ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට ආහාර පාන සැපයීම සහ අත්‍යාවශ්‍ය සේවාවන් සලසා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා ඊයේ (03) රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ කොළඹ කොළොන්නාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ගංවතුරින් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබිණ.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිගු කාලයක් පුරා පවතින ගංවතුර ගැටලුවට පිළියම් යෙදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව කොළඹ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කැලණි ගං මිටියාවතේ සිදු කෙරෙන නව ඉදිකිරීම් සඳහා අවසර ලබා නොදීම, සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, දැනට සිදුකෙරෙන ඉඩම් ගොඩකිරීමේ කටයුතු නැවැත්වීම, ජලාපවාහන පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ඕනෑම ක්ෂණික අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීමට හැකිවන සේ පවතින ජල පොම්පාගාරවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීම ඇතුළු කඩිනම් පියවර ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලධාරීන්ට නියෝග කර තිබේ.

එමෙන්ම, කොළඹ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ මූල හේතුන් හඳුනාගනිමින් ඉදිරියේදී එවැනි තත්ත්වයන් නැවත ඇතිවීම වලක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට මෙන්ම, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොළොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ඊට අදාළ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම කමිටුවේ වාර්තාව අදාළ නිර්දේශ ද සමඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට හැකි වන සේ මාසයක කාලයක් තුළ ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න