මේ සුබ පණිවිඩය පාසල් සිසුවියන්ට !

මේ සුබ පණිවිඩය පාසල් සිසුවියන්ට !

පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ තිළිණපත් ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද (06) නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් ආරම්භ වුණි.

පාසල් තුළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක ව පවත්වාගැනීම සඳහා අත්‍යවශ්‍ය  සාධකයක් වන දරුවන්ගේ පෞරුෂ වර්ධනයට හා සෞඛ්‍යවත් යහ පැවැත්මට ඉහවහල් වන පහසුකම් ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සනීපාරක්ෂක වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ. 

සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණදෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්ත්වයන් වළක්වා ගැනීමත් මෙමඟින් අපේක්ෂිත ය.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක් නොමිලේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාශය පියවර ගෙන ඇත. 

ඒ අනුව එක් සිසුවියකට රු. 1,200ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එම තිළිණපත පාසල් හරහා සිසුවියන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබේ.
 
මෙම තිළිණපත භාවිත කර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මඟින් සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය. 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලත් සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිසුවියන්ගේ වගකීමකි.

සිසුවියන් වෙත ලබා දෙන අදාළ තිළිණපත කොටස් දෙකකින් යුක්ත ය. 

එය රු. 600.00ක වටිනාකමින් යුත් 'A' හා 'B' ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි 'A'කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 - 2024.07.10 දක්වා වේ. 

අනෙක් 'B'කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 - 2024.09.30 අතර කාල සීමාවේ දී ය. එම කාල සීමාවන් තුළ සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සිදුකළ යුතු වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න