ආදීවාසීන් වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්

ආදීවාසීන් වෙනුවෙන්  නව පනත් කෙටුම්පතක්

මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටළුවලට විසදුම් ලබාදීම සදහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම සදහා රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ උපදෙස් පරිදි කටයුතු කර ඇත.

එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ ( 04) පස්වරුවේ පැවැත්විණි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ වනජීවි හා වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව සිදු විය.

ආදිවාසී ජනතාවට පවතින ගැටළු විසදීම සදහා සකස් කළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පනත සදහා ඇතුළත් කිරීමට නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීමට පියවර ගෙන තිබේ.

වනාන්තරවල ඇති ඖෂධ වර්ග ආදිවාසී ජනතාව විසින් නෙලා ගැනීමේදී එම ඖෂධ ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ආකාරය පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුව විසින් රෙගුලාසි පද්ධතියක් සකස් කරමින් පවතින අතර, ඒ පිළිබදව තවදුරටත් අධ්‍යනය කිරීම සදහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

විශේෂයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාවට වනාන්තරවල ඖෂධ වර්ග නෙලීමේදී නව රෙගුලාසී පද්ධතියක් කඩිනමින් සකස් කිරීමට මෙහිදී තීරණය වු අතර, සති තුනක් තුළ අදාල රෙගුලාසි පිළිබදව නිර්ණායක ලබාදීමට නියමිතව තිබේ. අදාල ඖෂධ වර්ග නිශ්චිතව නම් කර ඇති අතර, ඖෂධ වර්ග නෙලීම සිදු කළ හැකි ආදිවාසී ජනතාව පිළිබදව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසර පත්‍රයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරිය බණ්ඩාර  ඇතුළු නිතිපති දෙපාර්තමේන්තුව, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, වනජීවි දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාශය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සදහා එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න