ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට යම් නීතිමය බාධාවක් මතුවුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) හා ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තිබෙන අවස්ථාවන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල නිල අල්ලමින් සිටින්නේ ද යන කාරණය සම්බන්ධයෙන් 'slguardian.org' වෙබ් අඩවිය සිය කතුවැකිය මගින් සැකමතුකර තිබේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 26 දා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කරනු ලැබුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට රාජපක්ෂවරුන් දුන් පොරොන්දුව මතය.
කෙසේවුවද එම පොරොන්දුවට මුළුමනින්ම පිටුපා 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාබය රාජපක්ෂ නම් කිරීමට රාජපක්ෂ පවුල තීන්දු කිරීම ජනාධිපතිවරයා ගේ කනස්සල්ලට හේතුවී තිබිණ.
ගෝඨාබය ගැන තීන්දුවක් එනතෙක් ශ්‍රීලනිප තීරණය කල් දමයි !
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දෙන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයකට ඒම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී (සැප්තැම්බර් 30) රැස් වුවද එහිදී අවසන් නිගමනයකට පැමිණ නොමැත.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ලබන 5 වෙනිදා යළි කැඳවෙන බවට වාර්තා විණි.
ශ්‍රීලනිපය එසේ තම තීන්දුව ලක්දමා ඇත්තේ, ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක්ය.
ශ්‍රීලනිපය නොතැකු බැසිල් !
ජනාධිපතිවරණයේ එක්ව තරග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ අවස්ථා කිහිපයකදී මුණගැසී සාකච්ඡා පැවැත්වුහ. කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකගතාවයකින් තොරව ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදුවිය.
ඒ ගැන යම් විරෝධතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුකලද පසුව සාකච්ඡා යළි ඇරඹිණි. එහිදී දෙපාර්ශවය අතර ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාබය රාජපක්ෂ ගැන එකඟතාවක් ඇතිවූ නමුත් ඔහු තරග කරන පක්ෂය ගැන එකගතාවකට ඒමට නොහැකි විය.
මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂයා වන ගෝඨාබය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර ද පසුගිය සෙනසුරාදා ද පැවැත්විණි.
"මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ජන්දේ දෙන්න අපිට පුළුවන් ජාතික වැඩපිළිවෙලක් හදාගෙන ඇතිකරගන්නා ජාතික එකඟතාවක් තුළ නමුත් පොහොට්ටුව ලකුණට ජන්දේ දෙන්න අපිට පුළුවන් කමක් නැහැ කියලා අපි කිව්වා" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ සාකච්ඡාවේ කරුණු එසේ පවසුවේ සැප්තැම්බර් 29දා පස්වරුවේ පැවති කුරුණෑගල දිස්ත්‍රීක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
සම්මේලනය අමතමිනි.
ඊළඟ ජනාධිපතිවරයා පත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අනුව බව කිසිවෙකු අමතක නොකළ යුතු බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරයා ලෙස පත්වීමට කුමන අපේක්ෂකයෙකුට වුව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව කියා සිටියේය.
ගෝඨාබය රාජපක්ෂ තරග කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව සලකුණ වෙනස්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී අකමැත්ත පළකර තිබෙන අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එලෙස වෙනත් සලකුණකින් එක්ව තරග කළ හැකි බව පවසා තිබේ.
දයාසිරි ජයසේකර සහ මෛත්‍රීපාල සිරිසේන
මේ අතර 'බීබීසි සිංහල සේවය'ට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම්‍යශීලි විය යුතු බවකි.
"අපි කිසිම කොන්දේසියක් දාලා, අපි කිව්වේ අපේ පාක්ෂිකයන්ට ගිහිල්ල ඡන්දෙ දෙන්න පුළුවන් පොදු ලකුණක් හදා ගමු කියලා. හැබැයි ඒකට එකඟවුනේ නැහැ. එත් අපි කලබල වෙන්න නැහැ. මොකද අද රට ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුවක්" දයාසිරි ජයසේකර කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමාදාස ද තම පක්ෂය සමග සාකච්ඡා කිරීමට ඉල්ලා තිබෙන බව පැවසූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඒ ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල රැලිය ඇමතු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍යනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අත්‍යවශ්‍යම බව සඳහන් කළේ තමන් ඒ පිළිබඳව කළ ඡන්ද පුරෝකතනයක් සභාවට ඉදිරිපත් කරමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාබය රාජපක්ෂට සහය නොදිය යුතු යන මතයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිටින අතර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහි ප්‍රධාන ස්ථානයක් ගනී. newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
