙන් රටට සංවිධානය ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේය.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී තිබිණ.

ද. ආසියාවේ විශාලතම මාතෘ රෝහල ජනතා අයිතියට
අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.
මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 06කින්, හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත අතර අප ජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය.
නිවාඩුවක් සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවති සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව මෙම නව මාතෘ රෝහල ලබා දීම සඳහා ඉදිරිපත් විය.
රෝහල ඉදි කිරිම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි)
මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් අටසියක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබා ගැනීම සිදු වූ අතර මේ වන විට රෝහලේ සමස්ථ භූමි ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.
නව මාතෘ රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි නවීන ශල්‍යාගාර ඇතුළු පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.
ජර්මානු රජයෙන් ලැබුණු මෙම පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.
එම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
එදා අපගේ වෛද්‍යවරුන්ට සිදු වුණේ මැලේරියාවට එරෙහිව සටන් කිරීමටයි. නමුත් දැන් වැඩිහිටි ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යාම සහ විවිධ රෝග ඇතිවීම නිසා සේඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වැඩි වී තිබෙනවා. ඒ නිසා ඊට අනුරූපිව සෞඛ්‍ය සේවාවද පරිවර්තනය විය යුතුයි.
ඒ වගේම මෙරට අධ්‍යාපන ක්‍රමයද පරිවර්තනයකට ලක් විය යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා මෙතෙක් වැය කෙරුණු ප්‍රාග්ධන මුදල් සීමා සහිත වුණා. එදා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යෙදවුණේ නැහැ. ඊට හේතුව යුද්ධයට විශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමයි.
දෙවනුව අප ලබාගත් විශාල ණය ප්‍රමාණය නිසා එම පොළි ගෙවීමට වැඩි මුදලක් යෙදවීමට සිදුව තිබෙනවා. 1980 – 1989 මම අධ්‍යාපනය අමාත්‍යවරයා ලෙස කටයුත් කරන සමයේ අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කළා. නමුත් පසුව විවිධ හේතු නිසා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අප ඉදිරියේ දී මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
පසුගිය සමයේ අපට විශාල ලෙස ණය ගැනීමට සිදුවීම නිසා අපේ ආදායමෙන් 50%ක් වැය වන්නේ ණය සහ පොළී ගෙවීමටයි. මෙම වසරේ අයවැයෙන් ට්‍රිලියන 07කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට නියමිතව තිබුණා. නමුත් එයින් ට්‍රිලියන 3.9ක් ණය ගෙවීමට වැය කිරීමට සිදුව තිබෙනවා. එයින් තුනෙන් එකක් ණය ආපසු ගෙවීමට සහ තුනෙන් දෙකක් පොළිය ගෙවිමට වැය කෙරෙනවා. ඒ වගේම තවත් ට්‍රිලියන 1.2ක් වැටුප් ගෙවීමට වැය වෙනවා. තවද පුනරාවර්තනය වියදම් වෙන් කළ පසු ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එයිනුත් වාරිමාර්ග ඇතුළු එම කටයුතුවලටත් මුදල් වෙන් කළ යුතුයි.
මෙම තත්ත්වය සමග අපට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියනු සංවර්ධන බැංකුව කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වන ලෙස අපට දැනුම් දී තිබෙන්නේ එම නිසයි. රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමේ දී පළමු තීරණය වූයේ මේ වසරේ වියදමට අවශ්‍ය මුදල් රට තුළින් උපයා ගැනීමයි. අපට කෙසේවත් දැන් මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට බැහැ. අපට අවශ්‍ය ආදායම් රට තුළින්ම උපයාගෙන ඉදිරියට යාමට සිදුව තිබෙනවා.
එහිදී තිබූ එකම මාර්ගය වූණේ බදු වැඩි කිරීමයි. සියලුදෙනා අපට දොස් කිව්වා. නමුත් මෙම පියවර නිසා පළමු වතාවට අයවැය සඳහා මුදල් මුද්‍රණය කිරීමට අපට සිදු වුණේ නැහැ. මෙහිදී සියලුදෙනා මුහුණදුන් අසීරුතාව පිළිබඳ අපට අවබෝධයෙක් තිබෙනවා. නමුත් බදු මුදල් වැඩි කිරීම නිසා අද අපට අය වැය සඳහා ණය ලබා ගැනීමට සිදුවුණේ නැහැ. එහි ප්‍රතිඵල අද රට තුළ දක්නට තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 370ට තිබු රුපියලේ අගය දැන් 300ට පහළ බැස තිබෙනවා. ඉදිරියේදී තවත් එය පහළ අගයකට එනවා. එවිට රුපියල ශක්තිමත් වෙනවා.
ඒ වගේම උද්ධමනය අඩුවීම නිසා පොලි අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එවිට ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර දියුණුවීමත් සමඟ රට දියුණු වෙනවා. අසීරුවෙන් වුවත් ගත් පියවර නිසා අද රටට ප්‍රතිලාභ ලැබී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන් අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප කටයුතු කළා. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සමග තව වසර 02ක් පමණ ඉදිරියට යන විට අපට ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එම මුදල් රටේ සංවර්ධනයට යෙදවීමට හැකියාව ලැබෙනවා.
අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නවීකරණයක් නොකර අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැකියි. 30 දශකයේ අප දියුණුවක් ලැබුයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබු දියුණුව නිසයි. ඒ වගේම 80 දශකයේ අප ඉදිරියට ගියේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිසයි. අද ලංකාව තුළ පමණක් නොවෙයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්‍රමය ද ක්‍රියාත්මක වන්නේ අපේ වෛද්‍ය සේවාවන් නිසා. ඒ නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශය වෙනුවෙන් අවශ්‍ය මුදල් අපම උපයා ගනිමින් එම ක්ෂේත්‍රවල සීග්‍ර සංවර්ධනයක් ඇති කරමු කියා මම ප්‍රකාශ කරනවා.

පොහොට්ටුවේ මැයි දිනය කැම්බල් පිටියේ !
පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
ඉදිරියේදී පළමුව පවත්වන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද යන්න තමන්ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය .
කෙසේ වුවත් පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණයට දින නියම වෙයි !
ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බව වාර්තා වෙයි .
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් මෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් ද මේ බව වාර්තා කර ඇත.
දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවය.
එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ සිය දේශපාලන කැබිනට්ටුවටද මේ බව දැනුම් දී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා වල දැක්වෙයි .
දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝබර් මාසයේ 05 වන සෙනසුරාදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි .

විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනසක් වෙනුවෙන් සූදානමක් !
අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයක් තුළම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.
රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.
විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය අවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා 2035 වන විට දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීම තම අරමුණ බවද සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ යහපත් වාතාවරණයක් තිබිය යුතු බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාල පාලනය බාහිර පාර්ශ්වයකට පවරනවාද එම තත්ත්වය වෙනස් කර විශ්විවද්‍යාල පද්ධතිය තුළ නව වාතාවරණයක් ඇති කරනවාද යන්න විශ්වවිද්‍යාල තුළින්ම තීරණය කළයුතු බවද පැවසීය.
පසුගියදා තමා කැළණිය විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමකට සහභාගී වන අවස්ථාවේ ඊට එරෙහිව සුළු පිරිසක් විරෝධතා දැක්වුවද තමන් වෙත පැවරී තිබූ වගකීම සහ රාජකාරිය ඉටු කිරීම අතපසු නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු අදහස් දැක්වූ අතර දැනුම නිර්මාණය කිරීම, එම දැනුම බෙදා හැරීම සහ රටේ ජාතික අවශ්‍යතා ඉටු කිරීමත් විශ්වවිද්‍යාල ආචාර්වරුන් ඇතුළු බුද්ධිමතුන් විසින් සිදු කළ බවට අවධාරණය කෙරිණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමෙන් වෙන් වූ ස්වාධීන අධ්‍යාපන ආයතන බවට විශ්වවිද්‍යාල පද්ධතිය පත් කිරීම, විශ්වවිද්‍යාලවලට අනන්‍ය වූ වර්තමාන ගෝලිය අවශ්‍යතාවයන්ට සරිලන තාක්ෂණයෙන් යුත් නව පාඨමාලාවන් හැදෑරීමට දෙස් විදෙස් සිසුන්ට අවස්ථාව ලබාදීම හා ඒ සඳහා අවශ්‍ය වටපිටාව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදි අවධානය යොමු කෙරිණි.
එමෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් කර ආර්ථික සංවර්ධනයට පුළුල් දායකත්වයක් ලබාදෙන ආයතන බවට පත්කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට ලක් විය.
මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරු මතුකළ ප්‍රශ්න කිහිපයක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒවාට ලබාදුන් පිළිතුරු පහත දැක්වේ.
ප්‍රශ්නය
ව්‍යවසායකත්ව අධ්‍යාපනය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙනවා. එබැවින් අප රට තුළ ද ව්‍යවසායකත්ව අධ්‍යාපනය අනිවාර්යය කිරීමට කටයුතු කරන ලෙස යෝජනා කරනවා.
පිළිතුර
විශ්වවිද්‍යාල විෂය මාලාවන් තුළ සිදු කළ යුතු ප්‍රායෝගික වෙනස්කම් පිළිබඳ මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඒ සඳහා මේ වන විට කමිටු කිහිපයක්ම පත් කර තිබෙනවා. මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා.
ප්‍රශ්නය
විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට නම් රටේ නීතිය විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ප්‍රකාශ කිරීමට කැමතියි.
පිළිතුර
එය තනිව ආණ්ඩුවට පමණක් කළ නොහැකියි. එය සියලු දෙනා එක්ව සිදු කළයුතු කාර්යයක්. නමුත් අනිත් අය නිශ්ශබ්දව සිටීම කණගාටුවට කරුණක්. 1980 දශකයේඇති වූ ක්‍රමය නිසයි මෙය සිදු වුණේ. නැවත වතාවක් අපට මෙම තත්ත්වයට යාමට නොහැකියි. ඒ නිසා අලුත් රටට ගැළපෙන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අප කඩිනමින් ඇති කළයුතුයි. ඒ සඳහා සියලුදෙනාගේ සහාය අවශ්‍යයි.
විශ්වවිද්‍යාලයට සිසුවෙකු ඇතුළත් කර වසර හතරකින් උපාධිය ලබා ගැනීම පමණක් නොවයි. විශ්වවිද්‍යාලය තුළ වාද විවාද කිරිමට ද අවස්ථාව තිබිය යුතුයි. අතීතයේ දේශපාලනඥයන් විශ්වවිද්‍යාලවලට පැමිණ සාකච්ඡා පැවැත්වුවා. අද එවැනි පරිසරයක් විශ්වවිද්‍යාල තුළ දකින් නැහැ. අප නැවත ඒ තත්ත්වය ඇති කළ යුතුයි.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඩිජිටල් ආර්ථික පරිවර්තනයක් සඳහා වන නීති මෙම වසර මැද පාර්ලිමේන්තුවට !
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද (26) පෙරවරුවේ ආරම්භ වු ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණි. සේවා සැපයීම යථාර්ථයක් බවට පත්කිරිම, ප්‍රජාවන් බලගැන්විම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනයක් සිදු කිරීම පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කෙරිණි.
එම විද්වත් සාකච්ඡා සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ පාලනය පිළිබද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, දැනුම හා අත්දැකීම් සපිරි ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික විද්වතුන් රැසක් එක්ව සිටියහ.
නව නීති සම්මතවීම සමඟ අපනයන ඉලක්ක කර ගත් ඩිජිටල් හා හරිත ආර්ථකයක් බවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිවර්තනය කිරිමට හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය.
රටේ ආර්ථික පරිවර්තන වැඩපිළිවෙළ පහසු කිරීම සඳහා නව ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට අප සැලසුම් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණ සභා වැනි පවතින ව්‍යුහයන්ගෙන් ඉවත් වී, ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානයක් (AI Center) නිර්මාණය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියනයක මුදලක් වෙන් කිරීමට අප කටයුතු කළා.
කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, දරිද්‍රතාවයට පිළියම් යෙදීම සහ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේදී ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රවර්ධනය කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ ජාතික ඉලක්කයක් ආණ්ඩුවට තිබෙනවා. 2035 වන විට මෙරට ජනතාව ගේ දරිද්‍රතාවය 10% නොඉක්මවන බව සහතික කිරීම අපගේ අරමුණයි.
මෙම ආර්ථික අභිමතාර්ථ සපුරා ගැනීමේදී ශක්තිමත් ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමේ සහ නිවැරදි දත්ත රැස් කිරීම වැදගත් වෙනවා. මෙම දත්ත මඟින් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආදායම් මට්ටම් වැනි විවිධ මානයන් සලකා බලා පිළියම් යෙදීම කළ යුතුයි.
යෝජිත නියෝජිතායතනයේ කටයුතු සක්‍රීයව පවත්වාගෙන යාමට හැකිවන පරිදි මෙම වසරේ මැද බාගය වන විට පාර්ලිමේන්තුවට නීති ගෙන ඒම අපේ අරමුණයි. විශේෂයෙන්ම ඉන්දියන් සාගර කලාපය ප්‍රධාන වර්ධන කලාපයක් ලෙස මතුවන බැවින් ශ්‍රී ලංකාව තරඟකාරී ආර්ථිකයක් බවට පත්වීමට මෙම ව්‍යවස්ථාදායක සහ ප්‍රතිපත්ති රාමුව ඉතා වැදගත් වනවා.
මෙම වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා පාසල් සහ උසස් අධ්‍යාපන මට්ටමින් අධ්‍යාපන පද්ධතිය ද ශක්තිමත් කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ කෘත්‍රිම බුද්ධිය (AI) පාසල්වලට හඳුන්වා දීම ප්‍රධාන වැඩසටහනක් වන අතර වසර පහක් හෝ අටක් තුළ ඒ සඳහා සෑම පාසලක්ම සම්බන්ධ කරලීමත්, එම වැඩසටහන විශ්වවිද්‍යාල දක්වා ව්‍යාප්ත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙනයාමට, ඉන්දීය ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් චෙන්නායි ඉන්දීය තාක්ෂණ ආයතනයේ (IIT) ශාඛාවක් මෙරට ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට සහ ඔවුන්ගේ විශේෂඥතාව ප්‍රයෝජනයට ගනිමින් තාක්ෂණික විශ්වවිද්‍යාල දෙකක් ඇතුළු විශ්ව විද්‍යාල තුනක් මෙරට පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා.
සුදුසු උපාය මාර්ග අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ඉන්දියානු විශේෂඥ දැනුම උපයෝගී කර ගැනීමට කටයුතු කළ යුතුයි. මෙම සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා සාමූහික සහාය අවශ්‍යයි. 21 වන සියවසේ අභියෝගවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීමේදී නවීකරණය වැළඳ ගැනීමේ හදිසි අවශ්‍යතාවක් මතුව තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා
DIGIECON 2030 මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමට, ජාල වැඩිදියුණු කිරීමට සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා ඩිජිටල් මූල්‍ය සේවා (DFS) ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. ඩිජිටල් රාජ්‍ය නැමැති සංකල්පය පෝෂණය කිරීම සහ සයිබර් ආරක්‍ෂාව වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා සෑම තරාතිරමකම ඩිජිටල් පොදු යටිතල පහසුකම් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.
තාක්ෂණික ව්‍යාපාර ප්‍රාග්ධන සඳහා වේදිකාවක් සකස් කරලමින් ජුනි 25 වන දින ගෝලීය ආයෝජන සමුළුවක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින තාක්‍ෂණික පරිසර පද්ධතියේ ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා වෙනස්කම් වැළඳ ගනිමින් රටේ ඩිජිටල් පරිවර්තනය සඳහා දායක වන ලෙස ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා, කාවිංග ජයවර්ධන, මයන්ත දිසානායක, චරිත හේරත්, මොහොමඩ් මුසම්මිල්, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මසිරි කුමාරතුංග මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අවම වැටුප රු. 5000කින් ඉහළට
ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5,000කින් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඊට අමතරව දෛනික වැටුප රු. 500 සිට 700 දක්වා රු. 200කින් වැඩි කිරීමට ද හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවක ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී ඇත.
2016 අංක 3 දරන සේවක ජාතික අවම වේතන පනත අනුව ජාතික අවම වැටුප රු. 12,500ක් ලෙස නියම කරනු ලැබ තිබිණි.
ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයින් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් එම වැටුප ඉහළ දැමීමට නිර්දේශ කර ඇතැයි රජය පැවසීය.
මීට අදාළ යෝජනාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
Page 88 of 464